නැගෙනහිර පලාත් සභාවේ බලය හිමි විය යුත්තේ කාටද?

නැගෙනහිර පලාත් කොඩිය
නැගෙනහිර පලාත් කොඩිය

මේ ලිපිය ලියන්නට පාදක වුයේ ලංකාසීනිවුස් වෙබ් අඩවිය විසින් අප්‍රේල් 17 වන දින නැගෙනහිර මහ ඇමති ධුරය මුස්ලිම්වරුන්ට දිය යුතුයි – මුස්ලිම් කොංග‍්‍රසය යන සිරස සහිතව පලකරන ලද පුවතකි. ‍මෙහි සඳහන්ව තිබුණේ ඉදිරියේදී එළැඹෙන පළාත් සභා මැතිවරණයකදී නැගෙනහිර පළාත් සභාවේ මීළඟ මහඇමති තනතුර ප්‍රදේශයේම මුස්ලිම් නියෝජිතයෙකුට හිමිවිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි යනුවෙනි. එම ප්‍රකාශය කර තිබුණේ එම පක්ෂයේ උපලේකම් නිසාම් කාරියප්පර් විසින් කල්මුණේ ප්‍රදේශයේ පැවති උත්සවයක බැව් සඳහන් වේ. එහිදී කථාකළ කාරියප්පර් මහතා මෙසේද ප්‍රකාශ කර ඇත.

 

උපුටා ගැනීම http://www.lankacnews.com/sinhala/news/55910/

“සුළු ජාතීන්වන දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ දේශපාලන අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බිහි කෙරුණා. ඒ හැරෙන්න අප මධ්‍යම රජය හෝ කොළඹ සිට රජයේ සංවර්ධන ප්‍රතිලාභ ලබාගන්න බිහිවුණු පක්ෂයක් නෙවෙයි. මෙම අවස්ථාවේදි මට දෙමළ ජනතාවට කාරණයක් කියන්න අවශ්‍යයි. පසුගිය පළාත් සභා මැතිවරණයේදී මුස්ලිම් ජනතාව මෙම පළාතේ මුස්ලිම් මහඇමති කෙනෙක් තේරී පත්විය යුතුයි කියන බලාපොරොත්තුවෙන් සිටියා. දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න පුළුවන් දක්ෂතාවක් තිබෙන, එම ප්‍රදේශයේම මුස්ලිම් නියෝජිතයෙක් මහඇමති ලෙසින් පත්විය යුතුයි. එය තමයි මේ කාලය තුළ අපට තිබෙන අවශ්‍යතාව”

උපුටා ගැනීම අවසන්

 

මෙම පුවත පලවීමෙන් පසුව බහුතර සිංහල ජනතාව අතර මුස්ලිම් වරුන් පිළිබඳව වැරදි අවබෝධයක් ඇති වී ඇත. ඒ මුස්ලිම් වරුන් විසින් කෙසේ හෝ ජනගහනය වැඩි කරගෙන දැන් එහි බලය අල්ලන්නට උත්සාහ දරනවා යනුවෙනි. ඇත්තටම මෙය සත්‍යක්ද? නැගෙනහිර පලාතට මුස්ලිම් වරුන් පැමිණියේ සෙනරත් රජතුමාගේ කාලයේ බැව් පොදු මතයයි. එය අර්ධ සත්‍යයක් වන නමුදු එය සම්පූර්ණ සත්‍යයක් නොවේ. සත්‍යය නම් ඒ වන විටත් ලංකා‍වේ අනෙක් පලාත් වල මෙන් නැගෙනහිරත් මුස්ලිම් වරුන් සිටි අතර සෙනරත් රජතුමා විසින් යවන ලද මුස්ලිම් වරුන් සංඛ්‍යාව නිසා ඒ පලාතේ මුස්ලිම් වරුන් ප්‍රමාණය තවත් වැඩි වීමක් පමණක් සිදු විය.

 

නැගෙනහිර පලාත හෙවත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්ක තුන අතීතයේ සිංහල ජනතාව විසු පලාත් බැව් ‍ඓතිහාසික සාක්ෂි වලින් සනාථ වන කරුණකි. නමුත් පසුකාලීණව ඇතිවු ආක්‍රමණ හේතුවෙන් එම පලාතෙහි සිටි සිංහල ජනතාව වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම නිසා එම පලාතෙහි සිංහල ජනගහනය අඩුවී එහි තිබුණු බෞද්ධ ආගමික ස්ථාන සහ පුරා වස්තූන් වල් බිහිවී ගොස් ඇත. ඉන්පසුව එහි ඉතිරි වුයේ දමිල ජනතාව බහුතරයක්, මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව ඉතා සුළුතරයක් වශයෙනි. සෙනරත් රජතුමා විසින් කතෝලික පෘතුගීසීන්ගේ තාඩන සහ පීඩන වලට ලක්වු මුස්ලිම් ජනයාද එම ප්‍රදේශයේ පදිංචි කිරීම නිසා එහි මුස්ලිම් ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වර්ධනය වුවද බහුතරය වුයේ දමිල ප්‍රජාවයි. දිවංගත මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මැතිඳුන් විසින් ගල්ඔය ව්‍යාපාරය තුල ජනපද ඉදි කරමින් සිංහල ජනයා පදිංචි නොකලේ නම් මේ වන විට නැගෙනහිර සම්පුර්ණයෙන් දමිල සහ මුස්ලිම් ජනයා පමණක් සිටින ප්‍රදේශයක් වන්නට ඉඩ තිබුණි. එතුමා විසින් ගත් දුරදක්නා තීරණය පිළිබඳව සිංහල ජනතාව ඔහුට ප්‍රණාමය පලකල යුතුය.

 

උතුරේ සහ නැගෙනහිර වාර්ගික යුද්ධ සමයේ රුදුරු එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන් විසින් එකල මායිම් ගම්මාන වශයෙන් හැඳින්වු උතුරේ සහ නැගෙනහිර සිංහල ගම්මාන වලට පහර දීම නිසා බොහෝ සිංහල පවුල් අවතැන්ව ලංකාවේ සිංහල බහුතරයක් වෙසෙන පලාත් වලට ගොස් පදිංචි විය. මෙමගින් තවදුරටත් සිංහල ජන සංඛ්‍යාව අඩුවිය. එමෙන්ම දීර්ඝ කාලීණ යුද්ධයෙන් පීඩා විඳි දමිල ජනතාවගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතාරක්ෂාව පතා සංක්‍රමණිකයන් වශයෙන් යුරෝපය ඇතුළු විදෙස් රටවල රැකවරණය පතා පලායන ලදී. මේ නිසා නැගෙනහිර බහුතරයක්ව විසු දමිල ජනතාවගේ සංඛ්‍යාවද විශාල වශයෙන් පහල යාමට පටන් ගැනුනි.

 

වාර්ගික යුද්ධය අතරතුර රුදුරු කොටි සංවිධානය විසින් නැගෙනහිර මුස්ලිම් ජනතාව පලවා හැරීමට දැඩි උත්සාහයක් ගත් මුත් මුස්ලිම් ජනතාවගේ සාමුහික ප්‍රයත්නයන් හමුවේ එය ව්‍යර්ථ විය. ඇත්තටම වාර්ගික යුද්ධය අතරතුර කොටි සංවිධානය විසින් නැගෙනහිර පලාතේ විශාලතම සංහාරයන් කළේ මුස්ලිම් ජනතාවට එරෙහිවයි. ඔවුන් විසින් නැගෙනහිර පලාතේ එරාවුර් වල සහ කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි‍යේ දැවැන්ත මුස්ලිම් සංහාරයක් කරන ලද අතර යුද්ධය අවසාන කාලයේ මුතූර් ප්‍රදේශයේද එවැනිම සංහාරයක් සිදුකරන ලදී. මෙම දැවැන්ත සංහාරයන්ට සාපේක්ෂව සංඛ්‍යාත්මකව බලන කල අරන්තලාවේ භික්ෂු ඝාතනය සහ අනෙකුත් සිංහල ගම්මාන වලට පහර දීම් වලින් මිය ගිය ජන සංඛ්‍යාව සංඛ්‍යාත්මක වශයෙන් ඉතා කුඩාය.

 

නැගෙනහිර මුස්ලිම් ජනතාව විසින් මෙපමණ ජීවිත කැප කිරීම් සිදුකරමින් නැගෙනහිර පලාතේ පදිංචිව සිටි නිසා කොටි සංවිධානයේ නැගෙනහිර දමිල කරණ‍යට ලක් කිරීමේ සිහිනය බොඳ විය. එපමණක් නොව වාර්ගික යුද්ධය අතරතුර නැගෙනහිර දමිල වැසියන් රටහැර යෑම නිසා මෙතෙක් පැවති දමිල සංඛ්‍යාවේ බහුතරය රැක ගැනීමද අවධානමට ලක්විය. මේ නිසා කොටි සංවිධානය සිය බලය පැවති අවසන් කාලයේ මැතිවරණ වර්ජනය කරන ලෙස සිය ජනතාවට අණ කරන ලදී. ඒ ඡන්දයකදී ඔවුන්ගේ ජන පදනම අඩුවී ඇති බැව් පැහැදිලිවම පෙනෙන බැවිනි. නැගෙනහිර පලාත් දමිල ජනතාවට මෙම අලකලංචිය සිදුවුයේ ඔවුන්ගේම වරදින් නොවේද? ඔවුන් විසින් රට බෙදීම සඳහා උත්සාහ නොදැරුවේ නම් නැගෙනහිර සිටි දමිල ජනතාව තම ගම්බිම් අතහැර විදෙස් වලට පලා යයිද?

 

මේ වන විට පැරණි නිල සංඛ්‍යාලේඛන වලට අනුව නැගෙනහිර මුස්ලිම් ජනසංඛ්‍යාව එහි සිටින දමිල ජන සංඛ්‍යාවට වඩා අඩු වන්නේ 40,000 ක් වැනි ප්‍රමාණයකිනි. නවතම සංගණන ප්‍රතිඵල තවම නිකුත්ව නොමැත. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ සංඛ්‍යාලේඛන වලදී නැගෙනහිර පලාතේ ජන බහුතරය වශයෙන් මුස්ලිම් ජන සංඛ්‍යාව ඉදිරියට ඒමට‍ බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි. එය ඒසේ සිදුවුයේ නොමැති වුවද මුස්ලිම් ජන සංඛ්‍යාව දමිල ජන සංඛ්‍යාවට ඉතාමත් ආසන්න සංඛ්‍යාවකට එනු ඇති බවට සැමගේ පොදු මතයයි.

 

පසුගිය නැගෙනහිර පලාත්සභා මැතිවරණයේදී නැගෙනහිර පලාත් දමිල වැසියන්ගෙන් බහුතර ඡන්දය ලැබුණේ එහි වත්මන් විපක්ෂයේ පක්ෂයක් වන ද්‍රවිඩ ජාතික සංධානය හෙවත් ටී.එන්.ඒ පක්ෂයටයි. මුස්ලිම් ජනතාවගේ බහුතර සහය ලැබුණේ ආන්ඩු පක්ෂයටයි. එහිදී නැගෙනහිර පලාත් මහ ඇමති ධූරය හිමිවිය යුත්තේ මුස්ලිම් වරුන්ට වුවද දේශපාලනික උපක්‍රමයක් වශයෙන් රජය විසින් ටී.එම්.වී.පී නායක පිල්ලෙයාන්ට මහ ඇමති ධූරය ලබා දෙන ලදී. එම පලාත් සභා ඡන්දයේදී විපක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ වැඩිම ඡන්ද සංඛ්‍යාවකට හිමිකම් කී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද දැන් සිටින්නේ ආන්ඩු පක්ෂය තුල නිසා නැගෙනහිර පලාත් සභාවේ ආන්ඩු පක්ෂය තුල බහුතරය මුස්ලිම් ජනතාවයි. ඒ නිසා නැවත ඡන්දයක් පැවැත්වු විට බහුතර ජනවරම රජයට හිමිවන අතර එයට වැඩිම දායකත්වයක් ලැබෙනුයේ මුස්ලිම් වරුන්ගෙනි.

 

තමන් විසින් දරදිය ඇද තව කෙනෙකුට නායකත්වය ලබා දීමට කිසිවෙකුට පිස්සුවක් නැත. මුස්ලිම් ජනතාව විසින් නැගෙනහිර පලාත්සභාවේ බහුතරය ගන්නවා නම් එහි නායකත්වය හිමි විය යුත්තේ මුස්ලිම් වරයෙක්ටය. නමුත් එය කේවල් කිරීමකින් තොරව සම්මුතියකින් සිදුවිය යුතුය. එසේ පත්වන මුස්ලිම් නායකයා එම ප්‍රදේශයේ වෙසෙන සියළුම ජන වර්ග වල නායකයා වශයෙන් පත්වන බැවින් සියළු දෙනාටම එකසේ සේවය කළ යුතුය.   

 

 

2 Comments to “නැගෙනහිර පලාත් සභාවේ බලය හිමි විය යුත්තේ කාටද?

  1. අනේ මන්ද මනතුන්ග මහත්තය ඔයාගෙ ලොජික්. එක අතකින් ඔයා කියනව “මුස්ලිම් ජනතාවගේ බහුතර සහය ලැබුණේ ආන්ඩු පක්ෂයටයි.” කියල අනිත් පැත්තට කියනව “එම පලාත් සභා ඡන්දයේදී විපක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ වැඩිම ඡන්ද සංඛ්‍යාවකට හිමිකම් කී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය…” කියල. ඒ කියන්නෙ ආණ්ඩුව දින්නෙත් මුස්ලිම් චන්ද වලින් යු එන් පී එක මේ තරමක් හරි ගොඩ ගියෙත් මුස්ලිම් චන්ද වලින්. පුදුම කතාවක්නෙ.එහෙම වෙන්න නම් ඔය පලාත තනිකරම මුස්ලිම් වෙන්න ඕන.

    මැතිවරණ ප්‍රතිඵල දිහා බැලුවම මටනම් පේන්නෙ, ත්‍රිකුණාමල දෙමළ චන්ද තීරණාත්මක ලෙස යුඑන්පියටත් මඩකලපු දෙමල චන්ද තීරණාත්මක ලෙස ආණ්ඩුවටත් (කරුණා පාර්ශවය) වැටී ඇති බවයි. පලාත් තුනේම සින්හල චන්ද බහුතරය ආණ්ඩුවට ලැබී ඇති අතර මුස්ලිම් චන්ද හකීම් සහ හිස්බුල්ලා අතර බෙදී ගොස් තිබේ. මම කියන්නෙ නැහැ මහ ඇමති කමට මුස්ලිම් නායකයෙක් සුදුසු නැහැ කියල, නමුත් යම් කිසි කාරණයක් විශ්ලේශනය කරන කොට පොඩ්ඩක් සමබර විදියට හිතුවොත් තමයි හොද.

    1. ආන්ඩු පක්ෂයේත් විපක්ෂ එජාපයේත් බහුතර ඡන්දය මුස්ලිම් වරුන්ගෙන් ලැබුණේ දමිල ප්‍රජාවගේ ඡන්ද බහුතරය ටී.එන්.ඒ හෙවත් ද්‍රවිඩ ජාතික සංධානයට ලැබීම නිසයි. අංක ගණිතය හදාරපු ඕන කෙනෙක්ට ඒක වටහා ගන්න පුළුවන්.

      ඉදිරියේ පැවැත්වීමට තිබෙන පලාත් සභා මැති වරණයේ මහ ඇමති ධූරයට මුස්ලිම් කෙනෙක් පත්විය යුතු බවට මගේ තර්කයට හේතු දෙකකි.

      1. ආන්ඩා පක්ෂයේ වැඩිම බහුතරය මේ වන විට මුස්ලිම් වරුන් වීම.

      2. නැගෙනහිර පලාතේ නිල නොවන සංඛ්‍යාලේඛන වලට අනුව එම පලාතේ බහුතරය මුස්ලිම් ජනතාව වීමයි.

      මම මගේ සමබරතාවය බිදගෙන නැහැ. ප්‍රශ්නය වන්නේ මා විසින් කරන සමබර ප්‍රකාශයන් බොහෝ දෙනෙකුට දිරවා ගත නොහැකි වීමයි.

Comments are closed.