ජනපති මහින්දගේ දේශපාලන සංවේදීතාවය ගිලිහීද!

දේශපාලන සංවේදීත්වය
දේශපාලන සංවේදීත්වය

ඇමති රිෂාද් බදියුදීන් රජයෙන් ඉවත් වීමත් සමග රාජපක්ෂ රෙජිමය දැවැන්ත දේශපාලනික කුණාටුවකට ලක්ව ඇති බව බුද්ධිමත් සැමට පසක්වු කරුණකි. හෙට අනිද්දා හකීම් මහතාත් ඉවත් වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. මුස්ලිම් දේශපාලකයන්ට රජයෙන් ඉවත්වීමට බලපෑම් එල්ල වන්නේ කොහෙන්ද? ඇත්තටම ඒ බලපෑම එල්ල වන්නේ ජනතාවගෙනි. ජනතාවගේ බලපෑමට අවනත නොවන දේශපාලකයන්ට සිදුවන්නේ අනාථ වීමටයි. ජනපති මහින්ද මහතාට මෙම ඉරණම අත්වනු ඇති බවට සිවිල් සමාජය කලින්ම අනතුරු අඟවා තිබිණි. ඒ අවබෝධ කරගැනීමට මහින්දට දේශපාලන ඉවක් නොතිබිණිද?

 

වත්මන් ලාංකීය දේශපාලනය තුල ප්‍රවීණතම දේශපාලකයන් අතර වැදගත්ම ස්ථාන හිමිවන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටයි. මෙම දෙදෙනාගෙන්ද ඉතාමත් ශූර සහ කූඨ ඥානයක් සහිත දේශපාලනඥයා ලෙස අපට මහින්ද රාජපක්ෂ මහතා හැඳින්විය හැක. විශේෂයෙන් ඉතාමත් සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් බලයට පැමිණි ඔහු පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට තරම් කාර්යශූර විය. නමුත් දැන් ඔහුගේ දිගවිජය කාලය අවසන් වෙමින් පවතින බවට ලකුණු පෙනෙන්නට පටන් ගෙන ඇත. පැවති පලාත්සභා ඡන්ද වලින් දිනෙන් දිනම සුළුජාතික ඡන්ද රජයෙන් ඉවත්වන සෙයක් පෙන්නුම් කිරීම, තමන්ගේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ඉවත්වී ප්‍රධාන ප්‍රථිවාදියා වීම සහ පක්ෂයේ ජනප්‍රිය චරිත ඇතුළු රජයට සහයෝගය දැක්වු අනෙක් පාර්ශවයන් ඉවත්ව යෑම මෙයට සාධක වේ.

 

ඇත්තෙන්ම දිනෙක මෙවන් තත්වයක් උදාවන බැව් ජනපති මහින්ද නොදැන සිටියේද? මගේ අදහස නම් ඔහුට අනතුරු ඇඟවීම් ලැබෙද්දීත් උද්දච්ඡ කමින් සහ කේවට්ඨයන්ගේ උපදෙස් ගනිමින් ඒ නොසලකා හැරි බවයි. දැන් මහින්දට සිදුවී තිබෙන්නේ ගිලෙන නැවෙන් පැන යන අයට “අනේ යන්න එපා!” යැයි පිංසෙන්ඩු වෙන්නටය. දොල පිදේනි දෙන්නටය. එසේ දොලපිදේනි දුන්නද දොලපිදේනිද රැගෙන විපක්ෂයට යන තත්වයක් තිබෙන බවට අපට පෙනී යන්නේ අමීර් අලි පත්කළ පාර්ලිමේන්තු මංත්‍රී ධුරයද රැගෙන විපක්ෂයට එක්වීම නිසාවෙනි. ජනපති මහින්දට මෙහෙම තත්වයක් උදා වුයේ ඇයි? ඒ ඔහු එක පොදු න්‍යායක් අමතක කළ නිසාවෙනි. එනම් තමන් කරන සෑම දෙයකටම දිනකදී ප්‍රථිවිපාකයක් ලැබෙන්නට නියමිත බවයි.

 

අලුත්ගම සහ දර්ගා නගරය තුල මුස්ලිම් වරුන්ට පහරදී මහා විනාශයක් ඇතිකළ අවදියේ කැබිනට් රැස්වීමකදී අමාත්‍ය රිශාද් බදියුදීන් විසින් සිද්ධිය සම්බන්ධව රජයේ ක්‍රියාකලාපය දැඩිලෙස විවේචනය කරද්දී ජනපති මහින්ද කළේ කුමක්ද? “උඹ කටවහපං” යැයි තරවටු කිරීමයි. අද මහින්දට එය පාරාවලල්ලක් වී ඇත.

 

ඇත්තෙන්ම පලමුවෙන්ම රජයෙන් ඉවත්වුයේ දේශපාලකයන් නොව අපවැනි සාමාන්‍ය සිවිල් පුරවැසියන්ය. එහිදී දේශපාලනඥයා යනු සාමාන්‍ය ජනතාවගේ නියෝජනය යන්න ජනපති මහින්දට අමතක විය. ඔහු සිතුයේ දේශපාලකයන්ට දොලපිදේනි දීමෙන් සැමදා ජනමතය වෙනස් කළ හැකි බවයි. ඔහු එදා කළදේ අද ඔහුටම පාරාවලල්ලක් වීම දෛවයේ සරදමක්ද?

 

 

2 Comments to “ජනපති මහින්දගේ දේශපාලන සංවේදීතාවය ගිලිහීද!

Comments are closed.