ජවිපෙ සමග මුස්ලිම් කොංග්‍රසය සසැඳීමක්

ජවිපෙ සමග මුස්ලිම් කොංග්‍රසය
ජවිපෙ සමග මුස්ලිම් කොංග්‍රසය

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන නම ඇසෙන විට මුස්ලිම් නොවන අයට නැගෙන මානසික චිත්‍රය නම් මුස්ලිම්වරුන් ඒ අයගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් පවත්වාගෙන යන පක්ෂයක් ලෙසයි. ඇත්තටම මුස්ලිම් කොංග්‍රසය යම් යහපත් දෙයක් කළද අයහපත් දෙයක් කළද බහුතර සිංහල ජනතාව වෙත යන්නේ වැරදි චිත්‍රයකි. මේ නිසා බහුතර සිංහල ජනතාව අතර මුස්ලිම් කොංග්‍රසය ගැන අදහස ජාතිවාදී, ආගම්වාදී සහ අවස්ථාවාදී පක්ෂයක් ලෙසයි. ඇත්තටම මුස්ලිම් කොංග්‍රසය මුස්ලිම්ද? එහි සාමාජිකයින් අනුගමනය කරන්නේ ඉස්ලාමීය ගුණාංගද?

 

කිසියම් සංවිධානයක්/දේශපාලන පක්ෂයක් මුස්ලිම් නම ඉදිරියට දමා පවත්වාගෙන යන්නේ නම් ඔවුන්ට ඉතා දැඩි වගකීමක් ඇත. එනම් මුස්ලිම් යන නාමය අපකීර්තියට පත්නොකර කටයුතු කිරීමයි. නමුත් අද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ක්‍රියාකලාපයන් නිසා මුස්ලිම් ප්‍රජාව මෙන්ම ඉස්ලාම් දහමද අපකීර්තියට ලක්වන බැව් පෙනේ. මෙයට ප්‍රධානතම හේතුව ලෙස මා දකින්නේ මුස්ලිම් කොංග්‍රසය ඉස්ලාමීය දේශපාලන ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකදී භාවිතාවට ගතයුතු ආකාරය කෙසේදැයි නොදැනීම සහ නොකිරීම බව මගේ අදහසයි. ඇත්තෙන්ම මුස්ලිම් ආගමික නායකයින් මේ සඳහා ඉදිරියටවිත් මෙකී දේශපාලන පක්ෂය මෙම කාරණා සම්බන්ධව නිසියාකාරව දැනුවත් කළ යුතුය.

 

ඉස්ලාමය අපට පෙන්වා දෙන පරිදි කෙනෙකු විසින් නායකත්වය තමන්ට නොඉල්විය යුතුය. සමාජය විසින් ඔහුව තෝරාපත් කරගත යුතුය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක අපේක්ෂකයන් විසින් ඡන්දය ඉල්විය යුතුය. මේ නිසා මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂකයන්ද ඡන්දය ඉල්ලති. ඡන්දය අතරතුරදී මනාප සටනේදී බලය ලබා ගැනීම සඳහා එකිනෙකා පොරකති. නමුත් මුස්ලිම් නොවන පක්ෂයක් වුවද ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී ඉස්ලාමීය ගුණධර්ම වලට ආසන්නව කටයුතු කරන බව මගේ අදහසයි. ඔවුන් පුද්ගලයන්ට ඡන්දය නොඉල්ලති. ඔවුන් ඡන්දය ඉල්ලන්නේ පක්ෂයටයි. ඔවුන් සීනුවට කතිරය ගසන්නට පමණක් ජනතාවගෙන් ඉල්ලති. ඒ නිසා ඔවුන්ට මනාප සඳහා පොරයක් නැත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මෙවැනි සම්ප්‍රදායකට යන්න බැරි ඇයි?

 

කලීෆා යනු අනුප්‍රාප්තිකයායි. ඇත්තෙන්ම කලිෆා වරයෙකු යනු මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ අනුප්‍රාප්තිකයායි. එසේ නම් මුහම්මද් (සල්) තුමාණන් අනුගමනය කළ පිළිවෙත සහ ගුණාංග ඔහුවෙත තිබිය යුතුය. එකල ප්‍රාදේශීය දේශපාලකයන් වශයෙන් කටයුතු කළේ කලීෆාවරයාගේ නියෝජිතයන්ය. ඇත්තටම අද සිටින දේශපාලකයන් මුලික වශයෙන් කලීෆා වරයාගේ නියෝජිතයන් මෙන් කටයුතු කළයුතුය. එනම් කලීෆා අනුගමනය කරන මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ ගුණාංග හෙවත් සුන්නාහ්ව ඔවුන්ගේ ජීවිතයේද තිබිය යුතුය. නමුත් අද සිටින මුස්ලිම් දේශපාලකයන් තුල අප ඒ ලක්ෂණ නොදුටිමු. ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් බලයට ඉතා කෑදරය. පක්ෂග්‍රාහීය. කල්ලිවාදීය. සමහර අවස්ථාවල ජාතිවාදීය. ඇත්තෙන්ම මුස්ලිම් නමින් පෙනී සිටිමින් කරන්නේ ඉස්ලාමයට අපහාසයක්ද?

 

එකල කලීෆා වරුන් ගත්තේ තමන්ගේ ජීවන වියදමට සරිලන සුළු වේතනයක් පමණි. ඔවුන් බයිතුල්මාල් වෙතින් ඊට වඩා මුදලක් ගැනීමට බිය විය. එකල සිටි ප්‍රාදේශීය කලීෆාගේ නියෝජිතයන්ද එසේමය. නමුත් අද එසේද? අද මුස්ලිම් කොංග්‍රස දේශපාලකයන් අනෙකුත් මුස්ලිම් නොවන දේශපාලකයන් මෙන් සියළුම වරප්‍රසාද දීමනා ලබති. තවත් වැඩියෙන් ලබා ගැනීමට කේවල්ද කරති. පක්ෂය තුල තමන්ට නිසිතැන නැතැයි දබර කරගනිති. ඇමති තනතුරු නොදුන්නොත් පක්ෂයද හැරයති. අද මුස්ලිම් කොංග්‍රස නායකයාට තම සාමාජිකයන් එක එක පැතිවලට පැනීමෙන් ආරක්ෂා කරගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇත.

 

නමුත් ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලකයන් තම මංත්‍රී වැටුප පොදු අරමුදලකට බැර කරති. ඔවුන් සිය ජීවිකාව සඳහා ගන්නේ පොදු අරමුදල විසින් දෙන සුළු වැටුපකි. ඔවුන් ඇමති ධූර බලාපොරොත්තු නොවෙති. එමෙන්ම බලයට සහ ධනයට කෑදර කමෙන් පක්ෂය හැර නොයති. මුස්ලිම් කොංග්‍රසයට සාපේක්ෂව බලන කල ඔවුන්ගේ පක්ෂය හැරයන සමාජිකයින් ප්‍රමාණය ඉතාමත් අඩුය. ඉදින් මුස්ලිම් කොංග්‍රසය මුස්ලිම්වරු බහුතරයක් ලෙස සිටින පක්ෂය බව අපට පැවසිය හැකි නමුදු ඉස්ලාමයේ දේශපාලනික සංකල්පයට මඳක් හෝ ආසන්නව යන පක්ෂය ලෙස අපට ජනතා විමුක්ති පෙරමුණ හැඳින්විය හැක. ඔවුන්ගේ දේශපාලන දැක්ම එනම් මාක්ස්වාදය අප පිළිනොගනිමු. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ලංකාව තුල ඔවුන්ගේ  දේශපාලන භාවිතාව අප අගය කරමු.        

 

 

6 Comments to “ජවිපෙ සමග මුස්ලිම් කොංග්‍රසය සසැඳීමක්

  1. Muslim Congress is not for Muslim. It is the Party which was earning Money in the name of Islam. It is better to cooperate with JVP. They are not Muslim but their activities are similar to Islam. And this is an old history. I do not know why this Srilankan Muslim Nation are not opening their eyes and brain.

  2. <> මෙම කරුණ ගැන මා සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා පමණක් නොව ඔවුන් මේ නම භාවිතා කරීම ගැන මට ඇත්තේ දැඩි පිළිකුලකි.
    ඔබ කීවාසේ මුස්ලිම් කොන්ග්‍රසය තුල සිටින වැඩි දෙනෙකුට ඉස්ලාම් දහම ගැන කිසිම දැනුමක් හෝ මුලිම්වරුන් ගැන ඔව්නුන්ට කිසිම තැකීමක් නැත. මෙය වඩාත් හොඳින් පෙනී යන්නේ අලුත්ගම සිද්ධියේදීය. එදා පාලිත තෙවරත්පෙරුම මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමට ලිපිය භාර දුන්නත් මුස්ලිම් නායකයින් කියා ගන්නා කිසිවෙකු එවැනි තීරණයකට එළඹුණේ නැත. එබැවින් බොදුබල සේනාවත් දිගින් දිගටම අපට විරුද්ධව ක්‍රියා කළේය.

  3. සහෝ. මට හිතෙන විදිහට ඉස්ලාමයේ දේශපාලනික සංකල්පයට පමණක් නොව අනෙකුත් සංකල්පයන්ටත් ඉතා ආසන්නව යන පක්ෂය ලෙස අපට ජනතා විමුක්ති පෙරමුණ හැඳින්විය හැක..

    ඔබතුමා ඔවුන්ගේ දේශපාලන දැක්මට එකඟ නොවෙන්න හේතුව පැහැදිළි කල හැකිද?

    1. ජවිපෙ යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රටක සමාජවාදී ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමට වෙරදරන පක්ෂයකි. ඔවුන්ගේ මෙම දේශපාලන භාවිතාව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස අර්ථ ගැන්විය හැක. මෙම භාවිතාව සමග ඉස්ලාමීය සංකල්ප ගැටෙන්නේ ඉතාමත් මද වශයෙනි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරන දේශපාලන දර්ශනය මාක්ස්වාදයයි. මාක්ස්වාදයෙහි ඉස්ලාමයට අනුව එකග විය නොහැකි කරුණු රැසක් ඇත. එහි අදේවවාදය හා බැදුණු කරුණ රැසක් ඇත.

  4. මුස්ලිම් කොංග්‍රසය දූෂිත සමිතියක් බවට සැකයක් නැත. නමුත් ජ.වී.පෙ. මේ ලිපියෙන් පෙන්වාදෙන තරම් සුදන පක්ෂයක් ලෙස මම පිලි ගන්නේ නැත. කලක් ඔවුන්ගේ සාමාජිකයන් හැසිරුනේ අන්තම අන්තවාදී හිවල් රැලක් ලෙසයි. මිනී මැරීම් වධදීම් යනාදී බලු වැඩ ඔවුන් කරේ තෘප්තියකින්ය. ඒ කාලකන්නි පුරුද්ද තවමත් මේ පක්ෂයේ කුක්කන් විසින් පවත්වාගෙන යන්නේ සරසවි වල නවක-“වධය” ලෙසයි. එනම් ඒ කාලේ මෙන්ම මේ කාලයේත් මේ පක්ෂයේ ක්‍රියාකාරීන් කටයුතු කරන්නේ නොමිනිස් ආකාරයෙන්ය. සරසවි වල වධ විඳ, මොළ ශෝධනයට ලක්වෙන අලුත් පරම්පරාවන් පක්ෂයට ගැති කුක්කන් ලෙස එකතු වෙති.

    //නමුත් ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලකයන් තම මංත්‍රී වැටුප පොදු අරමුදලකට බැර කරති. ඔවුන් සිය ජීවිකාව සඳහා ගන්නේ පොදු අරමුදල විසින් දෙන සුළු වැටුපකි. ඔවුන් ඇමති ධූර බලාපොරොත්තු නොවෙති. එමෙන්ම බලයට සහ ධනයට කෑදර කමෙන් පක්ෂය හැර නොයති. //

    ජවිපෙ අමනුෂ්‍ය ක්‍රියාකලාපය මිනිසුන්ට තවම මෑතක තිබෙන බැවින් ඔවුන්ට තවම මේ කියන කරණං ගැසීම අපහසුය. ඔවුන්ගේ පක්ෂය බලවත් වුවහොත් අනෙක් පක්ෂවල තිබෙන බලු වැඩ මොවුන්ද එළිපිටම කරනු ඇත.

Comments are closed.