අන්දහම් සමග සහජීවනයෙන් කටයුතු කළ බුදුන්වහන්සේ!

ආර්ය අශ්ඨාංගික මාර්ගය

අද සමහර භික්ෂුන් වහන්සේලා අන්‍යආගමිකයන් සම්බන්ධව කතා කරන ආකාරය දෙස බලන කල බෞද්ධ නොවන අය තුල ඇතිවන්නේ බුදු දහම කෙරෙහි නොපහන් තත්වයකි. ඇතැම් අන්තවාදී සංවිධාන හා විවිධ වෙබ් අඩවි මගින් සිංහල හා මුස්ලිම් ජනයා අතරේ අති භයානක වෛරයක් ගොඩනැගීම සඳහා බුදු දහම හා තවත් අසත්‍ය තොරතුරු යොදා ගනිමින් සිටිති. එදා බුදුන් වහන්සේ අනෙකුත් ආගම් සහ ආගමික නායකයන් සමග කෙසේ සහජීවනයෙන් කටයුතු කලේද? අද මේ අන්තවාදී සංවිධාන අනුගමනය කරන්නේ ඒ බුදුන් වහන්සේ අනුගමනය කළ පිළිවෙතද? ඒ සම්බන්ධව විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

මෙම අන්තවාදී සංවිධානයන් වෛරය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියට අවාසනාවට මෙන් බුදු දහම හා බුදුන් වහන්සේව උපයෝගී කරගැනීම මෙරට සියළු බෞද්ධයින්ගේ කෝපයට හේතුවන කරුණක්ව ඇත. සැබැවින්ම මොවුන් බෞද්ධයින්ද නැතිනම් බෞද්ධ කම ආලේප කරගත් බෞද්ධ විරෝදීන්ද යන්නද සැකසහිතය. මොවුන්ගේ ක්‍රියාකාරකම් නිසා දහමට හා බුදුන් වහන්සේට මොවුන් විසින් අති විශාල අපහාසයක් ඇති කර දී තිබේ.  පහතින් ධම්ම පදයෙන් උපුටා දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරවන ලෙස බුදුදහමේ නාමයෙන් වෛර වපුරන්නට උත්සාහ කරණ ඊනියා වීරයන්ට ආරාධනා කරන්නට කැමැත්තෙමු.

අක්කොච්ජි මං, අවධි මං,

අජිනි මං, අහාසි මෙ

යෙ තං උපනය්හන්ති

වෙරං තේසං න සම්මති

අර්ථය: “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර බඳිත්ද ඔහුගේ වෛරය නොසංසිදේ.

 

අක්කොච්ජි මං, අවධි මං,

අජිනි මං, අහාසි මෙ

යෙ තං උපනය්හන්ති

වේරං තෙපු පසම්මති

අර්ථය: “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර නොබඳිත්ද ඔහුගේ වෛරය සංසිදේ.

 

න හි වෙරෙන වේරානි

සම්මන්තීධ කුදාචනං

අවෙරෙන ව සම්මන්ති

එස ධම්මො සනන්තනො

අර්ථය: මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.

මෙලෙස බෞද්ධ ඉගැන්වීම් අලංකාර ලෙස වෛරය ඉවත්කොට අවෛරයෙන් යුත් සුහදවූ සමාජයකට මග පෙන්වද්දී බුදුන් වහන්සේට හා උන් වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ මිනිසා ඉදිරියේ තැබූ කරුණා, මෛත්‍රි, මුදිතා හා උපෙඛ්කා මත පදනම්වූ දහමට  අපහාසයක් වන අයුරින් මෙම වෙබ් වීරයන් කටයුතු කිරීම ගැන සැබෑ බෞද්ධයන්ට නිහඬ නිරීක්ෂකයන් බවට පත් විය හැකිද?

ජන සම්මුතිය ගොඩ නැගීම සදහා භාග්‍යවතුන් වහන්සේගේ මැදිහත්වීම් කිහිපයක් පහතින් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමු. රෝහිනී නදියේ ජලය පිලිබඳව ශාක්‍ය හා කෝලීය වංශිකයින් අතරේ ඇතිවෙන්නට ගිය මහා යුධ තත්වය දැනගත් උන්වහන්සේ නිහඬව සිටියේ නැත. වහාම දෙපාර්ශවයම කැඳවා අත්තදන්ඩ සුත්තය දේශනා කොට ඔවුන්ගේ ක්‍රෝධය හා වෛරය ඉවත්කොට සම්මුතියක් ඇති කරන්නට මැදිහත්වුහ. භාග්‍යවතුන් වහන්සේ එන්දන ජාතක, දද්දහ ජාතක, ලටුකික ජාතක, හා වට්ටක ජාතක යන මෙයින් දම් දෙසා ශාක්‍ය හා කෝලීය රජුන් සමගි කරවූ සේක. මෙයයි අලංකාර බෞද්ධ පුර්වාදර්ශය. අද රටට අවශ්‍යවී ඇත්තේ මෙම මෙවන් මඟ පෙන්වීමක සුවයයි.

බුදුන් වහන්සේගේ පින්බර පා පහස ලක්මවට තෙවරක් ලැබුණු බව ඉතිහාසය අපට පවසයි. මෙයින් දෙවරක්ම විසම්මුතිය, ක්‍රෝධය, වෛරය ඉවත්කොට සාමය හා සම්මුතිය ස්ථාපිත කිරීම සඳහාම විය. දැනට මහියංගන චෛත්‍ය පිහිටි තැනට දුරුතු මස පසළොස්වක පොහෝ දින වැඩම කොට මහවැලි ගඟ අසබඩ මහානාග වනයෙහි කඳවුරු බැඳ දෙපක්ෂයක්ව සංග්‍රාමයට සුදානම්වූ යක්ෂ ගෝත්‍රිකයින්ව පලවා හැර, ඇති වෙන්නට ගිය මහා විනාශයක් උන් වහන්සේ  වලක්වා ලු සේක.

බක් මස පසළොස්වක්දා දෙවෙනි වරට ලක් බිමට බුදුන් වහන්සේ  වැඩියේ චුලෝදර මහෝදර නම් නා රජුන් අතර මිණි පළඟක් නිසා ඇති වෙන්නට ගිය මහා යුද්දය වළකා කාකෝලුක ජාතක, එන්දන ජාතක, ලටුකිම ජාතක, හා වට්ටක ජාතක යන මෙයින් වෛර බැඳීමේ දෝෂ හා සමගියේ අනුහස්ද පැහැදිලිකොට සාමය හා සම්මුතිය ඇතිකරවීම පිණිසය.

මෙම ශ්‍රේෂ්ඨ හා අලංකාර පුර්වාදර්ශයන්ගෙන් අප ඉගෙන ගන්නේ කුමක්ද? බෞද්ධයින් ලෙසින් අපට මෙම ඉගැන්වීම් වලට පටහැනිව හා අපහාසයක් වන ලෙසින් කටයුතු කල හැකිද?

සුත්ත පිටකයේ දීඝ නිකායේ පළමු සුත්තයවූ බ්‍රහ්මජාල සුත්තයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?

භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.

බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරනා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ”

ඉහත බුද්ධ භාෂිත දේශනය අපට උගන්වන්නේ කුමක්ද? අප මෙම ඉගැන්වීම් අද අනුගමනය කරමින් සිටින්නේද? අපගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් තුලින් සැබෑ බුදු දහම විචිත්‍ර වන්නේද? කරුණා කර සිතා බලන්න.

සාමයික සහජීවනය

සාමයික සහජීවනය යනු අන්තර් ආගමිකයින් හා අන්තර් ජනවාර්ගිකයින් අතර පවත්වාගෙන යායුතු යහ සම්බන්ධතාවයයි. බුදු දහම බිහිවූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වනවිට භාරත දේශයේ මහාපරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුනේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරුකළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මකවිය. මේ අතර ෂට් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සම්ප්‍රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කල දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ.

මේ කාලයේ බුදුන් වහන්සේ සමගද වාද කිරීමට ඇතැම් බ්‍රාහ්මණ පඬිවරු පැමිණියහ. එවැනි මහා තාර්කිකයෙකි සච්චක බ්‍රාහ්මණයා. බුදුන් වහන්සේ මෙම සංකීර්ණ ආගමික රටාවේදී ක්‍රියා කලේ සාමයික සහජීවනය තහවුරු කරන ආකාරයටය. බුදුන් වහන්සේ මෙහිදී ප්‍රකාශකර සිටියේ හැම දෙයකම යථා භුතය හෙවත් යතාර්ථය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කරගත යුතු බවය. බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්තවී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙලා දැකීමට ඉදිරිපත් නොවුහ. එසේම ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ ඉගැන්වීම්වල ඇති යහපත් ගුණාංග බුදුන් වහන්සේ අගය කළහ. උන්වහන්සේ නොයෙක් ආගමික ගුරුවරුන් වෙත ගියහ. ඔවුන් සමග සතුටු සාමීචියෙහි යෙදී සිටියහ. ඇතැම් ආරාමවලට බුදු රදුන් වැඩම කරවූ අවස්ථාවේ ඒ ආගමික ගුරුවරු තම ශිෂ්‍යයන් නිහඬ කරවා උන්වහන්සේව ගෞරවයෙන් පිළිගත්හ.

චුල සකුළුදායි පරිබ්‍රාජක ගුරුවරයා බුදුන් වහන්සේ තම ආරාමයට වැඩම කරනවා දැක සිය ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවීය. එසේම බුදුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ ආරාමයටද වරින් වර වැඩම කළහ. කලකට පසුව තම ආරාමයට බුදුන් වඩිනු දුටු වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඉදිරියට ගොස් උන්වහන්සේව පිළිගෙන එන්න ස්වාමීනි, බොහෝ කාලයකින් මෙහි වැඩියේ, මෙන්න ආසනය, ඉදිගන්නැයි ගෞරවාන්චිතව ප්‍රකාශ කර සිටියේය (තේවිජ්ජ වච්ඡගොත්ත සුත්ත – මජ්ජිම නිකාය). ආගමික මතභේද මත විරසකවී සිටි මේ යුගයේ බුදුරදුන් අනුගමනය කළ ආගමික සහනශීලිතාවය කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. එයින් පැහැදිලිවන්නේ බුදුරදුන් කිසිම ආගමික සම්ප්‍රදායක් හෙලා නොදුටු බවය.

ආගමික නිකායයන් අතර බොහෝ විට මත ගැටුම් ඇතිවන්නේ එක් ආගමක් අත්හැර අනිත් ආගම වැළඳ ගැනීමේදීය. බුදුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ප්‍රසාදයට පත් ප්‍රධාන පෙළේ ජෛන ශ්‍රාවකයන්  දෙදෙනෙකුවූ උපාලි ගෘහපතියා සහ සීහ සේනාපතියා බුදුන් සරණ යාමට ඉල්ලා සිටි විට උන්වහන්සේ ප්‍රකාශ කළේ ඉක්මන් නොවන ලෙසය. එහෙත් බුදුන් සරණ යාමට අවශ්‍ය බව ඔවුහු දැඩි ලෙස කියා සිටියහ. මෙහිදී බුදුන් වහන්සේ ඒ දෙදෙනාට කොන්දේසියක් ඉදිරි පත් කළහ. එම කොන්දේසිය තමන් බුදුන් සරණ ගියත් ජෛන ශාස්තෘවරයාට කළ සැළකිලි සංග්‍රහ ආදිය එසේම පවත්වාගෙන යාමට ක්‍රියා කළයුතු බවය. ඔවුහු එය පිළිගත්හ.

උදුම්බරික සීහනාද සුත්තයෙන්ද බුදුන් වහන්සේගේ ආගමික සහනසීලිතාවය මැනවින් ප්‍රකට වෙයි. එහිදී උන් වහන්සේ “නිග්‍රෝධය, මා වරදවා තේරුම් ගන්න එපා. මා ධර්ම දේශනා කළේ කරුණු පැහැදිලි කර දීමටයි. ඔබ මාගේ ධර්මයට හරවා ගැනීමට නොවේ” යැයි ප්‍රකාශ කළහ. එයින් පැහැදිළි කළේ තමන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ අන්‍යාගමිකයන් තමන්ගේ දහමට හරවා ගැනීමට නොව ඔවුනට කරුණු කාරනා පැහැදිළි කරදීමට බව පැහැදිළි වෙයි. එහිදී බුදුන් වහන්සේ තව දුරටත් කරුණු පැහැදිලි කරමින්, ඔබේ ගුරුවරයා හෝ ඔබ හෝ විවේචනය කිරීමට මට අවශ්‍යතාවයක් නැත. ඒ සියල්ල දැනට තිබෙන විදියටම තිබේවා යැයි ද දන්වා සිටිසේක. මෙයින් පැහැදිළි වන්නේ බුදුන් වහන්සේ යහමග පෙන්වීමට දහම් දෙසු බවත් අන්‍යාගමිකයින් තමන් වෙතට හරවා ගැනීම පදනම කරගෙන දහම් නොදෙසූ බවත්ය.

ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමිකයෙකුට කවර වූ හෝ කාරණයක් උන්වහන්සේ පැහැදිළි කර දුන්නේ කාරුණිකත්වයෙන් හා මුදු මොලොක් භාවයෙන් යුක්තවය. උන්වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්‍රකෝපයට පත් නොකළහ. පැරණි බ්‍රාහ්මණ ආර්යවරු අභිඥාලාභීන් නොවුවද ඔවුන් සීලය හා සෘජු බව මැනවින් ප්‍රකාශ කළ අය හැටියට බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. එසේම, බුදුන් වහන්සේගේ ගෞරවයට පාත්‍රවූ වෙනත් දෘෂ්ටි අනුගමනය කළ අය වුහ. ජෝතිපාල, හත්තිපාල, කුද්දාලක, ආරක, සුනෙත්ත, යන ගුරුවරුන්ගේ ඉගැන්වීම් අනුගමනය කළ බොහෝ දෙනා ස්වර්ගගාමී වූ බව බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත.

ඔවුන් කාමභෝගී ජීවිතයෙන් වෙන්වූ අය වශයෙන් උන්වහන්සේගේ ගෞරවාදරයට පාත්‍ර වුහ. බුදුන් වහන්සේගේ ආගමික සහනසීලි තාවයෙන් පැහැදිළි වන්නේ සියළුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වුයේ මිත්‍රශීලී සුහද ආකල්පයකි. දීර්ග වශයෙන් බුදු දහමේ සාමයික සහජීවනය පිළිබඳව කරුණු සාකච්චා කරන්නට අදහස් කෙරුවේ බුදුන් වහන්සේ හා උන්වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ දෙසු දහම විකෘත කරමින් සමාජයේ වෛරය හා ද්වේශය වපුරන්නට වර්තමානයේ පිරිසක් ඉදිරිපත් වී ඇති හෙයිනි. අපට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට යුධ කරන්නට සිදුවුයේ ද්‍රවිඩ ජනයා සමග තිබු වෛරයක් නිසා නොවන බව සැවොම ඉතා හොඳින් දන්නා සත්‍යයකි. බුදු දහම හැම විටම අගය කරන්නේ කරුණාව හා මෛත්‍රිය පදනම් කරගත් සාමයයි. යුද්ධය තුලින් කෙනෙකුට ජය අත්වෙයි. එම ජයග්‍රහණය තවත් කෙනෙකුගේ වෛරය සඳහා හේතුවෙයි. පරාජිත පුද්ගලයා හැම විටම දුකට පත්වෙයි. එය යුද්ධයේ ස්වභාවයයි. බුදුන් වහන්සේ ඒ බව ධම්ම පදයෙහි දේශනා කර වදාළේ මෙසේය:

ජයං වෙරං පසවති

දුක්ඛං සෙති පරාජිතෝ

උපසන්තෝ සුඛං සෙති

හිත්වා ජය පරාජයං

අර්ථය: ජය ගන්නා පුද්ගලයා අනුන්ගේ වෛරය තමා වෙත යොමු කරවයි. පැරදුනු පුද්ගලයා දුකසේ වෙසෙයි. ජය පරාජය දෙකම අත්හැර සංසිඳීමට පත් පුද්ගලයා සුවසේ වාසය කරයි.

බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර වදාළ අයුරු ක්‍රෝධය, වෛරය පැරදවීම සඳහා කළයුතු ක්‍රියා මාර්ගයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

අක්කොධෙන ජිනේ කෝධං

අසාධුං සාධුනා ජිනේ

ජිනේ කදරියං දානෙන

සච්චෙන අලිකවාදිනං

අර්ථය: ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම් යම් දේ දීමෙන් ජයගත යුතුය. බොරු කියන්නාව ඇත්ත කීමෙන් පැරදවිය යුතුය.

දැනට වෛරය වැපිරීම සඳහා වෙබ් අඩවි මගින් කරගෙන යන්නාවූ ක්‍රියාවන් පිළිබඳව බුදු දහම පදනම් කරගෙන එහි ඇති මිනිසත් භාවයට නොහොබිනා තත්වය පැහැදිළි කරන්නට කරුණු ඉදිරි පත් කළෙමු. සැබැවින්ම  මෙම වෙබ් අඩවි කාරයින් බුදු දහමේ නාමයෙන් දැනට කරගෙන යන්නාවූ අසත්පුරුෂ ක්‍රියාවෙන් අපහාසයට ලක් කර ඇත්තේ බුදුන් වහන්සේව හා බුද්ධ ධර්මයයි. බුදු දහම ත්‍රස්තවාදී දහමක් ලෙස මොවුන්ගේ ක්‍රියාකාරකම් මගින් ලෝකයාට හුවා දක්වා ඇත. මෙම තත්වය වහාම නැවැත්වීමට බලධාරීන් මෙන්ම සාමයට කැපවූ සියළු ලාංකීය ජනයා කටයුතු කළයුතුව ඇත.

යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතල ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන දේශ ද්‍රෝහීන්ව හඳුනා ගනිමු, බුදුන් වහන්සේට හා බුදු දහමට අපහාස කරමින් බෞද්ධ වෙස් ගත්තු අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නැවත්වීමට වහාම ක්‍රියාකරමු. පශ්චාත් යුධ සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතුව ඇත.  වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත්වියහැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවතලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුල සියළු කරුණු සාමකාමීව විසඳා ගැනීමට අධිෂ්ටාන ශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියළු දරුවන් එකට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.

 

ඉබ්නු මන්සුර්

 

 

 

 

 

3 Comments to “අන්දහම් සමග සහජීවනයෙන් කටයුතු කළ බුදුන්වහන්සේ!

  1. මේ ස්වාමින් වහන්සේලාගේ වැඩපිලිවෙල බුද්දාගමට අනුව නැති බව බුද්දාගමික අය දන්නවා. ඒත් ඒ ස්වාමින් වහන්සේලා බුද්ද සිවුර ඇද කියන දේ ඔවුන් විස්වාස කරනවා. අපේ සමහර අය කරන වැරදි නිසා ඒක වයිරයක් වෙලා පරස්න වලට මුල වෙනවා. අපේ සමාජයේ මේ ගෙන කතා කර යුතුය. දෙමලෙන් ආටිකල් විඩියෝ වලින් සමාජයට කතා කර යුතු වෙනවා.

  2. ඇත්ත වශයෙන්ම ලංකාවෙ බුද්ධාගම ප්‍රධාන ආගම උනාට එය රැකීමට නිසි වැඩපිළිවෙලක් නැතැයි කිව යුතුයි.හේතුව යම් චීවර දාරියෙකු අබෞද්ධ කටයුත්තක් කලොත් ඔහුට කිසිම දඬුවමක් නෑ. දහමට පටහැනි දේවල් අනන්තවත් සිදුවෙද්දී ඒවාට විරෝදය පලකරන ගිහොයෝද නැත, පැවිද්දෝද නැත. අද පන්සල් තුලම නොයෙකුත් අශිලාචාර දේවල් සිදුවෙනවා. ඒවා මෙහි කියන්නත් ලැජ්ජයි. එසේ තිබියදීත් ඒවාට විනය ක්‍රියා නැත. බුද්ධාගම වෙනුවෙන් කියමින් අන්‍ය ආගම වලට නොයෙකුත් අවලාද සහ චෝදනා නැගුවත් ඒවා ගැන කිසිම් සොයා බැලීමක් නැත. මේ නිසා එසේ කරන උදවිය තව තවත් දෛරිය මත් වෙති.

    1. එකට හේතුව බුද්දාගම තුල බල කිරීමක් නැත.එසේ වරදවා සමාජය නොමග හැර,නෙවතත් එය වැරදි බව අවබෝද කර පිං අනුමොදන්ග් කරලා ඔහුට නැවත නිර්වාණය කරා යන්ට පුළුවන්.නමුත් ඔහුගේ බන වලින් නොමග ගිය කෙනාට අබ සරනය්.

Comments are closed.