කාන්තා ඇඳුම සම්බන්ධව බුදු දහමේ මතය සමග හිජාබ් ගැලපෙනවාද?

කාන්තා ඇඳුම සම්බන්ධව බුදු දහමේ මතය සමග හිජාබ් ගැලපෙනවාද?

අද මුස්ලිම් කාන්තාවගේ ඇඳුම දෙස ඇඟිල්ල දිගුකරන බොහෝ අන්‍යාගමිකයන් තමන්ගේ දහමෙහි කාන්තා වස්ත්‍රය සම්බන්ධව දක්වා ඇති කරුණු පවා නොදන්නා අය බව අපගේ වැටහීමයි. මේ සඳහා මුලිකවම වගකිවයුත්තේ එම දහම ජනතාව වෙත ගෙනයන දේශකයන්ය. ඉදින් මුස්ලිම් කාන්තා වස්ත්‍රය දෙසට වාග් ප්‍රහාර එල්ල කරන්නන්ව මෙල්ල කිරීමට අපට ඔවුන්ගේ දහම් වල කාන්තාව සම්බන්ධව දක්වා ඇති කරුණුද සොයා බැලීමට සිදුව ඇත. මේ බුදු දහමෙහි ඒ සම්බන්ධව ඇති කරුණුය. මැදහත් ජනතාව මෙම කරුණු සම්බන්ධව විචාරශීලිව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.

බෞද්ධ භික්ෂුණියක්
බෞද්ධ භික්ෂුණියක්

 

පළමුව මහා පරිනිබ්බාන සුත්‍රයේ (සුත්‍ර පිටකය – දීඝ නිකාය) ස්ත්‍රීන් පිළිබඳව පිරිමින් හැසිරිය ආකාරය අනුව බුද්ධ භාෂිත දේශනය කුමක්දැයි විමසා බලමු.

“අනඳ තෙර : ස්වාමීනි, අප ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු ද?

භාග්‍යවතුන් වහන්ස : ආනන්ද, හැකිනම් නොදැක සිටීම යෙහෙකි

අනඳ තෙර : ස්වාමීනි, දැක්කොත් පිළිපදින්නේ කෙසේ ද?

භාග්‍යවතුන් වහන්ස : ආනන්ද, කතා නොකර සිටීම යෙහෙකි

අනඳ තෙර : ස්වාමීනි, කතා කළොත් කෙසේ පිළිපැදිය යුතු ද?

භාග්‍යවතුන් වහන්ස : ආනන්ද, සිහි පෙරදැරි කර ගැනීම යෙහෙකි”

(මහා පරිනිබ්බාන සුත්‍රය – දීඝ නිකාය) ඇති හෙයින්

 

ඉස්ලාමයේ කාන්තා ඇඳුම සැකසී ඇත්තේ බාහිර පිරිමින්ට තමන් ව දැකීමට නොහැකි ආකාරයකිනි. කාන්තාවගේ වඩාත් ආකර්ෂණීයත්වයක් ඇත්තේ ඇගේ වතෙහිය. ඇතැම් මුස්ලිම් කාන්තාවන් තමන්ගේ මුහුණු ආවරණය කර ගන්නේ ප්‍රධාන වශයෙන් ම හේතු කිහිපයක් පදනම් කර ගෙනය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පිට ස්ත්‍රීන් නොදැක සිටීම සුදුසු යැයි වදාරා ඇති හෙයින් පිටස්තර පිරිමින්ගෙන් තමන්ව ආරක්ෂා කර ගැනීම පිණිස ඇගේ වඩාත් ආකර්ෂනීයත්වයක් ඇති මුහුණ ඇතුළුව ශරීරය වසා ගැනීම මුස්ලිම් ස්ත්‍රීන් කරන විට එයට අවලාද නැගීම සත්‍යවශයෙන් ම බුද්ධ දේශනයට අවලාද නැගීමක් ලෙස ඔබට නොපෙනේ ද?

 

මෙම දේශනයෙන් ඉදිරිපත් කොට ඇති කරුණු අනුව හැඟෙන්නේ පිට ස්ත්‍රීන් පිළිබඳව කටයුතු කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත බව යන්න අපගේ මතයයි. තම මව, බිරිඳ, දියණිය හා සහෝදරිය වැන්නන් සමඟ මෙවන් කරුණු අදාළ නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලි වන කරුණකි. ඉස්ලාමයේ ද පිරිමියෙකුට විවාහ වීමට අනුමත නැති ස්ත්‍රීන් ‘මහ්රම්’ යනුවෙන් හැඳින් වේ. ඉහත බුද්ධ දේශනය අනුව ස්ත්‍රිය සමග කටයුතු කිරීමේ දී සිහි පෙරදැරි කර ගැනීම අවශ්‍ය බව දක්වා ඇත. මෙයින් හැඟෙන කරුණු ඉතා අලංකාර ලෙස මහාචාර්ය රේරුකානේ චන්ද විමල නාහිමි විසින් බෞද්ධ ඉගැන්වීම් පදනම් කරගෙන විග්‍රහ කොට ඇති ආකාරය පහතින් උපුටා දක්වා ඇත්තෙමු. ස්ත්‍රිය තමන් ව ආවරණය කර ගැනීම තුලින් තමන්ව ආරක්ෂා කර ගන්නා අතර තමන් අභිමුවට එන පිරිමින්ගේ චිත්ත තැන්පත්භාවයට ද උපකාරී වන බව පහත විග්‍රහය තුළින් අපට ඉතා පැහැදිලි අයුරින් වටහා ගැනීමට හැකි වනු ඇත.

 

“පෘතග්ජන පුද්ගලයන්ට ලස්සන තරුණියන් ගැන ඇසු පමණින් වුව ද කාම රාගය ඇති වේ. එයට හේතුව ඔවුන් තුළ කාම රාගය නමැති ක්ලේශය යටපත් ව තිබීම ය. ධර්ම විභාග නොදත් පුද්ගලයෝ තමන් තුළ කෙලෙස් ඇති වුව ද ඒ ඇති වුන දේවල් කෙලෙසුන් බව නො දනිති. ශෝභන තරුණිය දුටු තරුණයා කෙරෙහි තරුණිය ගැන ආදරයක් ඇති වේ. ඇය නැවත නැවත දැකීමේ ආශාවක්, ඇය හා කතා කිරීමේ ආශාවක්, ඇගේ සිත් ගැනීමේ ආශාවක් ඇයට සංග්‍රහ කිරීමේ ආශාවක් ඇති වේ. තරුණයා තුළ ඇතිවන ඒ ආදරය හා ආශා රාශිය කාමරාගය නමැති ක්ලේශය ය. ස්ත්‍රී රූපයේ නිසරු බව සැලකීමෙන් හෝ රාගයේ ආදීනවය සැලකීමෙන් හෝ අන් වැඩක යෙදීමෙන් හෝ ඒ නැගී සිටි කාමරාගය නමැති ක්ලේශය යටපත් නො කළහොත් එය වැඩී ක්‍රියාකාරී භාවයට පැමිණෙන්නේය. ඔහු දුටු තරුණිය වෙත යන්නේ ය. ඇය හා කතා කරන්නේ ය. එයට විරුද්ධ වන අය හා කලහ කරන්නේ ය. ඇය සතුටු කිරීම සඳහා ප්‍රාණවධාදී නොයෙක් පව්කම් ද කරන්නේය. ඒ කාමරාගය නමැති ක්ලේශය ක්‍රියා කරන අවස්ථාව ය. කියන ලද ක්‍රමයෙන් සියලු කෙලෙසුන්ගේ ම අවස්ථා තුනම තේරුම් ගත යුතුය. පත්ලෙහි මඩ ඇති ලිඳේ ජලය නො කැළඹෙන තෙක් පිරිසිදු ය. එමෙන් එක් දහස් පන්සියයක් කෙලෙසුන් සිතෙහි යටපත් වී ඇත ද ඒවායින් කවරක් හෝ නැඟී එන තුරු සිත පිරිසිදු ය. සිත අපිරිසිදු වන්නේ නැඟී සිටියාවූ ද ක්‍රියාකාරිත්වය ට පැමිණියා වූ ද කෙලෙසුන්ගෙනි. කෙලෙස් යටපත් වී පවත්නා තෙක් පුද්ගලයාගෙන් පාපයක් නො කෙරේ. සියලු ම පව් කෙරෙන්නේ නැඟී සිටියා වූ කෙලෙසුන් නිසාය”. (‘කෙලෙස් එක් දහස් පන්සියයක්’ – මහාචාර්ය රේරුකානේ චන්ද විමල මහා නාහිමි – 5 වැනි පිටුව)

 

දීඝ නිකායෙන් උපුටා දැක් වූ ඉහත බුද්ධ දේශනය අනුව ස්ත්‍රිය නොදැක සිටීම යෙහෙකි. ස්ත්‍රිය තම ශරීරය වසා ගැනීම ඉස්ලාමයේ පමණක් නොව බුද්ධ දේශනයට ද අනුකූලත්වයක් අත්තක් බව මෙයින් පැහැදිලිව පෙනෙන්නට ඇත. ස්ත්‍රිය දැකීම යනු ඇගේ මුහුණ දැකීමයි. මුහුණ වසා ගැනීම වෛකල්පිත ක්‍රියාවක් බව ඉස්ලාමීය ඉගැන්වීම කෙතරම් ඉහත දේශනයට සමීප ද යන්න කරුණාකර සිතා බලන්න. ස්ත්‍රියගේ මුහුණ වසා ගැනීම හෝ අනෙකුත් ස්ත්‍රී වස්ත්‍ර පිළිබඳ ඔබ නගන්නා වූ සියලු අවලාද බුදුන් වහන්සේ වෙතත් බුද්ධ දේශනය වෙතත් නගන්නා වූ අවලාදයක් නොවන්නේ ද කියා කරුණාකර සිතා බලන්න. කරුණාකර උඩ බලා කෙල නොගසා ගන්න. එසේ කළ විට එය ඔබේ මුහුණේම පතිත වන බව මා අමුතුවෙන් කිව යුතු නොවෙයි. සීමාවන්ගෙන් පාලනය නොවන ස්ත්‍රී පුරුෂ හැසිරීමේ ආනිසංසය රේරුකානේ මහා නාහිමි විසින් ඉතා අලංකාර අයුරින් විග්‍රහ කොට ඇත. අනෙකුත් ඉගැන්වීම් වෙත අවධානය යොමු කරමු.

“ආරාමසීලා උය්යානං නදී ඤාති පරකුලං

දුස්සමන්ඩන මනුයුත්තා යාචිත්ථි මජ්ජපායිනි.

යාව නිල්ලොකන සිලා යාව පද්වාරඨායිනි,

නවහි එතෙහි ඨානෙනිපදොස මාහරන්ති ඉත්ථියො”

(කුණාල ජාතකය)

 

අර්ථය පහතින් දක්වා ඇත්තෙමු.

ස්ත්‍රීන් විසින් සැමියාට වරද කරන කරුණු නවය.

  1. සැමියාගේ අවසරයක් නැතිව ආරාමයන්ට යන්නාවූ ද
  2. සැමියාගේ අවසරයක් නැතිව උයන් වලට යන්නාවූ ද
  3. සැමියාගේ අවසරයක් නැතිව ගංගා සමීපයට යන්නා වූ ද
  4. සැමියාගේ අවසරයක් නැතිව නෑ ගෙවලට යන්නා වූ ද
  5. සැමියාගේ අවසරයක් නැතිව අනුන්ගේ ගෙවලට යන්නා වූ ද
  6. වස්ත්‍ර අලංකාර කිරීමෙහි යෙදෙන්නා වූ ද
  7. මත්පැන් පානය කරන්නා වූ ද
  8. නිතර කවුළු ආදියෙන් පිටත බලන්නා වූ ද
  9. තමා ගේ අවයව දක්වමින් දොරකඩ වෙසෙන්නා වූ ද

ස්ත්‍රීහු මේ කරුණු නවයෙන් සැමියාට වරද කෙරෙති.

(මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් ලියන ලද “බුද්ධ නීති සංග්‍රහය” ග්‍රන්ථයේ 154 වැනි පිටුවෙන් උපුටා ගන්නා ලදී).

 

“පෙකණිය නොදක්වා සළු ඇඳ බොලට දක්වා

නොපවතන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා

නොකියා සිය හිමිට නැතිව ද උතුරු සළුපට

ගමන් ඉක්මන් කොට නොයන් නුඹ වසන ගෙන් පිටතට” (කාව්‍ය ශේඛර – ශ්‍රී රාහුල හිමි)

 

ඉහත සඳහන් කළේ අප විසින් සොයාගත් කරුණුය. සමහර විට බෞද්ධ විද්වතුන්ට මෙම කරුණු වලට තව යමක් එක්කළ හැකිවනු ඇත. ඉහත සම්බන්ධ කරුණු අනුව නම් කාන්තා වස්ත්‍රය සම්බන්ධව ඉස්ලාමයේ මතය සහ බොදුනු මතය නොගැටෙන බව අපගේ අදහසයි.

 

ඉබ්නු මන්සුර්

 

 

සංස්කාරක සටහන:

ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවට උගන්වා තිබෙන්නේ බාහිර වස්ත්‍රය එනම් හිජාබ් ආකර්ශනය නොවන ආකාරයකට අැදීමටයි. නුතන මුස්ලිම් කාන්තාවන් බහුතරයක් කළු පැහැති වස්ත්‍ර අදිනවා. මේ සම්බන්ධව මුස්ලිම් නොවන සමාජය විවේචනද එල්ල කරනවා. නමුත් ඔවුන් භික්ෂුණින් වහන්සේලා අදින පඩුපෙවු වස්ත්‍රය ගැන නොසිතන්නේ ඇයි? එහිද යථාර්තය ආකර්ශනය නොවීම නොවේද?

 

 

4 Comments to “කාන්තා ඇඳුම සම්බන්ධව බුදු දහමේ මතය සමග හිජාබ් ගැලපෙනවාද?

  1. ඉදිරිපත් කර තිබෙන කරුණු ඉතා වටිනවා. ඉදිරියටත් මෙසේ කරුණු පෙන්නා දෙන්න ශක්තිය දෛර්ය ලැබේවා

  2. පළමුව මහා පරිනිබ්බාන සුත්‍රයේ (සුත්‍ර පිටකය – දීඝ නිකාය) ස්ත්‍රීන් පිළිබඳව පිරිමින් හැසිරිය ආකාරය අනුව බුද්ධ භාෂිත දේශනය කුමක්දැයි විමසා බලමු. -වශයෙන් සඳහන් කරමින් ඉබ්නු මන්සුර් මෙම ලිපියේ මුළින්ම වරදවා ගත් ස්ථානයක් පෙන්වාදීමට අදහස් කරමි. එනම් ආනන්ද හිමියන් යනු සාමාන්‍ය සමාජයේ ගිහි ජීවිතයක් ගත කරන පුරුෂයෙකු නොවේ.උන්වහන්සේ බුදුරජුන්ගෙන් විමසා සිටින්නේ… මෙම භවගමන අවසන් කිරීමේ (නිවන් දැකීමේ) පරමාර්ථය ඇතිව ලෞකික සැපය පිළිකෙව් කරමින් බවුන්වඩනා යතිවරයෙකු කාන්තාවන් කෙරෙහි පැවතිය යුතු ආකාරයයි. ඒ සඳහා බුදුරජුන් දුන් පිළිතුර සමස්ථ පුරුෂයන් උදෙසා ආදේශ කිරීම පාඨකයා නොමඟ යැවීමකි. ඉස්ලාම් නීති සාධාරණීකරණය පිණිස බුදුවදන් විකෘති කොට පළකිරීම මගින්, ඔබ හුවාදැක්වීමට තතනන ඉස්ලාම් දහමේ ශ්‍රේෂ්ඨත්වය අභිබවා බංකොලොත් භාවය ඉස්මතු වී පෙනෙන බව අවධාරණය කරමි. නාගයින් පෙණය පුප්පද්දී ගැරඬින් කැටකැබැලිති වනනවා’යි කියන්නේ මෙවන් අවස්ථාවන්වලදීය .

    1. එහෙනම් බුදුවදන් කිසිවක් ගිහියන්ට අදාල නොවෙ..

    2. සමන් මහතාගේ ප්‍රකාශනය අනුව බුදු වදන් දෙවර්ගයක් ඇත. එකක් නිර්වාන මාර්ගයට පිවිසෙන්නට කටයුතු කරමින් ඉන්නා භික්ෂු සංඛ්‍යාවට, අනික පව් කරමින් ඉන්නා ගිහියන්ට. නිර්වාන මාර්ගයට පිවිසෙන්නට ඉන්නා ශ්‍රේෂ්ඨ යතිවරයානන්ට පමණක් යැයි සමන් මහතා වර්ගීකරණය කරන දේශනා ගිහියන්ටත් අදාළ ලෙසින් ගැනීම තහනම් හෝ වැරදි බව කළ බුද්ධ දේශනා මුලාශ්‍රය සමග පෙන්වන ලෙස සමන් මහතාගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමි. විනය පිටකය භික්ෂු භික්ෂුනීන්ට පමණක් අදාළ බව අපි දනිමු. සමන් මහතාට වඩා ශ්‍රේෂ්ඨ බෞද්ධ විද්වතෙක් වූ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් ස්ත්‍රී පුරුෂ සම්බන්ධය පිළිබඳ ව දක්වා ඇති කරුණු ගැන සමන් මහතා නිහඬත්වය රැකීම කන් බිහිරි කරවන තරම් ය. මෙම උගත් නාහිමියන්ගේ විග්‍රහය පදනම් වී ඇත්තේ ද දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ බුද්ධ භාෂිත දේශනය මත බව සමන් මහතාට තේරුම් නොයාම ඔහු බලන උපැස් යුවලේ පාට කන්නාඩිය නිසා විය හැක. කරුණාකර සත්‍යය විකෘති කරමින් තමන්ගේ පුර්ව නිගමනයන් සාධාරණීය කිරීමට බොළඳ උත්සාහයක නොයෙදී සත්‍යය පිළිගැනීමේ මනසක් ගොඩ නගා ගැනීම සමන් මහතාගේ මෙලොව පරලොව ජීවිතයට යහපතක් යැයි යෝජනා කරන්නට කැමැත්තෙමු.

Comments are closed.