සිංහ ලේ මිථ්‍යාව, කන්‍යා මරියතුමිය සහ වෛද්ය චන්න ජයසුමන

විජය
විජය
විජය

සිංහබාහු මිථ්‍යාව සමාජය තුල දැඩි විවේචනයට පාත්‍රවීම නිසා හාංසි වු සිංහ ලේ සංකල්පයට නැවත ඔක්සිජන් දීමට වෛද්‍ය චන්න ජයසුමන ඉදිරිපත් වී ඇත. ඔහු සිංහබාහු මිථ්‍යාව දෙස බලන්නට යන්නේ මරියතුමියගේ කන්‍යා පටලයෙනි. මෙහිදී අපට මුලින්ම මතකයට එන කරුණක් නම් වෛද්‍ය චන්න ජයසුමන පසුගිය මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ගොඩදමන්නට දැඩිලෙස කඩේ ගිය කෙනෙකු බවයි. මහින්දට කඩේ යෑම සහ සිංහ ලේ මිථ්‍යාව අතර ඇති සහසම්බන්ධය දැන් ජනතාවට හෙළිදරව් වී හමාරය.

 

මහමැතිවරණයේදී මහින්දට කඩේ යමින්
මහමැතිවරණයේදී මහින්දට කඩේ යමින්

වෛද්‍ය චන්න ජයසුමන පවසන්නේ:  මේ කරැණ ඉස්මතු කරමින් මෑතක දී එක්තරා පුද්ගලයකු රෑපවාහිනි වැඩසටහනක දී පැවසුවේ සතකු හා සංසර්ගයේ යෙදිම ශ්‍රී ලංකාවේ නීතියට පවා පටහැනි බවත්, මිනිසුන් සතුන් අතර සංසර්ගයෙන් දරැවන් බිහිවිය නොහැකි නිසා සිංහල ජාතියේ ජෛවීය උපත පිළිබද මිත්‍යාව ඉවත දැමිය යුතු බවත් ය. කුමන වෛද්‍ය විද්‍යාව අනුව බැලුව ද මිනිසුන් සතුන් අතර සංසර්ගයෙන් දරැවන් බිහිවිය නොහැක. ඒ ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් මේ ප්‍රශ්න කිරිම් සිදු කරන්නේ සිංහලයා කෙරෙහි ඇති අසිමිත වෛරයකින්, අපහාස කිරිමේ පරමාර්ථයෙන් නිසා මේ ගැන වැඩි දුරටත් සාකච්ජා කළ යුතුය. අනෙක් අතට සිංහයකු හා සංවාසයෙන් දරැවන් බිහිවිය හැකි ද යන ප්‍රශ්නය නඟන මේ කවරකු හෝ කන්‍යාවියක වූ මරියතුමියට දරැවන් ලැබනේ කෙලෙස ද යන ප්‍රශ්නය නගා ඇති ද යන්න ද සොයා බැලිය යුතුය.

 

පැහැදිලිවම වංශකතා කතුවරැන් හෝ මේ කතාව නිර්මාණය කළ පුද්ගලයා හෝ පුද්ගලයන් පවසා ඇත්තේ ප්‍රබන්ධයකි. ජෛවීයව සිදු විය නොහැකි දෙයකි. එසේ නම් එවැන්නක් පවසා ඇත්තේ ඇයි?

 

සිංහබාහු කතාව දෙස විමසුම් ඇසකින් බැලිමෙන් පෙනීයන්නේ සිංහල ජාතියේ ජෛවීය මූලාරම්භය එක් තැනකින් ඔබ්බට ගෙන යාමට ප්‍රබන්ධකරැට අවශ්‍ය නොවූ බවයි . කාලවකවානුව ගතහොත් එය ගෞතම බුදුන් වහන්සේ දඹදිව වැඩ සිටි කාලයට සමාන්තර කාලවකවානුවකි. පියා සිංහයෙකු කී විට එම කතාව එතැනින් නිමා වේ. සිංහයාගේ පිය සිංහයා කවුදැයි සොයා යෑමට කිසිවකුට අවශ්‍යා නොවේ. ඊළගට එම සිංහයාගෙන් හටගත් තවත් දරැ පරම්පරාවක් නැති බව දැක්වීම සඳහා සිංහයා මරා දමයි. එය සිදු කරනුයේද සිංහ පුතා (සිංහබාහු) විසිනි. මෙය ද ජෛවීය මරණයක් නොව ප්‍රබන්ධයකි. ඉන් අර්ථ ගැන්වන්නේ සහ වංශ කතාවේ විස්තර කෙරනුයේද අන් කවරකුට හෝ සිංහයා මරා දැමීමට නොහැකි වු බවයි. එනම් සිංහයාගේ, පුතුට පමණක් දෙවෙනි වන අනභිබවනීයත්වයයි. ජාතියේ ජෛවීය ආරම්භයේ අනන්‍ය බව තහවුරැ කිරීමට වංශකතා කතුවරයා ඊළග පරපුර බිහි කරවන්නේ ද සහෝදර සහෝදරියන් වූ සිංහබාහු සහ සිංහසීවලිගේ එකතුවෙනි. ඔවුහු නිකම්ම සහෝදර සහෝදරියන් නොව නිවුන් සහෝදර සහෝදරියන්‍ ය.

 

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ අන් ජනවර්ග, ජන කොටස්, වංශ, ගෝත්‍ර සමග සෘජුව සම්බන්ධ නොවූ ඉන් පරිභාහිරව හටගත් ජාතියක මුලාරම්භය ලිවීමට වංශකතාකරැට වූ අවශ්‍යතාවය යි. එම අවශ්‍යතාව පැන නගිනුයේ ධර්මය ආරක්ෂා කරන ජාතිය සිංහලයන් බව ඒත්තු ගැන්වීමේ දී ය. බුදුරාජාණන් වහන්සේගේ පරිනිර්වාණ දිනයේ දී විජය කුමරැ ලංකාවට ගොඩබසින බව වංශකතාකරැ දක්වන්නේ ඒ උදෙසා ය.

උපුටා ගැනීම අවසන්

 

මෙතැනදී මරියා හෙවත් මරියම් අලෛහිසලාම් තුමියගේ කතාව ඇදීමෙන් කන්‍යාවියකට දරුවෙකු පිළිසිඳිය හැකිද? යන සැකසංකාව ඇතිකර ඉන් සිංහබාහු මිථ්‍යාව සාධාරණීකරනය කිරීමට වෛද්‍යවරයා තනන උත්සාහය අසාර්ථක බව මගේ අදහසයි. දශක කිහිපයකට පෙර නම් කන්‍යාවකට දරුවෙකු පිළිසිඳීම පිළිගත නොහැකි කරුණක් වුවද දැන් දියුණු වෛද්‍ය තාක්ෂණය හමුවේ එය කළනොහැක්කක් නොවේ. කන්‍යාවකට දරුවෙකු පිළිසිඳීම ගැටළුවක් නොවන්නාසේම ගර්භයේ දරුවෙකු දරාසිටින කාලය පුරාම කන්‍යාවක වී සිටියාය යන්නද නුතන විද්‍යාත්මකව විශ්වාස කළ හැක්කකි. කන්‍යාභාවය පිළිබඳ ගැටළුව මතුවන්නේ දරුවා බිහිකිරීමෙන් පසුවයි. නමුත් එය කිතුණු සහ ඉස්ලාම් දහම් ඉගැන්වීම් වලට ගැටළුවක් නොවේ. මන්ද සඳහන් වන්නේ කන්‍යාවක්ව සිටි මරියම් තුමියට යේසුස් තුමන් හෙවත් ඊසා අලෛහිසලාම් පිළිසිඳගත් බව පමණි.

 

මෙතැනදී වෛද්‍ය චන්න ජයසුමනගේ තර්කය සිංහල ජාතියේ ප්‍රභවය තවත් ජාතියකට සහසම්බන්ධය වලකන්නට ඉතිහාස ප්‍රබන්ධකරු සිංහයා යොදාගන්නට ඇති බවයි. සිංහබාහුගේ පියා සිංහයෙකු යැයි සඳහන් කළ පසුව ඉන් එහා ඉතිහාසයක් අවශ්‍ය නොවු බව ඔහුගේ තර්කයයි. නමුත් වෛද්‍ය චන්න ජයසුමනගේ මෙම තර්කයත් සමග සිංහ ලේ මිථ්‍යාව තවදුරටත් බිඳවැටීමකට ලක් වු බව ඔහුටද අමතක වී ඇති සෙයකි. එනම් සිංහ ලේ මිථ්‍යාව ප්‍රබන්ධයක්ය යන්න ඔහු විසින් ගෙඩිපිටින්ම පිළිගෙන තිබීමයි. සිංහ ලේ මිථ්‍යාව දැන් සිංහ ලේ මිථ්‍යාවට උඩගෙඩි දෙන ඊනියා බුද්ධිමතුන්ගේද සැකයට පාත්‍රවු එකක් වී හමාරය. නමුත් සිංහ ලේ ඇති අය යැයි සිතන්නවුන් තමන් අන්ජාතීන්ට වඩා විශේෂ අනභිබවනීයත්වයක් නොමැති බව පිළිගැන්මට තවමත් අකමැත්තක් දක්වති. මෙය වෛද්‍ය චන්න ජයසුමනගේ ලිපියෙන්ද පෙනේ.

 

එයට ඔහු දක්වන තර්කනය:  එහෙත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජය කුමරැ ගුජරාටියෙන් පැමීණීමට වැඩි ඉඩකඩක් ඇති බවයි. මහාචාර්ය සී. ඩබ්. මද්දුමබණ්ඩාර මහතා විජය කුමරැ පැමිණි කාලයේ දේශගුණය, සුළං සහ දියවැල් අධ්‍යානයෙන් පෙන්වා දෙන්නේ ද ගුජරාටි ආශ්‍රිත ප්‍රදේශයකින් ඔහු පැමිණිමට වැඩි ඉඩ කඩක් ඇති බවයි. විජය කුමරැ පැමිණි කාලවකවානුව සැලකූ විට ඔහු බටහිර බෙංගාල ප්‍රදේශයෙන් නික්මුණේ නම් ලංකාවට පැමිණීමට වඩා බුරැමය දෙසට ගමන් කිරීමට වැඩි ඉඩක් තිබු බව මහාචාර්ය මද්දුම බණ්ඩාර පවසයි. තව ද මෑතක දී කෙරැණ ජාන අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ සිංහලයාගේ ජාන වලින් වැඩි ප්‍රමාණයක් (72%) බෙංගාල ප්‍රදේශයේ ජනතාවට සමීපත්වයක් දක්වන බවයි. නමුත් ගුජරාටි ජනයාගේ ජාන වලට ද නෑකමක් දක්වන බව (12%) ඉන් හෙළි වී ඇත.

උපුටා ගැනීම අවසන්

 

සිංහල ජාන සම්බන්ධතාවය
සිංහල ජාන සම්බන්ධතාවය

මෙතැනදී වෛද්‍ය චන්න ජයසුමනගේ තර්කය වංශකථාකරුට අවැසි වුයේ අමිශ්‍ර ජාතියක් යන සංකල්පය තහවුරු කිරීමට බවයි. නමුත් පසුව ඔහු මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් උපුටා දක්වමින් උත්සාහ දරන්නේ සිංහ ලේ මිථ්‍යාව බිඳදමන වංග සම්බවය අභියෝගයට ලක්කිරීමටයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ පුරාවිද්‍යාත්මක දැනුම සම්බන්ධව අපට කුකුසක් නැත. නමුත් එතුමාණන් විජය ගුජරාටයෙන් පැමිණි බවට සනාථ කරන්නට ඉදිරිපත් කරන කරුණු සැකසහිතවේ. මන්ද ඔහු සතු පුරාවිද්‍යා විෂය පථයට දේශගුණය, සුලං සහ දියවැල් අදාල නොවන බව අපි දන්නා නිසාය.  වෛද්‍ය චන්න ජයසුමනගේ අනෙක් තර්කය සිංහල ජනතාව (72%) බෙංගාල ප්‍රදේශයේ ජනතාවට සමීපතාවයක් දැක්වුවත් (12%) ක් ගුජරාටි ජනතාවට සමීපතාවයක්ද දක්වන බවයි. නමුත් අපේ වෛද්‍ය තුමාට අමතක වු තවත් කාරණයක් ඇත. එනම් ඊටත් කලින් සිංහල සම්භවය (16%)ක් ද්‍රවිඩ ජාන වලට ගැලපෙන බවයි. ඉදින් ජයසුමන මහතාණෙනි! සිංහල ජනතාව (12%) ක් ගුජරාටි සම්බවයකට අයිති නම් (16%)ක් ද්‍රවිඩ සම්බවයකටද අයිති බව ඔබ අමතක නොකළ යුතුය.

 

 

 

2 Comments to “සිංහ ලේ මිථ්‍යාව, කන්‍යා මරියතුමිය සහ වෛද්ය චන්න ජයසුමන

  1. වෛද්‍ය චන්න ජයසුමන ගේ ලිපිය තුල සිංහල ජාතිවාදීන්ගේ ප්‍රමුඛ ලක්ෂණ දක්නට ලැබේ. දැන දැනම බොරුවක් වෙනුවෙන් පෙනී සිටීම ඉන් එකෙකි. එයට හේතුවද ඔහු විසින්ම පෙන්වාදී ඇත. “එහෙත් මේ ප්‍රශ්න කිරිම් සිදු කරන්නේ සිංහලයා කෙරෙහි ඇති අසිමිත වෛරයකින්, අපහාස කිරිමේ පරමාර්ථයෙන් නිසා මේ ගැන වැඩි දුරටත් සාකච්ජා කළ යුතුය.” ලෙස ඔහු පවසයි.

    සිංහලේ මිත්‍යාව ප්‍රශ්න කිරීමට ලක්වන්නේ සිංහලයා කෙරෙහි ඇති අසිමිත වෛරයක් නිසා බව මම පිලි නොගනිමි. එය වෙනම සාකච්ඡා කල හැක. නමුත් චන්න ජයසුමන ඇතුළු ජාති වාදීන් බොහොමයක් විසින් කෙරන්නේ අපහාස සහ විවේචන හමුවේ සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම පසෙක ලා විවේචනයට ලක් වන දෙය සාධාරනීකරණයට ලක් කිරීමයි. මෙහිදී විවේචනයට ලක් වන්නේ සිංහල ලේ වංශ කතාවය. එය බොරුවක් බව පවසමින්ම ඒ කතාව සාධාරනීකරණය කිරීම චන්න ජයසුමනගේ ලිපියේ කර්තව්‍ය වී ඇත. පන්සල් පෙරහැර වල අලින්ට සිදුවන හිරිහැරය ගැන චෝදනා හමුවේ හෝ සංඝයාගේ පිරිහීම ගැන මතුවන චෝදනා හමුවේ හෝ ජාති වාදීන් කරන්නේ වරද දැන දැනම එය සාධාරණීකරණය කිරීමයි.

    මේ ලිපියෙන් සිංහල ජාති වාදීන්ගේ තවත් කැත පුරුද්දක් ඉස්මතු වේ. එනම්, “ඔවුන් ඒ වරද කරන නිසා අපි කරාට කමක් නෑ” යන තර්කය මතු කිරීමයි. චන්න ජයසුමනට අනුව කන්‍යාවියක් දරුවෙක් පිළිසිඳ ගැනීම මිත්‍යා ප්‍රබන්ධයකි. ඒ ප්‍රබන්ධය ක්රිතියානීන් විසින් පිළිගන්නා නිසා සිංහලයන් විසින් සිංහ ලේ මිත්‍යාව පිළිගැනීම සාධාරනීකරණය කිරීමට චන්න ජයසුමන උත්සහ කරයි. “ඔවුන් ඒ වරද කරන නිසා අපි කරාට කමක් නෑ” යන තර්කය විවිධ අවස්ථා වලදී සිංහල ජාති වාදීන් විසින් උපයෝගී කර ගනිති. අහවල් රටේ මානව හිමිකම් උල්ලංඝනය වන නිසා අපි කරාට කමක් නැත යන අදහස පසුගිය රෙජීමයේ රාජ්‍යතාන්ත්‍රික දේශනය බවට පත් විය.

    සිංහල ජාතිය වනාහි ඉන්දියානු උප මහාද්වීපයේ තවත් එක් ජන කොට්ටාශයක් පමණි. ලංකාව දිවයිනක් වන බැවින් යම් තරමකට හුදෙකලා වී තිබුණි. ඒ නිසා යම් තරමකට අනන්‍ය ලක්ෂණ සිංහල සංස්කෘතියේ දකින්නට ඇත. නමුත් සිංහල ජාතිවාදීන් හිතන තරමට සිංහල ජාතිය අනන්‍ය නැත. ලෝකේ උතුන්ම රට ලංකාව නම් කොහෙත්ම නොවේ. සිංහල ජාතිය හෝ සංස්කෘතිය ඒ තරම් විශිෂ්ට වන්නේද නැත. බෙංගාලයේ, ගුජරාටියේ හෝ තමිල් නාඩුවේ තිබෙන දෙයම තමයි ලංකාවේද ඇත්තේ. අන් ගෝත්‍රික ජන කොට්ඨාශ විසින්ද ඔවුන්ගේ ජාතිය ඉතා අනන්‍ය වන බව සිතාගෙන ප්‍රබන්ධ ගොඩ නගා ඇත.

Comments are closed.