ස්වයං මෛථුනය හෙවත් ස්වයං වින්දනය පිළිබඳ ඉස්ලාමීය මතය

ස්වයං මෛථූනය හෙවත් ස්වයං වින්දනය

‘වැලන්ටයින් දිනය සහ යථාර්ථය’ යන මාතෘකාව යටතේ 2016/02/14 වැනි දින මෙම වෙබ් අඩවියේ පළවූ ලිපියට ‘වසීර්’ මහතා විසින් කිසියම් වෙබ් අඩවිය උපුටා දක්වමින් ‘ස්වයං මෛථුනය නොහොත් හස්ත මෛථුනය’ මහා කාරුණික අල්ලාහ් විසින් අනුමත කොට ඇති බවත් එහි යෙදීම දානමය කුසලක් අත් කර ගත හැකි ක්‍රියාවක් බවත් දක්වා තිබුණි. තවත් බොහෝ කරුණු මෙම ලිපියේ අන්තර්ගතව තිබු හෙයින් එහි උපුටා දක්වන ලද මුලාශ්‍ර පිළිබඳ සොයා බැලීමක් කළ යුතුව තිබුණි.

පළමුව ස්වයං මෛථුනයේ ස්වභාවය අවබෝධ කර ගැනීම වැදගත් යැයි සිතන්නෙමු. ස්වයං මෛථුනය ලිංගික තෘප්තිය උදෙසා කරන්නා වූ ලිංගික ක්‍රියාවක් බව සඳහන් කිරීම කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ හැක්කක් නොවේ. ලිංගික ක්‍රියාව ජීවයේ අඛණ්ඩතාවය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රජනන ක්‍රියාවලිය උදෙසා ස්වභාවයෙන් සියලු ජීවීන් වෙත දායාද වී ඇත යන්න ද සත්‍යයකි. නමුත් ලිංගික ක්‍රියාවේ යෙදීම සඳහා මෙම සියලු සත්වයන් වෙත ලිංගික උත්තේජනය හා එය සන්තර්පණය කිරීමෙන් ලිංගික තෘප්තියද ලබාගත හැකිව ඇත.

මිනිසා බඳු විෂම ලිංගික (Hetero Sexual) සත්වයින් තුළ ලිංගික හැඟීම් ඇති වන්නේ එක්තරා අන්තරාසර්ග (Endocrine) ග්‍රන්ථියකින් වහනය වන හෝර්මෝන වර්ගයන් නිසා බව පර්යේෂණාත්මක මනෝ විද්‍යාවෙන් හා ජීව රසායන විද්‍යාවෙන් පෙන්වා දී ඇත. අධිලිංගික හෝ අවලිංගිකතාව මේ ග්‍රන්ථි වල අධික්‍රියාකාරිත්වය හෝ අවක්‍රියාකාරිත්වය මත කෙළින්ම රඳා පවතී.

ප්‍රති විරුද්ධ ලිංගිකයන්ගේ දර්ශනය, ගන්ධය, ස්පර්ශය, ශබ්දය ආදී ඉන්ද්‍රිය ග්‍රහණ නිසා හෝ ඒ සම්බන්ධ වෙනත් දෙයක් නිසා හෝ සිතේ ලිංගික හැඟීම් පිබිදේ. මෙහි ප්‍රතිඵලය ලෙස චාලක ස්නායු ඔස්සේ ලිංගික ග්‍රන්ථි කරා විද්‍යුත් ආවේග ගමන් කරයි. එවිට එම ග්‍රන්ථි වලින් රුධිරයට හෝර්මෝනය වහනය වෙයි. රුධිර සංසරණය මගින් මොළය දක්වා එන මෙම හෝර්මෝන පුද්ගලයාගේ සිතුවිලි තවත් පුබුදු කරවයි. ජීව විද්‍යාත්මක සාධකයක් වන මෙම කායික වේදී ක්‍රියාදාමයෙන් මතු වෙන චිත්තවේග මර්දනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ.

මිනිසාගේ මෙම ලිංගික උත්තේජනය සන්තර්පණය කර ගැනීම සඳහා ඉස්ලාමය ලබා දී ඇති මඟ පෙන්වීම් තුළට ස්වයං මෛථුනය අන්තර්ගත වන්නේ ද?  මෙම ලිපියේ ප්‍රධාන තේමාව වන්නේ මෙම සාධකයයි. ස්වයං මෛථුනය  කිසිදු සීමාවකින් තොරව අනුමත හා එහි නියැලීම දානමය කුසලයක් අත්කර ගැනීමට හේතු වන්නක් බවට ඉහතින් දක්වන ලද අය වෙබ් අඩවියකින් උපුටා දක්වන ලද ඉස්ලාමීය සාධක කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම මගින් එහි අන්තර්ගතයේ සඳහන් කරුණු පිළිබඳ නිවැරදි වැටහීමක් ලබාගත හැකි වෙයි. ස්වයං මෛථුනය පිළිබඳ අල් කුර්ආනයේ හෝ සුන්නාහ් හි සෘජු සාක්ෂි (explicit evidence) හෝ සඳහනක් නොමැති බව අපි පිළිගන්නෙමු.

එවන් තත්ත්වයක දී යම් විෂයයක් පිළිබඳ නිගමනයකට එළැඹීමේ දී එම විෂයයට සම්බන්ධ මුලාශ්‍රයන් ලබා දෙන්නා වූ වක්‍ර (implicit) අදහස් පදනම් කර ගැනීමට සිදු වේ. ඉමාම් ෂාෆි තුමා ඇතුළුව අනෙකුත් ඉස්ලාමීය විද්වතුන් ස්වයං මෛථුනය අනුමත නොවන්නක් බවට උපුටා දක්වන අල් කුර්ආන් වැකි කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

“තවද, ඔවුහු තමන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණු අත් හිමි කරගත්තවුන් කෙරෙහි මිස තම ලිංගික අවයවයන් ආරක්ෂා කරගන්නෝ වෙති. එබැවින් සැබවින් ම ඔවුන් දොස් පවරනු ලැබුවන් නොවෙති. නමුත් යමෙකු මින් ඔබ්බට යන්නේ ද ඔවුහුමය සීමාව ඉක්මවන්නෝ (අල් කුර්ආන් 23 : 5-7)

අපට පැනය යොමුකළ අය එවා තිබු වෙබ් අඩවියේ දක්වන ලද ඉංග්‍රීසි පරිවර්තනයේ දක්වා ඇත්තේ ‘And those who guard their chastity’ යනුවෙනි.  chastity යන වචනය වෙනුවට modesty යන්න ඇතැම් පරිවර්තකයින් විසින් යොදා ඇති බව දකින්නට ඇත. නමුත් වඩාත් නිවැරදි පදගත අර්ථය වන්නේ private parts යන්නය. මේ අනුව ඉහත සිංහල පරිවර්තනයේ ‘ලිංගික අවයවයන්’ යන්නෙන් යොදා ඇත. වෙබ් අඩවි ලිපියේ මේ පිළිබඳ නිශ්චිත (explicit) විග්‍රහයක් ඉදිරිපත් කරමින් ඉහත අල් කුර්ආන් වැකි මගින් ‘සීමාව ඉක්මවීම’යනු ‘පරදාර සේවනය (adultery), අවිවාහක ලිංගික අනාචාරය (fornication), සමලිංගික සේවනය (homosexuality) යන්නට පමණක් සීමා කිරීමට උත්සාහ දරා ඇත. ස්වයං මෛථුනය සඳහා ද උපයෝගී වන්නේ ලිංගික අවයවයන් ය.

ඉහත අල් කුර්ආන් වැකි මගින් සඳහන් නිශ්චිත ස්ත්‍රීන් සමග හැර පිටස්තර අයුරින් තම ලිංගික අවයවයන් ආරක්ෂා කරගත යුතුය යන අර්ථය අන්තර්ගත ව ඇත. මෙම අනුමත නොමැති ලැයිස්තුවට ස්වයං මෛථුනය කෙසේ නම් අන්තර්ගත නොවන්නේ ද යන්න එම ලිපි කරුගෙන් ඇසිය යුත්තකි. ඔහු ඒ සඳහා දී ඇති පැහැදිලි කිරීම් සැබැවින් ම නිශ්චිත නිගමනයන් ලෙස දක්වා තිබීම ඔහුගේම මතය පමණක් බව දැක්විය යුතුව ඇත.  ඉස්ලාමීය කෝණයෙන් ඔහුගේ විග්‍රහයේ කිසිදු  කිසිදු පානමක් නොමැති බව ද සඳහන් කළ යුතුව ඇත.

ඉහත වැකි පිළිබඳ ඉබ්න් කතීර් අල් කුර්ආන් අර්ථ විග්‍රහයේ ස්වයං මෛථුනය අන්තර්ගත නොවී තිබීම ද ඔහු අනුමැතියක් ලෙස හුවා දක්වන්නට කටයුතු කොට ඇත. මෙයද නිශ්චිත  නිගමනයකට ඒමට සාක්ෂියක් ලෙස යොදා තිබීම සහතික වශයෙන් ම දෝෂ සහිතය.

වෙබ් අඩවි ලියුම්කරු තවත් නබි වදනක් උපුටා දක්වමින් එය ස්වයං මෛථුනය සඳහා දී ඇති අනුමැතියක් ලෙස දක්වන්නට උත්සාහ දරා ඇත.

‘තරුණයිනි, විවාහ වීමට හැකියාව ඇත්තවුන් විවාහ වන්න. එය ඔහුගේ දර්ශනය පහත හෙළාගනීමට උපකාරී වන අතර ඔබගේ ලිංගික අවයව ද ආරක්ෂා කරයි. විවාහ වීමට නොහැකි පිරිස උපවාසයේ යෙදෙන්න. එය ආරක්ෂාවකි’ (බුහාරි – මුස්ලිම්)

මෙම නබි වදනට විග්‍රහයක් ඉදිරිපත් කරමින් විවාහ වීමට නොහැකි පිරිස උපවාසයේ යෙදෙන්නට සඳහන් කළත් මෙම උපවාසය වෛකල්පිත එකක් වන අතර විවාහය වාජිබ් ලෙස හා ස්වයං මෛථුනය අනුමත ක්‍රියාවක් බවට දක්වන්නට උත්සාහ දරා ඇත. මෙයට වඩා බරපතල අයුරින් අදහස්  විකෘති කිරීමක් පහත සඳහන් ඉබ්න් අබ්බාස් තුමාගේ (අල්ලාහ්ගේ තෘප්තිය එතුමා කෙරෙහි ඇතිවේවා) ප්‍රකාශනය මගින් දැකගත හැකිය.

“එක් තරුණයෙක් එතුමා වෙත පැමිණ ස්වයං මෛථුනය පිළිබඳ විමසු විට ‘ඔබ පරදාර සේවනයට බිය වන්නේ නම් එහි (ස්වයං මෛථුනයෙහි) නියැලෙන්න’ යනුවෙන් පවසා ඇත”.

ඉහත ප්‍රකාශනය සත්‍යය වසන් කිරීමට දරා ඇති ඉතා පහත් උත්සාහයක් ලෙස සඳහන් කළ හැක. මෙම ප්‍රකාශනයේ සම්පුර්ණ විස්තර දෙස අවධානය යොමු කිරීමෙන් ස්වයං මෛථුනය පිළිබඳ ඉස්ලාමීය ස්ථාවරය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

“දිනක් ඉබ්න් අබ්බාස් තුමාගේ (අල්ලාහ්ගේ තෘප්තිය එතුමා කෙරෙහි ඇතිවේවා) අධ්‍යයන පන්ති අවසානයේ සියලු ශිෂ්‍යයන් පිටව ගිය අතර එක් ශිෂ්‍යයෙක් පමණක් නැවතී සිටියේය. ඉබ්න් අබ්බාස් තුමා මෙම ශිෂ්‍යයාගෙන් ඔහුගේ අවශ්‍යතාව කුමක් දැයි විමසා සිටි විට ඔහු පවසා සිටියේ කරුණක් පැහැදිලි කරගැනීමට අවශ්‍ය බවත් සියල්ලන් ඉදිරියේ එම ප්‍රශ්නය ඇසීමට මැලිකමක් තිබු බවයි. ‘ආලිම්වරයා (ඉස්ලාමීය විද්වතා) පියෙක් වගෙයි. එහෙයින් ඔබගේ පියා සමග මෙන් මාත් සමග විවෘතව කතා කරන්නැ’යි ඉබ්න් අබ්බාස් තුමා මෙම ශිෂ්‍යයාට පවසා සිටියේය. එවිට මෙම ශිෂ්‍යයා ‘මා අවිවාහක තරුණයෙක්. ඇතැම් අවස්ථාවන් හි දී මා කෙරෙහි ඇතිවන පීඩනය හේතුවෙන් අත පාවිච්චි කරමින් ස්වයං මෛථුනයේ යෙදෙනවා යැ’යි පවසා සිටියේය. එවිට ඉබ්න් අබ්බාස් තුමා ඔහුගෙන් තම මුහුණ අන් පැත්තකට හරවා ගනිමින් (මෙය තම පිළිකුල ප්‍රකාශ කර සිටීමේ සළකුණකි) ‘චිඃ අහෝ! වහල් කාන්තාවක් හරි විවාහ කරගැනීම වඩාත් සුදුසුයි. කෙසේ නමුත් එය පරදාර සේවනයේ යෙදීමට වඩා යෙහෙකි යැ’යි  පවසා සිටියේය.

වෙබ් අඩවි ලියුම්කරු ඉබ්න් අබ්බාස් තුමාගේ ප්‍රකාශනයේ එක් කොටසක් පමණක් වැරදි අයුරින් උපුටා දක්වමින් එය ස්වයං මෛථුනය සඳහා වූ විවෘත අනුමැතියක් ලෙස දක්වන්නට ඉතා පහත් උත්සාහයක යෙදී ඇත. ඉස්ලාමීය ලෝකයේ කීර්තිධර විද්වතෙකු වූ ඉබ්න් අබ්බාස් තුමාගේ ප්‍රකාශනය විචාරශීලීව විමසා බැලුවිට ස්වයං මෛථුනය පිළිබඳ ඉස්ලාමීය ස්ථාවරය අවබෝධ කරගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු. එම ප්‍රකාශනයෙන් අපට අවබෝධවන කරුණු සංක්ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

  1. ස්වයං මෛථුනය පිළිකුල් කළ යුත්තක් බව ඒත්තු ගන්වා ඇත.
  2. ලිංගික උත්තේජනය පාලනය කරගැනීමට නොහැකි අවිවාහකයින් වහල් කාන්තාවක් හෝ විවාහ කර ගැනීම සුදුසු බව පවසා ඇත.
  3. අවසාන වශයෙන් තම ආශාවන් හේතුවෙන් මහා පාපයක් ලෙස සැළකෙන පරදාර සේවනය වෙත යොමුවීමේ තත්ත්වයක් ඇතිවුවහොත් පමණක් එයින් තමන් ව ආරක්ෂා කරගැනීම සඳහා ස්වයං මෛථුනය වෙත යොමු වීම. මෙය කිසිදු අනුමත අහරක් නොමැති තත්ත්වයක ආහාර නොගැනීම හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් සිදුවිය හැකි අවස්ථාවක තම ජීවිතය බේරා ගැනීම සඳහා අනුමත නොමැති අහරක් හෝ ගැනීම හා සමානය. තවත් උදාහරණයක් දක්වන්නේ නම්, පාපයන් දෙකක් අතුරින් එකක් තෝරා ගැනීමේ තත්ත්වයකට කෙනෙකුට බලයෙන්ම අනිවාර්ය ලෙස මුහුණ පෑමට සිදුවූ අවස්ථාවක එම පාපයන් දෙකින් වඩාත් අඩු පාපය දෙස යොමු වීම හා සමානය.

පැනය එවු අය අපට දන්වා සිටීමට උත්සාහ කරන අන්දමට ස්වයං මෛථුනය නිතර පරිහරණය කළ හැකි සම්පුර්ණ අනුමැතිය ඇති පිළිවෙතක් නොවන බව ඉහත කරුණු අපට ඉතා පැහැදිලි අයුරින් පහදා දෙයි. වඩාත් හාස්‍යජනක අදහස් දැක්වීම ලෙස අප දකින්නේ උපවාස (සව්ම්) කාල සීමාව තුළ ස්වයං මෛථුනය අනුමත බව සඳහන් කොට තිබීමය. සව්ම් යන පදයේ එක් අර්ථයක් නම්  ස්වයං සංවරය (හික්මීම) යන්නය. ලිංගික උත්තේජනය සන්තර්පණය කර ගැනීම උදෙසා යොදා ගන්නා වැරදි පිළිවෙතක් වූ ස්වයං මෛථුනය කෙසේ නම් මෙම අර්ථය සමග එකඟතාවක් ඇත්තේදැයි බුද්ධියේ සාංකාවක්වත් ඇති කෙනෙකුටවත් පිළිගත හැක්කේ කෙසේ දැයි විමසන්නට කැමැත්තෙමු. සව්මය පිළිබඳ අල් කුර්ආන් වැකිය දෙසද අවධානය යොමු කරමු.

“විශ්වාස කළවුනි, නුඹලා බියබැතිමත් වීම පිණිස නුඹලාට පෙර වූවනට අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද සව්මය (උපවාසය) අනිවාර්යය කරනු ලැබ ඇත”. (අල් කුර්ආන් 2 : 183)

උපවාසය අනිවාර්ය කිරීමේ හේතුව මෙම වැකියේ සඳහන් කොට ඇත. අප විසින් ‘බියබැතිමත් වීම’ ලෙසින් පරිවර්තනය කොට ඇත්තේ අරාබි බසින් යොදා ඇති ‘තක්වා’ යන පදයයි. ‘තක්වා’ යන්නට බිය බැතිමත්භාවය, දේව සවිඥානකත්වය, ස්වයං හික්මීම යන අර්ථ ඇත. උපවාසයේ අපේක්ෂාව මෙම වචන වලින් අර්ථ ගැන්වේ නම් උපවාසයේ යෙදෙමින් ලිංගික උත්තේජනය සන්තර්පණය කිරීමේ වැරදි පිළිවෙතක් වූ ස්වයං  මෛථුනය කෙසේ නම් මෙම අර්ථ සමග සැසඳේ ද යන්න කරුණාකර සිතා බලන්න. ඉස්ලාමිකයින් ව නොමග යැවීමේ අර්ථයෙන් මෙවන් වැරදි මත ඉදිරිපත් කරන්නන්ගෙන් ප්‍රවේශම් වීම ඉතා වැදගත් අභියෝගයක් බව අප විසින් තේරුම් ගත යුතුව ඇත.

තවත් වැදගත් තොරතුරු කිහිපයක්   ඔබගේ අවධානය පිණිස පහතින් දක්වා ඇත්තෙමු.

ස්වයං මෛථුනය  පිළිබඳ ඉස්ලාමීය නීති සංග්‍රහයන් (ෆික්හ්) ඉදිරිපත් කළ ඉමාම්වරුන්ගේ මතයන් පහතින් දක්වා ඇත්තෙමු. ‘ෆික්හ් අස් සුන්නාහ්’ ග්‍රන්ථයේ කර්තෘ සෙය්යිද් සාබික් තුමාගේ මතය වෙත පළමුව යොමුවෙමු.

“ස්වයං මෛථුනය යහකම හා මිනිසාගෙන් අපේක්ෂිත උත්කෘෂ්ට චරිතය නිෂේධනය කරයි. ෆික්හ් විද්වතුන් මේ පිළිබඳ විවිධ මත පළ කොට ඇත”. (ෆික්හ් අස් සුන්නාහ් 581 – 583 වැනි පිටු)

එය සම්පුර්ණයෙන් ම තහනම් යන ස්ථාවරය ඉමාම් ෂාෆි තුමා හා ඉමාම් මාලික් තුමා දරයි. මේ සඳහා ඉහතින් විග්‍රහ කරන ලද අල් කුර්ආනයේ 23 වැනි පරිච්ඡේදයේ 5 – 7 දක්වා වූ වැකි පදනම් කොට ගෙන ඇත. ඉමාම් අබු හනීෆා තුමා ඇතැම් අවස්ථාවන් හි එය තහනම් ලෙසත් ඇතැම් අවස්ථාවන් හි අනුමත බවත් දක්වා ඇත. මෙම අනුමැතිය පදනම් වී ඇත්තේ ඉබ්න් අබ්බාස් තුමාගේ මතයට සමාන අයුරිනි. එනම් නොවැලක්විය හැකි අයුරින් තමන් පරදාර සේවනය සඳහා යොමු විය හැකි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා පමණක් මෙම අනුමැතිය වලංගු වේ. මෙය විවෘත ඕනෑම අවස්ථාවක කිසිදු පාලනයකින් තොරව උපයෝගී කර ගැනීමට හැකි අයුරින් වූ අනුමැතියක් නොවන බව අවධාරණය කළ යුතුව ඇත. ඉමාම් අහමඩ් ඉබ්නු හන්බල් තුමාගේ මතයත් මෙයට සමාන වුවකි.

ඉහත සියලු කරුණු දෙස විචාරශීලී අයුරින් විමසුමක යෙදීමේ දී විවිධ වෙබ් අඩවි හා අනෙකුත් මාධ්‍යයන් මගින් ඉස්ලාමිකයින් ව නොමග යැවීමට කරන්නා වූ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්ගෙන් ප්‍රවේශම් වීමට නිරතුරුව විමසිලිමත් ව හා අවධියෙන් කටයුතු කළ යුතු ව ඇත.

 

ඉබ්නු මන්සුර්

21 Comments to “ස්වයං මෛථුනය හෙවත් ස්වයං වින්දනය පිළිබඳ ඉස්ලාමීය මතය

  1. අපිට නම් ඉගැන්නුවේ ස්වයං මෛථුනයෙදී පාපී සිතුවිල්ලක් අනිවාර්යෙන් සිතෙන නිසා, එම සිතීම මත ඊටත් ඔබ්බට ගිහින් ක්‍රියාවෙනුත් කරනකොට කොහොමත් ඒක පාපයක් (හරාම්) කියලා. මෙම ලිපිය මෙම විෂය ගැන ඊටත් වඩා ගැඹුරට කතාකරනවා. ඉස්සෙල්ලාම හරිද වැරදිද කියලා කියන්නේ නැතිව කියවාගෙන යනකොට මේ ක්‍රියාව වැරදියි කියලා අවබෝධ වෙන විදිහට ලිපිය ලියලා තියෙනවා. ලිපියේ අන්තර්ගතය මෙන්ම ඉදිරිපත් කර ඇති විලාසයත් ප්‍රශංසනීයයි. young generation එකට හොඳ ලිපියක් and thanks to Ibn Mansoor.

    පුලුවන්නම් විවාහයෙන් පසිනුත් සිදුකරන ස්වයං මෛථුනය ගැන අදහසක් කියන්න. මට හම්බුවෙලා තියෙනවා බිරියගෙන් වෙන්වී රට ඉන්නාවිට මේ වගේ දේවල් වලට ඇබ්බැහිවෙච්ච අයෙක්. මෙම ක්‍රියාවේදී මෙම පුද්ගලයාගේ හිතේ තියෙන්නේ වෙන පාපී අදහසක් නොවෙන්න පුළුවන්, ඔහු හිතන්නේ බිරිඳ ගැන වෙන්න පුළුවන්.

  2. meme mathrukawa liyapu ibn mansur saha anver manatunga shahodarayinta alahge anisansa labewa! ameen. mama mechchara kal hitagena hitiye swayan maytunya sampoornayenma haram kiyala. mema article eke yam web adawi lipiyaka sandahan wuna karana gena sandahanak tibey. mata dena ganne one, mema webadawiya nama kumakda kiyay. ema web adawiya sandahan karanna puluwanda brother

    1. සහෝදරයා අප විෂම අදහස් ඇති යැයි සලකන වෙබ්අඩවි ප්‍රවර්ධනයෙන් වැලකෙමු. එමනිසා ඔබගේ ඉල්ලීම ඉෂ්ඨ කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න

  3. කාම සංඥාවේ වුව ද සියුම් හා රළු වශයෙන් ප්‍රභේද පවතී. සමහරුන්ගේ කාමාශාව අඩුය. ඇතැමෙකුගේ ඉතා උත්සන්නය. මධ්‍යම ප්‍රමාණයේ අය ද වේ. විවිධ අය තුළ කාම සංඥාව සමහර මිනිසුන්ගේ මෙන් රළු නැත.මිනිස් ලොව මානවයන් සිය විකෘති කාම පරිලාහය සංසිඳුවා ගනුයේ ස්වයං සංසර්ගයේ යෙදීමෙනි. අශිෂ්ට, අශික්ෂිත හා අසම්මත සේ එහි නොයෙදීම හා පවුල් සංස්ථාව තුළ පිළිගත් ආචාර ධර්ම පද්ධතියක් අනුව එහි යෙදීම පංචශීල ප්‍රතිපදාවෙන් ද අනුමත කර තිබේ.

  4. Thanks for handling a crucial issue. If something can be written on contraceptives……… that also seems to be related to this.

  5. ලිපියට ප්‍රායෝගික උදාහරනයක් එකතු කරන්න කැමති. විශේෂයෙන් ක්‍රියාන්විත සේවාවන්වල යෙදිලා ඉන්න විවාහක සෙබලුන් ගත්තොත් ඔවුන් සටන් බිමේ ඉන්නේ ඔවුන්ගේ පවුල්වලින් ඈත්වෙලා. එවැනි අවස්තාවලදී ඔවුන්ගේ හැඟීම් සැලකිල්ලට ගන්න ඕනෑ. එක්කෝ උපවාසයේ දිගටම යෙදීම නැත්නම් ඉස්ලාමය තුල තහනම් කර ඇති තාවකාලික (මුතා) විවාහය අනිවාර්ය කර තිබිය යුතුයි. මන් හිතන්නේ මෙය කුරානය, හදීසයට වඩා ඉජ්තිහාදය සම්බන්ධ ගැටලුවක්.

  6. ස්වයං වින්දනය කියන්නේම පහත් ක්‍රියායාවක්. ලෝකයේ සෑම ආගමික සංස්ථාවක් විසින්ම අකැප කටයුත්තක් හරාම් දෙයක් බවට පත් කර ඇති දෙයකි. බෞද්ධ භික්ෂූන්වහන්සේලාට ද ප්‍රාතිමොක්ෂ සේඛියාවල බුදුරදුන් මෙලෙස හැසිරීම තහනම් කර තිබෙනවා. විශේෂයෙන්ම ලෝකයේ සෑම ආගමික සංස්ථාවකම පූජ්‍ය හා පූජක පක්ෂය විෂයෙහි මෙය අතිශයින්ම විශාල වරදක්. එසේම ගිහි සාමාන්‍ය ජනතාව විසින්ම නොකළ යුතු කාමයෙහි වරදවා හැසිරීමක්. පංචශීල ප්‍රතිපදාව රකින බෞද්ධ ගිහියෙකුට වුවද නොගැලපෙන්නක්. මෙයට ඇබ්බැහිවීම නිසා යමෙකුගේ විවාහ ජීවිතය පවා මුලුමනින්ම කඩාකප්පල් වී යාමට පුලුවනි. අනෙක යම් විවාහයෙකු එලෙස කරන්නේ නම් එය තමන්ගේ වෛවාහික සහකරු හෝ සහකාරියට කරන අසාධාරණයක් ලෙස ද අර්ථකථනය කරන්න පුලුවන්. මොකද තමන් පමණක් සතුටුවීමේ ක්‍රියාවළිය තුළ සාධාරණ පැවැත්ම එම විවාහකයා අතින් ගිලිහෙන බැවින්. පරදාර සේවනයට ද වඩා ස්වයං වින්දනය සදාචාරාත්මක වශයෙන් පහළ මට්ටමේ තියෙන්නේ. මෙහි යෙදීමෙන් කෙනෙකුගේ මානසික මට්ටම විකෘති බවකට පත්වන්නට ද පිළිවන්. විකෘති, විෂම හැසිරීම් රටා, සමරිසි බව ආදිය ඇතිවීමට ඉවහල් වන ඉතා ගාම්‍ය අශිෂ්ට ක්‍රියාවක් ලෙස ද ස්වයං වින්දනය දක්වන්න පුලුවන්.

    ස්වයං වින්දනයයට යමකු ඇබ්බැහි වීමේ ඊ ළඟ පියවර බොහෝ දුරට සමලිංගික චර්යාව වෙනවා. මොකද ඔහු හෝ ඇයට තමන්ගේ සිරුර පිළිබදව ඇති වන සම ලිංගික තෘෂ්ණාවම වෙනත් තමන්ගේ ලිංගයට සමාන කෙනෙකුගේ සිරුරට ආශා කිරීම දක්වා පැතිරිලා යන්න පුලුවන් නිසා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ආශ්රිුතව ඒඩ්ස් ගොනොරියා සිප්ලීස් වැනි භයානක සමාජ රෝග ව්‍යාප්තියට පවා ප්ර්ධාන කාරණයක් වෙලා තියෙන්නේ මේ විදිහට පුද්ගලයන් අනවශ්ය් හා වැරදි ආකාරයට ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඇබ්බැහිවීම.

    1. //ස්වයං වින්දනයයට යමකු ඇබ්බැහි වීමේ ඊ ළඟ පියවර බොහෝ දුරට සමලිංගික චර්යාව වෙනවා.//

      විකාර.

  7. සමරිසි බවේ පදනම තමයි ස්වකීය සිරුරට ජීව විද්‍යාත්මකව සමාන වෙනත් සිරුරුවලට ආකර්ශණය වීම. නිදසුනක් විදිහට කාන්තාවක හෝ පිරිමියෙකු ස්වයං වින්දනයට යොමු වීමේ දී එයා තමන්ගේ සිරුරේ ලිංගිංක අවයව පිරිමැදීම හෝ වෙනත් මාර්ග ඔස්සේ ඇතුල් කර ලිංගික සංසර්ගයේ යෙදීම හරහා ලිංගික තෘප්තිය ලබනවා. එහි දී ඔහු හෝ ඇය තෘප්තිමත් වෙන්නේ තමන්ගේම සිරුරේ ලිංගික අවයව තමන්ව පිරිමැදීම හෝ වෙනත් මාර්ග ඔස්සේ ඇතුල් කර ලිංගික සංසර්ගයේ යෙදීම මඟින්. නමුත් ප්‍රතිවිරුද්ධ ලිංගික චර්යාවකදී යමෙකුගේ ලිංගික අවයව තෘප්තිමත් වන්නේ තමන්ගේ ලිංගික අනන්‍යවතාවයට වඩා ප්‍රතිවිරුද්ධ අයෙකුගේ චර්යාව තුළින්. මෙහිදී සමරිසි හෝ ප්‍රතිවිරුද්ධ පාර්ශවික නැඹුරුව ඇතිවීම සඳහා වැදගත්වන්නේ මෙන්න මේ කාරණයයි. තමන්ම ලිංගිකව තෘප්තිමත්වීම කාලයකදී තමන්ගේ ලිංගික අනන්‍යතාවය ම සහිත සමාන ලිංගිකයන් වෙත ආකර්ශණීය වීමට ප්‍රබල උපස්ථම්භනයක් වෙනවා කියලා මම කිව්වේ ඒ පිළිබඳව ලියැවී ඇති ලිංගික මනෝවිද්‍යාවට අයත් වෛද්‍ය ග්‍රන්ථවල මේ පිළිබඳව දීර්ඝව විස්තර වන නිසායි. නමුත් බටහිර මනෝවිද්‍යාව සුද්දගේ පස්ස පැත්ත ලෙවකන්න ගොඩනැඟුනු මේ මිෂනාරි අධ්‍යාපන පද්ධතියේම තවත් එක් දිගුවක් පමණක් නිසා එයින් අපට සදාචාරාත්මක චර්යාවන් බලාපොරොත්තු විය නොහැකියි. ඉස්ලාම් ආගම, බුදු දහම, හින්දු දහම මේ ආදී පෙරදිග ආගම් ගොඩනැඟිලා තියෙන්නේ සදාචාරාත්මක ශික්ෂණය පදනම ලෙස සැලකෙන පෙරදිග දර්ශනය පෙරදිග අධ්‍යාපන සම්ප්‍රදාය පදනම් කරගෙන නිසා එම අධ්‍යාපන පද්ධතියට අයත් එහි සෑම අංශයකින්ම සදාචාරාත්මක පක්ෂය අවධාරණය කරනවා. සුද්දගේ මිෂනාරි අධ්‍යාපන පද්ධතිය හැම තර්කයටම සාධකයක් කරගන්න කෙනෙකුට හැරෙන්න විවෘත මනසකින් බලන ඕනම පුද්ගලයෙකුට ස්වයං වින්දනය කියන දේ පිළිබඳව මේ දක්වලා තියෙන අදහසට එකඟ වෙන්න පුලුවනි.

    1. // තමන්ම ලිංගිකව තෘප්තිමත්වීම කාලයකදී තමන්ගේ ලිංගික අනන්‍යතාවය ම සහිත සමාන ලිංගිකයන් වෙත ආකර්ශණීය වීමට ප්‍රබල උපස්ථම්භනයක් වෙනවා කියලා මම කිව්වේ ඒ පිළිබඳව ලියැවී ඇති ලිංගික මනෝවිද්‍යාවට අයත් වෛද්‍ය ග්‍රන්ථවල මේ පිළිබඳව දීර්ඝව විස්තර වන නිසායි. //

      එවැනි වෛද්‍ය ග්‍රන්ථ හෝ සඟරාවක් තිබේනම් ඉදිරිපත් කරන්න. සාක්ෂි නැතුව ඕනෑම ප්‍රබන්ධයක් ගොඩ නැගීම සිදු කල හැක.

      1. ඊට පළමුව ඔබ කියන මතය නිවැරදි බව හා ඔබ එම මතය අවබෝධ කරගැනීම සඳහා සුදුස්සෙකු බව ඔප්පු කර පෙන්වන්න. සුද්දන්ගේ විෂය ගොඩනැගිලා තියෙන්නේම හුදෙක් ප්‍රබන්ධ මත පමණක් බව එහි ගැති අධ්‍යාපනයක් ලබා ඇති ඔබට නොදන්නවා විය හැකියි. පළමුව ඔබ මෙරට ජාතික විශ්වවිද්‍යාලයක මෙඩිකල් ෆැකල්ටි පුස්තකාලයකට ගිහිල්ලා එහිඇති ලිංගික මනෝ වෛද්‍ය විද්‍යා විෂයට පොත්පත් පරිශීලනය කර බලන්න එය කොයි තරම් දුරටක ව්‍යාප්ත වෙලා තියනවාද කියලා. මම එය න්‍යයාත්මකව ප්‍රතික්ෂේක කරන්නේ එය හුදෙක් එය බටහිර මිෂනාරි මතවාද පදනම් කරගෙන ගොඩනැගී ඇති නිසායි.බොරුවට තර්ක කරන්න හෝ යම් විෂයක් පිළිබඳව හරිහැටි ප්‍රමාණික අධ්‍යයනයක් සිදු නොකර තර්ක කරමින් අනෙකාගේ මතය නිශේෂනය කිරීමට යාම මෙරට තියෙන බටහිර ගැති මිෂනාරි අධ්‍යාපන ක්‍රමයෙහි ගොදුරක් බවට ඔබව පත්ව ඇති බවට හොඳම සාධකයක්. ඇස් දෙකට පෙනෙන්න තියෙන දේවල්වලට සාධක ශාක්ෂි ඉදිරිපත් කිරිමට යාම අයෝග්‍ය යයි. බටහිර සංකල්ප තනිකරම ප්‍රවාද මත ගොඩනැඟී තියෙන්නේ. ඔබ මට ගුරුත්වාකර්ශණය ඔප්පු කර පෙන්වන්න කියලා මම අභියෝග කරනවා. ඔබ ගුරුත්වාකර්ශනය දැක තිබේද? එසේ නම් ඒ පිළිබඳව ලියවිලා තියෙන පොත්පත් සියල්ල මට පෙන්වන්න එතෙක් එය මම නොපිළිගනිමි කිවොත් කුමක් හිතේවිද? ඔබ මව් සෙනෙහස පිළිගන්නවාද? එය තාර්කික ද? එය තර්කයට හසු වන්නේ නැහැ. නමුත් එය පවතිනවා. මම ඔබට කිව්වොත් ඔබට මව් සෙනෙහස ඔප්පු කර පෙන්වන්න සාධක ඉදිරිපත් කරන්න කියලා ඔබට එය සිදු කළ හැකිද? කෙනෙකු උසස් පෙළ A සාමාර්ථ තුනක් ලබාගන්නවා. ඒ ශිෂ්‍යයා කියනවා බහුඅවයවීකරණය නැතිනම් පදාර්ථය පිළිබඳව නියම. බාලාංශ පංතියක දරුවෙකු කිව්වොත් අනේ අය්යේ මට ඔයාව විශ්වාස නැහැ ඔයා මට ඔප්පු කරලා පෙන්වන්න ඔයා කියන දේ හරිය කියලා එතකම් මම පිලිගන්නේ නැහැ. ඔයා බොරු කියනවා. ඔයා කියන දේ ඔප්පු කරගන්න බැරි දේවල් මෙතන කියන්න එපා කියලා අපි පිළිගන්නේ අර බාලාංශයේ දරුවා කියන දේද? නැතිනම් උසස් පෙළ පංතියේ ශිෂ්‍යයා කියන දේද? උසස් පෙළ පංතියේ ශිෂ්‍යයාට තමන් කියන දේ පිළිබදව වසර ගණනාවක් තුළින් ලබපු ශාස්ත්‍රීය ශික්ෂණය තියෙනවා. නමුත් බාලාංශයේ දරුවාට ඒ අවබෝධය නොමැතිව ඔහු හුදෙක් යමක බාහිර ලක්ෂණ ඔස්සේ හුදු තර්කනයේ නිරත වෙනවා. මේක හුදෙක් ෂෝ එකක් පමණයි. අවසානයේ සත්‍ය පරාජය වී අසත්යේය ඉස්මතුවීම නොවැලැක්විය හැකියි. නියමිත විෂයක් කියලා කියන්නේ එ පිළිබදව ලියවිලා තියෙන පොතක් පතක් දෙකක් කියවීම නොවෙයි.(මම මේ කියන්නේ පෙරදිග හා බටහිර මනෝවිද්‍යාව පිළිබඳව ලැබූ කැලණි විශ්වවිද්‍යාලයෙන් ලැබූ ආචාර්ය උපාධිය දර්ශනපති උපාධිය හා සෙසු විශ්වවිද්‍යාලවලින් ලැබූ වසර 45 කාලය තුළ ලැබූ සමස්ත ශාස්ත්‍රී පර්යේෂණ වෘත්තීය සුදුසුකම ඉගැන්වීම මමත් මනෝවිද්‍යාවට අදාළව ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ 40 කට අධික ප්‍රමාණයක් ලියලා ප්‍රකාශ කරපු ග්‍රන්ථ කර්තෘවරයෙකු විදිහට හා අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශ්වවිද්යා්ල මට්ටමේ ප්රයමාණික විද්වතෙකු යුද්ධයෙන් ඇති වූ ශාරීරික ආබාධ හේතුවෙන් වෛද්‍ය විශ්‍රාමික යුද හමුදා පොලිස් නිලධාරියෙකු, රාජ්‍ය දෙපාර්තමේන්තු අමාත්‍යාංශ ගණනාවක ප්‍රධාන පුස්තකාලයාධිපතිවරයෙකු උසස් පරිපාලන නිලධාරියෙකු එසේම වර්තමානයේ පුද්ගලික පාසලක හිමිකරු හා එහි ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් දැනටත් ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතුවල නිරතවන මැදිවියේ උගත් දැනුම් තේරුම් ඇති පුද්ගලයෙකු විදිහට.)

  8. බටහිර ගැති මිෂනාරි අධ්‍යාපන ක්‍රමයේදී ස්වං මෛථුනය වැරදි කියලා නොකියන්නේ සුද්දගේ අධ්‍යාපන පද්ධතියේ පදනම සදාචාරාත්මක ශික්ෂණය නොවන නිසා. නමුත් පෙරදිග සාම්ප්‍රදායික අධ්‍යාපන පද්ධති ගොඩනැඟිලා තියෙන්නේම සම්පූර්ණයෙන්ම සදාචාරාත්මක ශික්ෂණය මත. එහිදී බුදු දහමටත් වඩා දැඩි විනයක් ඉස්ලාම් දහම සහ හින්දු ආගම මත පදනම් වූ අධ්‍යාපන පද්ධති තුළ දක්නට ලැබෙනවා පැහැදිලිවම. බුදු දහමේත් පැහැදිලිවම මේක කාමයෙහි වරදවා හැසිරීම් යන වර්ගීකරණයට අයත්.

    1. //බටහිර ගැති මිෂනාරි අධ්‍යාපන ක්‍රමයේදී ස්වං මෛථුනය වැරදි කියලා නොකියන්නේ සුද්දගේ අධ්‍යාපන පද්ධතියේ පදනම සදාචාරාත්මක ශික්ෂණය නොවන නිසා. //

      තවත් විකාර.
      මිෂනාරි අධ්‍යාපනයට පදනමක් වන්නේ තවත් පෙරදිග ධර්මයක් වන (ඔව් පෙරදිග) ක්‍රිස්තියානි ධර්මයයි. එසේම මිෂනාරි ඇතුළු ක්රිතියානීන් තරම් ස්වයං වින්දනය හෙලා දකින පිරිසක් මම නම් දැක නැත. corn flakes යන උදෑසන අහාරය නිපදවූ John H Kellogs තැනැත්තා ඒ ආහාරය නිපදවා ප්‍රචලිත කරන්නට හේතුව වුවේද ස්වං මෛථුනය මර්ධනය කිරීමට පියවරක් ලෙසයි (මස් වෙනුවට ශාඛ ආහාරය ගැන ඔහු යමක් සිතුවා ඇති).
      වැඩි දුර කියවන්න (එහි citations බලන්න): https://en.wikipedia.org/wiki/Religious_views_on_masturbation#Christianity
      https://en.wikipedia.org/wiki/John_Harvey_Kellogg#Masturbation_prevention
      ඔබ සදාචාරාත්මක ශික්ෂණයක් නැති බව කියන අධ්‍යාපනය මිෂනාරි අධ්‍යාපනයක් නොව අදේව වාදය ප්‍රමුඛ කර ගත් අධ්යාපනයි.

  9. ස්වයං වින්දනය කිරීම ශ්‍රී ලාංකික ජනතාවට කියා දී මෙම පාපකාරී ක්‍රියාව කිරීමට‍ උනන්දු කරන ලද්දේ බටහිර ජාතිකයන් විසින් බව මගේ මතයයි.ඔවුන් ගේ අඩක් පමණක් ශිෂ්ට සම්පන්න වූ සංස්කෘතිය නිසා ඔවුන්ගෙන් අපට ලැබුණු හොද මෙන්ම නොහොදද අපමණය.ඉන්ටර්නේට් ඇති අසභ්‍ය වෙබ් අඩවි,නිරුවත් ච්ත්‍රපටි, විකෘති ලිංගික ජවනිකා ඇතුලත් චිත්‍රපටි,අසභ්‍ය පොත් පත්,ට්වි,ගුවන් විදුලිය මගින් මෙම ප්‍රශ්නය දෙගුණ තෙගුණ කිරීමට‍ සමත් වී ඇත.
    හොද ගති ගුණ මකා නරක ගති ගුණ වැපිරෙමේ තවත් ක්‍රියාවන් අතර විකෘති ලිංගික ආශාවන් ගෙන් යුත් පිරිසක් නිර්මාණය කිරීමේ මෙම මාර පාක්ෂික බලවේග යොමු වී ඇත.විද්‍යුත් මාධ්‍ය මගින් දවස පුරාම කාමය වැඩි කරන දර්ශන අඩංගු චිත්‍රපටි,ගීත පෙන්වීම මගින් මෙම ලිංගික ආශාව වැඩි කිරීමට හේතු වී ඇත.දෝෂාරෝපණය එක පාර්ශවයකට පමණක් එල්ල කිරීම අසාධාරනයැයි මට හැගේ.විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රේක්‍ෂකයන්ගේ කාම ගින්න වැඩි කිරීම.
    ලෝබය,දේවේශය,මෝහය,රාගය අසීමිතව ප්‍රේක්ෂකයාගේ හිත් වල ඇවිසිමයි .ප්‍රේක්ෂකයා මෙවැනි දේ නොබලා සිටිම හොදම පිළිතුර යැයි මට හැගේ.
    අපුර්ව කරුණ නම් මෙහි ඇති ස්වයං වින්දනයේ හොද පමණක් කතා කිරීමයි.සිදුවන ප්‍රයෝගිකව සැමදෙනාටම අත් දැකීමට සිදුවන නරක කථා නොකර සිටීම හෝ එසේ නොවනබව කීමයි.
    ලෝකයේ විවීධ බුද්ධි වර්ග තිබුනද අපට මෙතනදී අවශ්‍ය වන්නේ යහපත් නුවනින් යුතුව හරි වැරැද්ද තෝරා බේරාගැනීමේ බුද්ධිමත් භාවයයි..කෙළ වගේම ශුක්‍රානු ශරීරය තුල නිපදවෙන බව හැමදෙනාම දන්නා කරුණකි නමුත් ශුක්‍රානු එක බින්දුවක් නිෂ්පාදනය කිරීමට‍ මොලය කොතරම් මහන්සි ගන්නවාද ? කොපමණ ලේ බිංදු ප්‍රමානයක් වැය වනවාද ? ස්වයං වින්දනයෙන් කරන්නාට අත්වන ඉරණම කුමක් ද ?
    සමහර පුද්ගලයන්ට බිරිද හෝ වෙනත් ගැහැණු කෙනක් සමග කරන සංසර්ගයට වඩා ස්‌වයං වින්දනයට ඇබ්බැහියි වූ බවක් සහ සංසර්ගයෙන් ලබන සතුට වඩා සතුටක් ලබනබව හෙළිවී ඇත.

  10. මමත් දේවවාදියෙක්. නබිනායකතුමාගේ ශුද්ධ කුරාණ ඉගැන්වීම් අධ්‍යයනය කළ පුද්ගලයෙක්. නමුත් මම මුස්ලිම්වරයක් ලෙස තවම මුස්ලිම් ආගම වැළඳ ගෙන නැහැ. හැබැයි මගේ පියා භක්තිමත් මුස්ලිම් ආගමික ව්‍යාපාරිකයෙක්. හැබැයි ඔබ වගේ බටහිර ගැත්තෙක් බටහිර මිෂනාරි අධ්‍යාපනයෙන් මනස දූෂිත කරගත්තෙක් නෙවෙයි. ඉස්ලාම් දේවවාදීයි. හැබැයි ඉස්ලාම් ආගමේ දේවවාදයයි මිෂානාරි ගැති බටහිර සුද්දන්ගේ දේවවාදයයි අතර අහසට පොළව මෙන් වෙනසක් තිබෙනවා. ඔබ ව්යාආජ නමක් භාවිතා කරලා ආගම් අතර නැති අවුල් හදන සුද්දන්ගේ හොර නියෝජිතයෙක්. සුද්දෝ තමයි ඔය ඊනියා ලිංගික සම ලිංගික විකෘති ලිංගික හැසිරීම් සියල්ල මේ රටට ගෙනාවේ. හිරිකිත කැත අශිලාචාර ලිංගික හැසිරීම් අඩනිරුවත් ඇඳුම් පැළඳුම් වසංගතයක් ලෙස මේ රටට බෝ කලේ. මට සැකයි ඔබ ව්‍යාජ නමක් භාවිතා කරන බුවා නැමැති පුද්ගලයා වත්ද කියලා? මොකද ඔබගේ ආකල්ප හා ඔහුගේ ආකල්ප සමානයි.

  11. ඔබගේ
    // ….https://en.wikipedia.org/wiki/Religious_views_on_masturbation#Christianity https://en.wikipedia.org/wiki/John_Harvey_Kellogg#Masturbation_prevention – See more at: http://www.anvermanatunga.net/2016/02/28/islamic-view-on-masturbation-sinhala/#sthash.NGd0Kq5q.dpuf….. //
    උපුටා දක්වීම් මම කියවූවා එහි ඉස්ලාම් දහම ඇතුළු පෙරදිග ආගම් සම්බන්ධව ඔබ දක්වා ඇති අදහසට ගැලපෙන්නේ නැහැ. අනික විකිපීඩියා ග්‍රන්ථ වෙනස්කළ හැකි නිසා විශ්වවිද්‍යාල මට්ටමේ දී ඒවා ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා යොදා ගන්නෙත් නැහැ. ඔබට ශාස්ත්‍රීය පර්යේෂණ ක්‍රමවේද පිළිබඳව උසස් ගැඹුරු අවබෝධයක් නැහැ.

  12. ඔබට ස්වයං වින්දනය ගැන මෙන්ම සමරිසි බවේ ආදීනව පිළිබඳවත් සදාචාරාත්මක ශික්ෂණයක උසස්බව පිළිබඳවත් පවසන දේවල් හොඳ යැයි බාර ගැනීමට සූදානම් නැති පුද්ගලයෙකු බව ඔබ ඒවාට එරෙහි වීම තුළ දැකගත හැකි සුවිශේෂි ලක්ෂණය වන්නේ ඔබ සදාචාර විරෝධී චර්යාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු බවයි. එවැනි තැනැත්තෙකු සමඟ තව දුරටත් මේ ආකාරයේ කතාබහකට යාම උසස් සමාජ සම්මතයට ගරු කරන සදාචාරාත්මක මැදිවියේ පසුවන අප වැනි පුද්ගලයන්ට නොගැලපෙන දෙයක් යැයි අප කල්පනා කරනවා.

  13. කරුණාකර මා විසින් රචිත මෙම ශාස්ත්රී්ය පර්යේෂණ ග්රතන්ථ කියවා හෝ උසස් සදාචාරාත්මක පුද්ගලයෙකු වනු මැනවි.
    1. සංජානනය : බටහිර විග්‍රහය, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    2. මෙත්තා සංකල්පය, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    3. ගැඹුරු නිහඬතාවය, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    4. සැබෑව හා මායාව, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    5. තෘප්තියට මඟ, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    6. මනුස්සකම, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    7. සීතල කඳු, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    8. බිඳුනු කැඩපත, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    9. කාලාම සූත්‍රය, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    10. ලක්දිව බෝධිසත්ව ප්‍රතිමා, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    11. සමාජ අභියෝග, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    12. නිසල ගංතෙර, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    13. සම්මුති හා විසම්මුති, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    14. පාළු වූ පුදසුන, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ
    15. විමුක්ති උදාව, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ

  14. // Mr.who says:// ඔබටයි මේ කියන්නේ ඔබට හැකි නම් මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ මගේ ලෝයකය 1, 2, හා 3 කොටස් කියවා බලන්න. සල්ලි දීලා පොත් ගන්න තරම් සල්ලි නැති නම් කැලණි විශ්වවිද්‍යාලයීය පුස්තකාලයෙන් එය ඔබව නොමිලයේ කියවා ගත හැකියි.

Comments are closed.