පලස්තීන ගුරුතුමිය ලෝක ගුරුවරිය ලෙස ඩොලර් මිලියනයක ත්යාගයක් දිනයි!

හනාන් අල් හ්රොඋබ් Hanan al-Hroub නම්වු පලස්තීන ගුරුවරිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වර්කේ පදනම Varkey Foundation විසින් ගුරු වෘත්තියේදී සුවිශේෂි දක්ෂතා දැක්වුවන්ට ප්‍රධානය කරන සම්මානය දින ඇත. මෙම පදනම විසින් මෙවැනි සම්මානයක් ප්‍රධානය කළ දෙවැනි අවස්ථාව මෙයයි. ඇය මෙම සම්මානය සහිත ඩොලර් මිලියනයක ත්‍යාගය ලබාගත්තේ ඩුබායි පාලක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති ශේක් මොහොමඩ් බින් රාෂිද් අල් මක්තූම් Sheikh Mohammed bin Rashid Al Maktoum මැතිතුමා සහ සනි වර්කේ Sunny Varkey වර්කේ පදනමේ නිර්මාතෘ අතිනි.

හනාන් අල් හ්රොඋබ් Hanan al-Hroub පලස්තීනයේ Palestine අල් බිරෙහ් හි සමීහා කලිල් උසස් පාසලේ Samiha Khalil High School in al-Bireh ගුරුවරියකි. බලහත්කාර ඉශ්‍රායෙල් රාජ්‍යය විසින් අත්පත් කරගෙන සිටින පලස්තීනයේ ඉපැදුනු මෙම ගුරුවරිය හැදීවැඩී තිබෙන්නේ සරණාගත කඳවුරකය. “පලස්තීන ගුරුවරියක ලෙස මම ආඩම්බර වෙනවා මෙම වේදිකාව මත අද මට සිටගන්නට ලැබීම ගැන. මම මේ සම්මානය පිළිගන්නේ සමස්ථ පලස්තීනයේ සියළුම ගුරුවර/ගුරුවරියන් ලද සම්මානයක් ලෙසයි.” ඇය පැවසුවා.

යුද්ධය සහ මර්ධනය දසත පැතිර තිබෙන පලස්තීනයේ ඉපැදුනු ඇය ගුරුවරියක ලෙස අත්දකින්නේ ලොව අනෙකුත් රටවල ගුරුවරියන් ලබන අත්දැකීම් නොවේ. බොහෝ විට ඇය වෙත එන සිසු සිසුවියන් යුද්ධයේ හානි වලින් දැඩිලෙස පීඩාකාරී රළු පරිසරයක වැඩුනු දරුවන්ය. මෙම දරුවන් අධ්‍යාපනය වෙත ලංකිරීම ඉතාමත් අපහසු කරුණකි. ඇය පවසන්නේ ඇය ඔවුන් සමග යම් යම් සෙල්ලම් කරන බවයි. එම සෙල්ලමෙන් ළමා අවධානය ඇයවෙත යොමුකරගන්නා ඇය ඉන් අනතුරුව ඔවුන්ට අකුරු කරවයි.

සමහර දරුවන් යුද්ධයෙන් බරපතල හානි වලට ගොදුරු වී ආබාධිත තත්වයට පත්වුවන්ය. මානසික අසහනයට පත්ව සිටින්නන්ය. නමුත් ඇය පවසන්නේ මේ සියළුම දරුවන් තුල කිසියම් සැගවුණු දක්ෂතාවයක් තිබෙන බවයි. ඇය එම දක්ෂතා ඔප්නංවන්නට කැපවී සිටින්නීය. දරුවන්ට සෙල්ලම් කිරීමට අයිතියක් ඇති බව ඇය පවසයි. සෙල්ලම් කිරීමෙන් දරුවන් සමාජයේ කොටසක් වීමට ඉගෙන ගන්නවා පමණක් නොව සතුට යනු කුමක්ද? යන්න වටහා ගන්නා බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මුස්ලිම් ලොව සමග සම්බන්ධ කම් පවත්වන්නට උනන්දුවක් දක්වන ලෝක කතෝලික නායක වන ෆ්‍රැන්සිස් පාප්තුමාද වීඩියෝවක් මගින් ඇය වෙත සුභපැතුම් එක්කර තිබෙනවා.