Liposuction හෙවත් මේදහරණ සැත්කම

Liposuction හෙවත් මේදහරණ සැත්කම

පලමුවෙන්ම කියන්න ඕන Liposuction යන වචනයට ගැලපෙන සිංහල වචනයක් මට සිංහල ශබ්දකෝෂයෙන් සොයාගන්න බැරි වුණා. මේ නිසා Liposuction යන වචනයට සිංහලෙන් මේදහරණය යනුවෙන් යොදන්නට අප තීරණය කළෙමු. මෙම වචනයට මීට වඩා ගැලපෙන සිංහල වචනයක් තිබේ නම් ඒ සම්බන්ධව ඔබ අප දැනුවත් කරනු ඇතැයි සිතමු. ඇත්තෙන්ම Liposuction හෙවත් මේදහරණයෙන් සිදු කරන්නේ සැත්කමක් මගින් ශරීරයේ මේදය ඉවත් කිරීමක්. මිනිස් සිරුරේ ගෙල, උදරය, නිතඹ සිට කලවා දක්වා පරාසයක සමට ඇතුලතින් පිහිටි මේද ඉවත් කිරීම මෙම සැත්කම මගින් සිදුකරනවා.

මෙම සැත්කමට අද බොහෝ දුරට යොමුවන්නේ රූපලාවන්‍ය සම්බන්ධව උනන්දුවක් දක්වන අය බව පෙනෙන්නට තිබෙනවා. නමුත් මෙසේ රූපය ලස්සන කරගැනීමට ශරීරයේ තිබෙන අමතර මේද කොටස් ඉවත් කිරීම අපගේ ශරීරය එක්තරා අන්දමක අවධානම් තත්වයකට පත්කරන්නත් පුළුවන්. එමෙන්ම මේදය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමේදී සෘනාත්මක පැතිකඩක්ද තිබෙන බව අමතක නොකළ යුතුයි. කෙසේ වෙතත් කොපමණ ප්‍රමාණයක් මේද ඉවත් කරනවාද? යන්න රෝගියා සහ වෛද්‍යවරයා විසින් තීරණය කළ යුතුයි.

සමහර අවස්ථා වලදී ස්ථුලතාවය නිසු කකුල් දෙකට අපහසු වන රෝගීන් සදහා මෙම සැත්කම සිදුකර ගැනීමට වෛද්‍යවරුන් විසින් උපදෙන අවස්ථාද අපට සමාජයේ දැකගන්නට පුළුවන්. මෙවැනි ශල්‍යකර්මයක් ලොව පලමුවෙන් සිදුකළේ ප්‍රංශයේ බවට වාර්තා වෙනවා. ඒ 1926 වසරේදීය. ප්‍රංශ ජාතික ශල්‍ය වෛද්‍ය චාල්ස් දුජාරීර් Dr. Charles Dujarier විසින් කිසියම් පුද්ගලයෙකුගේ කකුලේ ඇතිවු පිළිකාවක් ඉවත් කිරීමේ සැත්කමක් සිදුකිරීම පලමු කළ මේදහරණ සැත්කම බවට වාර්තා වෙනවා.

මෙසේ මේදහරණ සැත්කම් කරන්නට දැන් ලෝකයේ විවිධ වෛද්‍ය මධ්‍යස්ථාන වල විවිධවු අන්දමේ මිල ගණන් අයකරන බව අපට දැකගන්නට පුළුවන්. ලංකාවේද මෙම සැත්කම කරන පෞද්ගලික වෛද්‍ය ආයතන දක්නට ලැබෙනවා. එක්තරා පෞද්ගලික රෝහලකට අප විසින් ස්ථුල තරුණියක් යවා ඇයගේ මේදහරණය කිරීම සම්බන්ධව මිල ගණන් ඇසුවා. එහිදී ඔවුන් පැවසුවේ ඇයගේ ශරීරයේ මේද ඉවත්කිරීමේ සැත්කම සදහා ලක්ෂ 3ක පමණ මුදලක් වැය වන බවයි. කෙසේ නමුත් මෙම මේදහරණ සැත්කම සිදුකරන අය සැලකිලිමත් විය යුත්තේ මිල ගණන් නොව වඩා සුරක්ෂිත ස්ථානය බව අපගේ අදහසයි. මන්ද මෙමගින් ඔබගේ ජීවිතයත් මරණයත් අතර තත්වයක් නිර්මාණය කළහැකි බැවිනි.

කෙසේ වෙතත් ශරීරයේ මේදය අඩුකර ගැනීමට මෙසේ සැත්කම් කරගෙන මුදල් විශාල ප්‍රමාණයක් නැතිකරගෙන ශරීරය අවධානම් තත්වයට පත්කරගන්නවාට වඩා ආහාර පාලනයෙන් සහ ව්‍යායාම මගින් එය කරගත්තා නම් එය යහපත් බව අපගේ අදහසයි. ඉතිං අප විසින් පෞද්ගලික රෝහලට මිල ගණන් ඇසීම සදහා යැවු තරුණියත් දැන් ඇගේ බර අඩුකර ගැනීම සදහා ව්‍යායාම කිරීමට කායවර්ධන මධ්‍යස්ථානයකට Gymnasium යන බව අපට පැවසුවා. ඒ සදහා දැන් ඇයට වියදම් වන්නේ මසකට රුපියල් 1500ක් වැනි මුදලක් බවද ඇය අප වෙත වැඩිදුරටත් පවසා සිටියා.

 

 

 

 

One Comment to “Liposuction හෙවත් මේදහරණ සැත්කම

  1. ස්ථුලතාවය අඩු කර ගැනීම බොහොම හොඳයි. එසේම සැත්කම් මගින් මේදය ඉවත් කිරීම අත්‍යවශ්‍ය අවස්ථා වලදී හැරුණු විට කිරීම නොසුදුසු වනබව පෞද්ගලිකව සිතමි. නමුත් මිනිසුන්ට තරබාරු කම අඩු කිරීම සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම බාධාව වන්නේ මේ විෂය ගැන නිවැරදි දැනුම සොයා ගැනීමට ඇති බාධාවයි. බර අඩු කරගැනීම දැන් commercialized වී ඇති නිසා සාවද්‍ය තොරතුරු බොහොමයක් සමාජ ගත වී ඇත. ව්යායාම වලට *ප්‍රමුඛතාවය* දීම ඉන් එකකි. ලිපියේ සඳහන් වන තරුණිය දැන් ව්‍යායාම වලට යොමු වී ඇති බව පැවසේ.

    පැය බාගයක් දිවීමෙන් හෝ පිහිනීමෙන් කැලරි 350ක් පමණ දහනය වේ. නමුත් ඒ පුද්ලයා පැණි බීම (කොකා කෝලා ෆැන්ටා යනාදිය) නිතර පානය කරන්නේ නම් 400ml ක් පානය නොකර සිටීමෙන් ඒ කැලරි ප්‍රමාණයම ශරීරයට අහිමි වේ. ආහාර පාන අඩුවෙන් ගැනීම ව්‍යායාම වලට වඩා වැදගත් වන බව පෙන්වා දීමට මෙය සරල උදාහරණයක් පමණි. ස්ථුල පුද්ගලයෙකුට තබා සාමාන්‍ය පුද්ගයන්ට වුව දිනපතා පැය බාගයක් ව්‍යායාම වල නිරත වීම අපහසුය. ප්‍රායෝගික වශයෙන් එය දිනපතා සිදුකෙරෙන කටයුත්තක් නොවේ. නමුත් අහාර පාන පාලනය කිරීම වඩා පහසුය.

    පාඨකයන් හට වැඩි විස්තර ගූගල් කිරීමෙන් සොයා ගැනීම කල හැක. සරලව පවසනවානම් පැණි බීම, මත්පැන් සහ සීනි අඩංගු කෑම අඩු කිරීම මගින්ම බර පාලනය සම්භන්ධයෙන් විශාල මෙහෙයක් සිදුවේ.

Comments are closed.