ඉන්සියුලින් Insulin ගැන ඔබ දැනගත යුතු දේ!

ඉන්සියුලින් Insulin ගැන ඔබ දැනගත යුතු දේ!

දියවැඩියාව අර්ථ දක්වන්නේ කෙසේද?

යම් පුද්ගලයකුගේ සිරුරෙහි ලේවල ඇති සීනි ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ ගිය විට ඔහුට ‘දියවැඩියාව’ හෙවත් ‘ඩයබිටිස්’ ඇති බව වෛද්‍යවරුන් විසින් තීරණය කරනවා. ඊට හේතුව වන්නේ ඉන්සියුලින් නමැති හෝමෝනයේ අඩුකමයි. සිරුරේ සෑම සෛලයක් වෙතම රුධිරය මඟින් ගෙන යන ග්ලූකෝස් නම් වූ ශක්ති ජනක සීනි වර්ගය සෛල තුළට ඇතුළු කිරීමට උදවුවන යතුර ලෙස ක්‍රියා කරන්නේ මේ හෝමෝනයයි. එය අඩු වූ විට රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා.

දියවැඩියාව අවදානම වැඩි කාටද?

මේ රෝගී තත්ත්වය ඕනෑම වයස් කාණ්ඩයකදී ඇතිවිය හැකි අතර අවුරුදු පහට අඩු ළමයින් අතරේ නම් දුර්ලභයි. යෞවනයින් සහ තරුණ වයසේ අය අතර පළමු වර්ගයේ දියවැඩියාව මුලින්ම ඇතිවීමේ හැකියාව ඉහළයි. ඊට පසු හැම වයස් කාණ්ඩයකම අය අතර දියවැඩියාව ඇති විය හැකියි. එහෙත් මේ රෝගී තත්ත්වය වැඩිපුරම දකින්නට ලැබෙන්නේ වැඩිහිටියන් අතරයි.

පළමු වර්ගයේ දියවැඩියාව ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?

දියවැඩියාව රෝගී තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතු දෙකක් බලපානවා. ඒ අතරින් අග්න්‍යාශයේ ඉන්සියුලින් තැනෙන සෛල විනාශ වී යාම නිසා ඉන්සියුලින් නිෂ්පාදනය අඩාළ වීමෙන් ඇතිවන දියවැඩියාව පළමු ආකාරයයි. එය පළමු වර්ගයේ දියවැඩියාව‍ හෙවත් ඉන්සියුලින් මත රඳා පවතින දියවැඩියාව ලෙස හැඳින්වෙනවා. ‘යෞවනයේ දියවැඩියාව’ ලෙස මෙම රෝගී තත්ත්වය හැඳින්වෙන්නේ වැඩිපුරම ළමා, යෞවන හා තරුණ පිරිස් අතර දැකිය හැකි නිසයි. මේ අය ගේ අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය නොවන නිසා ප්‍රතිකාර ලෙස එන්නත් මඟින් ඉන්සියුලින් ලබාදිය යුතුයි.

ඉන්සියුලින් නිපදවන සෛල විනාශ වීමට බලපාන හේතුවක් තිබෙනවාද?

ඉන්සියුලින් නිපදවෙන්නේ අග්න්‍යාශය තුළයි. එම හෝමෝනය නිපදවන සෛල විනාශ වන්නේ කුමන හේතුවක් නිසාද යන්න නිවැරැදිවම කිව නොහැකියි. එහෙත් නවීන විද්‍යාත්මක තාක්ෂණය භාවිත කරමින් මිනිස් ඉන්සියුලින් හෝමෝනය හා සමාන ඉන්සියුලින් හෝමෝන පරීක්ෂණාගාරයේ නිෂ්පාදනය කිරීමට හැකිවී තිබෙනවා.

දෙවැනි වර්ගයේ දියවැඩියාව ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?

දෙවැනි වර්ගයේ දියවැඩියාව හෙවත් ඉන්සියුලින් මත රඳා නොපවතින දියවැඩියාව ඇතිවීමට බලපාන හේතු සාධක පළමුවැන්නට වඩා වෙනස්. මෙහිදී අග්න්‍යාශයේ ඉන්සියුලින් නිෂ්පාදනය සාමාන්‍ය අයුරින් සිදුවන අතර සමහර විට ඉන්සියුලින් නිෂ්පාදනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීමට ද පුළුවන්. එහෙත් මේ හෝමෝනය අස්වාභාවිකයි.

එම නිසා සෛල තුළ දී නිසි අයුරින් ක්‍රියාත්මක නොවෙයි. මෙම රෝගීන් අතරින් වැ‍ඩි පිරිසක් වැඩිහිටියන් වන නිසා එය වැඩිහිටියන්ගේ දියවැඩියාව ලෙස හැඳින්වෙනවා. දියවැඩියා රෝගීන් දස දෙනකුගෙන් නව දෙනෙක් ම අයත් වන්නේ මේ කණ්ඩායමටයි. එනම් දෙවැනි වර්ගයටයි.

දෙවැනි වර්ගයේ දියවැඩියාවට බලපාන හේතු සාධක මොනවාද?

මේ දියවැඩියා තත්ත්වයට බොහෝවිට තරබාරුකමත් සමඟ සම්බන්ධතාවක් තිබෙනවා. ඒ වගේ ම පවුලේ කෙනෙකුට වැලඳී තිබේ නම්, එනම් ප්‍රවේණිය හා සම්බන්ධයක් ද තිබෙනවා. සමහර පවුල්වල දියවැඩියාවෙන් පෙළෙන අය වැඩියි. එහෙත් ආහාර පාලනය, ව්‍යායාම හා ඖෂධීය ප්‍රතිකාර (පෙති වර්ග) මඟින් රෝගී තත්ත්වය හොඳින් පාලනය කරගත හැකියි.

දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන අයට ඉන්සියුලින් හෝමෝනය එන්නත් මඟින් ලබා දෙන්නේ නැද්ද?

න්‍යායික වශයෙන් දියවැඩියාව මුලින් කී ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදුණ ද ප්‍රතිකාර කිරීමේදී සමහරවිට යම් යම් වෙනස්කම් සිදුවිය හැකියි. එමනිසා කලාතුරකින් වැඩිහිටියන්ට වුවද ඉන්සියුලින් නික්ෂේපන (එන්නත්) ලබා දීමට සිදුවේ. ඒ වගේම ‍ඖෂධීය පෙතිවලින් දියවැඩියාව පාලනය කළ හැකි යෞවනයන් ද සිටී. අදාළ රෝගියා ගේ රෝගී තත්ත්වය අනුව ලබා දිය යුතු වන්නේ කවර ප්‍රතිකාරයද යන්න වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.

දියවැඩියාව රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාද?

රෝගී ලක්ෂණ කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් විය හැකියි. අධික වතුර තිබහ, තොලකට වියළීම, අධික ලෙස මුත්‍රා පිට කිරීම, නිතර බඩගිනි ස්වභාවයක් දැනීම, සිරුර කෙට්ටුවීම හා බර අඩුවීම, තෙහෙට්ටුව, මහන්සිය හා ඇඟපතෙහි වේදනාකාරී බව, ඉක්මනින් විඩාවට පත්වීම, රාත්‍රී කාලයේ නින්දෙන් නැගිට කිහිප අවස්ථාවක් මුත්‍රා කරන්නට යාම, නිතර සමේ රෝග ඇති වීම, සුළු තුවාලයක් වුව සුව වීමට කල් ගතවීම හා ලෙහෙසියෙන් පැසවීම, ලිංගේන්ද්‍රියයන් අධිකව කැසීම, තුවාල ඇතිවීම, පෙනුම බොඳවී යාම ආදී රෝග ලක්ෂණ දියවැඩියාවේ රෝග ලක්ෂණයන්.

එහෙත් සමහර රෝගීන්ට ඒ රෝග ලක්ෂණ ඇති නොවේ. රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළයාම දක්නට ලැබේ. මුත්‍රාවල සීනි මතු වන්නේ රුධිරයේ සීනි මට්ටම තවත් ඉහළ ගිය විටයි. එම නිසා මුත්‍රාවල සීනි නැතත් ලේවල සීනි වැඩිවී තිබෙන්නට පුළුවන්.

දියවැඩියාව භයානක රෝගී තත්ත්වයක් වන්නේ ඇයි?

රෝගය භයානක වන්නේ නිසියාකාරව ප්‍රතිකාරවලට යොමු වී රෝගය පාලනය කර නොගත්තේ නම් පමණයි. විශේෂයෙන් පළමු වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයකුට අවශ්‍ය ඉන්සියුලින් හෝමෝනය නික්ෂේපනය (එන්නත්) නොකළේ නම් ඔහුගේ බර ශීඝ්‍රයෙන් අඩු වී වැහැරී ගොස් අනතුරුව සිහි මුර්ජාවී මිය යාමට ද පුළුවන්.

දියවැඩියාව නිසා ඇතිවන සංකූලතාව මොනවාද?

දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා හෙවත් අතුරු ඵලයන් ද භයංකරයි. නිසි ප්‍රතිකාර ගනිමින් රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය නොකළේ නම් ඇති විය හැකි ප්‍රධාන සංකූලතාව ඇස්වල පෙනුම අඩුවීමයි. අවසානයේ දී සමහරෙක් අන්ධභාවයට වුවද පත්විය හැකියි. එමෙන් ම වකුගඩු රෝගී වීමද සිදුවේ. රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යාම නිසා රුධිර වාහිනීවල ඇතිවන වෙනස්කම් එම සංකූලතාව හටගැනීමට මූලික හේතුවයි.

අවසානයේ දී මොළයේ රුධිර වාහිනී හිරවීමෙන් හෝ පිපිරීමේ හේතුවෙන් අංශභාගයත් හෘදයේ රුධිරවාහිනී හිරවීමෙන් හෘදයාබාධත් ඇතිවිය හැකියි.

දියවැඩියා රෝගීන් ගේ ස්නායු දුර්වල වනවා කියන්නේ ඇත්ත ද?

ඔව්. ස්නායු දුර්වල වීම දියවැඩියාව රෝගය නිසි අයුරින් පාලනය නොකිරීමේ හේතුවෙන් ඇතිවිය හැකි තවත් සංකූලතාවක්. ඒ වගේම අත්පා හිරි වැටීම හා කල් පවතින තුවාල ඇතිවීම ද සිදුවිය හැකියි. විශේෂයෙන් පාදවල හටගන්නා එවැනි තුවාලවලට කඩිනම් ප්‍රතිකාර නොකළේ නම් ශල්‍යකර්ම මඟින් පාද කපා ඉවත් කිරීමට ද සිදුවෙයි.

ස්නායු දුර්වලත්වයට අමතරව පාදවලට සැපයෙන රුධිරවාහිනී අවහිර වීම ඊට හේතුවයි. එමෙන්ම මුත්‍රා ආසාදන, ලිංගික ප්‍රදේශ වණ වීම සහ ලිංගික අප්‍රාණිකත්වයත් දියවැඩියාව නිසා හටගත හැකි තවත් සංකූලතායි.

දියවැඩියා රෝගීන්ගේ රුධිරයෙහි සීනි මට්ටම ඉහළ යාමත්, අනවශ්‍ය ලෙස පහළ යාමත් නිසා රෝගියා සිහිමූර්ජා වනවා කියන්නේ ඇත්ත ද?

එම රෝගීන් මුහුණ දෙන ප්‍රධාන හදිසි තත්ත්වය සිහි මුර්ජා වීමයි. එසේත් නැතිනම් කෝමා තත්ත්වයට පත්වීමයි. රුධිරයේ ග්ලුකෝස් ඉහළ යාමටත් පහළ යාමටත් හේතු වන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ තත්ත්වයන් දෙකක්. එය පටලවාගෙන ප්‍රථමාධාර කළේනම් ඇතිවන ප්‍රතිඵලය භයානක විය හැකියි. එබැවින් ලබාදිය යුතු ප්‍රතිකාරය ගැන දැන සිටීම වැදගත්. ඒ වගේම කෝමා තත්ත්වයට පත් වූ රෝගියකුට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි. ප්‍රතිකාර පමා වීමෙන් රෝගියා මිය යා හැකියි.

රුධිරයේ සීනි මට්ටම පහළ යාමට බලපාන හේතු මොනවා ද?

ඉන්සියුලින් හෝමෝනය හෝ සමහර දියවැඩියා ඖෂධ වැඩිපුර ගැනීම, ඖෂධ ගන්නා අතර පමණට වඩා බර ව්‍යායාමවල යෙදීම, නිසි පරිදි ආහාර නොගැනීම හා නිසි වෙලාවට ආහාර නොගැනීම මෙන්ම අධික ලෙස මත්පැන් පානය කිරීම ද මේ තත්ත්වය ඇතිවීමට හේතු විය හැකියි.

එසේ රුධිරයේ සීනි මට්ටම පහළ වැටීම ඉතාම භයානක තත්ත්වයක්. අවග්ලූකෝසියාව (Hypoglycemia) ලෙස හැඳින්වෙන එම තත්ත්වය විනාඩි කිහිපයක් වැනි සුළු කාලයක් තුළ ඇතිවිය හැකි අතර හිසරදය, බඩගිනි දැනීම, දහඩිය දැමීම, පපුව වේගයෙන් ගැහීම හා පෙනීම බොඳ වී යා හැකියි.

අනතුරුව ක්ලාන්තය, සිහි මුර්ජා වීම සිදුවිය හැකියි. එවැනි රෝග ලක්ෂණ දුටු වහාම සීනි ස්වල්පයක්, ටොෆියක් හෝ ග්ලූකෝස් ටිකක් ප්‍රථමාධාර ලෙස රෝගියාට ලබා දිය යුතුයි. ඒ වගේම හැකි විගස වෛද්‍යවරයකු වෙත යොමුකළ යුතුයි.

රුධිරයේ ග්ලූකෝස් වැඩිවූ විට ඇතිවන තත්ත්වය කෙබඳු ද?

මේ තත්ත්වය හැඳින්වෙන්නේ අධිග්ලුකෝසියාව නමින්. මෙවැනි අවස්ථාවකදී රෝගියා සිහි මුර්ජා වීම සිදුවිය හැකියි. එහෙත් අවග්ලුකෝසියාවේ දී මෙන් නොව මේ තත්ත්වය ඇතිවීම සඳහා පැය ගණනක් හෝ දින ගණනක් ගතවිය හැකියි. මේ සඳහා ඇති ප්‍රතිකාරය නම් ඉන්සියුලින් නික්ෂේපණය කිරීමයි.

දියවැඩියාව නිට්ටාවට සුවකළ හැකි ද?

රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය පහළ දැමීමට සමත් ඖෂධ වර්ග සොයාගෙන තිබුණත් දියවැඩියාව නිට්ටාවට සුවකළ හැකි ප්‍රතිකාර තවමත් සොයාගෙන නෑ. ඖෂධ හා ආහාර මඟින් කළ හැකි වන්නේ එය පාලනය කිරීම පමණයි.

දියවැඩියා රෝග ලක්ෂණ පහව ගිය පසුත් දිගටම ප්‍රතිකාර ගත යුතු ද?

දියවැඩියාවට ප්‍රතිකාර ලබා ගැනීමත් සමඟ රාත්‍රියේ කිහිප වරක් මුත්‍රා පිටවීම සීමා වීම, පිපාසය, ඇ‍ඟේ හිරි ගතිය, තෙහෙට්ටුව ආදිය දුරු වීම සිදුවිය හැකියි. එහෙත් රෝග ලක්ෂණ පහවී ගිය පමණින් රෝගය සුවවේ යයි නිගමනය කළ නොහැකියි. එවැනි රෝගීන්ගේ රුධිර පරීක්ෂණයක් කළේ නම් සිනී ප්‍රමාණය වැඩිවී තිබිය හැකියි. රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිනම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගත යුතුයි. එසේ නැතිනම් ඔබ නොදැනුවත්වම කල්ගත වීමත් සමඟ ඇස් පෙනීම අඩුවීම, වකුගඩු ආබාධ, හෘදයාබාධ, අංශභාග හා සුව නොවන තුවාල ආදී සංකූලතාවන් ඇතිවිය හැකියි.

ඉන්සියුලින් එන්නත වෙනුවට ලබාදිය හැකි ඉන්සියුලින් පෙති හෝ සිරප් වර්ග තිබෙනවා ද?

නෑ. ඉන්සියුලින් හෝමෝනය ප්‍රෝටීන් විශේෂයක්. එය පෙති වශයෙන් හෝ දියරක් වශයෙන් පානය කළේ නම් ආමාශයේ දී එය දිරවා අක්‍රිය වේ.

දියවැඩියාව රෝගය ඇතිවීමෙන් වැළකී සිටිය නොහැකි ද?

රෝගය හටගැනීම වැළැක්විය නොහැකි වුවද එය ඇතිවීමේ කාලය කල් දාගත හැකියි. උසට සරිලන බර, ව්‍යායාම හා ආහාර පාලනය එහිදී වැදගත්. දියවැඩියාවට ජානමය සම්බන්ධතාවක් තිබෙන නිසා එවැනි රෝගීන් ඉන්නා පවුල්වල අය වඩාත් ප්‍රවේශම් විය යුතුයි. සීනි, පිටි හා තෙල් ආහාර අඩු කිරීම, එළවළු, පලා හා පලතුරු වර්ග, විශේෂයෙන් තන්තුමය ආහාර වැඩිපුර ගැනීම දියවැඩියාව රෝගීන්ට මෙන්ම නිරෝගී අයට ද වඩාත් සුදුසුයි.

දියවැඩියාව රෝගීන්ට වඩාත් හිතකර ව්‍යායාම මොනවා ද?

හොඳින් ආශ්වාස කරමින් කරන ව්‍යායාම වඩාත් සුදුසුයි. බැඩ්මින්ටන්, බයිසිකල් පැදීම, හැල්මේ ඇවිදීම, පිහිනීම සුදුසු අතර දියවැඩියා රෝගීන් හෘදයාබාධ වැනි වෙනත් රෝගයකින් පෙළෙනවානම් මේ ව්‍යායාම නුසුදුසු විය හැකියි. එම නිසා වෛද්‍ය උපදෙස් අනුව රෝගීන් ව්‍යායාම සඳහා යොමුවීම වඩාත් යෝග්‍යයයි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

සාකච්ඡා කෙළේ

One Comment to “ඉන්සියුලින් Insulin ගැන ඔබ දැනගත යුතු දේ!

Comments are closed.