ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් Global Life Style පාරිබෝගිකයන්ට පිරමිඩාකාරයේ පොලු තියලා!

ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් Global Life Style පාරිබෝගිකයන්ට පිරමිඩාකාරයේ පොලු තියලා!

පිරමිඩාකාර ව්‍යාපාරවල යෙදෙන්නේ යයි චෝදනා එල්ල වී ඇති කොල්ලුපිටියේ පිහිටි ‘ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා’ ආයතන ප්‍රධාන කාර්යාලය ඉදරිපිට ඊයේ පස්වරු 07.00 ට පමණ උණුසුම් තත්වයක් ඇතිවිය. එහි සාමාජිකයින් පිරිසක් විසින් ආයතනය වැටලීම නිසා මෙම තත්වය ඇති වූ අතර ඔවුන් කියා සිටියේ තමන්ට පොරොන්දු වූ ප්‍රතිලාභ නොලැබුණු බවයි. තම තැන්පත් මුදල් ආපසු දෙන ලෙසද මෙම පිරිස් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් එම අවස්ථාවේ ආයතනයේ වගකිව යුතු කිසිවෙක් ආයතනය තුල සිට නැත.

ලංකාව තුල මෙම පිරමීඩ ක්‍රම ගොඩාක් ක්‍රියාත්මක වුනා. සමහරක් පිරමීඩ ව්‍යාපාර මේ වන විටත් නීතියේ රැහැනට හසුවී හමාරයි. නමුත් මේ වන විට තිබෙන නීති වලින් කපටි ලෙස රිංගා යමින් මෙම ජාවාරමේ නිරත වන ප්‍රධානම ආයතනය තමයි. ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් (Global Life Style). මේ ආයතනයට සාමාජිකයින් බදවාගන්න ආකාරය පිලිබඳව කෙටි විස්තරයක් බලමු. මේ සාමාජිකයින් මුලින්ම මේ ආයතනයට මූලිකව මුදලක් ලබාදී භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගන්න ඕනි (Rs. 10,000 ක් වටිනා භාණ්ඩයකට Rs. 60,000 කට අධික මුදලක් ගෙවමීන්). මේ භාණ්ඩ හෝ සේවා ලබාගන්න පුද්ගලයා එම භාණ්ඩ හෝ සේවා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට විකිනීම මගින් තමා වැය කල මුදල ඉපයීමට උත්සාහ ගන්නවා. මේ හරහා බොහෝ පිරිසක් මේ භාණ්ඩ හෝ සේවා මිලදී ගන්න පොලඹවා ගැනීම මත පිරමීඩාකාර ක්‍රමය ගොඩනගාගන්නවා.

තමාගෙන් වැයවූ මුදල උපයාගැනීම සදහා බොරු සුරංගනා ලෝකවල් මවාපාමීන් තමන්ගේ හොදම යාලුවාව විතරක් නෙමෙයි තමන්ගේ දෙමාපියන්ව නෑදෑයින්ව උනත් මෙම පිරමීඩයේ පුරුක් පිරවීම සදහා ඔබ විසින් ඉතා පහත් ආකාරයෙන් භාවිතා කරනවා. නමුත් මාස කිහිපයක් ගත වූවාම තමයි ඔබට අවබෝධ වන්නේ තමන්ගේ මුදලුත්, ශ්‍රමයත්, කාලයත් හිතවතුනුත් මෙම පිරමීඩ ජාවරම මගින් තමන්ට අහිමි කරලා අවසානයි කියලා. නමුත් ඒ වන විට ඔබ ප්‍රමාද වැඩියි.

මේ ආයතන මුලින්ම කරන්නේ මෙවන් පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු කරගෙන වැඩමුලු සහ දේශන පැවැත්වීමයි. මේ දැනුවත් කිරීමේ දේශන හරහා අපිට කිසිම අවශ්‍යතාවයක් නැති කිසි වැදගැම්මකට නැති භාණ්ඩයක් තමයි විකුණන්නේ. ඒකත් වෙළඳපලේ මිලට වඩා වැඩි මිලක තමයි විකුණන්නේ. මේ විදිහට භාණ්ඩ විකිණීමේ දාමයේ අවසානය කුමක්ද? ඔබ දන්නවාද? මේ විදිහට පහලට සාමාජිකයෝ බදවාගැනීම කරගෙන යනවිට අපේ ලංකාවේ ජනගහනය වන කෝටි දෙක ස්තර නැත්නම් තට්ටු පනහක් (50) විතර යද්දි ඉවර වෙනවා.

මෙම ආයතනයේ මූලිකම වෙළෙද උපක්‍රමය තමයි සාමාජිකයින්ගේ මොළ සේදීම නොහොත් Brain Wash කිරීම. මේ සදහා විවිධ වැඩමුලු පවත්වමින් විශාල මුදලක් මෙම ආයතනය වැය කරනවා. එක් දින වැඩමුලු මෙන්ම දින කිහිපයක වැඩමුලුද මොවුන් විසින් පවත්වනවා. එම වැඩමුලු වලින් කරනුයේ ප්‍රභාකරන් විසින් මරාගෙන මැරීම සදහා කොටි සාමාජිකයින්ගේ මොළ සේදුවාට සමාන වැඩකි. මෙම වැඩමුලුවලින් එලියට පැමිණෙන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් එනම් පිරමීඩයේ තම පුරුක් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ඕනෑම ආකාරයේ පහත් ක්‍රියාවක් කිරීමට පෙලඹෙන පුද්ගලයෙකි.

මෙම Global Life Style ආයතනයේ වැඩමුලුවලට සහභාගී වූ අයගේ ප්‍රධානම ලක්ෂණයක් තමයි අතේ අහු වන බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම. ඔවුන් විසින් ඉතාමත්ම පහත් අන්දමින් තමාගේ ලගම යාලුවන්ව, නෑදෑයින්ව මෙන්ම හිතවතුන්ව විව්ධ බොරු කතා කියමින් සුරංගනා ලෝක වල අතරමන් කරවනවා. ඔවුන් ප්‍රකාශ කරනුයේ මුදල් ඉපයිය හැකි හොදම පහසුම ක්‍රමය මෙය බවයි. එමෙන්ම ඔවුන් පවසන්නේ අපිට මාස කිහිපයක් මෙම ජාවාරමේ යෙදීමෙන් Ferrari Cars මිලදී ගත හැකි බවයි. එමෙන්ම Ferrari Car එකක් මිලදී ගැනීමේදී ආයතනය මගින් 50% ක මුදලක් ලබාදෙන බවයි. ඉතින් මුදලට ගිජු මිනිසුන් පහසුවෙන්ම මෙම ආයතනයේ ගොදුරක් බවට පත් වනවා. ආයතනයට නව සාමාජිකයින් බදවා ගැනීම සදහා ගමන් කිරීමට ඉන්ධන දහනය අඩු CT 100 මෝටර් බයිසිකයක් මිලදී ගන්න යැයි කියන මොවුන් පිරමීඩයේ ඉහල සාමාජිකයින් විසින් Ferrari වැනි මෝථර් රථ මිලදී ගන්නා බවට සාමාජිකයින් තුල විශ්වාසයක් ඇතිකරවා මෙම ජාවාරම පිළිබදව විශාල ඇල්මක් සහ පිස්සුවක් ඇති කරවනවා. මෙම උදාහරණයෙන් ඔබට තේරුම් ගන්න පුලුවන් මෙම ආයතනය මතුපිටින් පෙන්වන දෙය නෙමේ සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන්නේ කියලා. මෙම ආයතනයේ සාමාජිකයින් බොරුවෙන් ජීවත් වන පිරිසකි.

මේ ආයතන ලංකාවේ ආයතන නෙවේ. මේවා පිටරට මහාපරිමාන ව්‍යාපාරිකයින්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔබ ගෙවන මුදලින් ප්‍රතිලාභ ලබන්නේ මේ ජාලයේ ඉහලම ඉන්න පිරිස පමනයි. ඔබට ලැබෙන්නේ මුලාව පමණයි. මේ නීති විරොධී ව්‍යාපාරවල නිරත වීම් නිසා දඩුවම් ලබන පිරිස් ගැන ඔබ අහලා ඇති. සක්විති රණ්සිංහ, ගෝල්ඩන් කී වැනි ආයතන වල පුද්ගලයින් මෙවැනි නීති විරොධී ව්‍යාපාරවල යෙදී මේ වන විට නීතියෙන් වරදකරුවන් වී සිටින අයයි.

මෙම Global Life Style ආයතනය පවත්වාගෙන යනුයේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි දෙමළ ජාතිකයෙකි. ඔබ විසින් මෙම පිරමීඩයට සම්බන්ධ කරගන්නා සෑම පුද්ගලයෙකුම භාණ්ඩය මිලදී ගැනීම වෙනුවෙන් වියදම් කරන මුදලෙන් යම් කොටසක් මෙම පුද්ගලයාට ලැබෙනවා. අප රටේ පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කිරීමත් ඒවාට කුමන ආකාරයකින් හෝ සම්බන්ධවීමත් 100% ක්ම නීති විරෝධී බව ඔබ හොදින් මතක තබා ගත යුතුයි. නමුත් Global Life Style ආයතනය මෙම නීති වල තිබෙන හිඩැස් වලින් රිoගලා තමයි දැනට මෙම ජාවාරමේ යෙදෙන්නේ. ඔවුන් පිරමීඩය ක්‍රියාත්මක කිරීමට පහළ ස්ථර වල සිටින සාමාජිකයින්ව දේශන මගින් පොළඹවන නමුත් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ කිසිවෙකු තමන් සාමාජිකයින් බදවා ගැනීමට උපදෙස් දෙන බව පිළිගන්නේ නැහැ.

එමෙන්ම එම ආයතනය (Global Life Style) විසින් කිසිම වටිනාකමක් නොමැති භාණ්ඩ හා සේවාවන් කිහිපයක් තමන්ගේ මෙම පිරමීඩ ජාවාරම නීතියේ රැහැනින් පලා යෑම සදහා මෙවලමක් වශයෙන් භාවිතා කරනවා. වෙළෙදෙපොලේ Rs. 10,000 ක් පමණ වටිනාකමකින් යුතු භාණ්ඩ මෙම ආයතනය විසින් තම සාමාජිකයින්ට විකුණනුයේ Rs. 60,000 කටත් වැඩි මුදලකටයි. ඉතින් ඔබම සිතා බලන්න ඔවුන් විසින් මෙම භාණ්ඩ විකිණීම භාවිත කරනුයේ නීතියේ රැහැනින් මිදීමට මෙවලමක් වශයෙන් පමණයි. ඇත්ත වශයෙන්ම ඔවුන් කරනුයේ මුදල් ලබාගෙන ඔබව පිරමීඩ ජාවාරමට සම්බන්ධ කර ගැනීමයි. නමුත් භාණ්ඩයක් ලබානොදී ඔබගෙන් මුදල් පමණක් අය කර සාමාජිකත්වය ලබාදීම පිරමීඩ ජාවාරමක් බව තහවුරු වී එම ආයතනයත් එහි සාමාජිකයිනුත් පහසුවෙන්ම නීතියේ රැහැනට පත්වන නිසා මෙම ආයතනය සිදු කරනුයේ කිසිදු මූල්‍යමය වටිනාකමක් නොමැති භාණ්ඩයක් ඔබට නාමමාත්‍රිකව ලබාදී මෙම පිරමීඩ උගුලට ඔබව හසු කරගෙන නීතියෙන්ද පැන යාමයි. බුද්ධිමත් ඔබට මෙය තේරුම් ගැනීම එතරම් අපහසු වෙන එකක් නැහැ කියලයි අප විශ්වාස කරනුයේ.

ඔබ දැන දැනත් වෙළෙදපොලේ Rs. 10,000 ක් වටිනා භාණ්ඩයක් Rs. 60,000 කට ඔවුන්ගෙන් මිළදී ගන්නවා කියන්නේ ඔබ Rs. 50,000 ක් ගෙවා ඔවුන්ගේ සාමාජිකත්වය ලබාගෙන පිරමීඩ ජාවාරමට සම්බන්ධ වූවා කියන එක නේද? මෙතනදි ඔබ මිලදී ගන්නා භාණ්ඩය වැදගත් වනුයේ නීතියෙන් ගැලවීම සදහා පමණයි නේද? ඉතින් ඇයි ඔබ ඔබවම රවටා ගන්නේ? ඔබ දැනටමත් මෙම ජාවාරමට හසු වූ අයෙක් නම් ලගම තිබෙන පොලිසියට පැමිණිලි කරන්න. යම් පුදගලයෙක් ඔබව මෙම ජාවාරමට සම්බන්ධ කර ගැනීමට පොලබවනවානම් ඔබට ඒ මොහොතේම පැමිණිල්ලක් යොමු කරන්නට පුලුවන්.

ඔබ රවටලා අපේ මුදල් පිටරට පටවන මෙවන් ව්‍යාපාර පිලිබඳව මහ බැංකුව වැනි රජයේ ආයතන දැනුවත් කරන්න. මේ තියෙන්නේ මහ බැංකුවේ දුරකතන අංක, 0112477100, 0112477105.