හිජාබයෙන් සැරසුණු හිම කුමරිය “සහ්රා ලාරි”

හිජාබයෙන් සැරසුණු හිම කුමරිය "සහ්රා ලාරි”

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සහ්රා ලාරි හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවෙන් අන්තර්ජාතික තලයට යාමට වරම් ලැබු පලමු කාන්තාව ලෙසට ඉතිහාසයට එක්වන්නීය. විසිඑක් හැවිරිදි මෙම යුවතිය කාන්තාර ගල්ෆ් කලාපයෙන් මෙම ක්‍රීඩාවට පිළිපන් පලමු ක්‍රීඩිකාව පමණක් නොව ඉස්ලාමීය හිජාබය සහ හිස් වැස්ම පැලද මෙම ක්‍රීඩාවේ යෙදෙන පලමු කාන්තාව වශයෙන්ද ඉතිහාසයට එක්වන්නීය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන සහ්රා ලාරි හිම සරණයේ (figure skating) යෙදීම ආරම්භ කර ඇත්තේ ඇගේ වයස අවුරුදු 12ක්ව තිබියදීය. එමෙන්ම ඇය පලමු වරට අන්තර්ජාතික තලයේ ක්‍රීඩා තරගයකට සහභාගී වුනේ 2012දී එවකට ඇය 17 වියේ නවයොවුන් යුවතියක වුවාය. එය පැවැත්වුණේ 2012 වසරේදී උතුරු ඉතාලියේ ඩොලමයිට් හිදීය. එහිදී නවයොවුන් වියේ හුන් මෙම ක්‍රීඩිකාව තරග වැදුනේ රටවල් 50 ක දක්ෂ ක්‍රීඩිකාවන් සමගයි.

හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව අරඹා වසර 9කට පසු අද ඇය වසර 2018 දී දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් පුහුණුවීම් වල නිරත වෙන බවට වාර්තා ‍වෙනවා. එම තරගාවලිය සඳහා ඇය සුදුසුකම් ලැබුවහොත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය නියෝජනය කරමින් ශීත ඍතු ඔලිම්පික් තරගාවලියක් සඳහා සහභාගී වූ පළමු ක්‍රීඩිකාව බවට පත්වීමේ භාග්‍යද ඇයට හිමිවේ.

මෙතෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නියෝජනය කරමින් ශීත ඍතු ඔලිම්පික් තරගාවලියක් සඳහා කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සහභාගී වී නොමැත. එමෙන්ම ඇය මේ වන විට ඉතාලිය, හංගේරියාව, ස්ලෝවැකියාව වැනි රටවල් වල පැවති ජාත්‍යන්තර තරග සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යය නියෝජනය කළ ප්‍රථම ක්‍රීඩිකාවද ඇය වෙයි.

ඇය තරුණ වියට පත්වත්ම ඇගේ දෙමව්පියන් විසින් ඇයට ක්‍රීඩාවෙන් ඉවත් වන ලෙස පවසා ඇති නමුත් ඇය ඒ සඳහා දක්වන දැඩි කැමැත්ත දුටු ඔවුන් ඒ සඳහා ඉඩදී තිබේ. ඇය පවසන්නේ “මගේ රටේ කාන්තාවන් වැඩිපුර ක්‍රීඩා කරන්නේ නැහැ. එයිනුත් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව කරන කාන්තාවන් බොහොම ටික දෙනයි.”

“මම ක්‍රීඩා කරන්නේ හිජාබය සමගයි. මගේ ඇඳුම් ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව සැකසුණු ඒවා.” ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඇය පවසන පරිදි ඇය පලමුවෙන්ම මෙම ක්‍රීඩාව දැක තිබෙන්නේ වයස අවුරුදු 11දී පමණ ඩිස්නි චිත්‍රපටයකයි. “මම ඒ හිම කුමරිය සිය පාරකටත් වැඩිය බැලුවා. ඒක තමයි මටත් කරන්න ඕන. මම මටම කියාගත්තා.” ඇය අද ඒ සිහිනය සැබෑ කරගෙන සිටින්නීය.

 

 

 

2 Comments to “හිජාබයෙන් සැරසුණු හිම කුමරිය “සහ්රා ලාරි”

  1. Mata anver sahodarayagen ahannata one, obatumage matayata anuwa burqawa nohoth niqabaya muslim kantawata aniwaryada?

    1. ද්වේෂයෙන් අසන පැනයන්ට පිළිතුරු නොදෙන්නට තීරණය කළා. මම මෙම ප්‍රශ්නයට මෙම අඩවිය තුල ඕනෑ තරම් පිළිතුරු දී ඇත. ඒ මුස්ලිම් නොවන්නන්ටයි. හෙට දිනයේත් ඔවුන්ට පිළිතුරු දීමට සැදී පැහැදී සිටිමි. නමුත් ඔබවැනි පෙර විනිශ්චය කරන්නවුන්ට පිළිතුරු නොදෙමි.

Comments are closed.