ග්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාම් ආගම නැති ලෝකයක්! වෙබ් ලිපිය 2

ග්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාම් ආගම නැති ලෝකයක්! Graham E Fuller A World Without Islam

ක්‍රිස්තියානි ආගමේ ප්‍රථම කැඞීම ඇති වන්නේ, සත්‍යලබ්ධික පල්ලි සහ රෝමය මුල් කරගත් පල්ලි අතරේ ය. (සත්‍යලබ්ධික යනු ආගමේ මුල් දේශනාවන්ට මුල් තැන දෙන ප්‍රධාන ක්‍රිස්තියානි නිකායකි). මේ බෙදී යාම සිදු වුණේ, ආගමික කාරණාවලට වඩා, බලය, කීර්තිය සහ ආභාෂය මුල් කරගෙන බවට ෆුලර් තර්ක කරයි. (අප්‍රිකාවට, ආසියාව සහ ඈත පෙරදිගට ක්‍රිස්තියානු දහම ගෙන එනු ලැබුවේ බටහිරින් නිසා, මේ කලාපයේ සහ බටහිරම පවා බොහෝ දෙනා, කතෝලිකවාදය ළඟට විශාලතම ක්‍රිස්තියානි ලබ්ධිය වන්නේ, නැගෙනහිර සත්‍යලබ්ධික ක්‍රිස්තියානි පල්ලිය බව නොදනිති. පිටු:78). මේ දෙපිරිස අතර පැවති ආගමික වෙනස්කම් ඉතා අල්ප ය. නොවැදගත් ය. රණ්ඩුව ඇති වුණේ, රෝමයේ බලය හෙබැවිය යුත්තේ කවුරුන්ද යන්න මතයි. රෝමය මූලික කර ගත් බටහිර ලෝකය විසින්ද, නැත්නම්, කොන්ස්තන්තිනෝපල් නුවර මුල් කර ගත් නැගෙනහිර ලෝකය විසින්ද යන්නයි. කාලයක් යන විට, සුන්නි සහ ෂීයයිට් මුස්ලිම් නිකායන් දෙක අතරේ සිදු වුණා සේම, මේ ක්‍රිස්තියානි ආගමික කුලක දෙක අතරේ තරගයත් තීව්ර විය. යුරෝපයෙන් එන කතෝලික කුරුස යුද්ධකරුවෝ එවකට ක්‍රිස්තියානි නුවරක් වූ කොන්ස්තන්තිනෝපලය කොල්ලකෑ අතර, 1182 දී කොන්ස්තන්තිනෝපලයේ විසූ කතෝලිකයන් 80,000 ක් දෙනාව ඝාතනය කළහ. ඉන් බොහොමයක් දෙනා, ‘කොන්ස්තන්තිනෝපලයේ ආර්ථිකය මෙහෙයැවූ’ වෙනීස් නුවර වැසියෝය. (පිටු: 83)

Graham E. Fuller, A World Without Islamසියවස් ගණනාවක් තිස්සේ මැද පෙරදිග ලෝකය තුළ ඇති කරන ලද බටහිර අතපෙවීම් ගැන බටහිර වෙසෙන බොහොමයක් දෙනා දන්නේ නැත. ඒ කලාපයේ පවතින බටහිර-විරෝධය ඔවුන් දකින්නේ, හේතු යුක්ත විරෝධයක් වශයෙන් නොව, යම් රෝගාබාධයක් වශයෙනි. (පිටු:178). බටහිර-විරෝධය යනු, බොහෝ කොට, අධිරාජ්‍යවාදය සහ යටත්විජිතවාදය තුළ ගොඩනැගුණු, බටහිර දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික ව්‍යාප්තියේ සෘජු ප්‍රතිවිපාකයකි. (පිටු:179). මෙහිදී, බොහෝ දෙනා අද වෙනසක් නොදකින, අධිරාජ්‍යවාදය සහ යටත්විජිතවාදය අතර ඇති වෙනස ෆුලර් දකී. යටත්විජිතවාදය යනු පිටස්තරයන් පැමිණ විදේශ භූමියේ පදිංචි වීමයි. එහිදී ස්වදේශිකයන්ට සියල්ල අහිමි වෙයි. (පිටු:284). 1683 දී ඔටෝමන් අධිරාජ්‍ය සේනාවන් විසින් වියානා නුවරට ඇතුලූවීමට ගත් ප්‍රයත්නය ව්‍යර්ථ කරනු ලැබීමෙන් පසු ‘යුරෝපයේ තිබූ සෑම මුස්ලිම් රටක්ම ආක්‍රමණය කිරීමට සහ යටපත් කිරීමට’ යුරෝපා බලවතුන් පියවර ගනු ලැබීය. (පිටු: 218). එම යුගය, ආක්‍රමණයේ ඉතිහාසයක් විය. අධිරාජ්‍ය ගොඩනැගීමේ ඉතිහාසයක් විය. කුමන්ත්‍රණ සේම දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික ආධිපත්‍යය පැතිරවීමේ ඉතිහාසයක් විය. සම්පත් කොල්ලකෑමේ ඉතිහාසයක් විය. එසේම, උද්ධච්ච භාවයේ ඉතිහාසයක් විය. (පිටු:164). මෙකී බටහිර භෞමික යටත්විජිතවාදය දැන් අවසන් වී තිබිය හැක. එහෙත්, එහි ආදීනව තවම තිබේ. උදාහරණයක් වශයෙන්, වාර්ගික කණ්ඩායම් සිය ගණන්, ඔවුන්ට නුහුරු, සංස්කෘතික වශයෙන් වෙනස් රාජ්‍යයන් තුළ ගාල් කොට තිබේ. එම රාජ්‍යයන් බොහෝ විට ඔවුන්ගේ අනන්‍යතාවන් සහ සංස්කෘතික අයිතීන් පාගා දමයි. ඒ සම්බන්ධයෙන් වන ෆුලර්ගේ ලැයිස්තුවට, චෙස්නියානුවන්, යුගිරියානුවන් සහ ශ්‍රී ලාංකීය දෙමළ ජාතිකයන් ඇතුළු පිරිස් ඇතුළත් වෙත්. (පිටු: 331). යටත්විජිතවාදය විසින් පමණක් නොව, අධිරාජ්‍යවාදය විසිනුත්, ස්වාභාවික සංවර්ධනය විකෘති කරන බව කියන ෆුලර්, ‘අවුරුදු සිය ගණනක් තිස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දියාව පාලනය කරනු ලැබීම’ නිසා, ‘අවාසනාවන්ත සහ සමහර විට අත්‍යාවශ්‍යද නොවන’ සේම, ‘කිසි ප්‍රශ්නයක් නොවිසඳුණු’ රට බෙදීමකට පාර කැපුණු බවත් කියයි. (පිටු:261). (2013 දී පළ කෙරුණු මගේ ‘ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රසිද්ධ ලිපි’ සංග්‍රහයේ 2 වැනි වෙළුමේ අඩංගු, ‘ඉච්ඡාභංගත්වයේ රාජ්‍ය සමය’ නැමැති ලිපියේදී මා ප්‍රශ්නයක් මතු කොට තිබේ. එනම්, සියවස් ගණනාවක් තිස්සේ ලංකාව බටහිර අධිරාජ්‍යවාදී ක්‍රිස්තියානි ජාතීන් විසින් සූරාකනු ලැබීම සහ උද්ධච්ඡ ආකාරයෙන් පාලනය කරනු ලැබීම විසින් කොතෙක් දුරට අපේ රටේ ස්වාභාවික සංවර්ධනය විකෘති කරනු ලැබ ඇත්තේද යන්නයි).

බටහිර දේශපාලනය තුළ පැවති යටත්විජිතවාදී ප්‍රේරණය අතීතයේ සිටම පෙන්නුම් කළ, ෆුලර් දකින එක් පැහැදිළි සළකුණක් වන්නේ, කුරුස යුද්ධයන් ය. මැද පෙරදිග ලෝකය ඉස්ලාමීය නොවුණත්, යුරෝපය විසින් එම කලාපය ආක්‍රමණය කරනු ඇති බවට ඔහු තර්ක කරයි. කොන්ස්තන්තිනෝපල් නුවර පිහිටි ශුද්ධ වූ ක්‍රිස්තියානි පල්ලියත් ඔවුන් කොල්ලකෑ බව ඔහු පෙන්වා දෙයි. එපමණක් නොව එහි තිබූ ආගමික සුරුවම් සහ ශුද්ධ වූ ග්‍රන්ථ විනාශ කළ ඔවුහූ, පාදිලි ආසනයේ ගණිකාවක් වාඩි කැරැුවූහ. ඇය අශෝභන ගී ගයන අතරේ සොල්දාදුවෝ පල්ලියේ ශුද්ධ වූ භාජන ගෙන වයින්වලින් සප්පායම් වූහ. යුරෝපා ඉතිහාසයේ හමුවන කෘරතම යුද්ධයක් වන ‘තිස් අවුරුදු යුද්ධය’ මතුපිටින් බැලූ විට, ප්‍රොතෙස්තන්ත සහ කතෝලිකයන් අතර කෙරුණු ආගමික යුද්ධයක් සේ පෙනී ගියත්, සත්‍ය වශයෙන්ම එය රාජ්‍යයන් අතර කෙරුණු බල අරගලයක් විය. (පිටු:135-136). මාර්ටින් ලූතර්ගේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ සාර්ථක වුණේ, පල්ලියේ බලය අඩු කරමින් තමන්ගේ බලය වැඩි කර ගැනීමට යත්න දැරූ ජරමානු කුමාරවරුන්ගේ සහාය නිසා ය. (පිටු:138). තවද, දෙවියන් වහන්සේ පිරිමියෙකු කිරීම තුළම පුරුෂ ආධිපත්‍යය පිහිටුවා ඇති බව ඔහු පෙන්වා දෙයි.

‘ක්‍රිස්තුස් වහන්සේගේ ඝාතකයන්’ වශයෙන් සැළකෙන යුදෙව්වන්, සියවස් ගණනාවක් තිස්සේ බටහිර කිතුණුවන් යටතේ තාඩනපීඩනයට ලක් වූ බවත්, අවසානයේදී දෙවැනි ලෝක යුද්ධය තුළදී හිට්ලර් විසින් ක්‍රියාත්මක කරන ලද හොලෝකෝස්තය හෙවත් මහා ජන සංහාරය තුළ වනසා දමන ලද බවත් කවුරුත් දනිති. එහෙත් අද මේ ගැටුම පෙනෙන්ට ඇත්තේ, මුස්ලිම්වරුන් සහ කිතුණුවන් අතර ය. එහෙත්, මුස්ලිම් කුරානයේ වෙන කිසි ගැහැනියකට වඩා සඳහන් වන්නේ කන්‍යා මරියතුමිය ගැනයි. බයිබලයේ නව තෙස්තමේන්තුව තුළවත් ඇය ගැන එතරම් සඳහන් නොවේ. ඉස්ලාම් ආගමේ සැළකෙන වඩාත් ගෞරවනීය කාන්තාව ඇයයි. (පිටු:35). ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකු වශයෙන් ක්‍රිස්තුස් වහන්සේව මොන ආකාරයකින් හෝ ප්‍රතික්ෂේප කිරීම, මුස්ලිම් ආගමේ ප්‍රතිපදාවන්ට විරුද්ධ ය. යුදෙව් ආගමේ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ තදබල විවේචන කොතෙකුත් ඇතත්, කුරානයේ උන්වහන්සේ පිළිබඳ කිසි අවකැපෙන සඳහනක් නැත්තේය. ඉස්ලාම් දහමට අනුව, ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ මියගියේ නැත. සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් යේසුස් වහන්සේව ස්වර්ගයට වැඩම කළා පමණි. ඉස්ලාම් දහමට අනුව, ‘විනිශ්චය දිනයේදී මහ පොළොවට වඩිනු ඇත්තේ, යේසුස් වහන්සේ මිස, මහම්මද්තුමා නොවේ.’ (පිටු: 38). ක්‍රිස්තියානි ආගම සහ යුදෙව් ආගම අතර පවතින වෙනස්කම්, ක්‍රිස්තියානිය සහ ඉස්ලාම් දහම අතර පවතින වෙනස්කම්වලට වඩා විශාල ය. (පිටු:42)

බලය සහ දේශපාලනය සඳහා ආගම පාවිච්චි කෙරෙන අවස්ථාවන්ට නිදසුන් කිහිපයක් ෆුලර් ඉදිරිපත් කරයි. 1950 සහ 1960 දශකවලදී, මැද පෙරදිග බටහිර අවශ්‍යතාවන්ට තර්ජනයක් වෙතැයි සැළකුණේ, අරාබි ජාතිකවාදය මිස ඉස්ලාම් ආගම නොවේ. ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත් අගමැති මොසඩෙග්ව 1953 දී, සී.අයි.ඒ. සහ බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ කුමන්ත්‍රණයක් හරහා බලයෙන් පහ කෙරුණි. ඔහු වෙනුවට බලයේ පිහිටුවන ලද්දේ, බටහිරට පක්ෂපාතී, පහසුවෙන් හීලැ කරගත හැකි, ෂා ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නොදැනුවත්ව හෝ බිහි කෙරුණේ, අද එම රටේ පවතින ඉස්ලාමීය දේවතන්ත්‍රවාදයයි. එසේම, ඊජිප්තුවේ ලෞකික නායක නසාර්ට විරුද්ධව, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ආධාර කෙළේ, ‘මුස්ලිම් සහෝදරත්වයටයි’. ඊටත් වඩා මෑත ඉතිහාසයට එන විට, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කොට සිටි රතු හමුදාවට එරෙහිව ඇමරිකාව ආධාර කෙළේ, ඒ රටේ සිටි සන්නද්ධ ඉස්ලාමීය කල්ලිවලටයි. කොමියුනිස්ට්වාදියෙකු වන ස්ටැලින්, හිට්ලර්ට විරුද්ධව සහාය පැතුවේ සත්‍යලබ්ධික පල්ලියෙනි. ජපානය, ෂින්තෝ ආගමේ සරණ පැතුවේය. (පිටු:307). හින්දු දෙමළ ජාතිකයන්ට එරෙහිව, ‘ශ්‍රී ලංකාවේ බලපුලූවන්කාර සිංහලයෝ, සිංහලයන්ගේ සහාය ලබා ගැනීම සඳහා බෞද්ධ භික්ෂූන්ව පාවිච්චි කළහ’. (පිටු:308). 1960 දශකයේදී, යසර් අරෆත්ගේ නායකත්වය යටතේ පැවති අරාබි ජාතිකවාදී ‘පලස්තීන විමුක්ති සංවිධානයට’ එරෙහිව ඊශ්‍රායලය, තමන්ගේ සිරභාරයේ සිටි හමාස් නායක ෂයික් අහමඞ් යසින්ව නිදහස් කොට, ඉස්ලාමීය හමාස් සංවිධානය අරෆත්ට විරුද්ධව පාවිච්චි කෙළේය. ඊට කාලයකට පසු 2004 දී ඊශ්‍රායලයම ඒ ෂයික් අහමඞ් යසින්ව ඝාතනය කෙළේය. (පිටු:301).

 

මහාචාර්ය චාර්ල්ස් සර්වන්
මහාචාර්ය චාර්ල්ස් සර්වන්

 

(අවසාන කොටස ඊළඟට)

*2016 මැයි 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Graham E. Fuller, A World Without Islam නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (දෙවැනි කොටස) ‘යහපාලනය ලංකා’

 

කලම්බෝ ටෙලිග්‍රාප් වෙබ්අඩවියෙන්

 

පෙර ලිපිය

ග්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාම් ආගම නැති ලෝකයක්! වෙබ් ලිපිය 1

 

සංස්කාරක සටහන:

ප්‍රතිවිරුද්ධ මතවාද වලට ඉඩදීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම වෙබ්ලිපිය අප අඩවියේ පලකරමු. මෙවැනි ලිපි අරබයා ප්‍රබුද්ධ විචාරයක යෙදීමට තරම් අපගේ සමාජය මුහුකුරා නොගොස් සිටීම සම්බන්ධව කණගාටු වෙමු. කෙසේ වෙතත් මෙම ලිපි පෙල අරබයා අපගේ අදහස අවසාන ලිපියෙන් පසුව දක්වමු. ඉන්ෂා අල්ලාහ්!