යුරෝපා සරණාගත අත්දැකීම 1- සලාතය!

යුරෝපා සරණාගත අත්දැකීම 1- සලාතය!

පසුගිය රාජපක්ෂ සමයේදී රාජපක්ෂලාගේ උතුරාගිය මෛත්‍රිය සහ මාධ්‍ය නිදහස හමුවේ මටත් යුරෝපා රටකට පලායාමට සිදුවුණා. ඒ කාල පරිච්ඡේදයේදී මා ලද අත්දැකීම් එකින් එක ඔබ හමුවේ පෙලගස්වන්නට තීරනය කළෙමි. සලාතය හෙවත් නැමදුම නම්වු මෙම ලිපිය එහි පලමුවන ලිපියයි. මා ගිය යුරෝපා රටේ සරණාගතයෙකු ලෙස ලියාපදිංචි වීමට කදවුරකට යා යුතුය. එසේ කදවුරක ලියාපදිංචි වු පසුව වෙනත් කදවුරකට යාමට සිදුවිය. එම කදවුරේදී මා අවට වැඩියෙන්ම සිටියේ විවිධ අරාබි රටවලින් පැමිණි මුස්ලිම්වරුන් යැයි සිතිය හැකි පුද්ගලයන්ය.

මම ඔවුන්ගෙන් කිබ්ලාව (හෙවත් මුස්ලිම්වරුන් නමදින දිශාව) කොහේදැයි විමසුවෙමි. ඔවුන් තෘෂ්ණිම්භුතව මදෙස බලා සිටියා මිස නිසි පිළිතුරක් නොදුනි. ඔවුන්ට ඉංග්‍රීසි බස නොදන්නවා විය යුතු යැයි සිතා තවත් අයගෙන් විමසුවෙමි. නමුත් කාගෙන්වත් නිසි පිළිතුරක් නොවීය. අවසානයේ කිබ්ලාව නොදන්නා නිසා දිශාවක් හිතාගෙන එදෙසට නැමදීමට පටන් ගත්තෙමි. නැමදුම් කාලසටහනක්ද නොවු නිසා දවසේ නැමදුම් කාල මා විසින්ම බෙදා නැමදුම් ඉටු කරනු ලැබීමි. මේ සියළුම දේට හේතු වුයේ මෙම කදවුරු වලට කිසිදු දුරකථනයක් හෝ ඉලෙක්ට්‍රොනික මෙවලමක් ගෙනයාමට නොහැකි ලෙස නීතිරීති දමා තිබුණු නිසාවෙනි. නැමදුම සදහා මුසල්ලාවක් හෙවත් බිමට දමන බුමුතුරුණුවක් නොතිබු හෙයින් කොට්ට උරයක් යොදා ගත්තෙමි.

දැන් මම පස්වේල සලාත් කරනු අනිකුත් මුස්ලිම්වරුන් බලා සිටිති. ටික දිනක් යනවිට එකා දෙන්නා මගේ ලගට පැමිණ කිබ්ලාව මේ පැත්තටදැයි අසන්නට විය. මා ඔවුන්ට පැවසුවේ කිබ්ලාව මාද නොදන්නා බවයි. ඔවුන් පුදුමයෙන් මා දෙස බලා සිටියා. කෙසේ නමුත් දිනක් මට කදවුරේ අරාබි බසින් කතා කරන නිලධාරියෙකු හමුවුණා. මම ඔහුගෙන් කිබ්ලාව ඇසුවා. ඔහු තෘෂ්ණිම්භුතව මා දිහා බැලුවා. එවිට කිසියම් දෙයක් වැරදී තිබෙන බවට මට පෙනුනු නිසා මම ඔහුගෙන් “ඔබ මුස්ලිම්දැ”යි විමසුවෙමි. ඔහු එවිට තමන් කිතුණුවෙකු බව පැවසුවා. “සමාවෙන්න ඔබ අරාබි බස කතා කරන නිසා මම සිතුවේ ඔබ මුස්ලිම් කෙනෙක් ලෙසයි. මම ඒකයි මුස්ලිම්වරුන් නමදින දිශාව කොහේදැයි ඔබගෙන් විමසුවේ” යැයි පැවසුවෙමි. එවිට ඔහු සිනාසී මාව තැනකට එක්කගෙන ගියා. එක්කගෙන ගොස් කලින් මුස්ලිම්වරු පිරිසක් මෙතැන නැමදුම් ස්ථානයක් කරගෙන සිටි බවත් ඔවුන් නැමදුවේ මේ දිශාවට යැයි දිශාවත් මා හට පෙන්වා දුන්නා‍.

අල්හම්දුලිල්ලාහ්! අල්ලාහ් මට මුස්ලිම් නොවන්නෙකුගෙන් කිබ්ලාව කොහේදැයි යන්න පවා හෙළිදරව් කළා. පසුව මට දිනක එම රටේ ප්‍රධාන නගරයකට යාමට ඉඩ ලැබුණු අතර එහි තිබුණු මස්ජිදයකින් නැමදුම් කාලසටහනක්ද ලබා ගැනීමට හැකිවිය. මම මෙසේ පස්වේල නැමදුම දිගින් දිගටම කරන විට අනෙකුත් මුස්ලිම්වරුන්ද එකින් එකා නැමදුම් කිරීමට පටන් ගත්තා. පසුව ඔවුන් හා කතාබහ කරන විට මා දැනගත්තේ ඔවුන් මුලින් බියෙන් සිට ඇත්තේ තමන් දැන් සරණාගතයන් ලෙස පැමිණ සිටින්නේ යුරෝපා රටකට හෙයින් නැමදුම් ඉටුකළ හොත් අන්තවාදීන් ලෙස සිතනු ඇති බවයි. නමුත් එම කදවුරේ පාලනාධිකාරියේ බහුතරයක් මා සමග මිතුරන් මිතුරියන් ලෙස කටයුතු කරනු ඔවුන් දුටුවිට ඔවුන්ගේ බිය සැක පහව ගොස් තිබුණා. මා ලේඛකයෙකු සහ දේශකයෙකු බව දැනගත් කදවුරේ පාලනාධිකාරියේ බොහෝ දෙනෙකු මට ගරු කළා. මේ දුටු අනෙකුත් මුස්ලිම්වරුන්ටද නමදින්නට අවශ්‍ය වුනා.

දැන් එකිනෙකා මා වෙත එන්නට පටන් ගත්තා. “කිබ්ලාව කොහේද?” මම කිබ්ලාව පෙන්වා දුන්නා. “සලාතය කරන වෙලාව කුමක්ද?” මම කාලසටහන හැමෝටම පේන්න මගේ කාමරයේ බිත්තියේ ගැසුවා. “සලාත් කරන්න මුස්සැල්ලාවක් කෝ?” එවිට මම මුස්සැල්ලාව ලෙස භාවිතා කරන කොට්ට උරය ඔවුන්ට පෙන්නුවා. ඔවුන්ට පුදුමයි. මම මෙහිදී ඔවුන්ගේ ජීවිත තුලින් යමක් ඉගෙන ගත්තා. එනම් මේ අය සියළුම දෙනා පරපුරින් ඉස්ලාම් ආගම අදහන පුද්ගලයින්. ඇත්තටම ඔවුන් ආගම අදහන්නේ සම්ප්‍රදායක් ලෙසින්. ඉතිං ඔවුන්ට නැමදුම් ඉටු කිරීමට නම් සම්ප්‍රදාය ඒ ආකාරයටම තිබිය යුතුයි. එනම් මුස්ලිම්වරුන් සිටින පරිසරයක්, නැමදුම් කිරීමට කාලසටහනක්, මුස්සැල්ලාවක් සහ තොප්පියක් මේ සියල්ල නිසිආකාරයට තිබිය යුතුයි. තත්වය මෙසේ නොමැති විට ඔවුන්ට නැමදුම් ඉටුකළ නොහැකියි. මන්ද ඔවුන් රකින්නේ ධර්මයක් නොව සම්ප්‍රදායක් නිසා.

 

 

2 Comments to “යුරෝපා සරණාගත අත්දැකීම 1- සලාතය!

  1. අපේ ඥාණසාර ගොයියටත් ඕනෙ ශ්‍රී ලාංකික මුස්ළිම්වරුන් මෙවැනි සාම්ප්‍රදායික මුස්ළිම් කොට්ඨාශයක් වෙන්නයි.

  2. //ඔවුන් මුලින් බියෙන් සිට ඇත්තේ තමන් දැන් සරණාගතයන් ලෙස පැමිණ සිටින්නේ යුරෝපා රටකට හෙයින් නැමදුම් ඉටුකළ හොත් අන්තවාදීන් ලෙස සිතනු ඇති බවයි.//

    ඇතැම් අරාබි රටවල ආගමික නිදහසක් තිබුනේ නෑ. එය බොහෝ විට ඒකාධිපති පාලනය තුල දක්නට ලැබුන. උදාහරණයක් ලෙස ටියුනිසියාවෙන් (අරාබි වසන්තය පටන් ගත් රට) පැමිණි සහෝදරයෙක් මා සමග කියා සිටියේ ෆජර් සලාතය සඳහා තරුණයන් පල්ලියට නොවන බවත්, එයට හේතුව රජය විසින් එසේ යන අය උස්සන බවත්ය.
    @tony
    එවැනි ඒකාධිපත්වයන් දශක ගණනක් පුරා පැවත ආ ඒවාය. එවැනි පසුබිමක හැදී වැඩුන පුද්ගලයන්ගේ ආකල්ප වෙනස් වීම පුදුමයක් නොවේ. ඔවුන්ව සාම්ප්‍රදායික මුස්ළිම් ලෙස පහත් කොට සැලකීම නොසුදුසුය.

    එසේම “සාම්ප්‍රදායික මුස්ළිම්” යන යෙදුම ඉතා වැරදි ලෙස අද භාවිත වන බව සිතමි. වහබි (සහ අයිසිස්) වැනි පිරිස් සම්ප්‍රදායික ලෙස හඳුන්වන්නේ තම මතයට විරුද්ධ මුසල්මානුවන් හැඳින්වීමටය. ඔවුන් හරියට අගම අදහන්නේ නැති බව ඔවුන් අදහස් කරති. ලංකාවේ මුසල්මානුවන් මේ අදහස ගෙඩි පිටින් ගිල ඇති බව පෙනේ. (ලංකාවේ බහුතරයක් ඇත්තෙන්ම සාම්ප්‍රදායික මුස්ළිම් ගොන්නට ඇතුලත් වනු ඇත)

    traditional සහ cultural යනු දෙකකි. ඒ වචන සිංහලයට පරිවර්තනය කරන විට traditional muslim සහ cultural muslim යන කාණ්ඩ දෙකම සම්ප්‍රදායික මුස්ලිම් බවට පත් වී ඇත. හුදෙක් නාමික ලෙස ආගම අදහන මුසල්මානුවන් (cultural muslim) සහ වසර 1400ක ආගමික ඉගැන්වීම් අනුව (වසර 300කට පමණ පෙර පහලවූ වහබි වාදය මෙන් නොව) ආගම අදහන මුසල්මානුවන් අතර ලොකු වෙනසක් ඇත. එසේම traditional muslim සහ වහබි/නව-සලෆි ගොන්නට අයත් මුසල්මානුවන් අතර ද වෙනසක් ඇත (තව්ෆික් මොන ගනයේද සිතිය හැකිද?).

    නානසාර වැනි ද්වේෂධාරි පිරිස් ද සම්ප්‍රදායික ලෙස හඳුන්වන්නේ තම මතයට විරුද්ධ මුසල්මානුවන් හැඳින්වීමටය. cultural මුසල්මානුවන් සාමාන්‍යයෙන් සිය ආගමික අනන්‍යතාවය පිළිබඳව දුහුල් අදහස් දරන නිසා ද්වේෂධාරි පිරිසගේ න්‍යාය පත්‍රයට බාධාවක් නොවේ. එනිසා ඔවුන්ට අනුව “හොඳ” මුස්ලමානුවා සම්ප්‍රදායික මුස්ලමානුවා වේ. (“නරක” මුස්ලමානුවා හම්බයා වීම වෙනම සලකා බැලිය යුතුය)

    මුස්ලිම් විරෝධීන් විසින් සම්ප්‍රදායී (cultural) මුසල්මානුවන් “හොඳ” ලෙස හඳුන්වන නිසා සාමාන්‍ය මුස්ලිම් ජනයා ඒ ලේබලයෙන් ඈත්වීමට යන්ත දරති. ඒ අතර වහබි propaganda එකට අනුව traditional (සම්ප්‍රදායී ලෙස පරිවර්තිත) මුසල්මානුවන් හරියට ආගම නො අදහන නිසා ඒ ලේබලයෙන් තවදුරටත් ඈත් වීම සිදුවේ.

    ලේබලය ගැන මේ තරම් මම වද වෙන්නේ ඇයි යන පැනය, මේ තරම් දුරට කොමන්ට් එක කියවූ අයගේ සිතේ මතු වනු ඇත. ප්‍රශ්නය ඇත්තේ ලේබලය තුල නොව ලේබලය සමග සිතට කාවදින අනන්‍යතාවය තුලය. සාම්ප්‍රදායි යන ලේබලෙයෙන් ඈත් වීමට යන්ත දරන විට එක්තරා ආගමික ඉගැන්වීමකින්ද ඈත් වී තවත් ආකාරයක ආගමික ඉගැන්වීමකට නැඹුරු වීම සිදුවේ. පැහැදිලිවම කියනවනම් වසර 1400ක ආගමික ඉගැන්වීම් වලින් ඈත්වී වහබි/නව-සලෆි ඉගැන්වීමට නැඹුරු වීම සිදුවේ. ලංකාවේ බොහෝ දෙනෙක් එම ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම ගිල ගෙන නැති වුනත් එසේ ගිලින අය අතරින් පතර සිටිති (මේ අඩවියේ නිතර කොමෙන්ට් දාන කෙනෙක්ද ඒ ගණයට අයත් ය).

Comments are closed.