ළමා ශ්‍ර‍මය පිටුදැකීමේ සම්මුතිය සහ ගැහැනු ළමුන්ට එහි ඇති බලපෑම!

ළමා ශ්‍ර‍මය පිටුදැකීමේ සම්මුතිය සහ ගැහැනු ළමුන්ට එහි ඇති බලපෑම!

දැනට කලකට ඉහතදී ග්‍රාමීය හා වතුකරයේ දිළිඳු පවුල්වල නව යොවුන් වියේ ගැහැනු ළමයින් ධනවතුන්ගේ හා මධ්‍යම පංතිකයන්ගේ නිවෙස්වල මෙහෙකාර සේවයෙහි යෙදවීම ශ්‍රී ලංකාවේ සුලබ තත්වයක් විය.

මෙම ගැහැනු ළමයින් බොහෝ විට වැඩකාරකමෙහි යෙදවූයේ ඔවුන්ගේ පවුල්වල වැඩිහිටියන් විසින් වන අතර ඔවුන්ගේ වැටුප් ද ලබා ගත්තේ ඒ වැඩිහිටියෝ ය. ඇතැම් විට වැටුප් ගෙවීමක් සිදු නො විණි. හුදෙක් ම දිළිඳුකම නිසා ම, කෑම බීම වෙනුවෙන් ගැහැනු ළමයින් මෙහෙකාර සේවයේ යෙදවිණි. මෙහෙකාර සේවයේ යෙදී සිටි ගැහැනු ළමයින් දූෂණයට ලක් වීම, අඩු වයසින් දරුවන් ලැබීම, අනාරක්ෂිත ගබ්සා නිසා ජීවිත අවදානමට ලක් වීම, උපන් බිළඳුන්ද ඔවුන්ගෙන් උදුරාගෙන වෙනත් අයට හදා වඩා ගන්නට දීම වැනි සිදුවීම් ද එම වකවානුවේදී ඉතා සුලබ විය.

මෙම තත්වය මේ වන විටත් සම්පූර්ණයෙන් ම අවසන් වී ඇතැයි කිව නො හැකි ය. තවමත්, විශේෂයෙන් ම වතුකරයේ දිළිඳු පවුල්වල ගැහැනු ළමයි මෙසේ මෙහෙකාර සේවයට යොදවනු ලබති.

ඇතැම් විට, මෙසේ ගෙන එනු ලබන ගැහැනු ළමයින් ලිංගික සේවා සැපයීම සඳහා යොදා ගන්නා අවස්ථා ද තිබේ.

2013දී සවුදි අරාබි රජය විසින් මිනීමැරුම් චෝදනා මත හිසගසා මරා දමන ලද රිසානා නෆීක් යනු බාල වියේ සිටියදී ම ව්‍යාජ ලේඛන භාවිතා කර නීති විරෝධී අන්දමින් විදේශ ගෘහ සේවය පිණිස යවන ලද ගැහැනු ළමයෙකි. මෙවැනි සිදුවීම් දැනටත් සිදු වේ.

තිස් අවුරුදු සිවිල් යුද සමයේ ශ්‍රී ලංකාව ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් ලොව නම් දරා සිටි රටකි. ආපදා හේතුවෙන් මව්පියන් අහිමි වන ළමයි ද බොහෝ විට ළමා ශ්‍ර‍මය ඇතුළු අවදානම්වලට පත් වෙති.

ළමා ශ්‍ර‍මය ගැහැනු ළමයින්ට සීමා වන්නක් නො වේ. විශේෂයෙන් ම වතුකරයේ දිළිඳු පවුල්වල බාල වයස්කාර පිරිමි ළමයින්, ආපනා ශාලා, සිල්ලර කඩ ආදියෙහි සේවයෙහි යෙදවීම ඉතා සුලබ ය. රතිඤ්ඤා කර්මාන්තය වැනි අනතුරුදායක කර්මාන්තවල ද කුඩා අතැඟිලි සහිත ළමයින් වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගැනීම සඳහා සේවයේ යොදවන අවස්ථා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ළමා ශ්‍ර‍මය පිටුදැකීමේ සම්මුතියට 2016 ජුනි 22දා අත්සන් තැබුවේ ය. ළමා ශ්‍ර‍මයට එරෙහි ලෝක දිනය වෙනුවෙන් මෙම අත්සන් තැබීම කරන ලදී. ජනාධිපති මාධ්‍ය අංශය මගින් ජංගම දුරකථන වෙත පොදු පණිවුඩයක් එවමින් ළමා ශ්‍ර‍මය එපා යි කීම සැමගේ වගකීමක් බව දැනුම් දුන්නේ ය.

ළමා ශ්‍ර‍මය නීතිවලින් ම පමණක් අවසන් කළ නො හැකි බව ද ඒ වෙනුවෙන් සමාජමය වගකීමක් තිබිය යුතු බව ද ජනාධිපතිරයා සම්මුතියට අත්සන් තැබීමෙන් පසුව පැවසී ය.

2010 වසරේ හේග් නුවර පැවති ගෝලීය ළමා ශ්‍ර‍ම සමුළුවේදී ඇති කර ගත් එකඟතාව මත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 2016 වසර අවසානය වන විට සියලු ආකාරයේ ළමා ශ්‍ර‍මය පිටුදැකිය යුතු ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට උපකාර කරයි.

2015 වසරේදී ළමා ශ්‍ර‍මය හා සම්බන්ධ පැමිණිලි 155ක් ලැබුණු බව කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා පිළිබඳ ඇමති ජෝන් සෙනෙවිරත්න මාධ්‍යවලට පැවසී ය. වාර්තා නො වන සිදුවීම් ද ඇති බව ඇමතිවරයාගේ අදහස ය.

ළමා ශ්‍ර‍මය හා සම්බන්ධ නීති ගණනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. ඒවා අනුව, තවමත්, වයස අවුරුදු 14-18 අතර ළමයින් සම්බන්ධ ගැටලු තිබේ. මෙම නීති සංශෝධනය කර වඩා පැහැදිලි නීතිමය තත්වයක් නිර්මානය කිරීම රජයේ වගකීමකි. දැනට අනිවාර්ය පාසල් වයස අවුරුදු 14ක් වන අතර, එය අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමේ අදහසක් රජය සතු ය. එම සංදර්භය තුළ වයස අවුරුදු 18ට අඩු දරුවන් සේවයේ යෙදවීම ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන් ම නීති විරෝධී වනු ඇත.

ළමා ශ්‍ර‍මය සංකීර්ණ තත්වයක් බවත්, ඇතැම් දෙමව්පියන් ළමයින් වැඩෙහි යෙදවීමට පෙළඹෙන්නේ දරිද්‍ර‍තාව නිසා බවත්, පෙන්වා දෙන විද්‍යා ලේඛක සහ තීරු ලිපි රචක නාලක ගුණවර්ධන අවධාරණය කරන්නේ ළමා ශ්‍ර‍මය සඳහා දිගු කාලීන විසඳුම වන්නේ එයට හේතු වන තත්වයන් නැති කිරීම බවයි.

ළමා ශ්‍ර‍මය භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වර්තමානයේ බලපැවැත්වෙන නීති රීති අනුව, වැරදිකරුවන්ට වසරකට නො අඩු සිර දඬුවමක් ද, රු. 10,000කට නො අඩු දඩයක් ද, විනිසුරුවරයාගේ අභිමතය පරිදි වන්දි ද නියම කළ හැකි ය.

 

කියන්න වෙබ්අඩවියෙන්