ලිංග විපර්යාසිකයින් Transgender පිළිබඳ ඉස්ලාමීය මතය!

ලිංග විපර්යාසිකයින් Transgender පිළිබඳ ඉස්ලාමීය මතය!

අප විසින් කලින් “පකිස්ථානයේ ලිංගික විපර්යාසිකයන්(Transgender)ට විවාහ වීමට අවසර!” යනුවෙන් විදෙස් පුවතක් පලකළා. පුවතෙහි සදහන් වුයේ පුර්ණ ලිංග විපර්යාසයට ලක්වු අයට විවාහ වීමේ අනුමැතිය පකිස්ථාන මුස්ලිම් විද්වත් සභාවක් විසින් අනුමත කර ඇති බවයි. මේ පුවත සම්බන්ධව ලැබුණු ප්‍රතිචාර දෙස බලන විට අපට හැගී ගිය කරුණක් නම් ඇතැම් අය මේ පූර්ණ ලිංග විපර්යාසය යන්න වරදවා වටහා ගෙන ඇති බවයි. අපගේ වෙබ්අඩවියට ලිපි සපයන මුස්ලිම් බුද්ධිමතෙකු වන ඉබ්නු මන්සූර් මහතා ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් අපවෙත එවා තිබෙනවා. එය මෙසේය.

 

ලිංග විපර්යාසිකයින් Transgender පිළිබඳ ඉස්ලාමීය මතය!

දරුවෙකු ලොවට බිහිවීමේ දී සම්මතය අනුව මානව ව්‍යුහ විද්‍යාත්මක පිහිටීම් සැළකිල්ලට ගෙන ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය තීන්දු කරනු ලැබේ. මිනිස් සමාජයේ ඉතාම විරල වුවත් මෙම සම්මතයන්ට පටහැනි ආකාරයේ ලිංගිකත්වය පිළිබඳ තත්ත්වයන් අපට දකින්නට ඇත. කායික හා ව්‍යුහ විද්‍යාත්මක පදනමකින් මෙම තත්ත්වයන් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදිය හැක.

ස්ත්‍රී පුරුෂ ලිංගික අවයව නිශ්චිත වශයෙන් වැඩී නොමැති හා ලිංගිකත්වයක් නොමැති පිරිස (agender)

නිශ්චිත ලිංගික ලක්ෂණ සමග ඉපදී ලිංග විපර්යාසයට ලක්වන පිරිස. මෙය ස්වභාවික ක්‍රියාවලියක් වන අතර නව ලිංගික ලක්ෂණ වඩාත් පැහැදිළි අයුරින් වර්ධනය වීමේ ප්‍රතිශතය වැඩිවීමත් සමග බොහෝ විට ශල්‍යකර්ම මගින් එම තත්ත්වය පරිපුර්ණ කර ගැනීම. ශල්‍යකර්මයකට භාජනය නොවුව ද බොහෝ අයගේ ලිංග විපර්යාසය ස්වභාවිකව ම සම්පුර්ණත්වයට පත්වේ.  (transgender)

ස්ත්‍රී පුරුෂ ද්වි ලිංගික ලක්ෂණ පෙන්නුම් කරන පිරිස. (intersexed)

නිශ්චිත ලිංගිකත්වයක් සමග ඉපදී මානසික වශයෙන් එයට ප්‍රතිවිරුද්ධ ලිංගික හැසිරීමක් හා මානසික වශයෙන් එලෙස සිතීම. මෙවන් අය ශල්‍යකර්ම මගින් බාහිර හා අභ්‍යන්තර ලිංගික හා ප්‍රජනන ඉන්ද්‍රියයන් වෙනස් කොට වෛද්‍ය උපදෙස් මත අවශ්‍යය හෝමෝන හා අනෙකුත් ප්‍රතිකාර ගෙන තම මානසිකත්වයට සුදුසු ලිංගිකත්වය ඇතිකර ගැනීමට කටයුතු කරති.

මෙයට වඩා තවත් ප්‍රභේද කිහිපයක් දක්නට ඇතත් ඉහත ප්‍රභේද ප්‍රධාන තැනක් ගනී. පාකිස්තානු ඉස්ලාමීය ආගමික නිගමනයට පාත්‍ර වී ඇත්තේ ඉහතින් දෙවැනි අංකයට විස්තර කොට ඇති ස්වභාවිකව ම ලිංග විපර්යාසයට භාජනය වන පිරිස සම්බන්ධයෙනි. බොහෝ විට කරුණු නිසි ලෙස සොයා බලා හෝ අවබෝධ කරගැනීමකින් තොරව මෙය සම ලිංගික සම්බන්ධතාවකට දුන් අනුමැතියක් ලෙස වටහා ගැනීමට ඉඩ ඇත. එලෙස අර්ථ දැක්වීම නුසුදුසු වෙයි.

අල් කුර්ආනයේ හා මුහම්මද් ධර්මදුතයාණන් ගේ පිළිවෙත (සුන්නා) කිසිදු අයුරකින් උල්ලංඝනය කිරීමකින් තොරව එම ඉගැන්වීම්වලට අනුකුලතාවක් ඇති අයුරින් කරුණු විචාරයට ලක් කරමින් ආගමික තීන්දු ගැනීමේ  හැකියාව ඉස්ලාමීය නීති සංග්‍රහයේ හඳුන්වන්නේ ‘ඉජ්තිහාද්’ යනුවෙනි. මෙම ඉස්ලාමීය විද්වතුන් ලිංග විපර්යාසිකයින්ට විවාහ වීමේ අයිතිය අනුමත කිරීමට උපයෝගී කරගෙන ඇත්තේ මෙම පිළිවෙත අනුගමනය කිරීමෙන් යැයි උපකල්පනය කළ හැක.

මෙවන් ලිංග විපර්යාස සිදුවීමට පසුබිම් වූ විද්‍යාත්මක හේතු බොහොමයක් පිළිබඳ මත පළවී ඇත. මෙම සාකච්ඡාවට වඩාත් වැදගත් වන්නේ මෙම අනුමැතිය ඉස්ලාමීය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් ද නැද්ද යන්න විමසා බැලීමය. ස්වාධීන අපගේ මතය වන්නේ පාකිස්තානු ඉස්ලාමීය විද්වතුන් විසින් ලබා දුන් තීන්දුව දෝෂ රහිත බවය. (අල්ලාහ් සියල්ල දන්නාය)

 

ඉබ්නු මන්සූර්

 

සංස්කාරක සටහන:

ඇත්ත වශයෙන්ම ලිංග විපර්යාසයකට ලක්වීම වනාහී ශරීරාභ්‍යන්තරයේ සිදුවන ස්වභා‍වික ක්‍රියාවලියකි. එහිදී පූර්ණ ලිංගික පරිවර්තනයක් වී තිබෙන්නේ නම් ඒ තැනැත්තා හෝ තැනැත්තියට තවදුරටත් තමන් පරිවර්තනය වු ලිංගිකත්වයේ අයිතිය සුරක්ෂිත කරදීම සමාජීය වගකීම වන්නේය. එමෙන්ම ස්වභාවික තත්වය මත කිසියම් පුද්ගලයෙකු ද්විලිංගික තත්ව‍යේ පසුවන්නේ නම් එම පුද්ගලයාට ශෛල්‍ය කර්මයක් මගින් තමන්ගේ ශරීරය වැඩියෙන්ම නැඹුරු ලිංගිකත්වය වෙත ලගා වීමට තරම් අද තාක්ෂණය දියුණුය. මුස්ලිම්වරයෙකු එම තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධව මැදහත් මුස්ලිම් බුද්ධිමතුන් විරෝධය දක්වා නොමැත.

1983 වසරේදී මැලේසියානු බලධාරීන් පැවැත්වු සමුළුවකින් පසුව තීරණය වුයේ සියළුම මුස්ලිම්වරුන්ට ලිංග විපර්යාස ශෛලකර්ම තහනම් කිරීමටයි. නමුත් මෙහිදී ද්විලිංගික hermaphrodites (අන්තර් ලිංගික) තත්වයේ පසුවන අයට එසේ ශල්‍යකර්ම සිදුකරගැනීමට අවසරය ලබා දෙන ලදී. 1988දී ඊජිප්තුවේ උසස් ආගමික අධිකාරියක් වන අල්අස්හර් මුස්ලිම් විද්වත් සභාව පවසා සිටියේ කිසියම් පුද්ගලයෙකුගේ සැගවී තිබෙන ලිංගිකත්වය සම්පුර්ණ කරගැනීම උදෙසා ශල්‍යකර්මයන් කරගැනීම අනුමත බවයි.

බටහිරට අවශ්‍ය කර තිබෙන්නේ ලිංග විපර්යාස තත්වය තුල සිටින්නන් ඒ තත්වයෙන්ම පිළිගැන්මට ලක්කිරීමටයි. නමුත් මෙය සමාජ විකෘති තත්වයකට මග පාදයි. ඉස්ලාමයට අනුව දෙවියන් මිනිසාව නිමවා තිබෙන්නේ සම්පුර්ණත්වයෙන්ය. එමෙන්ම ශුද්ධවු අල්-කුර්ආනය පෙන්වා දෙන පරිදි අල්ලාහ් විසින් මිනිසාව මවා තිබෙන්නේ පුරුෂයා සහ කාන්තාව ලෙසයි. එමනිසා මේ දෙකට මැද ලිංගිකත්වයක් නැත. එය විකෘති භාවයකි.

අද ලොව තුල මෙවැනි ලිංග විපර්යාසික තත්වයන් මතුව තිබෙන්නේ මිනිසාගේ චර්යාවන්හි දුර්වලතා නිසා බව අපගේ අදහසයි. කෙසේ නමුත් වර්ධනය වන ලෝක තත්වයන් තුලට ගැලපෙන සමාජ විසදුම් ඉස්ලාමය තුල තිබෙන්නේය. අප හැගුම්බර නොවී බුද්ධිය මෙහෙයවා එම විසදුම් සොයා බලා පිළිගත යුතු බව අපගේ අදහසයි.

 

 

කලින් පුවත:

පකිස්ථානයේ ලිංගික විපර්යාසිකයන්(Transgender)ට විවාහ වීමට අවසර!

 

 

 

2 Comments to “ලිංග විපර්යාසිකයින් Transgender පිළිබඳ ඉස්ලාමීය මතය!

  1. Very good explanation. We need more information on this subject. Please publish more articles.

Comments are closed.