කුඩා දරුවන්ගේ කතා ප්‍රමාදය හදුනා ගන්න!

Kids Talking Delay, කුඩා දරුවන්ගේ කතා ප්‍රමාදය

කුඩා දරුවන් බහ තෝරන අවධිය කියලා කියන්නෙ අම්මලා තාත්තලා ඉතා සතුටින් ඇගිලි ගනිමින් බලා ඉන්න කාලයක්. ඒ වගේම පුංචි දුව හරි පුතා හරි අම්ම, තාත්තා කියලා කතා කරනකොට දෙමව්පියන්ට ඇතිවන්නේ නිම් හිම් නැති සතුටක්. මේ වගේ සතුටට පත්වන අපේ බොහෝ මව්පියන් අතරේ ඇයි අපේ දරුවා තාම හරියට වචනයක් කියන්නෙ නැත්තේ කියන ප්‍රශ්නාර්ථයත් එක්ක ජීවත් වෙන මව්පියනුත් නැතුවා නොවෙයි. ඒ අද කාලයේ කුඩා දරුවන් අතර ඉස්සරටත් වඩා දකින්න ලැබෙන කථන ප්‍රමාදය එහෙමත් නැත්නම් කථන හා භාෂා අපහසුතා යන ආබාධ තත්වයන් නිසයි.

පුංචි දරුවන් සාමන්‍යයෙන් ඉපදුන දවසෙ ඉදල වයස අවුරුදු 4-5 ක් පමණ වන තෙක් එයාලගෙ කථන හා භාෂා කුසලතා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරගන්නවා. එයට දරුවා සහ මාපියන් අතර ඇති සම්බන්ධය, දරුවා ජීවත් වන වටපිටාව වගේම ඉන් ලැබෙන විවිධ උත්තේජනයන් ඉතා හොදින් උදව් වෙනවා. පහතින් දක්නට ලැබෙන්නේ එම කුසලතා වර්ධනය ගැන කෙටියෙන් පැහැදිළි කිරිමක්.

මාස 0-3

බඩගින්න, නිදිමත, වේදනාව හැඩීමෙන් ප්‍රකාශ කරයි. මව දෙස බලා සිනාසෙයි. ආ/ඊ/ඕ වැනි කෙටි ශබ්ද පිටකර ප්‍රතිචාර දක්වයි.

මාස3-6

බා/මා/ඩා වැනි තනි ශබ්ද පිටකරයි. බාහිර ශබ්ද වලට අවධානය දී හිස හරවයි. ඒ අනුව ශබ්ද පිටකිරීම නවතයි හෝ වෙනස් කරයි. ශබ්ද නගා සිනාසෙයි.

මාස 6-අවු 1

එකම ශබ්දය නැවත නැවත පිටකරයි. බාබා/මාමා/අප්අප්. බොහෝ විට නමට ප්‍රතිචාර දක්වයි. වචන අනුකරණයට උත්සහ කරයි. තේරුමක් ඇති වචන කතා කරයි. අම්මා/තාත්තා. සරළ උපදෙස් පිළිපදී.

අවුරුදු 1-2

අත දිගු කර පෙන්වයි. අලුත් වචන කීමට පටන් ගනී. වචන දෙකක් එකතු කරන්නට පටන් ගනී. තාත්තා එන්න/අම්මා දෙන්න.

අවුරුදු 2-3

නම, වයස පිළිතුරු දෙයි. වචන 3-4 ක් එකතු කර කතා කරයි. දිනපතා අලුත් වචන එකතු කරගනී. උපදෙස් පිළිපැදීම ඉතා හොදයි.

අවුරුදු 3-4

සම්පූර්ණ පැහැදිලි වාක්‍ය කතා කරයි. සරළ සිද්ධි විස්තර කරයි. වචන 1000 ක් පමණ කතා කරයි.

අවුරුදු 4-5

සංකීරණ වාක්‍ය කතා කරයි. කතන්දර කීමට හැකිය. තමා පිළිබද විස්තර කල හැකිය. ප්‍රශ්ණ අසයි. වචන 1500-2000 ක් පමණ කතා කරයි.

ඉතින් යම් කිසි විදියකින් දරුවා මේ කාළ සීමාවන් පසු කිරිමේදි අදාල කුසලතාවයන් පෙන්වන්නේද නැද්ද යන්න පිළිබදව දෙමව්පියන් හැටියට ඔබ සියුම් නිරීක්ෂනයකින් පසුවිය යුතුයි. ලොකු එක්කෙනා කතා කලෙත් පරක්කු වෙලා. මෙයත් ටිකක් පරක්කු වෙලා කතා කරයි. වැනි අදහස් දරමින් කිසිදු ප්‍රතිකාරයක් වෙත මව්පියන්, දරුවා යොමු නොකරන අවස්ථා අප දැක තිබෙනවා. එහෙත් මෙහිදී අවබෝධ කර ගත යුතු වැදගත් කරුණක් වන්නේ කථන ප්‍රමාදය, වෙනත් රෝගාබාධ වල ලක්ෂණයක් ලෙසද දකින්නට ලැබෙන නිසයි.

උදාහරණ ලෙස මනෝ වික්ෂිප්තභාවය (ඔටිසම්), සින්ඩ්‍රෝම තත්ව, ශ්‍රවණාබාධ, විතලිත තල්ල/තොල, ඇප්රැක්සියා තත්වය, ඉගෙනීමේ දුර්වලතා වැනි රෝගාබාධ වලදී ද කථන හා භාෂා අපහසුතා ඇතිවේ. සදහන් කල යුතු තවත් එක් වැදගත් කරුණක් වන්නේ මෙවැනි ප්‍රමාදයක් හදුනාගත් මුල් අවධියේම ප්‍රතිකාර වලට යොමු වීම සිදුකලයුත්තේ ඇයිද යන්නයි. ඔබ දන්නවාද කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය ඉතා වේගෙන් සිදුවන කාල පරාසයක් තමයි මුල් ළමාවිය අවධිය කියන්නේ එනම් අවුරුදු 3 දක්වා. මේ කාලයේදී බාහිර උත්තේජනයන් අවශෝෂණය කරගෙන ඒ අනුව හැඩ ගැසීමට මොළයේ ඇති හැකියාව උපරිමයි. එමනිසා මුල් අවධියේදීම හදුනා ගෙන ප්‍රතිකාර වෙත යොමුවීමෙන් වඩා අඩු කාලයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

මේ අතර මව්පියන් ලෙස ඔබගෙන් ඉටු විය යුතු කාර්යය භාර්යද ඉතා ඉහලයි. ඔබටද නිවසේදි ළදරුවා සමග පහත දෑ සිදුකළ හැක. ළදරුවාට කුතුහලය, සතුට දනවන ක්‍රියාකාරකම් වල නිරත වන්න. විවිධ සතුන්ගේ, වාහන වල ශබ්ද නගමින් එවා අනුකරණය කිරීමට ළදරුවා දිරිගන්වන්න. සැමවිටම දරුවා සමග කතා කිරීමේදි සරළ භාෂාව හා කෙටි වාක්‍ය පාවිච්චි කරන්න. ඔබ කතා කරන වේගයද අඩු කරන්න. මුල් ළමාවියේ සිටින දරුවා ව ඔබේ එදිනෙදා ගේ දොර වැඩකටයුතු වලට සම්බන්ධ කරගන්න. ඔබ කරන කාර්යයන් ගැන පවසමින් දරුවාද ඔබ හා සම්බන්ධ කරගන්න. යම් හෙයකින් ඔබේ දරුවාගේ කථනය, ප්‍රමාද බව දැනුනහොත් ඊලගට කල යුත්තේ කුමක්ද යන්න වැදගත් ප්‍රශ්නයක්.

කථන ප්‍රමාදය මග හරවා ගැනීම හෝ යථා තත්වයට පත් කර ගැනීම සදහා දරුවාව නිවැරදි චිකිත්සක ක්‍රමවේදයකට යොමු කල යුතුයි. ඊට සුදුසුකම්ලත් කථන හා වාග් චිකිත්සක හෝ ව්‍යධිවේදි‍යෙකුගේ උපදෙස් පැතීම සුදුසු වේ. එහිදී පළමුව දරුවා පරික්ෂා කර දරුවාගේ පවතින කථන හා භාෂා කුසලතා මට්ටම නිර්ණය කළ යුතුයි. ඉන්පසුව චිකිත්සක ප්‍රතිකාර ක්‍රම රාශියක් අතුරින් වඩාත්ම උචිත ක්‍රමය භාවිතා කළ හැක. ඔබේ ළදරුවා සම්බන්දයෙන් සුපරික්ෂාකාරි විය යුතු තවත් බොහෝ දෑ ගැන ඉදිරි ලිපි වලින් සාකච්ඡා කිරිමට අප බළාපොරොත්තු වෙමු.

ඉන්දියාවේ බැංගලෝර් විශ්ව විද්‍යයාලයේ කථන හා වාග් ව්‍යධිවේදය හා ශ්‍රවණවේදය සම්බන්ධව විශේෂ උපාධිධාරිනී හිරුනි ෆොන්සේකා මහත්මිය පෙරන්ටින් වෙබ් අඩවියට තබන ලද සටහනකි.