ඉස්ලාම් දහමෙහි ප්‍රතිසංස්කරණ ඇරඹිය යුත්තේ කොතැනින්ද? අමීර් අලි

ඉස්ලාම් දහමෙහි ප්‍රතිසංස්කරණ අැරඹිය යුත්තේ කොතැනින්ද? අමීර් අලි

ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලූත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන් සහ මහම්මද්තුමාගේ සම්ප්‍රදායයන්ගෙන් සපයා ගැනෙන ඇතැම් ප්‍රතිපදා, නූතනත්වය සහ අදාළ සමාජ පරිවර්තනයන් සමග නොගැළපෙන හැම විටකම මුස්ලිම් විද්වතුන් සහ ක්‍රියාධරයන් කවදත් ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් හඬ නගා තිබේ. ඇත්ත වශයෙන්ම, ඉස්ලාමීය අධ්‍යයනයන් පිළිබඳ ඉතා කීර්තිමත් ගිහි ශාස්ත්‍රඥයෙකු වන මොහොමඞ් ආර්කූන් (1928-2010) ඔහුගේ අසහාය කෘතිය නම් කෙළේ, ‘‘ඉස්ලාම් දහම: ප්‍රතිසංස්කරණය වෙයිද, අයාලේ යයිද’’ යනුවෙනි.

කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් මුස්ලිම් නොවන හෝ කලක් මුස්ලිම් ක්‍රියාධරයන් වශයෙන් සිටි සුළුතරයක් අද වන විට අලූත් ඉල්ලීම් විශේෂයෙක් මතු කරමින් සිටිති. එනම්, ඉස්ලාම් දහම ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය, කුරානය ‘තහනම් කිරීමෙන්’ හෝ එය ‘කපා කොටා දැමීමෙන්’ පටන් ගත යුතු බව කියමින් කෙලින්ම කුරානය වෙතට ඇඟිල්ල දිගු කිරීමයි. ඔවුන්ගෙන් කෙනෙකු, ශුද්ධ වූ කුරානය, හිට්ලර් ලියූ ‘‘මගේ අරගලය’’ නැමැති කෘතියට සම කිරීමට තරම් දුර දිග ගොස් තිබේ. මේ අශිෂ්ට කතාව, එහි මතුපිටින් පෙන්නුම් කෙරෙන ආධානග්‍රාහී භාවයට අමතරව, කුරානයේ ඉතිහාසය ගැන එම පුද්ගලයා තුළ ඇති නොමේරූ දැනුම පමණක් නොව, ඉස්ලාම දහම අදහන මුසල්මානුවන්ගේ හදවත් තුළ ශුද්ධ වූ කුරානය කෙරෙහි වන පූජණීය හැඟීම පිළිබඳ නොතැකීමත් පෙන්නුම් කරයි. ඒ වූ කලී, මීට සියවස් කිහිපයකට පෙර කිතුණු ලෝකයා විසින් ඉස්ලාම් ලෝකයට කරන ලද අනවිණවලට තවත් පොහොර දැමීමකි. මේ නිෂේධාත්මක ආකල්පය විසින්, ඊනියා ‘‘ධර්ම සෙනෙවි-සියොන්වාදී යුද්ධය’’ සඳහා ස්වේච්ඡා සටන්කරුවන් බඳවා ගැනෙන ‘ජිහාඩිස්ට්’ අන්තවාදීන්ගේ ප්‍රචාරක අවි ගබඩාවට අලූත් ආයුධද සපයනු ලැබේ.

යථාර්ථයෙන් ගත් විට, ප්‍රතිසංස්කරණය යනු, මිනිස් ඥානයේ සහ ශිෂ්ටාචාරයේ අවශ්‍යතා තුළ නිතිපතා මතු වන අභියෝගවලට ආමන්ත්‍රණය කළ හැකි, නිරන්තරයෙන් ගලායන යම් ප්‍රවාහයක් මිස, අලූත් සහ සංශෝධිත ලේඛනයක් හෝ අයිතම සහිත න්‍යාය පත්‍රයක් එළිදැක්වීම මගින් අත්පත් කර ගත හැකි ඒකල ක්‍රියාවක් නොවේ. ඒ අර්ථයෙන් ගත් විට, ඉස්ලාම් දහම ගොඩනැගුණු මුල් සියවස් හයක කාලය තුළ ඉස්ලාම් දහම ඉතා පුළුල් වශයෙන් සහ අර්ථවත්ව ප්‍රතිසංස්කරණයන්ට භාජනය වී ඇති බවත්, ඉන් පසුව එම සම්ප්‍රදාය පටු සීමා තුළ හිරවෙමින් නොගැඹුරු වෙනස්කම්වලට පමණක් මුල් තැන දෙන ව්‍යාපාරයක් වී ඇති බවත්, ඉස්ලාම් චින්තනයේ ඉතිහාසය දෙස බැලූ විට හොඳින් පෙනී යයි.

සුන්නි ආගමික නිකායන් මෙන්ම ෂියා ආගමික නිකායන් විසින් පාලනය හොබවන රටවලද, එකිනෙකින් වෙනස් වූ නීති පර්ෂද දක්නට ලැබීමත්, ගූඪ ඉස්ලාමීය නිකායන් බොහොමයක් ක්‍රියාත්මක වීමත් මගින් පෙන්නුම් කරන්නේ, ඒ ප්‍රතිසංස්කරණීය ප්‍රවණතාවයේ ගතිකත්වයන් ය. මධ්‍යතන යුගයේ පැවති බුද්ධිමය සහ අධ්‍යාත්මික නිදහසේ පසුබිම තුළ, මේ චින්තන පර්ෂදවල පුරෝගාමීන්, මහම්මද්තුමාට අරාබි භාෂාවෙන් හෙළිදරව් කරන ලද ආගම, ඊට වෙනස් සංස්කෘතික සහ භූගෝලීය පරිසරයන්හි ජීවත්වන ජනතාවට ගැළපෙන සහ ඇදහිය හැකි වන ආකාරයෙන් පරිවර්තනය කිරීමට උත්සුක වී තිබේ. ක්‍රිස්තියානි ලෝකයේ ආගමික යුද්ධවලට මග පෑදූ ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයක් කිසි දවසක ඉස්ලාම් දහම තුළ බිහි නොවුණේ එබැවිනි. ප්‍රතිසංස්කරණය යනු ඉස්ලාම් දහම තුළ පවතින නෛසර්ගික ක්‍රියාවලියකි.

එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන්, ඉස්ලාමීය ආගමික භූ-සිතියම තුළ ප්‍රමුද්‍රාව බවට පත්වුණේ නොවෙනස වෙනුවට විචිත්‍ර විවිධත්වයයි. එය, සබුද්ධික මුස්ලිම් පාලකයන්, සුල්තාන්වරුන් සහ අධිරාජයන් පිරිසකගේ බල ප්‍රදේශ තුළ, බුද්ධිමය ක්ෂාන්තියේ සහ හේතුවාදී විචාරශීලීත්වයේ අසහාය ඓතිහාසික පරිසරයන් තුළ අත්කර ගත් නිෂ්ඨාවකි. ඔවුන්ගේ පාලන තන්ත‍්‍රයන් යටතේ, දසදහස් ගණන් මුස්ලිම් විද්‍යාඥයන්, දාර්ශනිකයන්, දේවධර්මධරයන්, කවියන්, චින්තකයන් සහ විවේචකයන් මෙන්ම ක‍්‍රිස්තියානි, යුදෙව්, බෞද්ධ ආදී වෙනත් භක්තිකයන්ගේද සහභාගීත්වයෙන් සහ සම්මාදමෙන්, එකිනෙකාගේ විශේෂඥතා කෙරෙහි අන්‍යොන්‍ය ගෞරවයෙන් තත්පර වෙමින්, ස්වාධීන සහ විචාරශීලී චින්තනය ඔස්සේ එදා ඉස්ලාම් ලෝකයා විසින් බිහි කරන ලද්දේ අඩු වශයෙන් ඒ වන තෙක්වත් මිනිස් වර්ගයා සොයාගෙන තිබූ උසස්ම ශිෂ්ඨාචාරයකි.

ඉස්ලාම් දහමත්, මුස්ලිම් ප‍්‍රජාවත් දීර්ඝ කාලීන බුද්ධිමය නිද්‍රාවකට පත්වුණේ සහ භෞතිකව එක තැන පල් වෙන තත්වයකට පත්වුණේ, ඉහත කී ප‍්‍රතිසංස්කරණීය ක‍්‍රියාවලිය 12 වැනි සියවසේ පටන් අභාවයට යාම නිසා ය. එම තත්වයෙන් මුළුමණින් ගොඩ ඒමට තවමත් ඔවුන්ට පුලූවන් වී නැත. විවාදය සහ විවිධත්වය සාදරයෙන් පිළිගත්, ඉවසීම සහ සම්මුතිය ධෛර්යමත් කළ, සබුද්ධිකත්වය සහ පුද්ගලිකත්වය භාර ගත් ශිෂ්ඨාචාරයක්, දේශපාලනමය ආගමික සම්ප‍්‍රදායක් කරළියට පැමිණීමත් සමග ප‍්‍රහාරයට ලක්විය. එතැන් පටන්, ප‍්‍රශ්න කිරීම වෙනුවට අවිවාදිත අනුකරණය ඉස්ලාමීය බුද්ධි නිෂ්පාදනය තුළ ප‍්‍රමුඛ ස්ථානයට පත් විය. අද දක්නට ලැබෙන ප‍්‍රචණ්ඩකාරී රැුඩිකල් සහ ජිහාඞ් ඉස්ලාමීය ත‍්‍රස්තවාදයේ දෘෂ්ටිවාදීමය ජන්මය සිදුවන්නේ එකී ඓතිහාසික පරාජය තුළයි.

18 වැනි සියවසේ පටන් ඉස්ලාම් ලෝකය අරා පැවති පරිහානිය සහ ඇණහිටීමේ වරද, යුරෝපීයයන් සහ යුරෝපීය යටත්විජිතවාදය මත පැටවීම මුස්ලිම්වරුන්ගේ පුරුද්දක් වී තිබේ. මේ තර්කය නූතන බුද්ධිමත් ලෝකයා පිළිගන්නේ නැත. මුස්ලිම් ජාතිකයන්ව යටත් කෙරුණේ යටත් විය හැකි තත්වයක ඔවුන් සිටි බැවිනි. ඒ යටත් විය හැකි භාවය පටන්ගෙන තිබුණේ, යටත්විජිතවාදයේ ආරම්භයට සියවස් ගණනකට කලිනි. මොන හේතුවක් නිසා හෝ යටත්විජිතවාදය මත වරද පැටවුවත්, මුස්ලිම් ලෝකයේ කිසි රටකට වඩා වැඩි කාලයක් තිස්සේ යටත්විජිවාදයට යටව සිටි ඉන්දියාව එයින් ගොඩවිත්, ලෝක වේදිකාවේ තරගකාරී බලවතෙකු වශයෙන් ගොඩනැගෙන අතරේ මුස්ලිම් ජාතීන් තවමත් බෙලහීනව සහ ව්‍යාකූලව සිටින්නේ මන්ද යන්න එම තර්කය මත පැහැදිළි කළ නොහේ.

එබැවින් ඉස්ලාම් ලෝකයට අද වඩාත් අවශ්‍ය කරන වැදගත් ප‍්‍රතිසංස්කරණය වන්නේ, ඉහත සඳහන් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය යළි ආරම්භ කොට, හේතුවාදි සංකථනය, බුද්ධිමය නිර්මාණශීලීත්වය සහ දාර්ශනික බහුත්වවාදය සඳහා අවශ්‍ය කරන නිදහස්කාමී පරිසරය යළි ගොඩනැගීමයි. චින්තනයේ සහ ප‍්‍රකාශනයේ නිදහස අද මුස්ලිම් ලෝකය තුළ හිඟ භාණ්ඩයක් බවට පත්ව තිබේ. මුස්ලිම් ලෝකයෙන් බටහිර ලෝකයට පළා යන බුද්ධිමතුන්, ලේඛකයන්, ශාස්ත‍්‍රඥයන් සහ විද්‍යාඥයන්, දේශපාලනික අත්තනෝමතිකත්වයන් විසින් හසුරුවනු ලබන දැඩි මතධාරී ආගමික පීඩනය හේතුවෙන් නිර්මාණය කෙරී ඇති මහා බුද්ධිගලනයකි. පැරිස් විශ්ව විද්‍යාලයේ, ටියුනීසියානු ජාතික මුස්ලිම් ශාස්ත‍්‍රඥයා පවසන පරිදි, ‘‘අරාබි විශිෂ්ටත්වය මල්ඵල දරන බව පෙනෙන්නේ විදේශයන්හිදී ය.’’

මෙකී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තුළ කුරානය මධ්‍යස්ථ ය. එසේ නොවන්නේ නම්, අද ඇති වන විනාශයන් සහ ලේ වැගිරීම් ගැන චෝදනාවට ලක්වන කුරානයම, වඩාත් විශ්වදේශීක සහ වඩාත් විශිෂ්ඨ ශිෂ්ටාචාරයක් අතීතයේ උදා කර දීමටත් දායක වී ඇති බව අපි කෙසේ වටහා ගනිමුද? වරද ඇත්තේ කුරානයේ නොව. එය භාවිත කරන්නන්ගේ සහ භාවිත කරන ආකාරයේ ය. උත්ප‍්‍රාසය වන්නේ, ඉස්ලාම් දහමේ ප‍්‍රතිසංස්කරණීය ආලෝකය දල්වනු ඇත්තේ, ඉස්ලාම් ලෝකයා විසින් නොව, ක‍්‍රිස්තියානි ලෝකයේ වෙසෙන ඉස්ලාම් භක්තිකයන් විසින් වීම ය.

*2016 ජුලි 7 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Reforming Islam: Where Should One Start? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

 

 

4 Comments to “ඉස්ලාම් දහමෙහි ප්‍රතිසංස්කරණ ඇරඹිය යුත්තේ කොතැනින්ද? අමීර් අලි

  1. Me anver sahodaraya, apita ameer ali gena kiyannata enna epa. meya sufi nikayata ayath. Islam dharmaya gena mukutwath dannati moda manussayek. me wage articles dana eken tamunnansege denuma widapanawa.

    1. මම අමීර් අලිගේ පමණක් නොව සල්මාන් රුෂ්ඩිගේ ලිපියක් වුවත් දානවා. ඒ ලිපි මෙහි පලකිරීමෙන් මගේ දැනුම ගැන කතා කරන්න බැහැ. මොකද මම හැමෝටම මෙම වෙබ්අඩවිය තුල ඉඩ හසර ලබා දිය යුතුයි. ඔබට මෙම ලිපිය ගැන විවේචන තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැතිව මිනිසුන්ට ලේබල් පමණක් ගහනකොට ඔබ අන්තවාදියෙකු බව හැමෝටම පේන දෙයක් වෙනවා. අයිසිස් වැනි අන්තවාදීන් අනෙක් මත ඉවසන්න පුරුදු නැහැ. ඔබ අන්මත ඉවසන්න පුරුදු වෙන්න. විවේචන තිබෙනවා නම් ඉදිරිපත් කරන්න.

    2. බලාගෙන යද්දී thawfeeq ඇරෙන්න ලෝකේ අනිත් සෑම මුස්ලිම් වරයෙක්ම මොකක් හරි කල්ලියක ඉන්නවා 🙂
      එයා ඇරෙන්න අනිත් අය කිසිම දෙයක් දන්නෙත් නැහැනේ බලාගෙන ගියාම හික්ස්

Comments are closed.