කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 1වන කොටස අල් කුර්ආන් 2: 193

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 1වන කොටස අල් කුර්ආන් 2: 193

පොදුවේ ඉස්ලාම් විරෝධීන් විසින්  අල් කුර්ආනයේ 2 : 193 වැකිය විකෘති කරමින් අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්නේ පහත සඳහන් අයුරිනි. මෙමගින් මුස්ලිම් නොවන ජනයාගේ සිත් තුළ ඉස්ලාම් දහම හා මුස්ලිම් ප්‍රජාව පිළිබඳ පදනම් විරහිත බියක් හා  පිළිකුලක් ඇති කිරීම ඔවුන්ගේ පටු පරමාර්ථය බව පැහැදිළිය.

“මුස්ලිම් වරුනි, අල්ලාහ් සහ ඉස්ලාමය හැර අනෙකුත් සියලු ආගම් සහ ඇදහීම් බූමියෙන් විනාශ කොට අතුගා දමන තුරු සහ එකම ආගම ඉස්ලාමය පමණක් වනතුරු ඔවුන්ට විරුද්ධව භීෂණය කලකෝලාහල සටන් කරන්න.”

මෙම වැකියට පසුබිම

අල් කුර්ආන්  2: 190 – 194 වැකි හුදෛබියා ගිවිසුම අත්සන් කළ හෝ ඉන් ස්වල්ප කාලයකට පසු පහළ කරන ලද්දකි. (මුලාශ්‍ර: අස්බාබ් අල් නුසුල්-අල් වහීදි, තෆ්සීර් ජලාලයින්, තෆ්සීර් ඉබ්නු කතීර්).

මුස්ලිම් හා මුස්ලිම් නොවන විද්වතුන් සඳහන් කරන අන්දමට අප මුහම්මද් නබිතුමාණන්ගේ නබීත්වයේ කටයුතු කළ යුගයේදී මක්කාවාසී කුරෛෂ් ප්‍රතික්ෂේපයින්ගේ දරුණු හිංසනයන්ගෙන් මිදීම සඳහා මදීනා නගරයට දේශාන්තරණය කළ පසුවත් මුස්ලිම්වරුන් ට ගැලවීමක් නොතිබුණි.

වසර දහතුනක් තිස්සේ මක්කා නගරයේ දී කුරෛෂ් ගෝත්‍රිකයින් මුදාහළ භීෂණය හා දරුණු වධ හිංසා දරා ගැනීමට නොහැකිව මදීනා නගරයට දේශාන්තරණය කළ මුස්ලිම්වරුන් හිංසනය හා වධහිංසාවලට ලක්වෙමින් ගතකළ  එම අවාසනාවන්ත බිහිසුණු කාල පරිච්ඡේදය අවසන් වුවා යැයි සිතූහ.

නමුත් සත්‍යවශයෙන් ම සිදුවුයේ එයට හාත්පසින් ම වෙනස් වූ දෙයකි. අබුදාවූද් හදීස්(නබිවදන්) ග්‍රන්ථයේ පහතින් සඳහන් කොට ඇති අයුරින් මදීනා නගරයේදීත් මුස්ලිම්වරුන්ව ඝාතනය කොට විනාශ කිරීමට දැඩි අධිෂ්ඨානයකින් යුක්තව කුරෛෂ්වරුන් කටයුතු කොට ඇති ආකාරය දැකගත හැකිය. සතුරාගේ දුෂ්ටකම දරාගන්නට නොහැකිව ආරක්ෂක ස්ථානයකට තම මාතෘභූමිය අතහැර පලා ගියායින් පසුවත් තමන් ව විනාශ කරන්නට ලුහුබැඳ එන්නට කටයුතු කරන්නේ නම් කළ හැක්කේ කුමක් ද? පහතින් සඳහන් සිදුවීම මදීනා නගරය වෙත ආරක්ෂාව පතමින් පලාගිය මුස්ලිම්වරුන් හා ඉස්ලාම් විරෝධී කුරෛෂ්වරුන් අතර මදීනා නගරය අසල බද්ර් නම් ස්ථානයේ සිදු වූ යුද ගැටුමට පෙරාතුව සිදුවූවකි.

“ප්‍රතික්ෂේපක කුරෛෂ්වරුන් විසින් (මදීනා වැසියන් වූ) අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලුල් වෙත හා පිළිම වන්දනාවේ යෙදුනු අව්ස් හා කස්රජ් ගෝත්‍රිකයින් වෙත  ලිපියක් යොමු කරමින් ‘අපගේ සහචරයා (මුහම්මද් තුමාණන්) වෙත නුඹලා රැකවරණ ලබා දී ඇත. නුඹලා ඔහු සමග යුද වැදිය යුතුය. එසේ නොමැති නම් ඔහුව පිටමං කලයුතුය. එසේ කිරීමට නුඹලා අපොහොසත් වුවහොත් අපගේ පුර්ණ ශක්තිය හා බලය සමග පැමිණ නුඹලාගේ සටන් කරුවන් ඝාතනය කරනු ලබන අතර නුඹලාගේ ස්ත්‍රීන් පැහැර ගැනීමට කටයුතු කරනු ලැබේ’ යැයි දන්වා සිටියහ.  මෙම ලිපිය අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලුල් වෙත හා පිළිම වන්දනාවේ යෙදුනු අව්ස් හා කස්රජ් ගෝත්‍රිකයින් වෙත  ලැබුණායින් පසු ඔවුන් එක්රැස් වී සාකච්ඡා කොට මුහම්මද් තුමාණන්ට එරෙහිව සටන් කිරීමට තීරණය කළහ. මේ බව සැලවූ වහාම මුහම්මද් තුමාණන් ඔවුන් ව හමුවීමට ගොස් ‘ඔබලා වෙත වූ කුරෛෂ්වරුන්ගේ තර්ජනය එහි  අවසානය කරා ලඟා වී ඇත. නුඹලා නුඹලාට හානියක් කරගැනීමට අපේක්ෂා කරනවා හැර නුඹලාට එරෙහිව  ඔවුන්ට කුමන්ත්‍රණය කළ නොහැක. නුඹලා නුඹලාගේ පුතුන් හා සහෝදරයින් සමග සටන් කරන්නට කැමැති වන්නේ දැයි විමසා සිටියහ. මුහම්මද් තුමාණන්ගේ මෙම වදන් සවන් දීමෙන් පසු ඔවුන් තම තීරණය අතහැර විසිර ගියහ”. (අබුදාවුද්  19 – 2998 සහ කිතාබ් අල් මගාසි – මාමර් ඉබ්නු රාෂිඩ් – 67 වැනි පිටුව)

මෙම වාර්තාවෙන් කුමක් අපට අවබෝධ කරගත හැක්කේ ද? මුහම්මද් තුමාණන්ගේ කාලයේ ජීවත් වූ ප්‍රතික්ෂේපකයින් කුමණ ආකාරයේ අපරාධකාරී මිනීමරු ප්‍රවණතාවකින් යුක්ත වුවන් ද යන්න නොවේ ද? යුද කිරීමේ අනුමැතිය ලබා දී ඇත්තේ එම යුගයේ ජීවත් වූ මෙවන් සාහසික අපරාධ කරුවන්ට එරෙහිව යන්න අප අමතක කළ යුතු නොවේ.

මෙම වැකි මදීනා නගරයේ මුස්ලිම්වරුන්ගේ ආරම්භක කාලයේ පහළ කරන ලද බව දැක්වේ. පළමුව මෙම වාක්‍යයන්ගේ නිවැරදි අර්ථ දැක්වීම විමසා බලමු.

“(තවදුරටත්) අක්‍රමිකතාව ඇති නොවී දීන් (බලය, දහම) අල්ලාහ්ටම වනතෙක් නුඹලා ඔවුන් සමග යුද වදිවු. නමුත් ඔවුන් එයින් (අක්‍රමිකතාවන්ගෙන්) වැළකුණහොත් සතුරුකම ඔවුන්ගෙන්වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකුට නොමැත”.  (අල් කුර්ආන් 2 : 193)

පැහැදිලි කිරීම

ආරම්භයේ දක්වා ඇති විකෘති පරිවර්තනයෙන් ඉදිරිපත් කර ඇති අර්ථය හා නිවැරදි පරිවර්තනයෙන් දක්වා ඇති අර්ථය  කරුණාකර සසඳා බලන්න. මෙයින්ම ඔවුන්ගේ අපේක්ෂාව කුමක් ද යන්න අවබෝධ කර ගනීම පහසු වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

මෙම අල් කුර්ආන් වැකිය උපුටා දක්වන්නන් එහි සන්දර්භය සමග අර්ථය විග්‍රහ කරන්නට කටයුතු නොකරති. එසේ සන්දර්භය සමග අර්ථය විග්‍රහ කරන්නෙකුට මෙහි ගැබ්වී ඇති සත්‍යය අවබෝධ කර ගැනීම නිසැකවම පහසුවනු ඇත.

මෙම විග්‍රහයෙන් පසු ඉහත අල් කුර්ආන් වැකියේ සන්දර්භය පළමුව විමසා බලමු. දෙවන පරිච්ඡේදයේ 190 සිට 194 වැනි දක්වා වූ වැකි පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2 : 190)

“නුඹලා ඔවුන් දුටු තැන ඔවුන්ව ඝාතනය කරවු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ ස්ථානයෙන් නුඹලා ද ඔවුන් ව පිටුවහල් කරවු. ඝාතනයට වඩා අක්‍රමිකතාව (කළහකම්, හිංසනය) දරුණුය. (කෙසේ නමුත්) මස්ජිදුල් හරාම් (මක්කාවේ ඇති මස්ජිදය) අබියස ඔවුන් නුඹලා සමග එහි යුද වදිනා තෙක් නුඹලා ඔවුන් සමග යුද නොවදිවු. ඔවුන් නුඹලා සමග යුද වදින්නේ නම් නුඹලා ද ඔවුන් ව ඝාතනය කරවු. එවැන්නකි ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකය වන්නේ” (අල් කුර්ආන් 2 : 191)

“ඔවුන් වැළකෙන්නේ නම් සැබැවින්ම අල්ලාහ් අති ක්‍ෂමාශීලීය, පරම කරුණාභාරිතය”. (අල් කුර්ආන් 2 : 192)

“(තවදුරටත්) අක්‍රමිකතාව (කළහකම්) ඇති නොවී දීන් (බලය, දහම) අල්ලාහ්ටම වනතෙක් නුඹලා ඔවුන් සමග යුද වදිවු. නමුත් ඔවුන් එයින් (අක්‍රමිකතාවන්ගෙන්) වැළකුණහොත් සතුරුකම ඔවුන්ගෙන් වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකුට නොමැත”.  (අල් කුර්ආන් 2 : 193)

“ශුද්ධ වූ මාසය (තුළ යුද්ධයට ආ විට ඒ) වෙනුවෙන් ශුද්ධ වූ මාසය (තුළ යුද කිරීම අනුමත) වේ. පාරිශුද්ධ දෑ වෙනුවෙන් (එය උල්ලංඝනය කළ විට) සම ප්‍රතිවිපාක ඇත. නුඹලාට එරෙහිව කවරෙකු සීමාව ඉක්මවා යන්නේ ද නුඹලාට එරෙහිව ඔහු සීමාව ඉක්ම වූවාක් මෙන් නුඹලා ද ඔහුට එරෙහිව සීමාව ඉක්මවා යවු. තවද නුඹලා අල්ලාහ් ට බියභක්තිමත් වවු. තවද සැබැවින්ම අල්ලාහ් බියභක්තිකයින් සමග යැයි දැන ගනිවු”. (අල් කුර්ආන් 2 : 194)

පළමුව 2 : 190 වැකියෙන් දක්වා ඇති ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් විමසා බලමු. මෙහි ඉතාම පැහැදිලි මග පෙන්වීම් දෙකක් ලබා දී ඇත. එනම්:

  1. තමන් සමග සටන් වදින්නන් සමග පමණක් සටන් වැදීම මෙම වැකියේ ප්‍රධානතම උපදේශයයි. මේ අනුව ඕනෑම අයෙකු සමග සටන් කිරීමට ඉස්ලාමිකයින්ට අවසරයක් නොමැත.
  2. එසේ සටන් වැදීමේ දී සීමාව ඉක්මවා කටයුතු නොකිරීමට වග බලාගත යුතුය යන්න ද මෙහි තවත් වැදගත් උපදේශයකි. වර්තමානයේ යුද ගැටුම් හි නිරත බොහෝ හමුදා තම සීමාවන් ඉක්මවා ගොස් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම සාමාන්‍ය සිදුවීම් බවට පත් වී ඇත. මෙලෙස හැසිරීමට ඉස්ලාමිකයින්ට අනුමැතියක් නොමැත.

මෙම ඉගැන්වීම් සමග ඕනෑම අයෙකුට තිබිය හැක්කේ කුමණ ආකාරයේ ගැටළුවක්දැයි විමසන්නට කැමැත්තෙමු. 191 වැනි වැකිය විමසා බැලිය යුත්තේ 190 වැනි වැකියේ ඉහත ඉගැන්වීම් පදනම් කර ගෙනය.

2: 191 වැකිය මගින් ලොව සියලු මුස්ලිම් නොවන්නන් ව ඝාතනය කිරීමට පොදු අනුමැතියක් දී ඇති බව හුවා දක්වන්නට බොහෝ ඉස්ලාම් විරෝධීන් අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටිති. මෙම වැකියන්හිම යුද වදින්නට අවසරය දී ඇත්තේ නිශ්චිත පිරිසක් සමග බව ඉතාම පැහැදිළි ආකාරයෙන් සඳන් වී ඇත. එනම් බලවත් භීෂණයක් මුදා හැර තමන් ව  මක්කාහ් නගරයෙන් පිටුවහල් කොට තමන්ගේ සියලු වස්තුන් හා දේපොළ කොල්ල කා ගත් අපරාධකාර පිරිසට එරෙහිවය. මක්කාවේ ඇති මස්ජිදය අසල පුණ්‍ය භුමි සීමාවේ කිසිවෙකු යුද කටයුතු නොකරන නමුත් එම ප්‍රදේශයේදී සතුරන් පහර දුනහොත් පමණක් ප්‍රතිප්‍රහාර දීමේ අනුමැතිය හා ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් පමණක් එසේ කිරීමට අනුමැතිය ද මෙමගින් ලබා දී ඇත. අවුරුදු 13ක් තිස්සේ ඉස්ලාම් විරෝධීන්ගේ අනේක විධ භීෂණයන් ඉවසා දරා සිටි මුස්ලිම් වරුන්ට ඔවුන්ගේ අපරාධ වලට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දෙමින් පහළ වූ පළමු අල් කුර්ආන් වැකියයි මෙය.

දේවස්ථාන, පුන්‍යභුමි, විහාරස්ථාන හා අනෙකුත් නැමදුම් ස්ථානයන් ට පහරදී විනාශ කිරීමට යමෙක් කටයුතු කරයි නම් එවන් නිහීන නින්දිත ක්‍රියාවන් සැමගේ පිළිකුලට ලක් විය යුතු බව අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවේ. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැළකෙන ශ්‍රී මහ බෝධීන් හා දළදා මාලිගාවට පහර දුන් විට අප සැවොම අත්විඳි අත්දැකීම් අපගේ මතකයෙන් තවම මැකී ගොස් නොමැත. එහෙයින් ලෝ වැසි ඉස්ලාමිකයින්ගේ අති පෞරාණික හා අති උත්තරීතර පල්ලිය (මස්ජිදය) ලෙස සැළකෙන මක්කාවේ ප්‍රධාන පල්ලිය අවට කළහකම් කරමින් ඉස්ලාමිකයින් ඝාතනය කොට ඉස්ලාමය මුලිනුපුටා දැමීමට කටයුතු කරන්නා වූ පිරිස සමග අප ක්‍රියා කළ යුත්තේ කෙලෙසද යන්න පිළිබඳව කරුණාකර මොහොතක් සිතා බලන්න.

2: 192 වැකි වැකියෙන් තවත් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් ඉදිරිපත් කොට ඇත. ඔවුන් වැළකෙන්නේ නම් මුස්ලිම් වරුන් ද වැළකී කටයුතු කළ යුතු බව මෙයින් ඉගැන් වේ. යුද තත්ත්වයක් තුළ මෙයට වඩා උතුම් මානුෂීය පිළිවෙතක් ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන්න.

2: 193 වැකියයේ “(තවදුරටත්) අක්‍රමිකතාව ඇති නොවී දීන් (බලය, දහම) අල්ලාහ්ටම වනතෙක් නුඹලා ඔවුන් සමග යුද වදිවු” යනුවෙන් අදහස් වෙන්නේ දහමේ ශ්‍රේෂ්ඨත්වය සුරක්ෂිත වනතෙක් යන්න එක් අදහසකි. මෙම වැකියේ දහම යන පදය වෙනුවෙන් අල් කුර්ආනයේ යොදා ඇත්තේ ‘දීන්’ යන පදය ය. මෙම වැකි පෙලේ සන්දර්භය වෙත අවධානය යොමු කිරීමේ දී ‘දීන්’ යන අරාබි පදයට දහම යන්න පරිවර්තනයේ දී යෙදීම සුදුසු නොවන බව විද්වතුන්ගේ මතයයි. හේතුව එම අර්ථ කථනයට අනුව අන් අය තම දහම වෙනස් කරනා තුරු යුද වැදීම මෙයින් අදහස් විය හැකි හෙයිනි. එය එසේ නොවන බව මෙම වැකියේ ඉතිරි කොටස කියවීමෙන් අවබෝධ කරගත හැක. ඉතිරි කොටසින් දක්වා ඇත්තේ “ඔවුන් එයින් (අක්‍රමිකතාවන්ගෙන්) වැළකුණහොත් සතුරුකම ඔවුන්ගෙන් වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකුට නොමැත” යනුවෙනි. දහම බලෙන් පිළිගැනීමට සැලැස්වීම මෙම වැකියේ පළමු කොටසේ අර්ථය නම් දෙවැනි කොටසින් ඉදිරිපත් කළ යුතුව ඇත්තේ “සතුරුකම ඇත්තේ දහම වෙනස් කර නොගත් අය සමග” යනුවෙනි. නමුත් දෙවැනි කොටසින් පැහැදිළි ව දක්වා ඇත්තේ “සතුරුකම ඔවුන්ගෙන් වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකුට නොමැත” යනුවෙනි.

‘දීන්’ යන අරාබි පදයට දහම, පරිපුර්ණ ජීවන සැලැස්ම, කුලිය, තිළිණය, විනිශ්චය, බලය යනාදී විවිධ අරුත් ඇත. මෙම වැකි වලින් ඉදිරිපත් කරන අදහස් මාලාව දෙස අවධානය යොමු කිරීමේ දී මෙම සන්දර්භය තුළ ‘දීන්’ යන පදයට ‘බලය’ යන්න යෙදීම වඩාත් සුදුසු ය.  ඒ හැරෙන්නට අනෙකුත් සියලු දහම් මිහිතලයෙන් අතුගා දැමීම යන බොළඳ අර්ථය මෙයින් නොදැක් වේ. දහම පිළිබඳ ව බලපෑම් කිරීම අනුමත නොමැති බවට ඇති අල් කුර්ආන් සාක්ෂි පහතින් දක්වා ඇත්තෙමු.

“දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල් කුර්ආන් 2: 256)

“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරය,) ඔවුන්ට බල කරන්නෙහි ද?”  (අල් කුර්ආන් 10 : 99)

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18 : 29)

“ඔවුන් පවසන දෑ පිළිබඳ ව අපි මැනවින් දනිමු. නුඹ (නබිවරය) ඔවුන් කෙරෙහි බලපරාක්‍රමය යොදවන්නෙකු නොවේ. එබැවින් මාගේ අනතුරු ඇඟවීමට බියවන්නා වෙත අල් කුර්ආනය මගින් අනුශාසනා කරවූ.” (අල්-කුර්ආන් 50 : 45)

“එබැවින් (නබිවරය) නුඹ උපදෙස් දෙවු. සැබැවින්ම නුඹ උපදෙස් දෙන්නෙකුමය. ඔවුන් පිළිබඳව නුඹ වගකීම් දරන්නෙකු නොවේ.” (අල් කුර්ආන් 88 : 21-22)

“(නබිවරය) ඔවුහු නුඹව අසත්‍ය කළේ නම් ‘මාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) මටය, නුඹලාගේ ක්‍රියාවන්(හි ඵලවිපාක) නුඹලාට ය. මා කරන දැයින් නුඹලා නිදොස් වුවන්හුය. නුඹලා කරන දැයින් මම නිදොස් වෙමි’ යැයි පවසවූ”. (අල්-කුර්ආන් 10 : 41)

දහම පිළිබඳ ව අන් අයව දැනුවත් කිරීමේ පිළිවෙත ද අල් කුර්ආන ය පැහැදිළි කොට ඇත.

“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ.” (අල් කුර්ආන් 16 – 125)

මේ සියල්ල සමස්තයක් වශයෙන් ගත් කළ 2 : 193 වැකියෙන් ‘දීන්’ යන පදයට ‘බලය’ යන්න යෙදීම උචිත වන්නේ යුද තත්ත්වයකින් බලාපොරොත්තු වන්නේ ‘බලය’ අත්කර ගැනීම  හැරෙන්නට අන් අයගේ දහම් වෙනස් කිරීමට බලපෑම් කිරීම නොවන බව පැහැදිළි කරුණක් හෙයිනි.

2: 194 වන වැකියෙන් සටන් බිමේ කළ හැකි තවත් ඉතා උසස් ඉගැන්වීමක් ඉදිරිපත් කොට ඇත. එනම් සතුරා සීමාව ඉක්මවන ප්‍රමාණය අභිබවා ඔබ සීමාව ඉක්ම නොවිය යුතු යන්නය. කරුණාකර මෙහි සැබෑ අර්ථය අවබෝධ කර ගත් විට ඉස්ලාම් භීතිකාවේ කර්තෘ වරුන් මවා පෑමට වෙර දරන තත්ත්වය සහමුලින්ම පදනම් විරහිත සම්පුර්ණ අසත්‍යයක් බව  පැහැදිලිව ඔප්පුවන කරුණකි. ඔවුන්ගේ පදනම් විරහිත චෝදනා හිරු දුටු පිනිබිඳු මෙන් වාෂ්ප වී යනු නිසැකය.

2 : 195 වැකියෙන් ද අල් කුර්ආනය ජනයාට යහපත විධානය කරන අයුරු අපට දැකගත හැක.

“අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්න. නුඹලාගේ අත් වලින් ම විනාශය සොයා නොගන්න. යහපත් ක්‍රියා කරන්න. අල්ලාහ් යහපත් ක්‍රියා කරන්නන් ප්‍රිය කරයි”. (අල් කුර්ආන් 2 : 195)

මුහම්මද් තුමාණන් ජීවත් වූ සමාජ පරිසරය, අල් කුර්ආන් වැකි සඳහන් සන්දර්භය හා අරාබි පදයන් හි විවිධ අර්ථයන් පිළිබඳ ව නිවැරදි දැනුමකින් තොරව අල් කුර්ආන වැකි ගැන අර්ථ දැක්වීමට යෑම අන්ධයින් හතර දෙනා අලියා විග්‍රහ කළ ක්‍රියාවට දෙවැනි නොවන්නකි.

තම න්‍යාය පත්‍රයට අනුකූලවන පරිදි  වංචනික ලෙස ආගමික මුලාශ්‍ර විකෘති කොට හුවා දැක්වීම  ආගමික නායකයෙකුගෙන් කෙසේ වෙතත් සාමාන්‍ය ගිහියෙකුගෙන් වත් සිදු නොවිය යුත්තක් බව ඕනෑම සදාචාර සම්පන්න කෙනෙකු විසින් පිළිගන්නා හා අනුමත කරන සත්‍යයකක් නොවේ ද?

 

 

 

5 Comments to “කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 1වන කොටස අල් කුර්ආන් 2: 193

  1. Oh, yeah, Hell is full of women, without a doubt 😆 and heaven is some freaky Playboy Mansion where lust obsessed males frolic with those weird “dark eyed” sexbots. This is 7th century porn, before the advent of the Internet. This is how Mo the Psycho snagged his soldiers spinning these ridiculous stories to sex starved young men. Sex is a big motivator for males. It still works, these fairy tales.

    1. @Senani – සේනානි මහතාගේ අදහස් දැක්වීම ‘යන්නේ කොහේද – මල්ලේ පොල්’ වැන්නකි. ඉහත අල් කුර්ආන් වැකියෙන් විග්‍රහ කරන තොරතුරු හා ඔබගේ SEX දෙඩවිල්ල අහසට පොලොව තරම් දුරස්ථ වූවකි. ඔබ ලිංගිකත්වය පිළිබඳ මානසික අසහනයකින් පෙළෙන එමෙන් ම ඉස්ලාමය පිළිබඳ වෛරයෙන් හා ක්‍රෝධයෙන් සිතන අයෙකු බව පැහැදිළිය. අප දහම් දෙස බැලිය යුත්තේ බුද්ධිමය කෝණයකිනි. අපේ ලිංගිකත්වය එලොවදී නොව මෙලොවදී ම තිබු ආකාරය ගැන සිතන විට senaani මහතාට පැවසිය යුතුව ඇත්තේ මහදවල් හෝ රාත්‍රී කාලයේ ලයිට් දාගෙන ඇඳුම් මාරුනොකරන ලෙසය. අපේ දහමේ ලිංගිකත්වය ගැන ටිකක් සලකා බලමු ද?

      “තවද සරභඞ්ග ජාතකයෙහි (475 වැනි ජාතකය) බ්‍රහ්මදත්ත රජහට ධනුශිල්ප දැක්වූ පරිද්දෙන්ම; ශර පවුරුය, අක්ෂණ වෙධිය, ශබ්ද වෙධිය, වාල වෙධිය, ශර වෙධිය, ගොඩ විදමනය, දියෙහි විදමනය, ආකාශ විදමනය, දුර විදමනය, ආසන්න විදමනය, යපට විදමනය, තඹපට විදමනය, පිදුරු බිසී විදමනය, වැලි බිසී විදමනය, මී හං විදමනය, උදළු තැටි විදමනය, දිඹුල් පෝරු පියා පෝරු විදමනය, යනාදීවූ නොඑක් ධනුශ්ශිල්ප දක්වා මහත්වූ බල පරාක්‍රම පෑ මුළු ලෝ විශ්මයට පත් කළ දෑය. මේ වික්‍රම දැක සන්තෝෂවූ නෑයෝ තමන් තමන් දු වරුන් සරසා සතලිස් දහසක ශාක්‍ය කුමරියන් අන්තඃපුර කොට පාවා දුන්හ. මෙසේ මාගේ බෝධිසත්ත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධානවු මේ සතලිස් දහසක ස්ත්‍රීන් පිරිවරා මානික්‍ය ශෝභාවෙන් දිලිසෙන්නාවූ කනක ප්‍රාසාද බඳුවූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහසලැසි බැල්මෙන් පින පිනා මහත්වූ රාජ්‍යශ්‍රී සම්පත් විඳිනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසක උයන් කෙළි කෙළිනා කැමතිව රථාචාර්යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය.” (පුජාවලිය 151-152 පිටු).

      “…….බෝධිසත්වයෝ හී දණ්ඩෙන් විද දක්වන මණ්ඩප මාලිගා කරණ කොට ගෙන දිව්‍යපුරය දක්වන්නාක් වැනි; සරයෙන් කළ හිනිපෙති පංක්ති කරණකොට ගෙන දෙව්ලොවට නැඟෙන්ට මාර්ග දක්වන්නාක් වැනි; හීයෙන් නොයෙක් ධනුශ් ශිල්ප පා මේඝ පටලයෙන් වැසී ගිය දිශා ඇති රාත්‍රියේ ඝනාන්ධකාරයෙහි සතර ගවුවෙකින් ඈත අස්වලෙක්හි බටුපලක් බැඳ එලවා විදින හීතල සොභාවෙන් එකාලොකකොට නැවත විදි හීයකින් අස්වල නොකපා මැදින් පලා හීය බිම සඟවා විද්‍යා ලෝකයෙහි විද්‍යාමාන සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් සතලිස් දහසක රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස් අවුරුද්දක් ගිහිගෙයි වැස….” (ථුපවංශය 36 වැනි පිටුව).

      “ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාට බණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ’යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක. සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව’යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, ‘මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇති වව’යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ‘ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස් පතා ගොස් බණ කියව’යි වදාළ සේක. එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවන සේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ.
      ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
      1. ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නා ලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
      2. පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
      3. පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
      4. පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
      5. පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
      6. පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
      7. පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන් උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
      8. මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
      9. පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

      මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනං
      ඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතු
      නවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යි

      යනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු).

  2. @Senani සේනානි මහත්තයෝ, අපේ දහමේ දෙව්ලොව ඇති SEX හා සැප ගැන අවශ්‍ය නම් දීර්ග විස්තරයක් ඉදිරිපත් කළ හැක. ඔබ ලොවට බිහි වී ඇත්තේ ඔබේ පියාගේ හා මවගේ SEX හේතුවෙනි. මගේත් මිනිසා ඇතුළු අන් සියලු සත්වයින්ගේ තත්ත්වය එයයි. ඒ නිසා SEX මාතෘකාවක් අරගෙන අන් දහම් වෙත මඩ වීසි කරන්නට කටයුතු නොකොට අපි නාගෙන ඉන්නා මඩ සෝදා ගැනීමට පියවරක් ගත්තොත් වඩා හොඳයි කියා සිතනවා. කරුණාකර සියලු දහම් අධ්‍යයනය කරන්න. අන්ධ භක්තියෙන් කිසිදු ගැඹුරු දැනුමකින් තොරව දෙමව්පියන්ගෙන් ලැබුණු දහම පමණක් නිවැරදි යැයි යන ස්ථාවරයේ නොසිට ඔබේ ජීවිතයට වඩාත් සුදුසු ඉගැන්වීම් ඉදිරිපත් කරන්නේ කුමණ දහමෙන් දැයි විචාරශීලීව විමසා බලන්න. ඉන් පසු බුද්ධිමත් තීරණයන් ගැනීමට ඉදිරිපත් වන්න.

    ඔබට ජය සතුට පතමින් නවතිමි.

Comments are closed.