කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 2 වන කොටස අල් කුර්ආන් 2: 216

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 2 වන කොටස අල් කුර්ආන් 2: 216

ඉස්ලාමය හා මුස්ලිම්වරුන් පිළිබඳ ව මුස්ලිම් නොවන්නන් අතර භීතිකාවක් හා පිළිකුලක් ඇති කිරීම අරමුණු කොට ගෙන කටයුතු කරන්නන් අල් කුර්ආනයේ 2 : 216 වැනි වැකිය වැරදි අයුරින් පරිවර්තනය කොටඉදිරිපත් කරන්නේ පහතින් දක්වා ඇති අයුරිනි.

“ජිහාදය යනු අල්ලාහ්ගේ අරමුණු ඉෂ්ටකිරීම සඳහා මුස්ලිම් නොවන ජනසමූහයාට විරුද්ධව කරන්නාවූ ශුද්ධ වූ සටනයි. එය සියලුම මුස්ලිම් වරුන්ට අනිවාර්ය දෙයක් ලෙස නියමකොට ඇත. එයට ඔබ අකමැති වුවද එය ඔබට අනිවාර්ය කොට ඇත”. (අල් කුර්ආන් 2 : 216)

විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ  නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් දක්වා ඇත්තෙමු.

“අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කිරීම නුඹලාට පිළිකුල් වුව ද එය නුඹලාට අනිවාර්ය කරනු ලැබ ඇත. නුඹලා යම් දෙයක් පිළිකුල් කළ ද එය නුඹලාට යහපත් විය හැක. නුඹලා යම් දෙයක් ප්‍රිය කළ ද එය නුඹලාට හානිදායක විය හැක. අල්ලාහ් (ඒ බව) මැනවින් දන්නේය. තවද නුඹලා නොදන්නෙහුය”. (අල් කුර්ආන් 2 : 216)

මෙහිදීත් ඔවුන්ගේ විකෘති පරිවර්තනය හා අපගේ නිවැරදි පරිවර්තනය සසඳා බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. ඔවුන්ගේ අසත්‍යය හා පදනම් විරහිත චෝදනාවේ අර්ථශුන්‍යත්වය නිවැරදි පරිවර්තනය විමසා බැලීමෙන් ම පැහැදිළි වෙයි.

මෙම වැකිය පහළ කිරීම සඳහා පසුබිම් වූ හේතු දෙස පළමුව අවධානය යොමු කරමු. තායිෆ් හා මාක්කා අතර පිහිටි ‘නඛ්ලා’ නම් ප්‍රදේශයේ දී අබ්දුල්ලාහ් බින් ජහ්ෂ් හා කණ්ඩායම විසින් ඉස්ලාම් විරෝධී කුරයිෂ් ගෝත්‍රිකයෙකු වූ අබ්දුල්ලාහ් ඉබ්න් අල් හද්රමි ඝාතනය කිරීම 2: 216 – 218 දක්වා වූ වැකි පහළ කිරීමට හේතු වූ බව දැක්වේ. (මුලාශ්‍ර: තෆ්සීර් ජලාලයින්, තන්වීර් අල් මික්බාස් මින් තෆ්සීර් ඉබ්න් අබ්බාස්, තෆ්සීර් ඉබ්න් කතීර් සහ අස්බාබ් අල් නුසුල්-අල් වහිදී)

අවුරුදු 13ක් තිස්සේ ඉතාම ඉවසිලිවන්තව හා සාමකාමී අයුරින් මක්කා නගරවාසීන්ට විශ්වයේ අධිපති සත්‍යය දෙවිඳුන්ගේ මඟ පෙන්වීම කෙරෙහි මුහම්මද් තුමාණන් කළ ආරාධනය එම නගරයේ ගෝත්‍රික නායකයින්ගේ සතුටට කිසිසේත්ම හේතු නොවීය. ඒක දේව වාදය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා එතුමා කළ ඇරයුම මක්කා වාසී කුරෛෂ් වරුන්ගේ දැඩි විරෝධයට ලක් වූ අතර එතුමාගේ දේශනයන් පිළිගත් දුබල, දිළිඳු බහුතරයට අනේක විධ වධහිංසාවන්ට මුහුණ පෑමට සිදු විය. ඉස්ලාමයට එරෙහි වූ මක්කාහ් වාසීන්ගේ සියලු තාඩන පීඩන විඳ දරා ගනිමින් මෙම නව ඉස්ලාමීය සමාජය ශීඝ්‍රයෙන් වර්ධනය වන්නට විය. ඉස්ලාමයේ අනුගාමිකයින් කිහිප දෙනෙකු ව ඔවුන් විසින් ඝාතනය කරන ලදී. කුරෛෂ් නායකයින්  මුදාහළ අති භයානක භීෂණය ඉදිරියේ මුස්ලිම්වරුන් අසරණ වුහ. අවසානයේ මුහම්මද්තුමාණන් ව ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූ අවස්ථාවේ මහා කාරුණික දෙවිඳුන්ගේ මඟපෙන්වීම හා උපදෙස් මත මුහම්මද්තුමාණන් කි. මී. 450 ක පමණ දුරකින් වූ මදීනා නගරයට දෙශාන්තරණය කළහ. ක්‍රමයෙන් මක්කා නගරයේ සිටි මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් ද මදීනා නගරය වෙත ලඟාවූහ.

මෙම තත්ත්වය යටතේ මදීනා නගරයට ලඟා වූ මුහම්මද්තුමාණන්ට හා ආරම්භක මුස්ලිම් සමූහයට සාමයෙන් ජීවත්වීමට මක්කා ගෝත්‍රික නායකයින් කොහෙත්ම ඉඩ හැරියේ නැත. මේ හේතුවෙන් මක්කා හා මදීනා අතර පැවතියේ යුද තත්ත්වයකි. මක්කා කුරෛෂ් ගෝත්‍රිකයින්ගෙන් ඇතිවිය හැකි පහරදීම් පිළිබඳ තොරතුරු කල් ඇතිව දැනගැනීමේ අවශ්‍යතාවක් තිබු හෙයින් මුහම්මද්තුමාණන් විසින් අබ්දුල්ලාහ් ඉබ්න් ජහ්ෂ් ගේ නායකත්වයෙන් කුඩා කණ්ඩායමක් යොදා තිබුණි. ඔවුන්ට දී තිබුණු උපදෙස් පරිදි කුරෛෂ් හමුදා සුදානම් කිරීම් හා සටන් මෙහෙයුම් පිළිබඳ තොරතුරු සොයා බලා වාර්තා කිරීම පමණි. මෙම කටයුත්තේ දී කුරෛෂ්වරුන් සමග කිසිදු ගැටුමකට මැදිහත් නොවිය යුතුය යන්න ඔවුන්ට දී තිබු නිශ්චිත නියෝගයකි. මෙම සිදුවීම මුහම්මද්තුමාණන්  මදීනා නගරයට පිවිසීමෙන් අවුරුදු දෙකකට පසු ඉස්ලාමීය දින දර්ශනයේ හත්වන මාසය වූ රජබ් මාසය අවසානයේ හෝ අටවන මාසය වූ ෂහ්බාන් මාසය ආරම්භයේ සිදු වූ බව සඳහන් වේ.

මුහම්මද්තුමාණන්ගේ උපදෙස් කඩකරමින් මුස්ලිම් බුද්ධි අංශයේ පිරිස කුරෛෂ් කණ්ඩායමක් සමග ගැටුමකට අවතීර්ණ වී එක් අයෙකුව ඝාතනය කොට ඉතිරි අය අත්අඩංගුවට ගෙන මදීනා නගරයට පැමිණි විට මුහම්මද්තුමාණන් ඔවුන්ගේ ක්‍රියාව පිළිබඳ ව එතුමාගේ නොසතුට දන්වා සිටින ලදී. මෙම නොසතුට ප්‍රතික්ෂේප කරමින් 2 : 216 වැකිය මහා කාරුණික දෙවිඳුන් විසින් පහළ කරන කොට ඇත.

අල් කුර්ආනය මුහම්මද්තුමාණන්ගේ කෘතියක් ලෙස චෝදනා නගන්නන් විසින් මෙම වැකිය පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරන්නේ නම් සහතික වශයෙන් ම ඔවුන්ගේ චෝදනාවේ අර්ථශුන්‍යතාව පහසුවෙන් ම අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. තමන්ගේ මතයක් හෝ අදහසක් ප්‍රතික්ෂේප වීම පිළිබඳ අදහස තමන්ගේ ම කෘතියක ඇතුලත් කරන්නේ කවරෙක් ද?

මෙම වැකියේ තවත් වැදගත් කරුණක් අවධාරණය කොට ඇත. එනම් යුද සේවය ඉස්ලාමීය රාජ්‍යයේ සැමට අනිවාර්ය කිරීම මෙමගින් සඳහන් කොට තිබීම වැදගත් කරුණකි. මෙය ද ඉස්ලාම් විරෝධීන්ගේ විවේචනයට ලක් වී ඇති කරුණකි. එහෙයින් යුද සේවය අනිවාර්ය කොට ඇති රටවල් කුමක් ද යන්න පළමුව විමසා බලමු.

යුද සේවය අනිවාර්ය රාජ්‍යයන්.

ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බෙලරූස්, අසර්බයිජාන්, බර්මූඩා, බ්‍රසීලය, මියන්මාරය, සයිප්‍රසය, ඩෙන්මාක්, ඊජිප්තුව, ෆින්ලන්තය, ග්‍රීසිය, ඉරානය, ඊශ්‍රායලය, උතුරු කොරියාව, දකුණු කොරියාව, මෙක්සිකෝව, නොර්වේ, රුසියාව, සිංගප්පුරුව, ස්විට්සර්ලන්තය, තායිවානය, තායිලන්තය, තුර්කිය, යුක්රේනය සහ එක්සත් එමීර් රාජ්‍යය (UAE) යුද සේවය අනිවාර්ය කොට ඇති රටවල්ය. නෙදර්ලන්තය, නවසීලන්තය, බ්‍රිතාන්‍යය, ඇමෙරිකානු එක්සත් ජනපදය, ස්වීඩනය, පෝලන්තය, පෘතුගාලය, රොමේනියාව සහ පේරු රාජ්‍යයෙහි කඩින් කඩ යුද සේවය අනිවාර්ය කොට තිබුණි. අමෙරිකානු එක්සත් ජනපදය විසින් වියට්නාමයේ යුද මෙහෙයුම් කරන අවධියේ ලෝක බොක්සින් ශූර මොහමඩ් අලි අනිවාර්ය යුද සේවයට බැඳෙන්නට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇමෙරිකාවේ සිර ගත වන්නට වීමඅප ඉතාම හොඳින් දන්නා සිදුවීමකි.

මේ අනුව අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 216 වැනි වැකියෙන් දක්වන මතය වර්තමාන ලෝකයේ රටවල් බොහොමයක ම ක්‍රියාත්මක වන සංකල්පයකි. සටන් කිරීම අනිවාර්ය කිරීම පිළිබඳව අල් කුර්ආනයට චෝදනා නගන්නන් අනිවාර්යයෙන්ම ඉහත රටවල් හි ක්‍රියාත්මක මෙම නීතියට ද විරුද්ධතාවක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා නොවේ ද? ඉහත රටවල් අතරට මියන්මාරය (බුරුමය) හා තායිලන්තය වැනි බෞද්ධ රටවල් ද ඇතුලත්වී තිබීම කිසිවෙකුගේ අවධානයට යොමු නොවීම සැබැවින්ම විමතියට ලක්වන්නකි. අප මාතෘ භූමියේ දශක තුනක් තිස්සේ පැවති බෙදුම්වාදී ගැටුම් උත්සන්න වූ අවස්ථාවක හමුදා සේවය අනිවාර්ය කිරීමේ යෝජනා අප රටේ ද මතු වූ බව අපට අමතකවී යෑම ද කණගාටුවට කරුණකි.

මේ පිළිබඳව ඇති මතයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“අනිවාර්ය යුද සේවය (Conscription) ලොව බොහෝ රටවල්වල තිබෙන දෙයක්. සියලුම පුද්ගලයින් යම් වයසකට පත් වූ පසු අනිවාර්යයෙන්ම රටේ හමුදාවට පොලිසියට හෝ වෙනත් රජය මගින් ක්‍රියාත්මක වන පැරාමිලිටරි ආයතනයක යම් කාලයක් සේවය කිරීම එයින් හැඳින් වේ. ලංකාවේ අතීතයේ තිබුණෙත් එවැනි සේවයක්. රටේ සියලුම පුරවැසියන් රටට සේවය කිරීමත් යුද්ධ කාලයක සියලු දෙනා එක් වී සටන් කිරීමත් ආරම්භයේ සිටම පැවතුණා. නිත්‍යය යුධ සේවයක් පැවතියේ බොහෝ කලකට පසුයි. ලෝකයේ බලවත් ජාතීන්ට මෙරට යටත් කර ගැනීමට අපහසු වුයේ මේ හේතුවෙන්.”

(මුලාශ්‍රය: http://king-pandukabaya.blogspot.com/2010/11/conscription.html)

අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කිරීම අනිවාර්ය කොට ඇත්තේ ඇමෙරිකාව විසින් වියට්නාමයේ සිදු කළ ආකාරයේ ආක්‍රමණික ක්‍රියාවන් සඳහා නොවන බව අල් කුර්ආනය පැහැදිලි කරයි.

“අපගේ පරමාධිපතියාණනි!අපරාධ කරමින් සිටින්නා වූ වැසියන්ගෙන් යුත් මෙම නගරයෙන් අපව ඉවත් කරනු මැනව. ඔබගෙන් වූ ආරක්ෂකයෙකු අප වෙනුවෙන් පත්කරනු මැනව. තවද, ඔබගෙන් වූ උදවු කරුවෙකු අප වෙනුවෙන් පත් කරනු මැනවැ’යි පවසා සිටින පුරුෂයින් ස්ත්‍රීන් හා ළමුන් අතුරින් දුබලයින් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් නොවැද (නිහඬව) සිටින්නට නුඹලාට කුමක් සිදු වුයේද?” (අල් කුර්ආන් 4:75)

අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් වැදීම අපරාධයට හා අසාධාරණයට ලක්වූවන්ගේ විමුක්තිය උදෙසාත් සාමාජ හා යුක්තිය උදෙසාත් කරන්නක් බව අල් කුර්ආන වැකිය අපට පැහැදිලි කර දෙයි. මෙම මාර්ගයෙහි සටන් වැද සමාජ සාධාරණත්වය  හා යුක්තිය ස්ථාපිත කරන්නට කටයුතු නොකරන්නන්  ආත්මාර්ථකාමී ලෙස මෙම සටන් අප්‍රිය කරමින් එයින්  ඉවත් වී සිටින්නට කටයුතු කරන්නට වෙර දැරීම පිළිබඳවත් මෙම වැකි දෙකෙහිම සඳහන් වේ. එලෙස සැවොම ආත්මාර්ථකාමීව කටයුතු කළහොත් රජයන්නේ අයුක්තිය, අසාධාරණය හා අපරාධය බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එහෙයින් නිවැරදි අවබෝධයකින් තොරව අල් කුර්ආන් වැකි වලට අර්ථ දැක්වීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවන බව මෙයින් පැහැදිලිව ඇතැයි විශ්වාස කරන්නෙමු.

ඉහත සමුළුවේ දී මෙම අල් කුර්ආන් වැකිය විකෘති කොට මුස්ලිම් පිළිකුලක් ගොඩ නගන්නට වෙර දරමින් සිටින්නා වූ පිරිස පිළිබඳව සදාචාර සම්පන්න මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා සහතික වශයෙන්ම තමන්ගේ නොසතුට දන්වා සිටිනු ඇතැයි විශ්වාස කරන්නෙමු.