යුරෝපා සරණාගත අත්දැකීම 2- හලාල් මස්!

යුරෝපා සරණාගත අත්දැකීම 2- හලාල් මස්!

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ජීවිතාරක්ෂාව පතා යුරෝපා රටකට සරණාගතයෙකු වශයෙන් ගිය අවස්ථාවේදී ලද අත්දැකීම් ඇසුරින් ලියන මෙම ලිපි පෙලේ පලමුවැනි ලිපියෙන් මා සලාතය හෙවත් නැමදුම සම්බන්ධව කථා කළා. මෙම ලිපියෙන් කථා කරන්නේ මා යුරෝපයේදී අත්දකින ලද හලාල් මස් සම්බන්ධ ගැටළුවයි.

සාමාන්‍යයෙන් යුරෝපයේ බහුතරයක් රටවල මස් පිණිස සතුන් මරන්නේ විද්යුත් කම්පනය Electric Shock කට ලක් කිරීමෙනි. මෙම ක්‍රමය ඉස්ලාමයේ පෙන්වා දෙන සත්ව ඝාතන ක්‍රමවේදයට පටහැනි එකකි. මෙමගින් මියයන සත්වයාගේ ලේ පිටතට නොයයි. මේ නිසා යුරෝපා රටවල ජීවත්වන මුස්ලිම්වරුන් හලාල් මස් සම්බන්ධව ගැටළුවකට මුහුණ දී සිටිති. මේ නිසා ඔවුන් විකල්ප ක්‍රමවේද වශයෙන් තුර්කියෙන් හෝ අනෙකුත් මුස්ලිම් රටවලින් ආනයනය කළ සැකසු මස් මිලදී ගැනීම හෝ හලාල් මස් විකුණන වෙලදසැල් (බොහෝ විට ඉතා දුරබැහැර) සොයාගෙන ගොස් එම ස්ථාන වලින් මිලදී ගැනීම කරති.

මා මේ සම්බන්ධව කලින්ම දැනුවත්ව සිටි නිසා සරණාගත කදවුරට ඇතුළු වු පසුව එහි උයා පිහා දෙන මස් මාංශ හලාල් දැයි විමසා බැලුවෙමි. එවිට නිලධාරීන් පැවසුවේ අපි ඌරු මස් මෙහි ලබා නොදෙන බවයි. ඌරුමස් නොදෙනවා නම් ඉතා හොද බවත් එසේ නම් අනෙකුත් මස් හලාල් ක්‍රමයට සකසන ලද ඒවාදැයි මම විමසුවෙමි. එවිට ඔවුන් ඒ බැව් නොදන්නා බව පැවසීය. ඒ නිසා මම තවදුරටත් ඉහල පාලනාධිකාරියෙන් විමසුවෙමි. එවිට ඔවුන් මා හට පැවසුවේ මෙහි හලාල් ලෙස සකසන ලද මස් ලබාදීමට වැඩපිළිවෙලක් නොමැති බවයි. නමුත් මේ බව මෙම සරණාගත කදවුරේ සිටි බහුතරයක් වු මුස්ලිම්වරුන් නොදැන සිටියා පමණක් නොව ඒ සම්බන්ධව දැනුවත් වීමේ අවශ්‍යතාවයක්ද ඔවුන්ට නොතිබු වගක් පෙනෙන්නට තිබුණි.

කෑම ගන්නා ස්ථානයේ උඩින් බෝඩ් කැබැල්ලක ඌරෙකුගේ රූපයක් ඇද එහි කතිරයක් සලකුණු කර තිබුණේ We don’t serve pork අපි ඌරුමස් පිළිගන්වන්නේ නැත යන්න සිහිකිරීමට මෙනි. බහුතරයක් වු මුස්ලිම්වරුන් මෙයින් අස්වැස මස්මාංශ වැලඳීය. නමුත් මා හට එය අනුගමනය කළ නොහැකි නිසා නිර්මාංශ ආහාර පමණක් ගතිමි. එහිදී අනෙකුත් මුස්ලිම්වරුන් මා වෙත පැමිණ ඔබ ඇයි මස් නොකන්නේ? යන්න විමසු විට මම ඔවුන්ටද තත්වය වටහා දුනිමි. නමුත් ඔවුන්ට එය ගැටළුවක් ලෙස නොපෙනුනු බව දුටිමි. ඔවුන් තමන් මෙසේ හලාල් සෙවීම තුලින් ගැටළුකාරී තත්වයකට පත්වීමට මැලිකමක් දක්වන බවක් පෙනුනි.

නමුත් මට නම් මේ නිසා එම කදවුරේ පාලනාධිකාරියෙන් විශේෂ සැලකිල්ලක් හිමිවු අතර සියළුම මුස්ලිම් නොවන නිලධාරීන් පැමිණ හලාල් ක්‍රමවේදය සම්බන්ධව මගෙන් විමසන්නට විය. මා ඔවුන්ට දුන් පැහැදිලි කිරීම තුලින් ඔවුන් බොහෝ දෙනෙකු හලාල් ක්‍රමවේදය ගැන පැහැදීමක් ඇතිකර ගන්නා ලදී. මේ නිසා මම නිලධාරීන් සහ නිලධාරිනියන් සමග සිටියේ ගජ මිතුරන් මිතුරියන් ලෙසයි. අවශේෂ මුස්ලිම් සරණාගතයන්ට මෙය මහත් ප්‍රෙහෙලිකාවක්ද විය. ඇත්තෙන්ම යුරෝපා ජනතාවගෙන් බහුතරයක් සිටින්නේ ඔවුන් සිටින සමාජ ක්‍රමය ගැන කලකිරීමෙනි. ඔවුන්ට විකල්පයක් අවශ්‍යය. නමුත් එහි යන මුස්ලිම්වරුන්ට මෙයට විකල්පය ලබාදීමට නොහැකි වී ඇත. ඒ මන්දයත් ඔවුන් මුස්ලිම් වුවද ඔවුන්ගේ ජීවිත වල ඉස්ලාම් නොමැති වීම නිසාය.

දිනක් මා එහි සිටි බංගලාදේශ සහ ඇෆ්ගන් තරුණයන් තිදෙනෙකු සමග කඳවුරෙන් පිටතට පැමිණියා. අපි මාර්ගයේ යන අතර එක්තරා ස්ථානයකදී මෙම තරුණයන් තිදෙනා මුහුණ හකුළුවාගෙන නහය වසා ගත්තා. මම ඇයිදැයි විමසු විට ඔවුන් මට පෙන්වුවේ පාර අයිනේ තිබෙන ඌරු කොටුවක්. ඇත්තෙන්ම එයින් එතරම් ගඳක් නික්මුනේ නැහැ. නමුත් ඔවුන් එහි සිටින ඌරන් දෙස බැලුවේ ඉතාමත් දැඩි පිළිකුලෙන්.

එවිට මම ඔවුන්ගෙන් “මේ ඌරන් කාගේ මැවීමක්දැ”යි විමසුවා. “අල්ලාහ්ගේ!” යැයි ඔවුන් පිළිතුරු දුන්නා. “අල්ලාහ් ඔවුන්ව මවන්නට පෙර උන්ගෙන් ඇසුවොත් මම නුඹලාව ඌරන් වශයෙන් මවන්නටයි යන්නේ නුඹලා කැමතිද? කියා උන් මොනවා කියනු ඇතිද?” මම නැවතත් ප්‍රශ්නයක් යොමුකළා. “උන් කැමති වෙන එකක් නැහැ” ඔවුන්ගේ පිළිතුර විය. “එහෙනම් ඔබ ඇයි උන්ව පිළිකුල් කරන්නේ? උනුත් අල්ලාහ්ගේ මැවීමක්!” මම පැවසුවෙමි. “ඒත් ඌරා කියන්නේ හරාම් සතෙක් නේ!” ඔවුන් පැවසුවා. “ඌරා හරාම් සතෙක්! අල්ලාහ් කොහොමද හරාම් සතුන් මවන්නේ? ඌරා හරාම් සතෙක් නෙමෙයි! ඌරගේ මසුයි හරාම්!” මම ඔවුන්ට පැහැදිලි කළා.

“ඌරා පමණක් නෙමෙයි හලාල් ක්‍රමවේදයට සකසනු නොලැබූ සෑම මසක්ම හරාම්! ඔබලා කඳවුරේදී හරාම් කුකුල් මස්, හරාම් හරක් මස් කකා ඌරා හරාම් කියා පිළිකුල් කරනවා යැයි” මා ඔවුන්ට පැවසුවෙමි. ඔවුන් තමන් පත්ව සිටින තත්වය දැනගෙන බූරුවන් සේ බලා සිටියා මිස මා හට වචනයක්වත් නොපැවසුවේ ඔවුන් පත්ව සිටින තත්වයට ඔවුන් තුල විසදුමක් නොවු හෙයිනි. එම තරුණයන් සමග පිටත ගිය සෑම වතාවකදීම අප පිටතින් ආහාර ගන්නා විටත් ඔවුන් හරාම් කුකුළු මස්ම මිලදී ගෙන කෑවේ ඔවුන් මස්වලට ඇති දැඩි ගිජුකම නිසා බව මට වැටහුණි.

ඔවුන් තමන්ගේ රටවලදී සිටියේ සම්ප්‍රදායෙන් පැවත ආ ආගමික සංස්කෘතික රාමුවක් තුලයි. ඒ රාමුවෙන් පිටතට පැමිණි ඔවුන්ට ආගමේ සැබෑ සීමාවන් සම්බන්ධව නිවැරදි වැටහීමක් නොවීය. එමෙන්ම එම සීමා නිර්නය කරගෙන පෙරට යෑමේ ධෛර්යයක්ද ඔවුන් තුල නොවීය. මෙය අපේ රටේ මුස්ලිම්වරුන්ටද පොදුය. අපේ රටේ මුස්ලිම්වරුන්ද මේ ගොන්කම්ම යුරෝපයට ගොස් කරති. ඒවාද මට අසුවිය.

 

පෙර ලිපි්‍

යුරෝපා සරණාගත අත්දැකීම 1- සලාතය!