කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 3 වන කොටස අල් කුර්ආන් 5: 33

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 3 වන කොටස අල් කුර්ආන් 5: 33

මෙයට පෙර අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 193 හා 216 වැනි වැකි පිළිබඳ විවේචකයින් විසින් ඉදිරිපත් කොට තිබු වැරදි අර්ථකතනයන් පිළිබඳ නිවැරදි විග්‍රහයන් ඉදිරිපත් කළෙමු. පස්වන පරිච්ඡේදයේ 33 වන වැකියට පෙර ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා ව්‍යාපාරිකයින් විසින් විකෘති කොට අර්ථ දක්වා ඇති අල් කුර්ආන් වැනි විස්සක් පමණ තිබුණ ද එම වැකි පිළිබඳ විවේචන ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ දක්නට නොමැති හෙයින් මෙම වැකිය සඳහා ප්‍රමුඛතාවක් දීම සුදුසු යැයි අදහස් කළෙමු. ජාතික ක්‍ෂේත්‍රයේ අල් කුර්ආන් වැකි පිළිබඳ ව මතුකොට ඇති පදනම් විරහිත විවේචන සියල්ල ගැන නිවැරදි විග්‍රහයන් ඉදිරිපත් කිරීමෙන් පසු  ජාත්‍යන්තර ක්‍ෂේත්‍රයේ දකින්නට ඇති වදන් පිළිබඳ ව ද විග්‍රහයන් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

“අල්ලාහ් සහ ඔහුගේ නියෝජිතයාට එරහිවීම සහ අල්ලාහ් සහ ඉස්ලාමය හැර වෙනත් දෙවියෙක් හෝ ආගමක් ඇදහීම යන පාපකර්මයට නියමකොට ඇති වන්දිය වන්නේ, ඔවුන්ව මරා දැමීම හෝ කුරුසයේ තබා ඇණගැසීම හෝ ඔවුන්ගේ එක්පැත්තක අතකුත් ඊට විරුද්ධ පැත්තෙන් කකුලකුත් කපා දැමීම හෝ භූමියෙන් එලවා දැමීමයි. මෙම දඬුවම් තුලින් මුස්ලිම් ආගම හැර වෙනත් ආගම් අදහන්නන්ව මෙලොවදී අවග්ඥාවට පත් කල යුතුය”.  (අල් කුර්ආන් 5 : 33)

ඉහත විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ  නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් දක්වා ඇත්තෙමු.

“අල්ලාහ් හා ඔහුගේ ධර්ම දුතයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙහි කලහකම් කිරීමට වෙර දරන්නන්ගේ ප්‍රතිවිපාකය වන්නේ ඝාතනය කරනු ලැබීම හෝ කුරුසියේ (තබා ඇණ) ගසනු ලැබීම හෝ ඔවුන්ගේ දෑත් සහ පාද එකිනෙකට විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ (ඔවුන් ජීවත් වූ) දේශයෙන් පිටුවහල් කරනු ලැබීමය. මෙය ඔවුන්ට මෙලොවෙහි වූ අවමානයයි. තවද මතු ලොවෙහි ඔවුන්ට මහත් වූ දඬුවම් ඇත”. (අල් කුර්ආන් 5 : 33)

මෙහිදීත් අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ විකෘති පරිවර්තනය හා නිවැරදි පරිවර්තනය ඉතා කාරුණිකව සසඳා බලන ලෙසය. සමුළුවේ කථිකයාගේ වෛරය හා ක්‍රෝධය මුසු වූ ඉස්ලාම් විරෝධය මෙයින් පැහැදිළිව දැක ගත හැකිය.

ඉස්ලාමය පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව මෙම අල් කුර්ආන් වැකිය ද ජිහාදයට සම්බන්ධ වැකියක් ලෙස සිතා විකෘති මත ඉදිරිපත් කිරීමට ඔවුන් පෙළඹී ඇති බව පෙනෙන්නට ඇත. මෙය සැබවින් ම අධිකරණ ක්‍රියාවලියට අදාළ වැකියකි. මෙය කිසිදු ජිහාද් ප්‍රභේදයකට අදාළ නොවුවක් බව අවධාරණය කළ යුතුව ඇත.

පසුබිම

ආරම්භක හා නූතන යුගයේ අල් කුර්ආන් අර්ථ විවරණයන් හා ඓතිහාසික සාක්ෂි අනුව මෙම වැකිය පහළ කිරීමට පසුබිම් වූ හේතු පළමුව විමසා බලමු. මදීනා නගරයට පැමිණි කණ්ඩායමක් එහි රැඳී මදීනා නගරයේ ජනයා සමග හැසිරී පසුව එඬේරෙකුගේ දෑස් උගුල්ලා ඔහුගේ හිස ගසා දමා ඝාතනය කොට වස්තුව ද  සොරකම් කිරීමට කටයුතු කරන ලදී. (අල් තබාරී, තෆ්සීර් ජලාලයින්,තෆ්සීර් ඉබ්නු කතීර්, අස්බාබ් අල් නුසුල් – අල් වහීදී)

මෙම අටදෙනෙකුගෙන් යුත් මෙම අපරාධකරුවන් මදීනා නගරයට පැමිණ ඇත්තේ උකිල් (උරෛනා) නම් ප්‍රදේශයෙනි. මදීනා නගරයේ දේශගුණය ඔවුනට අහිතකර බවට පත් විය. මෙම අපරාධකරුවන් මදීනා නගරයේ දී මුහම්මද් තුමාණන් ව හමුවී ආහාරපාන ඉල්ලා සිටි විට එතුමාණන් විසින් ඉහත සඳහන් එඬේරා අමතා මෙම පිරිසට ආහාරපාන ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී. මුහම්මද් තුමාණන් ඉදිරියේ ඉස්ලාමය වැළඳ ගෙන පසුව මෙම අපරාධය සිදුකරනවාත් සමග ඉස්ලාමය ද ඔවුන් විසින් අත්හැර දමන ලදී. හොඳහැටි එඬේරාගේ ආගන්තුක සත්කාරයෙන් සප්පායම් වී සුවපහසු විවේකයෙන් සිට පසුව එඬේරා ව ඉහත විග්‍රහ කළ අයුරු ඉතා කුරිරු අයුරින් ඝාතනය කොට ඔහුගේ ඔටුරැළ ද සොරාගෙන පලායන්නට කටයුතු කළහ. මෙය ආරංචි වූ වහාම මුහම්මද් තුමාණන් විසින් ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීම කණ්ඩායමක් පිටත් කර හරින ලදී. එදින හිරුබස යන්නට පෙර මෙම අපරාධකරුවන්ව අල්ලාගෙන ආවයින් පසු ඔවුන් විසින් කරන ලද දරුණු හා කුරිරු සාපරාධී ක්‍රියාවට දඬුවම් ලෙස ඔවුන්ගේ අත්පා එකිනෙකට විරුද්ධ පැති වලින් කපාහරිනලදී. (සහිහ් බුහාරි 4 වන වෙළුම ග්‍රන්ථ අංක 52 හදීස් අංක 261 –  සහිහ් මුස්ලිම් ග්‍රන්ථ අංක 16 හදීස් අංක 4131)

මෙම අපරාධකරුවන්ට දෙන ලද දඬුවම ඇතැම් විට ඇතැම් නූතන පිරිසට එතරම් සුදුසු පියවරක් ලෙස නොපෙනෙන්නට ඉඩ ඇත. නමුත් සැබවින් ම චුදිතයින්ට දෙන ලද දඬුවම ඔවුන් විසින් වින්දිතයාට කරන ලද අපරාධයට වඩා අඩු පියවරකි. තවත් වාර්තාවක් අනුව ඔවුන් විසින් ඉහත අපරාධයට අමතරව මහමග කලහකම් පතුරුවමින් අහිංසක ස්ත්‍රීන් ව සාපරාධී අයුරින් දුෂණය කරන්නට ද කටයුතු කොට ඇත. (කිතාබ් අල් තබඛාත් අල් කබීර් – ඉබ්නු සාද්  දෙවන වෙළුම  පිටු 114 – 115 / ජාමි අත් තබාරි 10 වන වෙළුම 267 වැනි පිටුව අංක 11854)

විග්‍රහය

මෙම වැකියේ සඳහන් දඬුවම ගැන අදහස් දැක්වීමට පෙර එයට පදනම් වූ  චෝදනා පිළිබඳව විමසීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. “අල්ලාහ් හා ඔහුගේ ධර්ම දුතයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙහි කලහකම් කිරීමට වෙර දරන්නන්” යන්නට පහත සඳහන් විග්‍රහයන් ඉදිරිපත් කොට ඇත.

“අල්ලාහ් හා ඔහුගේ ධර්ම දුතයා සමග සටන් වදින්නන්” යන්නෙහි අදහස නම් ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත්කරවමින් සන්නද්ධ මංපැහැරීම,  ‘සත්‍යය’ට එරෙහිවීම, හා කැරළි ගැසීම යන්නය. මේ සියල්ල ත්‍රස්තවාදී ක්‍රියාවන් බව එදත් අදත් අප සැවොම දැන සිටි සත්‍යයකි.  මෙයින් සිදුවන්නේ ජනයාට සාමයෙන් හා සැනසීමෙන් ජීවත් වීමට ඇති සමාජ පරිසරය විනාස කිරීමය.

“මිහිතලයේ කලහකම් කිරීමට වෙර දරන්නන්” යන්න ත්‍රස්තවාදී ක්‍රියා වන්හි නියැලෙන්නන්, නුතන භාෂා යෙදුම අනුව පාතාල ක්‍රියාකාරකම් කරන්නන් හා සන්නද්ධ මං පහරන්නන් මෙයින් අදහස් වේ.

මෙම චුදිතයන්ගෙන් සොරකම, පහරදීම හා ඝාතන සිදුවීමට හැක. අල් කුර්ආන් වැකිය දඬුවම සඳහන් කරන්නට පෙර චෝදනා ඉදිරිපත් කොට තිබීම හේතුවෙන් අර්ථය අවබෝධ කර ගැනීම පහසු වී ඇත. දඬුවම් විකල්ප හතරක් ඉදිරිපත් කොට ඇති අතර චුදිතයා සිදු කරනු ලබන අපරාධයේ බරපතලකම අනුව දඬුවම තීන්දු කරනු ලැබේ. මෙම වැකියේ සන්දර්භය නිවැරදිව අවබෝධ කරගත් විට ඉස්ලාමීය නීතියේ ඇති මානවවාදිත්වය සහතික වශයෙන්ම අවබෝධ කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පළමුව ඉහත උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකියට පෙර ඇති වැකිය විමසා බලමු.

“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5 : 32)

මිනිස් ඝාතන වැනි සාපරාධී ක්‍රියාවන් හා දඬුවම් 5 : 33 වැකියේ සඳහන් කරන්නට පෙර මිනිස් ඝාතන සිදු කළ හැකි සීමා මායිම් 5 : 32 වැකියෙන් විග්‍රහ කොට ඇත. මිනී මැරීමේ හා මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීම (ත්‍රස්තවාදී, පාතාල ක්‍රියාකාරකම් හා සන්නද්ධ මංපැහැරීම්) වැනි ක්‍රියාවන්ට නිසි අධිකරණමය පරීක්ෂණයකින් පසුව  ලබා දෙන්නා වූ තීන්දුවක් මත මරණ දඬුවම ලබා දිය හැකි බව  මෙයින් පැහැදිලි වේ. මිනිස් ජීවිතයක් නිකරුනේ මරා දැමීම මුළුමහත් මිනිස් පරපුරම මරා දැමීමට සමාන බවත් එලෙසම මිනිස් ජීවිතයක් බේරා ගැනීම මුළු මහත් මිනිස් පරපුරම බේරාගත්තා හා සමාන බවත් මෙමගින් ඉස්ලාමය උගන්වයි. 5: 33 ට පසුව ඇති අල් කුර්ආන් වැකිය ද විමසා බලමු.

“ ඔවුන් කෙරෙහි නුඹලා බලය යෙදවීමට පෙර පශ්චාත්තාපයේ නියැලුණු අය හැර”. (අල් කුර්ආන් 5:34)

5:33 හි සඳහන් සාපරාධී ක්‍රියාවන් හි නියැලුනු අපරාධකරුවන්ට තමන් ව ප්‍රතිශෝධනය කර ගෙන පුනරුත්ථාපනය වී නැවත වරක් යහ මිනිසෙකු ලෙස ජීවත් වීමේ අයිතිය ද මෙමගින් සහතික කොට ඇත.5:34 හි සඳහන් පරිදි තමා විසින් කරන ලද සාපරාධී ක්‍රියා පිළිගෙන ඒ පිළිබඳව පශ්චාත්තාපයට පත් වී නැවත වරක් එවැනි තත්ත්වයකට පත් නොවී යහ මිනිසෙකු ලෙස ජීවත්වීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නට එකඟ වන්නන්ට 5 : 33 හි සඳහන් දඬුවම් අදාළ නොවන්නේය. මෙයට වඩා යුක්තිය සාධාරණය මත පදනම් වූ තවත් පිළිවෙතක් ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන්න.

මෙලෙස ආගමික මුලාශ්‍රයන් විකෘති කරමින් දහම් අවමානයට ලක් කිරීමට කටයුතු කරන්නන් ව පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන්නෙමු. මෙවන් පහත් හැසිරීම් රටාව සැබැවින්ම ම්ලේච්ඡත්වයේ සළකුණක් හැර අන් කිසිවක් නොවේ.

ඉස්ලාමයේ අග්‍රගණ්‍ය විද්වතෙකු වූ ඉමාම් මාලික් තුමා ගෙන් (ක්‍රි. ව. 711 – 795) කුරුසියේ ගැසීම පිළිබඳව විමසන ලදුව, සන්නද්ධ මං පැහැරීම සඳහා කුරුසියේ ගැසීම දඬුවමක් ලෙසින් නියමිත කළ එක් අවස්ථාවක්වත් එතුමා විසින් අසා නොමැති බවය (අල් මුදව්වනහ් 15 වන වෙළුම, 99 වැනි පිටුව). ඉමාම් මාලික් තුමාගේ මෙම ප්‍රකාශනය පදනම් කරගෙන ආචාර්ය මුහම්මද් එස්. අල් අවා තම ආචාර්ය උපාධිය සඳහා සකස් කළ පර්යේෂණාත්මක නිබන්ධය වූ ‘ඉස්ලාමීය නීතියේ දඬුවම්’ හි  (Punishment in Islamic Law – 29 වැනි පිටුව) දඬුවමේ දැඩි භාවය හේතුවෙන් අපරාධය වෙත නැඹුරු වන්නන් වලක්වා ගැනීම එක් ප්‍රධාන අරමුණක් බවය. වත්මන් ලෝකයේ පවතින අපරාධ නීතිය හා ඉස්ලාමීය අපරාධ නීතිය අතර වූ ප්‍රධාන බෙදුම් රේඛාවන්ගෙන් එකක් වන්නේ වත්මන් අපරාධ නීතිය මිනිසාට අපරාධ කිරීම ට සියලු මංපෙත් විවර කර දී අපරාධ ක‍රු ලෙස හංවඩු ගසා නීතිය ක්‍රියාත්මක කිරීම හෝ නීතියක් නොමැති විටෙක නව නීති සම්පාදනය කර දඬුවම් ලබා දීමය. නමුත් ඉස්ලාම් අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර මිනිසා අපරාධ කිරීම ට හේතු කාරක වන සාධක සහ පරිසරය තුරන් කර දැහැමි වූත් සර්ව සාධාරනත්ව ය රජයන සමාජ ක්‍රමයක් බිහි කළ පසු අපරාධ නීතිය ක්‍රියාත්මක කරන අතර ම මිනිසාට පුර්ව දැනුම් දීමක් ලෙස අපරාධයක ට ලබා දෙන දඬුවම් පෙන්වා දී ඇත. එවිට මිනිසා දඬුවමේ ඇති දැඩි භාවය අවබෝධ කර ගෙන දඬුවම ට ඇති බිය නිසා අපරාධ වලින් ඈත් වී සම්මා ජීවිතයක් ගත කරන්නට උත්සුක වෙයි.

සමාජ සාධාරණය ක්‍රියාත්මක, අපරාධ කිරීම ට කිසිඳු අවකාශයක් නොමැති හා සමාජ ප්‍රශ්න හා ගැටලු වලට සාධාරණ විසඳුම් ලබා දෙන රජයකට එරෙහි ව ආයුධ සන්නද්ධ අරගලයක යෙදෙන්නේ නම්, කැරලි ගසන්නේ නම් හා සාමකාමී ජන ජීවිතය ට බාධා කරන්නේ නම් එවැනි සුළු පිරිසක ට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම පිළිගත් වගකිය යුතු රාජ්‍යයක ට යෝග්‍ය වන්නේ ද? එසේ නීතිය ක්‍රියාත්මක කිරීම සාහසික අපරාධයක් ලෙස හැඳින් විය හැක්කේ කෙසේ ද? මෙසේ ඉහත යථාරූපී යථාර්ථය අවබෝධ කරගන්නේ නැතිව එසේත් නොවේ නම් අවබෝධ කරතත් අනවබෝධයෙන් සේ කටයුතු කරන්නන් ට කිව හැක්කේ ‘නිදා ගත්තෙකු ඇහැරවිය හැකි නමුත් නිදා ගන්නන් සේ රඟපාන්නන් ඇහැරවිය නොහැකි’ බව පමණකි.

 

පෙර ලිපි

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 1වන කොටස අල් කුර්ආන් 2: 193

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 2 වන කොටස අල් කුර්ආන් 2: 216

 

 

 

One Comment to “කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 3 වන කොටස අල් කුර්ආන් 5: 33

Comments are closed.