ඥානසාර හිමි අද කුලියාපිටියේ! ආගමික වැඩසටහනක් පමණයි ලු!

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් පවත්වන ධර්මදේශණයක් අද එනම් අගෝස්තු 10 වන දින කුලියාපිටිය විහාරස්ථානයක පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. මේ සම්බන්ධව මුම්මාන මුස්ලිම් ගම්මානයේ පල්ලියේ සභාපති ඇතුළු දහදෙනෙකුගෙන් යුත් පිරිසක් පොලීසිය වෙත කළ පැමිණිල්ලට අනුව ප්‍රදේශයේ ආරක්ෂාව දැඩිකර තිබෙනවා.

ඊයේ සවස 2.30 ට පමණ ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා, ප්‍රජා නායකින් සහ මුස්ලිම් පල්ලි ප්‍රධානින් සමග ප්‍රදේශයේ පොලිස් ප්‍රධානීන් විශේෂ සාකච්චාවක් පවත්වා ඇත. භික්ෂුන් වහන්සේලා විසින් සිදු කරන ධර්ම දේශනා රටේ කොතැනක පැවතුනත් එය නැවත්වීමට පොලීසියට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොවන බව මෙහිදී පොලිස් ප්‍රධානින් අවධාරණය කර ඇති අතර එසේම කිසිදු පුද්ගලයකු හෝ නීතියට පිටින් කුමක් හෝ සිදු කළහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පවසා ඇත.

වැවගම ප්‍රදේශයේ මේ වන විටත් අන්තවාදීන් තමන්ගේ කටයුතු ඉතාමත් සුක්ෂමව කරගෙන යන අතර සිංහල ජනතාවගෙන් මුස්ලිම් කඩවලට යාම නතර කරන ලෙස තර්ජනය කර ඇත. අන්තවාදීන්ට බයේ සිංහල ජනතාව මුස්ලිම් කඩවලට යාමට බියක් දක්වන අතර මේ නිසා ඔවුන්ගේ ජන ජීවිතයද අවුල් සහගත තත්වයකට පත්ව ඇත. මේ සම්බන්ධව පලාතේ දේශපාලන සහ සිවිල් සංවිධාන විසින් පොලීසිය දැනුවත් කර ඇති නමුදු පොලීසියට මේ වන තුරුත් මෙම සිදුවීම ඇතුලත ක්‍රියාකරන අදිසි හස්තයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් හදුනා ගැනීමට නොහැකි වී ඇත.

ඥානසාර හිමිව ධර්මදේශනාවකට කියා මෙම ප්‍රදේශයට ගෙන්වන්නට උත්සාහ දරන්නේ ඔවුන්ගේ ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කරගැනීමටයි. කෙසේ නමුදු අද හවස 6.00 ට පැවැත්වෙන්නට නියමිත මෙම ආගමික කටයුත්ත තුල ජාතිවාදය ඉස්මතුවන ආකාරයේ ක්‍රියාකාරකම් කළහොත් පොලීසිය ඒ සම්බන්ධව ක්‍රියාකරනු ඇතැයි පලාතේ මැදහත් ජනතාව බලාපොරොත්තු වේ.