සහෘද කලාකරුවෙකු වු විජය නන්දසිරි මහතා ගැන සටහනක්!

Wijaya Nandasiri, විජය නන්දසිරි

අප මේ බ්ලොගයෙන් ලංකාවේ කලාව සහ කලාකරුවන් සම්බන්ධව විවිධ විවේචන එල්ල කර තිබෙනවා. ඇත්තෙන්ම අද අප රටේ වැඩිපුරම සිටින්නේ කලාකාරයන්ට වඩා මුලාකාරයන් බව කිව්වොත් ඒකේ වරදක් නැහැ. බොහෝ දෙනෙකු කරන්නේ කිසියම් දෙයක් අටවා ජනතාව චූන් කර ජනතාවගේ මුදල් කඩාවඩා ගැනීමයි. නමුත් විජය නන්දසිරි මහතා ගැන පවසනවා නම් ඇත්ත වශයෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු කලාකරුවෙකු බව කිව යුතුය. කලාකරුවගේ බස නිර්මාණයි. ඔවුන් සමාජයට පණිවිඩ ලබා දිය යුත්තේ ස්වකීය කලා නිර්මාණ තුලිනි. විජය නන්දසිරි යනු එලෙස ස්වකීය කලා නිර්මාණ තුලින් සමාජයට කලාත්මක සහ හරවත් පණිවිඩයක් ලබාදුන් කලාකරුවෙකු ලෙස අවිවාදයෙන්ම පිළිගත හැක.

බොහෝ කලාකරුවන් යැයි කියාගන්නා අය සමාජයට සේවය කිරීමට යැයි පවසමින් දේශපාලනයට පිවිසෙන යුගයක, තවත් අය ජාතියේ වගකීම යැයි පවසමින් දේශපාලුවන්ට කඩේ යන යුගයක විජය නන්දසිරි යනු කලාකරුවෙකුගේ භූමිකාව සහ පරාසය හොඳින් වටහාගත් පුද්ගලයෙකු බව මගේ අදහසයි. එමෙන්ම ඔහු සමාජය පිළිබඳ බොහෝ ඇසූපිරූ තැන් ඇති නිසිලෙස සමාජය පිළිබඳ කියවීමක් සහ පරිචයක් තිබුණු කලාකරුවෙකි. අවසාන කාලයේදී ප්‍රහසන රඟපෑම් වලට පැමිණීම තුල ඇතැම් ප්‍රවීණයන් යැයි කියාගන්නා අයගේ විවේචනයට ලක්වුවද විජය නන්දසිරි ප්‍රහසනය තුලින් සමාජයට පණිවිඩයක් ලබා දීමට වෙර දැරුවේය. සමාජයේ ගර්භිත ස්ථරයන්හි පවතින අඩුලුහුඬුකම් සියුම් උපහාසයන්ට ලක්කරමින් ඒ තුල ඇති සමාජ යථාර්තය වටහා ගැනීමට ජනමනස පෝෂණය කිරීමට වෙර දරන ලදී. ඔහුගේ එම උත්සාහය සාර්ථක එකක් වු බව මගේ අදහසයි.

අඩසිය වසකට ආසන්න කාලයක් මෙරට ‍වේදිකාවේත් සිනමාවේත් රූපවාහිනියත් දික්විජය කළ ඉල්ලුපිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි ජීවන වේදිකාවෙන් සදහටම සමුගත් බව සත්‍යයකි. විජය නන්දසිරි මහතා උපන්නේ 1947 දීය. මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් සිප්සතර හැදෑරු හෙතෙම 1963 දී මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යයෙන් මනමේ කුමාරයා බවට පත්වේ. 1966 රාජ්‍ය නාට්‍ය උළෙල ඔහුගේ නාට්‍ය ජිවිතයේ නොමැකෙන මතක සටහනක් වුණි. ඒ වීදුරු දිව වේදිකා නාට්‍ය වෙනුවෙන් ඔහුට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාවෙනි. දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්මහ අකුණු සතිශ්චන්ද්‍ර එදිරිසිංහගේ තහංචිය චන්ද්‍රසේන දසනායකගේ රන්කඳ ඔහු ප්‍රේක්ෂක මනසේ රඳවා තබා ගත් වේදිකා නාට්‍යයන්ය.

රංගන ක්ෂේත්‍රයේ වේදිකා සිනමා රූපවාහිනි ක්ෂේත්‍ර ත්‍රිත්වය තුළම ඔහු සිය දස්කම් මැනවින් පෙන්වු පුද්ගලයෙකි. මෑත කාලයේ ඔහු රඟපෑ ටෙලිනාට්‍යවල ප්‍රහසන චරිතවලට එක්වීම සම්බන්ධව ඔහුට විවේචන තිබුණි. නමුත් ඔහු රංගනය කළ මේ කිසිදු තැනෙක ප්‍රේක්ෂක මනසින් ඔහු බැහැර වූයේ නැත. සරච්චන්ද්‍ර නාට්‍යවල සිට දැවැන්ත තාත්වික වේදිකා නාට්‍යවල මෙන්ම සිනමාවේ පෙම්වතාගේ සිට දුෂ්ඨයා දක්වා කළ සියලු රංගනයන්ට ඔහු සාධාරණය ඉටුකළේය. ප්‍රහසන ටෙලිනාට්‍යවල ඔහු කළ කිසිදු රංගනයක් අසාර්ථක නොවීය. වේදිකාවේ සිනමාවේ ඔහුට පැවරුණු සියලුම චරිත මැනවින් තේරුම් ගැනීමට තරම් පුළුල් අත්දැකීම් බහුල ඥානයක් ඔහු සතුව තිබුණේය.

වේදිකාවේ තිරය දෙපසින් හෙමින් හෙමින් විත් එකතුවු තැන පැතිර යන අන්ධකාරයේ ඔශු සෙමින් නැගිට ගියේය. ප්‍රේක්ෂක අත්පොළසන් මැද ඔහු නැවත වේදිකාවට පිවිසියේ අපූර්ව සිනහවක්ද රැගෙනය. එහෙත් ඔහුට නැවත එලෙස සිදුකළ නොහැක. ජීවන වේදිකාවේ වැසුණු තිරපට ඔහුට හැරලනු නොහැක.

“මට පෙම් කළ ඒ මනමේ කුමරා

මරුමුව වැටුණා

මරුමුව වැටුණා”

මනමේ කුමරියගේ වැළපුම් ගීතිකාව යළි කිසිදු දිනක ඔහුගේ සවනට නොවැසනු ඇත. අපෙන් නික්ම ගිය සහෘද කලාකරු විජය නන්දසිරි මහතාණෙනි! ඔබට අපගේ ආචාරය!

 

 

 

4 Comments to “සහෘද කලාකරුවෙකු වු විජය නන්දසිරි මහතා ගැන සටහනක්!

  1. Anver, mehema kiwwoth taraha wemma epa. WIJEYA NANDASIRI
    kiyana kafir minisa oyage sahodaraya wune kawadada?

        1. මගෙ තාත්තා ඉස්ලාම් ධර්මයට ආවේ මගෙන් දැනගෙන. ඒ නිසා මට එහෙම ප්‍රශ්නයක් නැහැ.

Comments are closed.