ගංවතුරෙදි පිහිටවුණු මුස්ලිම් යාළුවා!

ලොව යහපත් මිනිසුන් කොතෙකුත් සිටින මුත් දුටු පමණින් එවැන්නකු අපට හඳුනාගත නොහැකිය. එසේ වන්නේ බුදුවරුන්ට පහළවෙනවා යැයි කියන පරචිත්ත විජානන ඥානය අප සතුව නැති හෙයිනි. එහෙත් මිනිසුන්ට සිදුවෙන අනේකවිධ නස්පැත්තිවලදී ගුණයහපත් පරාර්ථකාමී මිනිස්සු හඳුනා ගැනීමට පහසුවෙයි. මේ කතාවද එබඳු පරාර්ථකාමියකු ගැනය.

කැලණි ගඟ මායිමේ පිහිටි ගම් දනව් ගංවතුරට යටවූ මොහොතේ ගංවතුරට කොටුවූවන් බේරා ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් ක්‍රියාකළ කොළඹ මෝදර ජුඞ් රංජිත් නම් අයකු ගැන අපට ලියන්නට හැකිවිය. එදින ජූඞ්ට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත්ව සහාය වූ පුද්ගලයෙක් සිටියේය. ඔහු මොහොමඞ් බිර්සාම් හුසේන් අෂ්රෆ්ය. ජූඞ් රංජිත්ට අෂ්රෆ්වත්, අෂ්රෆ්ට ජූඞ්වත් මුලින්ම මුණ ගැසෙන්නේ එදිනම වීමද ආශ්චර්යයක් ය.

අරුමය නම් අෂ්රෆ්ගේ නිවෙසද ගංවතුරෙත් යටවී තිබිමයි. අපි අෂ්රෆ් සොයා වැල්ලම්පිටිය වෙන්න වන්නේ තෙවන පටුමඟට ගියෙමු.
‘දිනය මැයි මාසේ දහඅටවෙනිදා. ඊට ඉස්සර දවසේ ඉඳන්ම ගංවතුරට අපේ ගෙදරත් යටවුණා. මම ගෙදර බඩුමුට්ටු එකතුකරලා ඉටිකවරවලට දාලා බැඳලා තිබ්බා. ඊට පස්සේ පවුලේ අයත් එක්ක මාකොල අපේ අම්මලාගේ ගෙදර ගියා. පහුවදා ඒ කියන්නේ දහඅට වෙනිදා මගේ යාළුවා නවාස් එක්ක එයාගේ මෝටර් බයිසිකලේ ගංවතුරෙත් මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ආවා. අපි දෙන්නා ඔරුගොඩවත්ත පහුකරන කොට එතැනින් එහාට යන්න බැහැ. මං හිතන්නේ අඩි හතරක් විතර ගංවතුරට ගිල්ම අල්ලලා තිබුණා. අපි එතැන ටිකක් වෙලා හිටියා. එහෙම ඉන්න කොට බෝට්ටුවක් පටවාගත්ත ලොරියක් ඇවිත් නතර කළා. ලොරියේ හිටපු අය බෝට්ටුව බාන්න හදනකොට මම ළඟ හිටපු කට්ටියටත් කතාකරලා බෝට්ටුව බාන්න උදව් කළා. ඊට පස්සේ බෝට්ටුවට එන්ජිම හයිකරගන්නත් උදව් කළා.’
බෝට්ටුවට ඇංජිම සවිකර බෝට්ටුකරුවා එංජිම ක්‍රියාත්මක කළේය. අයියා අපි දෙන්නත් එන්න ද අෂ්රෆ්ගෙන් බෝට්ටුකරුවාට පැනයකි. කිසිදා නොහඳුනන මේ තරුණයන් දෙදෙනා බෝට්ටුව බාගන්නට තමාට සහාය වූ ආකාරය ගැන කල්පනා කළ බෝට්ටුකරුවා දෙවරක් නොසිතා නඟින්න මල්ලී යැයි කීය. දැන් බෝට්ටුවේ සිව්දෙනෙකි. බෝට්ටුකරුවාට අවශ්‍ය වන්නේ තම නැගනියගේ දුවගේ නිවෙසට යෑමටයි. අෂ්රෆ් ගමන්මග පෙන්වූයේය.
දැන් අෂ්රෆ් බෝට්ටුකරුගේ නම ගමද දැනගෙන හමාරය.

‘අපි ඉස්සරලාම ජුඞ් අයියාගේ නංගීගේ දුවගේ ගෙදරට ගියා. ඒ ගෙදර අයයි ගෙවල් ළඟ තවත් වයසක අම්මා කෙනෙකුයි පුංචි ළමයි කීපදෙනෙකුයි බෝට්ටුවට අරගෙන වැල්ලම්පිටිය පොලිසිය ළඟින් ගොඩ කළා. ඊට පස්සේ මම ජුඞ් අයියාගෙන් ඇහැව්වා, අයියා දැන් මොකද කරන්නේ, එයා කීවා, කිසිම ප්‍රශ්නයක් නැ මල්ලි, බෝට්ටුවේ ටැංකියේ තෙල් ප්‍රශ්නයක් නෑ, බෝට්ටුවේ ටැංකියේ තෙල් ඉවරවෙනකල්ම අපි කට්ටිය අරගෙන එමු කියලා. ඊට පස්සේ මම එයාට කීවා අයියා ඔයා මේ වැඬේ කරන්න. මම ඔයාට ඕනෑ දෙයක් කරනවා. මගේ ළඟ මේ වේලාවේ නම් සල්ලි නෑ. හෙට වෙනකොට මං උදව් කළ හැකි කියලා. එහෙම කියලා මම මගේ දුරකථන අංකය එයාට දීලා එයාගේ අංකයත් අරගෙන ආපසු එන්නයි හැදුවේ. එනකොට ජුඞ් අයියා, ‘නෑ මල්ලි, උඹලා දෙන්නා යන්න එපා, උඹලා ඉන්න එක මට හයියක්, මාත් එක්ක යන්න පුළුවන් ද?’ ඇහැව්වා. එයාගේ කතාවට මට හරිම සතුටක් ඇති වුණා.’

බරසාර මෙහෙයුමක්

ඔවුහු ගංවතුරට කොටුවුවන් බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළහ. එක් වරකට බෝට්ටුවේ සිටින පිරිස විස්සක් පමණ වූ අවස්ථා ද තිබුණේය. ඔවුන්ගේ මෙහෙයුමේදී ප්‍රථමයෙන් අවධානය යොමුවුයේ කුඩා ළමයින් මව්වරුන් කන්තාවන් හා වැඩිහිටියන් කෙරෙහිය. ජූඞ් බෝට්ටුවේ නියමුවා වෙත්දී අරෆ්ෂ මෙහෙයුමේ නියමුවා වූයේය.

‘මේක කරදර අවස්ථාවක්. විශේෂයෙන්ම ගැහැනු අයව බේරාගන්න කොට ඔවුන්ගේ ආත්ම ගෞරවයට හානියක් සිදුනොවන විදියට වැඩ කරන්න ඕනෑ. එහෙම නොකළොත් අපි මේ කරන වැඩෙන් ප්‍රතිඵලයක් නැහැ.’ ඔහු අනෙක් අයට උපදෙස් දුන්නේ ය.

‘අපි එක තැනකදී පුංචිම දරුවෙක් කූඩයක් දාලා අරගත්තා. මේ ගෙදර උඩ තට්ටුවේ හිටිය ගෑනු තුන්දෙනායි පොඩි ළමයි හා පිරිමි එක්කෙනායි. මේ ඇය උඩින් බෝට්ටුවට බස්සවා ගනිද්දී මම බෝට්ටුවේ ඉඳන් ඒ අයගේ කකුල්වල කලවා දෙකෙන් අල්ලලායි බෝට්ටුවට ගත්තේ. ඔන්න අන්තිමට ගැහැනු කෙනෙක් ගන්න වුණා. මම එයාට කීවා මම ඔයාගේ කකුල්වලින් අල්ලාගත්තාම වැට අතාරින්න කියලා. හැබැයි මෙයා එහෙම කළේ නෑ. එතකොට බෝට්ටුව ගැස්සිලා ගියා. මම උඩින් ගිහින් වතුරට වැටුණා. කර ළඟටම වතුර. ඊට පස්සේ මම ඒ ගෑනු කෙනාට කීවා මගෙ ඔළුව උඩින් කකුල් දෙක තියාගන්න. ඊට පස්සේ එයා එහෙම කළා. අනෙක් අය එකතුවෙලා මෙයාව බෝට්ටුවට ගත්තා. මමත් අමාරුවෙන් බෝට්ටුවට නැග ගත්තා. ඊට පස්සේ තමයි මට මතක් වුණේ මගේ උරේ එල්ලන් හිටිය බෑග් දෙකේ තියෙන ඇපල් පෝන් දෙක ගැන. මේකෙන් එකක් මගේ. අනික රෙපයාර් කරන්න ගෙනාව එකක්. (අෂ්රෆ් වෘත්තියෙන් ජංගම දුරකථන කාර්මික ශිල්පියෙක්) මොනවා කරන්නද අපි කරන්න ආපු වැඬේ දිගටම කරගෙන ගියා. එක පෝන් එකක් තවමත් හදාගන්න බැරි වුණා.’
අෂ්රෆ්ලාගේ සහ ජූඞ්ලාගේ මෙහෙයුම ලෙහෙසි පහසු එකක් නොවේ. ඉතා පටු පාරවල් දිගේ බෝට්ටුව රැගෙන යෑමද අතිශය දුෂ්කරය. ඒ අතරේ වතුරේ ක්‍රීඩා කරන්නන්ගෙන් බේරීමද පහසු නොවීය. සමහරු බෝට්ටුවේ එල්ලෙති. එක්තරා අවස්ථාවක බෝට්ටු එන්ජිමට පොහොර කවරයක් සිරවී මහත් අකරතැබ්බයක් වන්නට ගියේය. පාර දෙපස තාප්පවල වහලවල නොවැදී බෝට්ටුව ගෙනයෑම අසීරුය.

‘ඒ අතින් බැලුවාම ජුඞ් අයියා නියම වැඩකාරයා’ අෂ්රෆ් කියයි.
‘ඔන්න එක අවස්ථාවකදී බෝට්ටුවේ හිටපු අපේ නවුෂාන්ට පුතා පුතා ඔළුව කියලා ගෑනු කෙනෙක් කැගැහැව්වා. එතකොට එයා ඔළුව පාත් කළා. තව පොඞ්ඩෙන් එයාගේ ඔළුව තහඩු වහලයක හැප්පෙනවා. ඊට පස්සේ මම පොල්ලක් අරගෙන තහඩුටික උස්සලා තමයි බෝට්ටුව අරගත්තේ. මේ වැඬේදී අනෙක් අයගේ ජීවිත වගේම අපේ ජීවිතත් අරක්‍ෂා කර ගන්න ඕනෑ.’

හිනායන කතාවක්

කොතරම් බැරෑරුම් අනතුරුදායක අවස්ථාවක වුවද සිනා යන සුලු සිද්ධියක් වුවහොත් අනතුරු නොතකා මඳක් හෝ සිනහවීම අපගෙන් ඇත්වී නැත. අෂ්රෆ්ලාට එවැනි සිදුවීම්වලටද මුහුණ දෙන්නට සිදුවී ඇත.

‘ඔන්න අපි තවත් ගෙදරක කට්ටියක් බෝට්ටුවට ගන්නවා. මේ ගෙදර වයසක අය දෙන්නෙක් හිටියා. මම හිතන්නේ අසූවකට වැඩි ඇති. ළමයිනුයි මේ දෙන්නායි තවත් දෙන්නෙකුයි මම බෝට්ටුවට ගත්තා. එතකොට බෝට්ටුවට කලින් ගත්ත අම්මා, පුතා අනේ අනික්කෙනා ගන්නකොට පරිස්සමෙන් ගන්න ඕනෑ කීවා. මම හිතුවේ ලෙඩෙක් වෙන්න ඇති කියලායි. කොහොමහරි එයාවත් ගන්න ගියා. හරිම මහත ගෑනු කෙනෙක්. වැඬේ ටිකක් බරපතළයි. ඔන්න මම එයාවත් කකුල්වලින් අල්ලාගත්තා. සාමාන්‍ය යෙන් මම කළේ කෙනෙක් අල්ලාගත්තාම එයාගේ කකුල් බෝට්ටුවේ වදිනකල්ම මම පහළට නැවෙන එකයි. ඉතින් එයාවත් අරන් එහෙම නැමෙන කොට මට ඉබේටම ‘අම්මා’ කියලා කියවුණා. ඔක්කෝම අමතක කරලා මුළු බෝට්ටුවේම හිටපු අය මහ හයියෙන් හිනාවුණානේ. කොහොම හරි මුළු දවසේම වතුරෙ ඉඳලා මහන්සිවෙලා සවස්වෙද්දී මගේ ඇඟපතට හරිම අමාරුයි. හැබැයි වතුරට වැටිලා ගංවතුර පෙවිලාත් කිසිම ලෙඩක් දුකක් නම් හැදුණේ නෑ. ඒක තමයි පුදුමේ. අනෙක තමයි මගේ පෝන් එක කැඩුණ නිසා දවස් ගණක් යනකල් ජූඞ් අයියාට මටවත් මට ජූඞ් අයියාටවත් කතා කරන්න බැරි වුණා.’

තවත් මෙහෙවරක්

ගංවතුරට කොටුවුවන් බේරාගැනීමෙන් පමණක් අෂ්රෆ්ගේ මෙහෙවර නිමක් නොවේ. ඔහු ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට ආධාර කිරීමේ වැඩසටහනක්ද දියත් කළේය. රුපියල් ලක්ෂ දහයකටත් වැඩි අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් රැස්කර ඒවා අනාථවූවන්ට බෙදා දුන්නේය. මෙය සිදු කර ඇත්තේ ඔවුන්ගේ මුහුණු පොතේ මිතුරු මිතුරියන් සංවිධානය වීමෙන් ය.

‘මගේ පේස් බුක් යාළුවෙක් ඉන්නවා හම්සා රහමන් කියලා. එයායි මමයි අනෙක් යාළුවොයි එකතු වෙලා මයික්ලීන් ශ්‍රී ලංකා කියලා සංවිධානයක් ගොඩනගාගෙන වෙබ් පිටුවක් ආරම්භ කළා. විවිධ ආයතන පුද්ගලයෝ අපිට උදව් කළා. මේ අවස්ථාවේ ඒ අයට ස්තුති කරන්න ඕනෑ. අපි වියළි ආහාර, කිරිපිටි, ඇඳුම්, කුඩා දරුවන්ගේ පැම්පස්, යට ඇඳුම්, බෙහෙත්, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය, ඉටිපන්දම්, වතුර බෝතල් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ වාගේ දෙවල් තමයි බෙදුවේ. එක්තරා කාන්තාවක් සිය ජීවන වෘත්තිය විදියට ඇඳුම් මැසීම කරගෙන ගිහින් තිබුණා. ඇගේ මැෂිම ගංවතුරට යටවෙලා තිබුණ හින්දා ඇය අපෙන් උදව් ඉල්ලුවා අපි එයාට මැෂිමක් අරගෙන දුන්නා.’

අෂ්රෆ් වෘත්තියෙන් ජංගම දුරකථන කාර්මික ශිල්පියෙක් වග කලින්ද කීවෙමු. ඒ නිසා ඔහු විශාල ධනයකට උරුමකම් කියන්නෙක් නොවේ. එහෙත් හිත ඇත්නම් පත කුඩාද යන්න සනාථ කරමින් අෂ්රෆ්ලා සිය යුතුකම ඉටුකළහ. මේ පිරිසට හම්සා රහමන්, අෂ්රෆ්, ෂහානා රහීම්, කවිතා, පද්මා, සුමහියාර්, කදිජා, විජිතා, මුෂ්රිෆා, සිසිල්, චාමර, හිෂාම්, ඩික්ෂාන්, සහාන්, සනා, අමාලි, හුදෙයිෆා, ප්‍රශාන්ත, උමේෂ්, හුදාස්, සහාන් ප්‍රියලාල් ඇතුළු තවත් අය සිටිති.
ඉතින් ඔවුනට පාට, වංශයක්, කුලයක්, ජාතියක් තිබේද? ඔව්. තිබේ. ඒ මිනිස් වංශය හා මනුස්සකම මිසක් අන් කවරේද?

 

 

 

 

3 Comments to “ගංවතුරෙදි පිහිටවුණු මුස්ලිම් යාළුවා!

  1. minihekuta karadarayakadi pihitawena utum manussakama gana kiwata kamak naha ohuge agama jatiya deshapalane kiyana dewal halin wadak naha

  2. මේ පුද්ගලයව මම අදුරනවා! මොහු PC House අයතනයේ කලක් වැඩකරලා තියෙනවා. වරදක් කියන්ඩ බෑ හරියට පොඩි එකෙක් වගේ තමයි ඇසිරිම. හිත හොද ඵල කොල්ලා. පඩ ෂෝ නැතුවමත් නොවෙයි ඒත් වැඩකාරයා.

Comments are closed.