සෑම අවස්ථාවකදීම අපේ රටේ මුස්ලිම් ජනතාව එක්සත් බව නඟා සිටුවීමට කටයුතු කළා! අගමැති රනිල්

Ranil Wickramasinghe, රනිල් වික්‍රමසිංහ

සෑම රටක්ම ආගමික සහජීවනය ප්‍රවර්ධනය කර ගනිමින් ගැටලු නිරාකරණය කර ගැනීමේ දී එය උපකාර කර ගත යුතු බවද, අවාසනාවට සමහර දේශපාලඥයින් අවශ්‍ය ඡන්ද ලබා ගැනිමට ආගම්වාදය එක් මාර්ගයක් කර ගෙන තිබෙන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය. සෑම අවස්ථාවකදීම අපේ රටේ මුස්ලිම් ජනතාව එක්සත් බව නඟා සිටුවීමට කටයුතු කළා. අප එකට වැඩ කළා. එකි‍නෙකාගේ විශේෂතා හඳුනා ගත්තා යැ‍යිද අගමැති වික්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය ලෝක ඉස්ලාමිය ලීගය සමඟ එක්ව මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. ‘මුස්ලිම්වරු සහ සහජීවනයේ අනාගතය’ යන තේමාවෙන් පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවේ සමාරම්භක උත්සවය අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවැත්වුණු අතර අද (12) ක්‍රිඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි සමුළුව පැවැත්වේ. මෙම සමුළුවට මැද පෙරදිග මුස්ලිම් රටවල් සහ ආසියානු රටවල්වල නියෝජිතයෝ සහභාගි වෙති.

ශ්‍රි ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහමඩ් මහතා පිළිගැනීමේ කථාව කළේය. අගමැති වික්‍රමසිංහ මහතා එහි දී මෙසේද කීය. ලෝක මුස්ලිම් ලීගයේ ශ්‍රි ලංකා මුස්ලිම් මධ්‍යස්ථානය සමඟ මගේ දීර්ඝ කාලයක සිට සම්බන්ධතා තිබෙනවා. හිටපු කතානායක එම්.එච්. මොහමඩ් මහතා මේ ලීගයේ ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට ගත් උත්සාහය පිළිබඳ මෙහිදි සිහිපත් කළ යුතුයි. ඒ සඳහා ඔහු සියයට සියයක් නොව සියයට දෙසීයක්ම කැපවුණු බව කිව යුතුයි. ඔහුගෙන් පසුව ඔහුගේ පුතා ඊට සම්බන්ධ වෙමින් මුස්ලිම් ජනතාවට මෙන්ම අනෙකුත් ජනතාවටද වැදගත් සේවාවක් ලබා දෙනවා.

ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම් සමඟ කථා කිරීමේ දී මෙම සංවිධානයෙන් සිදු කෙරෙන සේවාවන් මා සමඟ සඳහන් කළා. මෙහි මුස්ලිම් ජනතාවට එය පැහැදිලි කිරීමේ අවශ්‍යතාව ඔහු දැක්වූවා. ඉස්ලාම් දහම මහම්මද්තුමාගේ දර්ශනය අනුව මුළු ලොවම පිළිගන්නවා. අප ජිවිතය ගත කළ යුත්තේ කෙසේද කියා පහදා දෙන ඉස්ලාම් ආගම පමණක් නොව බුදු දහම, කිතුණු, හින්දු, ජෛන, සික් වැනි විවිධ කාලවල විවිධ පසුබිම්වල දී පහළවූ ධර්මයන් අතර සමානකම් දක්නට ලැබෙනවා. ජේසුතුමන් උපන් බෙත්ලෙහෙම, මොහම්මද්තුමා උපන් අරාබිය මෙන්ම ඉන්දියාව තුළද එකම පසුබිමක් දක්නට ලැබුණා. අප ජීවත් වෙන්නේ 21 වැනි ශතවර්ෂයේයි. වර්තමානයට ගැලපෙන සේ අප ජීවත් විය යුතුයි. කාලයෙන් කා‍ලයට සමහර ආගම්වල අන්තයට යන පිරිස් හමු වෙනවා. අපේ රටත් එවැනි අන්තවාදින් දක්නට ලැබෙනවා.

අද සමාජ මාධ්‍යතුළදි සම්බන්ධතා පැවැත්විම සරල දෙයක් බවට පත් වී තිබෙනවා. ඉස්ලාම් සමාජයේ අන්තවාදයට ගොස් ආයුධ සන්නද්ධව සිටින සීමිත පිරිසක් දක්නට ලැබෙනවා. ප්‍රථම වරට මුස්ලිම් ආගමේත්, අනෙක් ආගම්වලත් අහිංසක ජනතාව ආරක්ෂා කර ගැනිමට ක්‍රියාදාමයන් ගනිමින් සිටිනවා. අනෙක් අතට ආරක්ෂා කිරීමෙන් පමණක් මේ සඳහා විසඳුමක් ලබා ගැනිමට හැකියාවක් නැහැ. බුද්ධිමය ක්‍රියාදාමයක් තුළින් මුලික ගැටලු අවබෝධ කර ගත යුතු අතර අවශ්‍ය විසඳුම් ගෙන ඒමට කටයුතු කළ යුතුයි.

ගැටලුවල අතීතයට යනවා නම් ශත වර්ෂයක් පමණ පසු පසට යා යුතුයි. එය පළමු වැනි ලෝක යුද්ධය දක්වා පැතිර යනවා. දෙවැනිව යුරෝපයේ ප්‍රතිචාර දැක්වු ක්‍රමයයි. මේ ගැටලුව පැන නැගුණේ එතැනිනුයි. ඔම්ලට් එකක් හැදූ පසු එය නැවත බිත්තරයක් බවට පත් කළ නොහැකියි. නමුත් ඔබට විශේෂයෙන්ම මැද පෙරදිග සමානාත්මතාවයෙන් එක්ව ජීවත් වීම ගැන සිතිය හැකිය. එම හැඟීම අසාධාරණ ලෙස අරාබි ලොව තුළ සමහර මුස්ලිම්වරුන්ට මෙන්ම ලොව පුරා සමහර මුස්ලිම්වරුන්ට බලපෑවා. එම හැඟීම් ප්‍රකාශයට ඔවුන් තමුන්ගේම ක්‍රම භාවිත කළා. ඒ පිළිබඳ ජාත්‍යන්තර මිම්මක් නිර්මාණය කරනු ලැබුවා. එය ඇත්තෙන්ම විවිධ අයුරින් වැරදි ලෙස අර්ථ කථනය කරනු ලැබුණා.

ඉස්ලාම් ආගම ගැනද වෙනත් අර්ථ කථන දිය හැකියි. සමහර ජනතාව ඒවා අනුගමනය කරනවා. ඒවා ගැන කථා කරනවා. දෙවනුව අද සමාජ, ආර්ථික, දේශපාලන දියුණුව ජනතාවගේ ක්‍රියාකාරිත්වය මත පවතින අතර මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය අනවශ්‍ය නම් වෙනත් මාර්ග එළියට එනවා. මේ රාමුවක් තුළ කටයුතු කිරීමෙන් ගැටලුවලට විසඳුම් දිනකින් හෝ වසරකින් සිදු කළ නොහැකි බව කිව යුතුයි. මෙහිදි එක් ගැටලුවක් පමණක් සැලකිල්ලට ගෙන අවසන් යැයි සිතිය නොහැකිය.

මෙහිදි අපට උදව් කර ගත හැක්කේ ආගමික සහජීවනයයි. සෑම රටක්ම ආගමික සහජීවනය ප්‍රවර්ධනය කළ යුතුයි. අවාසනාවට සමහර රටවල දේශපාලන ක්‍රියාදාමයක් ලෙසත් රටේ ජනාධිපති වීමට අවශ්‍ය ඡන්ද ලබා ගැනිමටත් ආගම්වාදය එක් මාර්ගයක් කර ගෙන තිබෙනවා.

එහෙත් බොහෝ ලෝක නායකයින් එසේ කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ජනතාව බහුතරය සිංහල වන අතර බෞද්ධ හෝ ක්‍රිස්තියානි හෝ ද්‍රවිඩ සහ මුස්ලිම් සියලු දෙනාගෙන් බහුතරයක් ජාතික එක්සත් බව වෙනුවෙන් ඡන්දය ලබා දුන්නා. 2015 ජනවාරි 08 දා පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් පත් කරනු ලැබුවා. මා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය වැඩිම ඡන්ද සංඛ්‍යාවක් පවතින විශාලතම පක්ෂයයි. සෑම ජන සමාජයකම සාමාජිකයින් අපට සහය ලබා දෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් වුයේ ඇයි? අපට අවශ්‍ය වුයේ එක්සත් බවයි. අප සියලු දෙනාම එකට වැඩ කළ යුතුයි.

ආගම් අතර විශාල ගැටලු නැහැ. බෞද්ධ, කිතුණු, හින්දු, මුස්ලිම් ජනතාව අතර සාමාන්‍ය ගැටලු තිබිය හැකියි. සාමාන්‍යයේන් ජිවත් වීමේදි ගැටලු ඇති වුවත් විශාල ගැටලු නැහැ. ‍අපේ රටේ ජනතාව සමානත්මතාවයෙන් ජිවත් වෙනවා. එකිනෙකාට උදව් කරනවා. දුෂ්කර අවස්ථාවල දී මුස්ලිම් ජනතාව විශාල වශයෙන් සහයෝගය ලබා දීමට ඉදිරිපත් වෙනවා. මුස්ලිම් නොවන අයත් ඉෆ්තාර් උත්සවය සැමරීමට එක් වෙනවා.

අපේ රටේ වසර 30 ක යුද්ධයක් තිබුණා. එය වර්ගවාදි යුද්ධයක්. සෑම අවස්ථාවකදීම අපේ රටේ මුස්ලිම් ජනතාව එක්සත් බව නගා සිටුවීමට කටයුතු කළා. අප එකට වැඩ කළා . එකි‍නෙකාගේ විශේෂතා හඳුනා ගත්තා.

මෛත්‍රිපාල සි‍රිසේන මහතාගේ නායකත්වය යටතේ අද අප ජාතික ආණ්ඩුවක් සාදා තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙකම එයට එක් වී‍ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හැරුණු විට තවත් කුඩා පක්ෂ එකතු වී සිටිනවා. මුස්ලිම් පක්ෂ, කොමියුනිස්ට් පක්ෂය එක් වි තිබෙනවා. අපට විරුද්ධ පක්ෂයකුත් සිටිනවා. අපි ඉදිරියට ගමන් කරන්නේ ශ්‍රි ලාංකිකයින් වශයෙන්.

අප සහජීවනය නඟා සිටුවීමට සහ ජාතික එක්සත් බව ශක්තිමත් කිරිමට එක්ව කටයුතු කරනවා. ක්‍රිකට් තරග පැවැත්වෙද්දී කිසිම ජාතියක්, ආගමක්, කුලයක් සැලකෙන්නේ නැහැ. ජයග්‍රහණයේදීත් පරාජයේදීත් රටක් වශයෙන් එක්වන අවස්ථාවන් ගැන අපි අතිශයින් ආඩම්බර වෙනවා.

සියලු ආගම් සමඟ එක්ව කටයුතු කිරීමේ ඓතිහාසික සංස්කෘතික සම්ප්‍රදායක් අප සතුව තිබෙනවා. අප එක් වුයේ ජාතික එක්සත් බව වෙනුවෙන්. අප සමඟ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ජනාධිපතිතුමා සමඟ එක් වී සිටිනවා. අප සියලු දෙනාම කැපවී ඇත්තේ ජාතියේ එක්සත් බව වෙනුවෙනුයි. මේ වසරේ නොවැම්බරයේදි ඉස්ලාම් ආගමේ අනාගතය ගැන සමුළුවක් පැවැත්වෙනවා. දකුණු ආසියාව සහ අග්නි දිග ආසියාවේ ආගම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සාර්ථක සමුළුවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. දේශපාලන ක්‍රියාවළිය තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙරට මුස්ලිම් ජාතිකයින් හොඳාකාරවම දන්නවා. ඔවුන්ට පාර්ලිමේන්තු නියෝජනය ලැබි තිබෙන ප්‍රදේශ හා නොලැබුණු ප්‍රදේශත් තිබෙනවා. ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පුරුව, බංග්ලාදේශය සහ පකිස්ථානය සියලුම රටවල මෙයට සමානයි.

අප මේ සම්මේලනය මඟින් ලෝකයේ අනිත් පාර්ශ්වයන්ට කුමන මාර්ගයක් ප්‍රයෝජනවත් වේද යන්න ඉගෙන ගැනිමට බලාපොරොත්තු වෙනවා යැයිද අගමැතිවරයා කිය.

ජාතික ඒකාබද්ධතා සහ සංහිදියා රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සමුළුවට සුබ පැතුම් එක් කළා. මෙම සමුළුව සංවිධානය කරන ලෝක ඉස්ලාමිය ලීගය පිළිගත් ලොව පුරා පැතිර ගිය සංවිධානයක්. මෙය අප රටටද සේවය සළසනවා. ලෝකයේ රටවල් ගණනාවක උගතුන් සහ බුද්ධිමතුන් මෙම සමුළුවට සහභාගි වෙනවා. අන්තර්ජාතික වශයෙන් සහජීවනයට එල්ලවන තර්ජනවලට විසඳුම් සෙවීමට මෙම සමුළුව මගින් හැකි වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම් අබ්දුල්ලා බින් අබ්දුල්ලා මොෂින් අල් ටර්කි මහතා ද සභාව ඇමතීය.

මහා සංඝරත්නය, සර්ව ආගමික පුජකයින්, තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්. එච්.ඒ‍. හලීම්, කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.