කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 6 වන කොටස අල් කුර්ආන් 47: 4 වන පදය!

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 6 වන කොටස අල් කුර්ආන් 47: 4 වන පදය!

ඔබ මේ පැමිණ සිටින්නේ ශුද්ධවු අල් කුර්ආනයේ පද විකෘති කරමින් ඇතැම් මුස්ලිම් විරෝධීන් ගෙන එන්නාවු වැරදි අර්ථකතනයන්ට පිළිතුරු දෙන ලිපි මාලාවේ 6 වැනි කොටසටයි. එක් ඉස්ලාම් විරෝධී වෙබ්අඩවියක අල් කුර්ආන් 47: 4 වැනි වැකිය සඳහන් කොට තිබුනේ පහත සඳහන් ආකාරයටය.

“මේකෙන් කියන්නේයුද්ධයේදි අන්‍යාගමිකයන් හමු වුණොත් ඔවුන්ගේ හිස ගසා දැමිය යුතු බව. ඒවිදියට නැතිව ජීවග්‍රහයෙන් අල්ලා ගත්තොත් “රැන්සම්” එකක එහෙම නැත්නම්කප්පම් මුදලක් ලබා ගන්නත් පුළුවන්.”

ඉහත කොටස ඉදිරිපත් කරමින් ඉතා අපවාදාත්මක හා ආක්‍රෝශකාරී අයුරින් දක්වා තිබු අදහස් මෙහි ඉදිරිපත් කරන්නට අදහස් නොකළෙමු. පළමුව මෙම වැකියේ නිවැරදි පරිවර්තනය වෙත අවධානය යොමු කරමු.

“එබැවින් (නුඹලාට එරෙහිව යුද කරන්නා වූ) ප්‍රතික්ෂේප කළවුන් ව නුඹලා (යුද පිටියේ හි) හමුවුයේ නම් නුඹලා ඔවුන් ව යටපත් කර ගන්නා තුරු (ඔවුන්ගේ) බෙලි ගසා දමවු. පසුව (ඔවුන්ට ගිවිසුම්) බන්ධනය පනවවු. යුද්ධය (කරන්නා වූ සතුරන්) තමන්ගේ ආයුධ බිම හෙලන තුරු (යුද කරවූ). පසුව කාරුණිකත්වයක් වශයෙන් (වන්දි අයකිරීමකින් තොරව) හෝ (වන්දි) අය කිරීමක් වශයෙන් (ඔවුන් ව නිදහස් කරවු). මෙය (අල්ලාහ්ගේ විධානයයි). අල්ලාහ් අභිමත කළේ නම් (යුද්ධයෙන් තොරව) ඔවුන්ගෙන් පළි ගැනීමට තිබුණි. එනමුත් ඔහු (නුඹලාට යුද කිරීමට අණ කළේ) නුඹලාගෙන් සමහරුන් ව තවත් සමහරු මගින් පරීක්ෂා කිරීම පිණිසය. තව ද කවුරුන් අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ ද ඔවුන්ගේ යහකම් ඔහු නිෂ්ඵල නොකරන්නේමය”. (අල් කුර්ආන් 47:4)

පසුබිම

අල් කුර්ආන් විග්‍රහක විද්වතුන්ගේ මතය අනුව මෙම අල් කුර්ආන් පරිච්ඡේදය පහළ වුයේ මදීනා හි දීය. මුහම්මද් තුමාණන් හා මුස්ලිම්වරුන් මක්කාවේ සිටි ඉස්ලාම් විරෝධීන්ගේ භීෂණය හා අපරාධ දරා ගැනීමට නොහැකි ව මදීනා නගරයට දේශාන්තරය කළායින් පසු ඔවුන් විසින් මදීනා නගරය ආක්‍රමණය කිරීමට හමුදා මෙහෙයුමක් සිදු කළ අතර දෙපාර්ශවය මදීනා නගරය අසල පිහිටි බද්ර් යන ස්ථානයේ දී හමුවුහ.  මෙම පරිච්ඡේදයේ අඩංගු සටන් පිළිබඳ වැකි මදීනා නගරය අසල පිහිටි බද්ර් හි දී සිදු වූ යුද ගැටුම හා සම්බන්ධ ය. (තන්වීර් අල් මික්බාස් මින් තෆ්සීර් ඉබ්නු අබ්බාස්, තෆ්සීර් ඉබ්නු කතීර් සහ තහ්ෆීම් අල් කුර්ආන්).

ඉහත වැකියේ සන්දර්භය හා විග්‍රහය වෙත අපගේ අවධානය යොමු කරමු.

47:1“ප්‍රතික්ෂේප කළවුන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයින් ව) වළක්වන්නන්, ඔවුන්ගේ (යහ) ක්‍රියාවන් ඔහු (අල්ලාහ්) නිෂ්ඵල කළේය”

විග්‍රහය: මුහම්මද් තුමාණන්ගේ ජීවිත කාලය තුළ ඉස්ලාම් විරෝධීන් විසින් ජනයා ඉස්ලාමය පිළිගැනීමෙන්  වැලැක්වීමට කටයුතු කරන ලදී. ඉස්ලාමය පිළිගැනීමෙන් ජනයා වැලැක්වීම සඳහා ඔවුන් විවිධ උපක්‍රම උපයෝගී කරගත්හ. පළමුව, බලපෑම් කිරීමෙන් වළක්වා ගැනීම. දෙවනුව, හිංසනයට ලක් කොට වධහිංසා පැමිණවීම හා  භීෂණය මුදා හැරීම ආදියෙන් දහම පිළිපැදීමෙන් වැලැක්වීම. මෙම ක්‍රියා මගින් ඉස්ලාමය පිළිබඳ පැහැදීමක් ඇතිකර ගත් පිරිසගේ සිත්සතන් හි ද බියක් ඇති කිරීමෙන් ඔවුන් ව  ඉස්ලාමය පිළිගැනීමෙන් වැලැක්වීමට කටයුතු කරන ලදී. තෙවනුව, දහමේ ඉගැන්වීම් විකෘති කොට ඉදිරිපත් කිරීම හා දහම පිළිබඳ ද්වේෂසහගත අයුරින් අසත්‍යය තොරතුරු ප්‍රචාරය කිරීම මගින් අලුතින් දහම වැළඳ ගැත්තන්ගේ සිත් තුළ ව්‍යාකුලත්වයක් ඇති කිරීම හා දහම පිළිගැනීමට සුදානමින් සිටින්නන්ට දහම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමෙන් වළක්වාලීම මෙම ඉස්ලාමී විරෝධීන්ගේ උපක්‍රමය විය. මෙවන් ක්‍රියාවන් හේතුවෙන් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ යහ ක්‍රියාවන් ද මහාකාරුණික දෙවිඳුන් විසින් නිෂ්ඵල කරන ලදී.

47:2“විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් හා මුහම්මද් (තුමාණන්) වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය බව විශ්වාස කළවුන්, ඔහු ඔවුන්ගේ වරදින් මුදවා තව ද ඔවුන්ගේ තත්ත්වය යහපත් කරන්නේය”.

විග්‍රහය: ඉස්ලාමය පිළිගෙන යහ ක්‍රියාවන්හි යෙදෙන්නන්ගේ පෙර වැරදිවලින් ඔවුන්ව මුදවා ඔවුන්ගේ යහකම ශක්තිමත් කිරීමට දෙවිඳුන්ගේ ආශිර්වාදය ඇති බව මෙයින් අදහස් කෙරේ. පුර්ව ඉස්ලාමීය යුගයේ අලුතින් ඉස්ලාමය වැළඳ ගැත්තන් විසින් එම නොදැනුවත්කමේ කාලයේ කරන්නට ඇති වැරදි පිළිබඳ දෙවිඳුන්ගේ ක්‍ෂමාව ද මෙයින් අදහස් කෙරේ. ඉස්ලාමයට පෙර එම නොදැනුවත් යුගයේ ඔවුන්ගේ සිත්සතන් බොහෝවිට පිරීගොස් තිබු පාපයට නැඹුරු වූ සිතුවිලි හා ක්‍රියාවන් ඉවත් කොට ඉස්ලාමය වැළඳ ගැනීමත් සමග සාරධර්ම සපිරි යහ ජීවන පිළිවෙතක් වෙත ඔවුන් ව නැඹුරු කිරීම ද මෙයින් අදහස් වේ. ඉස්ලාමය වැළඳ ගත් ආරම්භක පිරිස ඉතා දුබල හා පීඩාකාරී තත්ත්වයක පසුවූහ. එම තත්ත්වය වෙනස් කොට නිදහස් හා ස්වාධීන යහ සමුහයක් ලෙස ඔවුන් ව පත් කිරීම ද මෙයින් අදහස් වේ.

47:3“එය සැබැවින් ම ප්‍රතික්ෂේප කළවුන් අසත්‍යය අනුගමනය කළ හේතුවෙන් ද විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය අනුගමනය කළ හේතුවෙන් ද වේ. එලෙසය අල්ලාහ් ජනයාට ඔවුන්ගේ තත්ත්වය උපමා කරනුයේ”.

විග්‍රහය: දෙපාර්ශවයේ ස්ථාවරයේ පදනම මෙමගින් පැහැදිළි ව දක්වා ඇත. එක් පාර්ශවයක් මිථ්‍යාව හා ව්‍යාජත්වය අනුගමනය කිරීමටත් අනිත් පාර්ශවය සත්‍යය පිළිගැනීමටත් සාරධර්ම සපිරි ජීවිතයක් ගතකරන්නටත් කැපවී සිටි හෙයින් ඔවුන් පිළිබඳ තත්ත්වයන් මෙමගින් පැහැදිළි කෙරේ.

47:4“එබැවින් (නුඹලාට එරෙහිව යුද කරන්නා වූ) ප්‍රතික්ෂේප කළවුන් ව නුඹලා (යුද පිටියේ හි) හමුවුයේ නම් නුඹලා ඔවුන් ව යටපත් කර ගන්නා තුරු (ඔවුන්ගේ) බෙලි ගසා දමවු. පසුව (ඔවුන්ට ගිවිසුම්) බන්ධනය පනවවු. යුද්ධය (කරන්නා වූ සතුරන්) තමන්ගේ ආයුධ බිම හෙලන තුරු (යුද කරවූ). පසුව කාරුණිකත්වයක් වශයෙන් (වන්දි අයකිරීමකින් තොරව) හෝ (වන්දි) අය කිරීමක් වශයෙන් (ඔවුන් ව නිදහස් කරවු). මෙය (අල්ලාහ්ගේ විධානයයි). අල්ලාහ් අභිමත කළේ නම් (යුද්ධයෙන් තොරව) ඔවුන්ගෙන් පළි ගැනීමට තිබුණි. එනමුත් ඔහු (නුඹලාට යුද කිරීමට අණ කළේ) නුඹලාගෙන් සමහරුන් ව තවත් සමහරු මගින් පරීක්ෂා කිරීම පිණිසය. තව ද කවුරුන් අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ ද ඔවුන්ගේ යහකම් ඔහු නිෂ්ඵල නොකරන්නේමය”.

විග්‍රහය: මුහම්මද් තුමාණන් සහ ආරම්භක මුස්ලිම් ප්‍රජාව මක්කා නගරයේ ඉස්ලාම් විරෝධීන්ගේ හිංසනයන් හා භීෂණයන් ඉවසා දරා ගැනීමට නොහැකි ව මදීනා නගරයට දෙශාන්තරණය කිරීමෙන් පසුව ද ඉස්ලාම් විරෝධීන් තමන්ගේ සාපරාධී ක්‍රියාවන් නතරකර නොගත් හ. මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ සිට හතරවන වැකිය දක්වා විග්‍රහ වන්නේමක්කාහ් ඉස්ලාම් විරෝධීන් විසින් ඉතා හොඳින් සන්නද්ධ වූ දහසකට අධික පිරිසකගෙන් යුත් හමුදා මෙහෙයුමක් මුස්ලිම් ප්‍රජාව විනාශ කිරීම පිණිස මදීනා නගරය වෙත සිදු කළ අවස්ථාවේ මදීනා නගරය අසල පිහිටි බද්ර් නම් ස්ථානයේ දී දෙපිරිස හමුවීමෙන් පසු ඇති වූ ඓතිහාසික යුද්ධය පිළිබඳවය. මෙම ගැටුම පිළිබඳ සඳහනක් අල් කුර්ආන් 8 වන පරිච්ඡේදයේ විග්‍රහ වේ. අල් කුර්ආන් 3:13 හි සඳහන් වන්නේ ද මෙම ගැටුම සම්බන්ධවය.

ඉස්ලාමය හා මදීනා නගරය ආරක්ෂා කරන්නට මුස්ලිම් සොල්දාදුවන් සිටියේ 313 පමණි. ඉස්ලාම් විරෝධී සටන් කරුවන් 1000 කට අධික වූ අතර ඔවුන් මනා ලෙස සන්නද්ධ වී සිටියහ. ඓතිහාසික තොරතුරු අනුව පහත සඳහන් සංඛ්‍යාලේඛන සටනේ ස්වභාවය මනාව විදහා දක්වයි. මුස්ලිම් පාර්ශවයේ ඔටුවන් 70, අශ්වයින් 2, ආයුධ 8, සන්නාහ ආරක්ෂක ඇඳුම්(යුද සැට්ටය)ඇඳි සටන් කරුවන් 6. ඉස්ලාම් විරෝධී පාර්ශවයේ ඔටුවන් 700, අශ්වයින් 300, පුර්ණ ලෙස සන්නද්ධ වූ හා සන්නාහ ඇඳුම් ඇඳි සටන් කරුවන් 600. මෙවන් අවාසි දායක ගැටුමක් මිනිසාගේ ව්‍යායාමයෙන් පමණක් ජයගත හැකි යැයි කිසිවෙකුත් නිගමනය කරනු ඇතැයි අපි විශ්වාස නොකරන්නෙමු. මෙම ගැටුමේ දී මුස්ලිම් පාර්ශවයෙන් 14ක් ජීවිතක්ෂයට පත්වූහ. ඉස්ලාම් විරෝධී පාර්ශවයෙන් 70ක් ජීවිතක්ෂයට පත් වූ අතර 70ක් අත්අඩංගුවට ගන්නා ලදී. ඉහත වැකියේ සියලු උපදෙස් මෙම සටනට අදාළ වූ ඒවා වන අතර මෙම උපදෙස් සැමදා සැමට සැමවිට අදාළ වැකි ලෙස උපුටා දක්වමින් ඉස්ලාමය පිළිබඳ පදනම් විරහිත බියක් ඇති කිරීමට කටයුතු කිරීම සත්‍යය වශයෙන් ම පිළිකුල් සහගතය. එම ඓතිහාසික සන්දර්භයට පමණක් සීමා වූ මෙම උපදෙස් පොදු උපදේශයන් නොවන බව බුද්ධිමත් ඕනෑම අයෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැකි බව අපගේ විශ්වාසයයි.

පහත සඳහන් අල් කුර්ආන් වැකි කෙරෙහි ද ඔබගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.

“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල් කුර්ආන් 16 : 90)

විශ්වාස වන්තයිනි, යුක්තිය ඉටුකරන්නන් වවු. නුඹලා කෙරෙහි හෝ දෙමාපියන් හා ඥාතීන් කෙරෙහි හෝ එරෙහි වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් වවු. ඔහු ධනවත් වුව ද දිළිඳු වුව ද අල්ලාහ් ඔවුන් දෙදෙනාට (රැකවරණය ලබා දීමට) සුදුසු වන්නේය. නුඹලා තීන්දු දීමේ දී මනෝ ඉච්ඡාව අනුගමනය නොකරවු. (ඔබ සාක්ෂි දීමේ දී සාක්ෂිය) වෙනස් කළේ නම් හෝ (සත්‍ය ස්ථාපිත කිරීමට) පිටුපාන්නේ නම් හෝ එවිට අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්ත වන්නේය” (අල් කුර්ආන් 4 : 135)

“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5 : 8)

“(නබිවරය) ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ වෙත නැඹුරු වවු. අල්ලාහ් වෙත සියල්ල භාර කරවු. සැබැවින්ම ඔහු සර්ව ශ්‍රාවකය, සර්ව ඥානීය”. (අල් කුර්ආන් 8 : 61)   

යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5 : 32)

කවරෙකු නුඹලා සමඟ යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවූ. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවූ. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන් ව ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2 : 190)   

“(නබිවරය) ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ වෙත නැඹුරු වවු. අල්ලාහ් වෙත සියල්ල භාර කරවු. සැබැවින්ම ඔහු සර්ව ශ්‍රාවකය, සර්ව ඥානීය”. (අල් කුර්ආන් 8 : 61)

දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හටද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් බැහැර නොකළවුන් හටද යහපත කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුකව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේය”. (අල් කුර්ආන් 60 : 8)

යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 33)  

සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18:29)

“(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.”  (අල් කුර්ආනය 7 : 199)

 

 

පෙර ලිපි

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 1වන කොටස අල් කුර්ආන් 2: 193

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 2 වන කොටස අල් කුර්ආන් 2: 216

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 3 වන කොටස අල් කුර්ආන් 5: 33

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 4 වන කොටස අල් කුර්ආන් 9: 5

කුර්ආනයට එරෙහි දුර්මත වලට පිළිතුරු 5 වන කොටස අල් කුර්ආන් 8: 65