වර්ගවාදී ප්‍රහාරයට ලක්වු මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ට යහපාලනයෙන් පල නොකියා පලා බෙදයි!

මැලේසියාවේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් ඉබ්‍රාහිම් අන්සාර් මහතාට එල්ලවු ප්‍රහාරය වර්ගවාදී එකක් යැයි අප කියන්නේ පහරදුන් අය සම්බන්ධව මත දෙකක් තිබෙන නිසයි. ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ ඔවුන් පැරණි කොටි බවයි. නමුත් රජය පවසන්නේ ඔවුන් තමිල්නාඩු දමිළ සංවිධානයකට අයත් මැලේසියානු ද්‍රවිඩ ජාතිකයන් බවයි. තත්වය කෙසේ වුවද මෙම ප්‍රහාරය වර්ගවාදී සහ ම්ලේච්ඡ එකකි.

මෙම ප්‍රහාරය සිදුවු අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය වහා මාධ්‍ය වෙත හෙළිකළේ මහකොමසාරිස්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාව ගුවන්තොටුපොල වෙත ගෙන ගිය අවස්ථාවේදී පහර කෑමට ලක්වු බවයි. නමුත් ඇත්ත කථාව නම් මහකොමසාරිස්වරයා ගුවන් තොටුපොල වෙත ගියේ යහපාලන රජයේ ඇමති කෙනෙකු වන දයා ගමගේ සහ නියෝජ්‍ය ඇමතිවරියක වන අනෝමා ගමගේ යුවල ගුවන්තොටුපොල වෙත ඇරලවීම පිණිසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාද ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ එම ගුවන් යානාවේම නිසා ඔහුවද මේ ගමනට එක්කරගෙන ඇත.

ඇත්තෙන්ම ඉබ්‍රාහීම් අන්සාර් මහතා මැලේසියාවේ මහකොමසාරිස් ධුරයට පත්වුයේ දේශපාලන පැරෂුට් පත්වීමක් ලෙස නොවේ. ඉබ්‍රාහිම් අන්සාර් මහතා ජනාධිපති ප්‍රේමදාස මහතාගේ පාලන කාලයේදී රාජතාන්ත්‍රික සේවයට බැඳී එම සේවය සම්බන්ධව නිසි හැදෑරීමක් කර අදාල විභාග සියල්ල සමත්වු ජේෂ්ඨ ශ්‍රී ලංකාවට සිටින ඉතාමත් ජේෂ්ඨ රාජතාන්ත්‍රික නිලධාරියෙකි. ඒ මහතා මැලේසියාවේ මහකොමසාරිස් ධුරයට පත්වීමට පෙර සවුදි අරාබියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සේවයේ යෙදී ඇති පලපුරුදු විදෙස් කටයුතු අමාත්‍යාංශ නිලධාරියෙකි. එමනිසා මෙවැනි සිද්ධියක් වු පසුව ඔහුව මහින්දවාදී ගොඩට දමා කටයුතු කිරීම ඉතාමත් අසාධාරණ ක්‍රියාවකි.

සිද්ධියෙන් පසුව මේ වන විට රජය විසින් ඉබ්‍රාහීම් අන්සාර් මහතාව නැවත රට වෙත කැඳවා ඇත. නමුත් අපවෙත ලැබී තිබෙන ආරංචි මාර්ග අනුව අන්සාර් මහතා විසින් නැවත ලංකාවෙ වෙනුවෙන් රාජතාන්ත්‍රික මෙහෙවරේ නොයෙදෙනු ඇත. ඒ මහතා මෙම සිද්ධියට අදාල පරීක්ෂණ අවසන් වනතෙක් මැලේසියාවේ නතර වී සිට තම සේවයෙන් විශ්‍රාම යාමට බලාපොරොත්තු වන බැව් අපවෙත වාර්තා වුණා. කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවී දින තුනක් ගතවෙන ඊයේ දිනය වෙනතෙක් අපේ රටේ ජනාධිපති, අගමැති හෝ විදේශ කටයුතු ඇමති ඔහු වෙත පුද්ගලිකව කථාකර මේ සම්බන්ධව විමසා හෝ කණගාටුව පලකර නොමැත. රට වෙනුවෙන් යම් සේවයක් කළ ඉබ්‍රාහිම් අන්සාර් මහතාට යහපාලන රජය විසින් පල නොකියා පලා බෙදීමක් කර ඇති බැව් දැන් ඔබටද වැටහෙනු ඇතැයි අප විශ්වාස කරමු.

 

 

 

2 Comments to “වර්ගවාදී ප්‍රහාරයට ලක්වු මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ට යහපාලනයෙන් පල නොකියා පලා බෙදයි!

Comments are closed.