වැඩිහිටි අප රැකදිය යුතු ළමුන්ගේ අයිතිවාසිකම්!

“අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔවුන්ය.” මෙවන් සාහිත්‍යමය නිර්වචනයකට පාත්‍ර වූ ‘ළමයා’ නිර්වචනයකට හසුකළ නොහැකි තරම් අගනා වස්තුවකි. 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරලම අදහස නම් “නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය” යන්නයි.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි. එසේ වුවද කාලයාගේ ඇවෑමෙන් සිදු වූ සදාචාරාත්මක පිරිහීම තුළ අද වන විට ළමුන්ගේ යහපැවැත්ම දෙමාපියන්ට ද, සමාජයට ද බරපතළ ගැටලුවක් බවට පත් වී ඇත. මෙවන් වූ සමාජ තත්ත්වයක් මත ළමා අපයෝජන, සියවස් ගණනාවක් පුරා රහසේ ව්‍යාප්ත වෙමින් පැවති උවදුරක් වුවද එය බරපතළ සමාජ පිළිලයක් බව හඳුනාගෙන ඊට එරෙහි වීමට තරම් අවධානයක් යොමු වූයේ මෑත දශක කිහිපයක සිටය.

ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න අතර ළමා අපචාර ප්‍රධාන තැනක් ගනී. ළමා අපචාර ශ්‍රී ලංකා සමාජයේ නිරන්තර සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. ළමා අපචාර යනු ළමයින් සඳහා සිතාමතා තමන් විසින් කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් වේ. එමෙන්ම ළමා අපහරණය, ළමා අපයෝජනය යනුවෙන් හැඳින්වෙන්නේ ළමයින්ට බලහත්කාරයෙන් හෝ ළමයින් පෙළඹවීම මඟින් ළමයින් ලවා කරවනු ලබන නීති විරෝධී ක්‍රියාකාරකම්ය.

අවදානම් තත්ත්වයක පසුවන ළමුන්ගේ ආරක්ෂාව පිණිස යම් යම් නෛතික තත්ත්වයන් ලෝකය පුරාම හඳුන්වා දෙමින් පවතී. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල විවිධ අපචාරයන් සඳහා ළමුන් යොදාගැනීම ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වීම් සුලභය. ඇතැම් ලේඛන පෙන්වා දෙන්නේ 1960 දී සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි ළමයින් සියයකගෙන් විසිදෙනකුම මිය ගියේ ඔවුන්ගේ විසිවන උපන් දිනයටත් පෙර බවය. ළමා මරණ, අධ්‍යාපන අහිමි කිරීම්, ලිංගික සුරාකෑම්, මෙහෙකාර වෘත්තීන්වල යොදා ගැනීම් ආදී ළමුන්ට එරෙහිව ඇති සෑම ක්‍රියාවකින්ම ඔවුන්ගේ අයිතීන් අහිමි වෙයි. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අනුව ප්‍රඥප්තියේ කාර්යන් සඳහා ළමයකු යන්නෙන් එම ළමයා අදාළ නීතිය යටතේ වයස අවුරුදූ 18 ට පෙර ඔහු වයස් සම්පූර්ණත්වයක් ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යයකුම අදහස් වේ.

ලංකාවේ නීතිය අනුව ළමයකු යන්නෙන් අදහස් කරන්නේ කුමන වයස් මට්ටමක අයත් කෙනෙක්ද යන්න පිළිබඳ යම් ව්‍යාකූලත්වයක් පැන නගී. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය තුළ වයස අවුරුදු 3, 8, 10, 12, 14, 16, 18 වශයෙන් ළමුන් වයස් මට්ටම් විවිධ අයුරින් දක්වා තිබීමයි. දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වන වගන්තිවල අවුරුදු 8, 10, 12, 14 හා 16, 18 යන වයස් මට්ටම්වල ළමයින් සම්බන්ධ අපරාධ පිළිබඳව හැඳින්වේ.

‘ළමයින් හා තරුණයන් පිළිබඳ පනතේ’ ළමයකු යනු වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයකු වන අතර ගැටවරයකු යනු වයස අවුරුදු 14 – 15 අතර ළමයකු වේ.

අදාල ආඥා පනත යටතේ ගැහැනු ළමයකු යන්නෙන් වයස අවුරුදු 16 ට අඩු ගැහැනු ළමයකු වේ.

‘කාන්තාවන්, තරුණයන් සහ ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ ආඥා පනත’ යටතේ ළමයකු යන්නෙන් වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයකු අදහස් වන අතර තරුණියෝ යන්නෙන් වයස අවුරුදු 14 සම්පූර්ණ වූද වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන් අදහස් වේ.

80 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාව තුළ ළමා කායික දණ්ඩනය වරදක් බවත්, 90 දශකයේ මුල් භාගයේ ළමා ලිංගික අපයෝජනය බරපතළ වරදක් බවටත් හඳුනා ගැනිණි. එතැන් සිට ළමා අපයෝජනවලින් සිදුවන කෙටි කාලීන මෙන්ම දිගු කාලීන අයහපත් බලපෑම් පිළිබඳව කටයුතු කිරීම පිණිසත් ළමුන්ට සිදුකරන විවිධාකාර ප්‍රචණ්ඩ ක්‍රියා සහ කෲරත්වයන්ට එරෙහිව පියවර ගැනීම සඳහාත් ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමඟ අත්වැල් බැඳගනු ලැබිණි. වර්තමාන සමාජයේ බරපතළ සමාජ උවදුරක්ව ඇති ළමා අපචාරයන් වැළැක්වීම සඳහා පෙර පැවති නීතිමය රාමුව කිසිසේත් ප්‍රමාණවත් නොවීය. මේ නිසා ළමුන් සම්බන්ධව සම්මත කරන ලද ඉතා වැදගත් මෑත කාලීන පනත් පිළිබඳව අවධානය යොමු කර ඇත.

1995 අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනත
මෙහි විශේෂත්වය වනුයේ ළමා අපචාර පිළිබඳ වැරදි සම්බන්ධයෙන් පැනවිය හැකි උපරිම දඬුවම පමණක් නොව අවම දඬුවම ද නියම කිරීමය. මෙම පනත මගින් අපරාධ වැරදි ලෙස නිර්වචනය කර ඇති දේ:

■ ළමයින් කෲර වධහිංසාවලට භාජනය කිරීම.
■ ළමයින්ගේ අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම.
■ ලිංගික අපචාරයන් සඳහා ළමුන් සැපයීම.
■ අසත්‍යය හෝ අශ්ලීල දර්ශනයකට හෝ ප්‍රකාශනයකට ළමයකු යොදා ගැනීම හෝ ඒ සඳහා අනුබල ලබා දීම.
■ එවැනි ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීම, විකිණීම බෙදා හැරීම හෝ ඒ සඳහා අනුබල දීම.

1998 අංක 27 දරන අධිකරණ (සංශෝධන) පනත
මෙම පනත මගින් ව්‍යවස්ථාපිත, ස්ත්‍රී දූෂණය හෙවත් වයස අවු 16ට අඩු ළමයකු දූෂණය කිරීම සම්බන්ධ නඩු කටයුතුවලදී ‘මූලික සාක්ෂි විභාගය’ යන අවශ්‍යතාවය ඉවත් කොට ඇත. මෙමගින් ළමා අතවර පිළිබඳ නඩු කඩිනම් කිරීමටත්, අතවරයකට ලක් වූ ළමයාට නැවත නැවත ස්වකීය සාක්ෂිය ඉදිරිපත් කිරීමේ කටුක අත්දැකීම් අවම කිරීමටත් හැකියාව ලැබී ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත, ළමා හා යෞවන ආඥා පනත, කාන්තාවන්, ළමුන් සහ ගැටවරයන් සේවයේ යෙදවීමේ පිළිබඳ පනත සහ ළමා සහ ගැටවර (හානිකර ප්‍රකාශන) පනත යන නීති කෙටුම්පත් ළමුන් සම්බන්ධව නීතිගත කරන ලද වැදගත් පනත් ලෙස හඳුන්වා දිය හැකිය. එසේම ළමා අපයෝජනය හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීමට 1929 ලෙස හඳුන්වා දී ඇති කෙටි දුරකථන අංකයද ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් කඩකිරීම්වලදී ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගෙන ඇති සාධනීය පියවරකි.

කෙසේවතුදු ‘ළමා අයිතිවාසිකම්’ යන්න නීති පොතට පමණක් ලඝු වූ වචන සමූහයක්ද යන පැණය අප අපගෙන්ම විමසිය යුතු වද්දී, එපමණකින් නොසැනසී, ‘විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය’ වන ළමා පරපුර රැක ගැනීම අපගේ සමාජ වගකීමක් බවට පත් කර ගත යුතුය. ඒ තවත් ‘සේයා’ පරපුරක ඛේදවාචකයන් හමුවේ ඇස් දල්වා රූපවාහිනී ප්‍රවෘත්ති නරඹමින් සසල වීම පමණක් මනුෂ්‍යයන් ලෙස අපට නොවටිනා බැවිනි.

 

රුවිනි අයේෂා බියගම

සමබිම