තාජුඩීන් ගැන CIDය ශිරන්තිගෙන් සහ යෝෂිතගෙන් ප්‍රශ්න කිරීමට යයි!

තාජුඩීන්, ශිරන්ති, යෝෂිත, thajudeen, shiranthi, yoshitha

තාජුඩීන් ඝාතනයට යොදාගත්තේ යැයි සැක කෙරෙන රතු කුරුස සංවිධානය විසින් ‘සිරිලිය සවිය’ සංවිධානයට ලබා දුන් WP KA 0642 දරණ ඩිෆෙන්ඩර් රථයේ වර්ණ වෙනස් කර භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් හා දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරගෙන යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පසුගිය (14) දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දී තිබෙනවා.

‘සිරිලිය සවිය’ සංවිධානයේ කටයුතු සඳහා මෙම රථය සත්‍ය වශයෙන්ම යොදා ගත්තේ නම් අවස්තා දෙකකකදී එහි වර්ණය වෙනස් කිරීමට තිබූ අවශ්‍යතාවය කුමක්ද යන්න පිළිබඳව සැකයක් මතුවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

2015 ජනාධිපතිවරණයෙන් පසු ‘සිරිලිය සවිය’ සංවිධානයේ ප්‍රවාහන කළමනාකරු ජයන්ත කාරියවසම් මහතාගේ හබරකඩ පිහිටි නිවසේ වගකීමෙන් තොරව ගාල් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම රථය සිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කෙරිණ.

එම රථය එසේ තැබීම සම්බන්ධයෙන් ප්‍රබල සැකයක් මතු වන බැවින් මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

දැනට මෙම ඩිෆෙන්ඩර් රථය රතු කුරුස සංවිධානය වෙත ලක්ෂ 50ක බැඳුම්කරයක් මත මුදා හැර තිබෙන අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට නොවැම්බර් මස 11 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසියක්ද නිකුත් කර ඇත.

ෆීලික්ස් පෙරේරා මහතා සමාජසේවා ඇමතිව සිටි සමයේදී මෙම රථය රතු කුරුස සංවිධානයෙන් එම අමාත්‍යාංශය වෙත ලබාගෙන පසුව සිරිලිය සවිය සංවිධානය වෙත ලබා දී තිබුණි.