ලංකාවෙ බොහෝ කලාකරුවන් හිතනව මූළු සමාජයම ඔවුන්ට ණයයි, ඔවුන් කෙරෙහි අති විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා. ඒ සිතීමම වැඩවසම් – නාමල් ජයසිංහ

namal_jayasinghe, නාමල් ජයසිංහ

නාමල් ජයසිංහ සිය කලා රස්තියාදුවෙන් මිදුණේ සාලමන් ෆොන්සේකා හා සෝමලතා සුබසිංහගේ ශිල්ප ශාලිකා සෙවණේදී ය. ‘ඉර මැදියමේ’ යෞවන හමුදා සොල්දාදුවා විසින් විදහා පෑ රංගන ශික්‍ෂණයේ ඉතිහාස කතාව ලියැවෙන්නේ ඒ සමයේදී ය.

”මනුෂ්‍යයෙක් විදිහට මට මගේ ජීවිතයේ හැමදාම නොතිත් ආශාවන් තිබුණා කිසියම් පුරුෂාර්ථ සහිත මනුෂ්‍යයෙකු වීමට….. නමුත් බොහෝ අවස්ථාවල මට එතරම් යහපත් මනුෂ්‍යයකු වෙන්න බැරි වුණා” ඔහු ප්‍රත්‍යාවලෝකනයෙන් කියයි.

රංගවේදියෙකු මතු නොව, වේදිකා හා රූපවාහිනී නාට්‍ය පිටපත් රචනයෙහි ලා දිගු කලක් තිස්සේ කැපව සිටින ගත් නාමල් ජේඩීඑස් හා සමාලාපයකට එක් වූයේ සිය පළමු රූපවාහිනී අධ්‍යක්‍ෂණ කාර්යයට අවතීර්ණ වන්නට සූදානම් වන අතරවාරයේ ය.

සටහන: මංජුල වෙඩිවර්ධන


ම ප්‍රවේශයක් වශයෙන් ඔබෙන් මෙහෙම අහන්නම්. සමස්තයක් විදිහට ඔබ කලාව අර්ථ නිරූපනය කරන්නෙ කොහොමද? ඒ සන්දර්භය ඇතුළෙම කලාකරුවා කියන්නෙ කොහොම කෙනෙක්ද?

නාමල් ජයසිංහ: මට අනුව කලාව කියන්නෙ “සාමූහික සංවාදයකට”. තව සරල කරනවා නම්, මානව පරිණාමනයේ මුල සිටම මානව අත්දැකීම හා අත්විඳීම, දැනුමක් බවට පත් වෙලා තවත් කණ්ඩායමකට ගලා යාම නිසා තමයි පෘථිවිය මේ දැන් අප, අත්විඳිමින් සිටින “මානව ශිෂ්ටාචාරය” අත්පත්කරගෙන තිබෙන්නෙ. කලාව කියන්නෙ, දැනුම හා පරිකල්පනය මත පදනම්ව ශිෂ්ටාචාරයේ ස්වරූපය උල්ලංඝනය කිරීමට මැදිහත්වන සාමූහික සංවාදයකට.

කලාකරුවා කියන්නෙ, සිතීම, නැවත සිතීම, නැවත නැවතත් සිතීම හරහා ඒ සංවාදය අරඹන්න පළමු “සංඥාව”, පළමු “වචනය”, ඉස්සර කරන්නා. මම මේ කියන්නෙ ආචීරණ කල්පිත, පරිකල්පනය සහ නිර්මාණශීලීත්වය දෙවියන්ගෙන් ලද ආශීර්වාදයක් ලෙස අධි විනිශ්චයට ලක්කල කෙනා ගැන නම් නොවෙයි.
තවත් විදිහකින් කලාකරුවා කියන්නෙ තම සහ අනුන්ගේ අතිරික්ත ශ්‍රමයෙන් “විවේකය” අත්පත් කරගත් තැනැත්තා. ඔහු ඒ අන් “අතිරික්ත ශ්‍රම පරිභෝජනයේ” ප්‍රතිඵලය ලෙස චින්තනය ප්‍රති-නිශ්පාදනය කරනවා.

කලාකරුවා පිළිබඳ ඔබේ අර්ථකතනය ලංකාවට ගලප්පන්නෙ කොහොමද? ඔබ කියන කලාකරුවෝ ලංකාවේ ඉන්නවද?

‘වැඩවසම් කලාකරුවන්’

නාමල්: කලාව සජීවීව, සංවාදාත්මකව පවතින්නේ දියුණු නිෂ්පාදන ක්‍රියාවලියක් තියන භූමියක. මොකද කලාව පවතින්න විවේක සුවය අවශ්‍යයි. විවේක සුවය මානව ශිෂ්ටාචාරයේ නොමිලේ ලැබෙන්නේ නෑ. විවේකය උපයා ගැනීමක්. වෙන අර්ථයෙන් විවේකය කියන්නෙ අපේ අතිරික්ත ශ්‍රමයට. නමුත් පවතින ධනේශ්වර පැවැත්ම ඇතුළේ අපේ අතිරික්ත ශ්‍රමය පැහැර ගෙන තියෙන්නෙ. දවස් 30ක් වැඩ කලොත් දවස් 30ක් ජීවත් වෙන්න පුළුවන්. ඒක හරියට දෛනික කුලියට වැඩකරන කම්කරුවන්ගෙ ජීවන පැවැත්ම වගේ.

තවත් විදිහකට, ලංකාවේ කලාව හා කලාකාරයා වර නැගෙන ආකාරයට මම කැමති නෑ. කලාවේ නියැලීම තෝරාගැනීමක්. ඒක හරියට ගොවියෙක්, සපතේරුවෙක් වෙන්න කරන තෝරාගැනීම වගේ. දෙකෙහිම ප්‍රතිඵලය නිෂ්පාදනය. කලාව තුළ නම් චින්තන නිෂ්පාදනය. ලංකාවෙ බොහෝ කලාකරුවන් හිතනව මූළු සමාජයම ඔවුන්ට ණයයි, ඔවුන් කෙරෙහි අති විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා. ඒ සිතීමම වැඩවසම්.

එයින් ප්‍රතික්ෂේප වෙන්නෙ නෑ රාජ්‍ය, කලාව හා සංස්කෘතික ජීවිතය, මානව ප්‍රාග්ධනයක් ලෙස සලකා ආයෝජනයන් කළ යුතුයි කියන ස්ථාවරය. එය එලෙසම තිබියදී, මගේ අදහස කලාකරුවන් විශේෂ මිනිසුන් ලෙස අධිනිශ්චයකට ලක්කළ යුතු නෑ.

පවතින ධනේශ්වරය තුළ කලාකරුවන් කියා වෙනමම පිරිසක් නඩත්තු කරන්නෙ නෑ. දැන් එහි ස්වරූපය වෘත්තීය නිර්මාණකරුවන්. ඔවුන් චින්තන නිෂ්පාදනයන් කරනවා. ඉන් උපයා ගන්නවා. ව්‍යතිරේකයෙක් ලෙස සමාජයෙන් ආදරය හා ගෞරවය ලබනවා. එපමණයි. මේ කාර්තුවෙ කලාකරුවා සහ ගුරුකුල අවසන් වෙමින් යන්නෙ. දැන් මේ ඇහෙන්නෙ ඒ වැඩවසම් සිතීමේ අවසාන කෙඳිරිය.

කොහොම වුණත් ලංකාව තුළ තත්ත්වය බරපතල ලෙස තීරණාත්මකයි. අති බහුතරයකට නිර්මාණ සමඟ සජීවී සංවාදයකට එළබෙන්න විවේකයක් නැහැ. අති බහුතර නිර්මාණකරුවන්ට “කලාව පොදු මිනිසුන් වෙනුවෙන්ය” කියන සුභාවිත තැනක තබා වැඩ කිරීමට හෝ ඒ තුළින් සමාජය තුළ නිර්මාණය කරන සජීවී සංවාදයට විවේකය නෑ. මේ ධනේශ්වර තත්ත්වයට මුහුණ දීමට අපි තවම ලපටියි.

පියා කියන අදහස ඇතුළෙ එන ‘සංස්කෘතික පියා’ කියන සංකල්පය, ඔබ විසින් ලියූ ‘අප්පච්චි’ ටෙලි නාට්‍යයේ තිර රචනය හරහා සමාජගත කරන්න පුළුවන් යැයි ඔබට සිතුන බව ඔබ වරක් කියා තිබුණා. මට හිතෙන්නෙ මේක තරමක් උත්කර්ෂයට නැංවුණු රොමාන්තික ප්‍රකාශයක් බවයි. ඔබේ දියණිය ඉදිරියේ පරමාදර්ශී පියකු වීම පිළිබඳ ඔබතුළ ඇති ලාලසාව, සිහිනය තමයි ‘අප්පච්චි’ වුණේ කියල මං කිව්වොත් ඔබේ පිළිතුර මොකක්ද?

නාමල්: මනුෂ්‍යයෙක් විදිහට මට මගේ ජීවිතයේ හැමදාම නොතිත් ආශාවන් තිබුණා කිසියම් පුරුෂාර්ථ සහිත මනුෂ්‍යයෙකු වීමට. ඒක කලාවේ ආභාෂයන් හා සමාජ පැනවීම් මං බාර ගත්ත විදිහයි. මට හැම විටම හොඳ පෙම්වතකු, හොඳ සැමියෙකු, හොඳ අප්පච්චි කෙනෙකු වීමේ අවශ්‍යතාව තිබුණා. බොහෝ අවස්ථාවල මට එතරම් යහපත් මනුෂ්‍යයකු වෙන්න බැරි වුණා.  සාමාන්‍යයෙන් මිනිස්සු මෙතෙන්දි කරන්නෙ ඒ තත්ත්වය වහගන්න  ව්‍යාජ රඟපෑමකට යන එක.  නමුත් මම කළේ මට ළඟාවෙන්න බැරි වූ, නමුත් මං අත්පත් කරගන්න ආශාවෙන් සිටි  ‘පෙම්වතා, සැමියා, අප්පච්චි’ ආදී අප ජීවිතයේ විවිධ වකවානුවල රඟපාන චරිත,  පිටපත් ඇතුළෙ ප්‍රති නිර්මාණය කරපු එක.

මගේ දියණිය ලැබෙන්නත් කලින් තමයි ‘අප්පච්චි’ පිටපත ලියන්න ගත්තෙ. කාල් මාක්ස් තැනක කියනවා ‘දෙමව්පියන් තනන්නේ දරුවන් ය’ කියලා. රස්තියාදුකාර කොල්ලෙක්, පෙම්වතෙක් විදිහට හිටපු මම, එකවරම අප්පච්චි උනහම තමයි මට දැණුනෙ, අප්පච්චි වෙන්න තරම් මං ලඟ අප්පච්චිගෙ සංකේතීය සුදුසුකම් නෑ කියලා.

අන්තිමට වුණේ, ලියන්න පටන්ගත්ත අප්පච්චි නෙමෙයි අවසානයේ මගේ අතින් ලියවුණේ.  පිටපත ලියන්න වසර පහක කාලයක් ගතකරද්දි මමත් වෙනස් වුණා. කතා සංකල්පය දුන්නු ආනන්ද අබේනායක මහත්මයත් වෙනස් වුණා. කතන්දරයත් වෙනස් වුණා. ඒ නිසාම මට අනුව අප්පච්චි කතන්දරය අවසන් වනවිට රෝමාන්තික නෑ.

‘අප්පච්චි’ කතන්දරය තුළ ‘අප්පච්චි’ කියන චරිතය සංකල්පීයව අසමත්. පවතින සමාජ ඇගයීම් වලට අනුව ඔහු පරාජිතයි. ඔහු මියයන්නෙ සතුටින්ම නෙමෙයි. පශ්චාත්තාපයක බරත් අරගෙන. මං ‘අප්පච්චි’ ලියද්දි බොහොම සවිඥානිකව මට මගේ ජීවිතය තුළ අත්පත් කරගත නොහැකි වූ සංස්කෘතික ජීවිතය, පුරුෂාර්ථ, නිර්මාණය තුළ නැවත ගොඩනගන්න උත්සාහ කළා. මගේ නරුමකම් වලින්, මගේ දුබලතා වලින් ඔබ, ඒ කියන්නෙ ප්‍රේක්ෂකයා ලබන වාසියක් නෑ.  ඉතිං ඇයි මගේ අඳුර ඔබට දෙන්නේ? මට ඕන වුණේ, “මට අත්පත් කරගන්න බැරිවුණ සංස්කෘතික ජීවිතය ඔබට අත්පත් කරගත හැකියී” කියන යෝජනාව කරන්න.

මං හිතන්නෙ ඔබ ඔබේ රචනා හරහා රංගන ශිල්පීන්ට යෝජනා කරන ‘ඉනර් ඇක්ටින්’ ග්‍රහණය කරගන්නෙ ඒ කෘති වලට දායක වන ඉතාම අල්පතරයක්. සෙසු සියල්ලන්ම සිය චරිත ‘ඕවර්’ යනව කියන එකයි මගේ අදහස. මට අනුව, ‘අප්පච්චි’ චරිතය වුණත් මේ ඉරණමේම ගොදුරක්. මේක සිද්ධ වෙන්නෙ ඒ නිර්මාණ ප්‍රති-නිර්මාණය කර අධ්‍යක්ෂවරයා මෙන්ම නළු නිළියන් ඒවා ග්‍රහණය කරගන්නා ආකාරය නිසා.  මොකද්ද ඔබේ තර්කය?

නාමල්: පිටපත ලියා දුන්නට පස්සෙ මම ඉන්නෙ විචාරකයාගෙ තැන නෙමෙයි. ප්‍රේක්ෂකයාගෙ තැන. මගේ ප්‍රකාශනය අන් අතකට පත් වූ සැනින් අධ්‍යක්‍ෂකවරයා වේවා, නළුවා වේවා, එය ඔහුගේ ජීවිතය අනුව වර නැගෙන එක මගහැර යා නොහැකි සත්‍යයක්. සාමූහික සංවාදයක් ගොඩනැගෙන්නෙත් කලාවේ තිබෙන මෙම ගුණය නිසාම තමයි.

වෘත්තිකයෙක් විදිහට පිටතට නොපෙන්වන විවේචනයක් මා තුළත් තිබෙනවා.  ඒ “මම මේක කළොත් කොහොමද කරන්නෙ” කියන අදහස. මම එය කර පෙන්වන තුරු, විවේචනයක් විදිහට එහි ඇති ප්‍රතිඵලයක් නෑ.

මගේ පිටපත බොහෝ විට මම වගේ හෝ මං ළඟාවෙන්න ආස ජීවිතය වගේ. මම ස්වභාවයෙන්ම ඇතුළත ප්‍රචණ්ඩත්වය, නරුමකම් පිටතට නොපෙන්වන්නෙක්.

‘අප්පච්චි’ චරිතය පෙනුමට සාධු ගුණ තිබුණත්, අතීත අඳුරක් නැතිව එවන් ජීවිතයක් අත්පත් කරගන්න බෑ. මාර්ටින් වික්‍රමසිංහගේ ‘යුගාන්තයේ’ තිස්ස මෙහෙම කියනවා: “ඉතාම හොඳ අවංක හදවත් ඇත්තේ නරුමයන්ට පමණයි”

අභ්‍යන්තර රංගයට (Inner Acting) ප්‍රවේශය තියෙන්නෙම ජීවිතයේ මේ ද්විත්ව ස්වභාවය හඳුනා ගැනීම තුළ. ශාන්තුවරයා තුළ අතීත අඳුරකුත්, නරුමයා තුළ කරුණාවන්ත හදවතකුත් තිබූ බව අමතක කළහොත්, එය සාටෝප අධි රංගනයක් බවට පිටතට පෙනෙන එක වළක්වන්න බෑ.

‘ගුන්තර් ග්‍රාස් හා අතීත පරම්පරාවන්’

ඔබේ රචනාවක් ඔබම අධ්‍යක්ෂණය කිරීම තුළ කිසියම් විශාල සාධාරණයක් පිටපතට කරන්න පුළුවන් වෙයි කියල මා තුළත් අදහසක් තියනවා. ඔබ මොකද කියන්නෙ? ඔබ කවදද ඔබේ පිටපතකට අධ්‍යක්ෂකවරයකු ලෙස අත තියන්නෙ?

නාමල්: ඔව්. අධ්‍යක්ෂණය මම කිහිපවිටක් උත්සාහ කළ විෂයක්. මට අනුව ලැබූ අත්දැකීම හා ප්‍රතිඵලය නරකම නෑ. මේ දිනවල මමම අධ්‍යක්ෂණය කරන බලාපොරොත්තුවෙන් “සහෝදරයා” කියලා ටෙලි නාට්‍යය පිටපතක් ලියමින් ඉන්නවා. සැප්තැම්බර් මාසයේ රූගත කිරීම පටන් ගැනෙයි.

ඔබ සාමාන්‍යයෙන් ඔබට ලැබුණු සම්මාන රැස්වළලු විදිහට භාවිතා කරල නෑ. කොටින්ම ඔබ ඒව ගණන්ගන්න බවක් භාවිතයෙන් නම් පෙන්නලා නෑ. ඔබ වරක් කිව්ව ඔබට අභියෝගය තියෙන්න ඔබේ සම්මාන එක්ක නෙමෙයි, නිර්මාණ එක්ක කියලා. මේ අවධාරණය වඩා විග්‍රහාත්මකව සමාජයට කියන්නේ කොහොමද?

නාමල්: මම ජීවිතයට ඉඩදෙන්න පිටපත ලියද්දි මාව ලංකාවෙ රචකයෙක් විදිහට සළකුණු වෙලා තිබුනෙ නෑ. ආනන්ද අබේනායක මහත්තය තමයි, පළමු අවදානම ගත්තෙ. පළමු සම්මානය ලැබුනට පස්සෙ අපේ පුංචි දූපත ඇතුළෙ මාව රචකයෙක් විදිහට සලකුණු වුණා. සම්මානය රැස් වළල්ලක් කර නොගත්තට, ඒ සලකුණු වීම හරහා මට අත්වූ වාසි තියනවා. මට පිටපත් ලියන්න ඉල්ලුම ආවා. පිටපතේ ගුණත්වය හා මිළ අතර කේවල් කිරීමේ බලය ලැබුණා. ඊට පස්සෙත් ඒක එල්ලගෙන ඉන්න එක තේරුමක් නෑ.

අනිත් කාරණය, ලෝක මට්ටමේ නිර්මාණ හා සර්වකාලීන සාර්වත්‍රික බව වගේ කාරණා එක්ක බැලුවම මට මං ගැනම තක්සේරුවක් තියනවා. මගේ දැනට ලියූ පිටපත් කවදාවත් ඉතිහාසගත වෙන්නෙ නෑ. හේතුව ඒවා විශ්ව සාධාරණ නෑ. හැමවිටම ඒවා තත්කාලීන සමාජ විඥානයේ කැඩපතක් පමණයි.

ගුත්තර් ග්‍රාස් කිව්ව වගේ දරුණු ව්‍යාධිගත සිතුවිල්ලකින් නිතරම මාව පෙලනවා. “මම ලියන ලියන අකුරක් පාසා, එහි වැරදි නිවැරදි බව පිරික්සමින්, අතීත පරම්පරාවක් මගේ උරහිසට උඩින් එබිලා බලන් ඉන්නව කියල මට හිතෙනවා”. කළ යුත්තේ නැවතුණු තැනින් පටන් ගැනීම, එහෙම නැත්තං වත්ත සුද්ධ කරන එක කියල මම මටම කොන්දේසි පනවාගෙන තියනවා.

ඒ නිසාම මගේ කතන්දර හා චරිත ලංකාවෙ අන්තර්ගතයෙන් (context) ගලවල පිටතට ගත්තම, ඒවා ලෝකය ඇතුළෙදි වටින්නෙ නෑ. ඒ පිටපත් ලංකාවෙදි හොඳ වුණේ “පිරිසිදු වතුර නැති තැනක මඩ වතුරත් වටිනවා” කියන අර්ථයෙන්. මම මගේ සීමාන්තික බව දන්නවා. සම්මාන කියන්නෙ ඒ මොහොතේ නිර්ණය. ඉතින් කොහොමද සම්මාන රැස් වළල්ලක් කරගන්නෙ.

ඔබ කියනව ඔබේ ‘කලින් නිර්මාණය තමයි ඊ ළඟ නිර්මාණයට අභියෝගයක් වෙන්නෙ’ කියලා. මේක  රමනීය නිර්ව්‍යාජ ප්‍රකාශයක්. ඔබ හිතන්නෙ නිර්මාණ අනුක්‍රමිකව එකකට එක් වර්ධනීය විය යුතුයි කියලද? ඒකටම අදාළව ගත්තොත් ඔබ ලියූ “ජීවිතයට ඉඩදෙන්න”රචනාවට සාපේක්ෂව “තාරා”ව ඔබ තියන්නෙ කොතනද?

නාමල්: ඇත්තම කියනවා නම් ‘කලින් නිර්මාණය මගේ ඊලඟ නිර්මාණයට අභියෝගයක්ය’ කියන්නෙ හුදෙක් කාව්‍යෙක්තියක්. මම ඉන් අදහස් කළේ ඒ භෞතිකව කොලයට ගත් සංකල්පයම නෙමෙයි.

මට ඇත්තටම අභියෝගය තියෙන්නෙ එදා සිටි මම සහ අද සිටින ‘මම’ අතර. එදා සිටි මම ලියූ පිටපත කියන්නෙ මනුෂ්‍යයෙක් විදිහට මාව හෙලිකරන කැඩපතක්. මට අභියෝගය වෙන්නෙ, එදාට වඩා අද මට මනුෂ්‍යත්වය, මානවවාදී ජීවන විලාශයක් අත්පත් කරගන්න පුළුවන් වුණාද කියන එක.

අපේ දේශපාලන විශ්වාසයන්, දෘෂ්ටිවාදයන්, ආදරය, විරහව ගැන හිතන විදිහ නිරන්තරයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මගේ කුඩා කාලය ගෙවෙන්නෙ දමිළයන් සිහිවූ ගමන් ‘පර දෙමළා’ කියල බැනපු ආච්චිලා – සීයලා එක්ක. මම හිටියෙත් එතැන. මට මතකයි ’83දි අපේ ඉස්කෝලෙ හිටපු සම වයස් දමිල කොලු පැංචො දෙන්නෙකුට අපි සිංහල කොල්ලො එලව එලවා පහර දුන්න “දෙමළු මරපියව්” කියලා. අද මට ඒ සහෝදරවරු හමු වුනොත් දෑත් එක්කරල වැඳල සමාව ඉල්ලනවා.

මට ඇත්තටම අභියෝගයක් වන්නෙ වඩා දියුණු මනුෂ්‍යත්වයක් අත්පත් කර ගැනීම, එය වර්ධනය කර ගැනීම කියල මම තරයේ විශ්වාශ කරනවා. එහෙම ගත්තහම මට වඩා වැදගත් වෙන්නෙ “ජීවිතයට ඉඩ දෙන්න” පිටපතට සාපේක්ෂව “තාරා” පිටපත කොහොමද කියල දැනගන්නවට වඩා ඒ කාලෙ මගේ නිර්මාණයෙන් දෘශ්‍යමාන වූ මනුෂ්‍යත්වයට, ජීවිතයට සාපේක්ෂව අද මගෙන් පෙනෙන මනුෂ්‍යත්වය කොහොමද කියන එකයි. මම හිතනවා මම අද මනුෂ්‍යයෙක් විදිහට එදාට වඩා දියුණුයි කියලා.

‘සාලමන් හා සෝමලතා’

ඔබේ රචනාවන් ගැඹුරුතර වීමට බලපාන ප්‍රධානතම සාධකය විදිහට මං දකින්නෙ ඔබ ගැඹුරු රංගවේදියෙකු වීම. එමෙන්ම ඔබ ඒ ගැඹුර අලුත් පරම්පරාවන්වලට විද්‍යාත්මකව කියල දෙන්න දන්නවා. මට හිතෙනව ඒ ගැඹුරුකම ඇරඹෙන්නෙ ඔබ මුලින්ම ආචාර්ය සාලමන් ෆොන්සේකා වැන්නෙක්ගේ තාර්කිකත්වය ඇතුළෙ පණ පිහිටවපු හින්ද කියලා?

නාමල්: මම මුලින්ම කේෂ්ත්‍රයට එන්නෙ බොහොම ජනප්‍රියවාදි සිතුවිල්ලක් එක්ක. නළුවෙක් වෙන්න. ආචාර්ය සාලමන් ෆොන්සේකා ළඟ රඟපෑම හදාරන්න ගියෙත් ඒ අරමුණින්මයි. නමුත් ඔහුගෙන් ඉගැන්වීම හරහා මම තේරුම්ගත්තා රංගනය කියන්නෙ ශිල්පක්‍රමයක් (Technique) නෙමෙයි ජීවන විලාශයක් බව. ඔහු සුන්දර කරුණාවන්ත හදවතක් ඇති මනුෂ්‍යයෙක්.

කරුණාවන්ත හදවත ගැන කියන කොට ඒ සමඟ ළඟ සිට ගන්නා නිවුන් සහෝදරයා කවුද කියල ඔබ දැනටමත් දන්නවා. පසු කාලීනව මම, ඔහු ගුරුකරගත් රුසියානු ජාතික රංගවේදී ස්ටැනිස්ලොව්ස්කිගෙ, ‘ඉනර් ඇක්ටින්’ පිළිබඳ ස්වඅධ්‍යයනයක යෙදෙනවා. එහිදී තේරුම්ගන්න ලැබෙනවා එකී ජීවන විලාශය යනු දේශපාලන දෘෂ්ටියක පිළිබිඹුවක් බව.

නමුත් අපේ අවාසනාවට කෙටි කලකින් ආචාර්ය සාලමන් ෆොන්සේකා වියෝ වුණා. ඒ වෙනකොට මම පැහැදිළිවම රංගනය ගැන සිටියෙ පටලැවිල්ලක. ජීවන අත්දැකීම් ප්‍රායෝගිකව රංගය තුළට ගලපා ගත නොහැකි හිරි වැටුණු තැනක. ඉමෝසෂන්….මෙතඩ් ඇක්ටිං…ඉනර් ඇක්ටිං…කිය කිය, අතපයවත් සැහැල්ලුවක් නැති හිරිවැටුණු තැනක.

ඉන්පසු මම ආචාර්ය සෝමලතා සුබසිංහ මහත්මිය ආශ්‍රයට වැටෙනවා. ඈ යටතේ රංගය හදාරනවා. ඇයත් අති සුන්දර ගැහැණියක්. අපි වගේ රස්තියාදුකාරයන්ගේ ජීව ගුණය කෙරේ විශ්වාසය තැබූ බොහිමියානු ගැහැණියක්. ඇය තමයි මට උගන්වන්නේ රංගය කියන්නේ ජීවිතය තරම්ම නොනවතින ගලා යාමක් කියලා.

‘විස්මෘතිය හා සත්‍යය’

ඊනියා සමාජ පුරුෂාර්ථ ගවේශනයෙහි ලා ඔබ ඔබේ ‘ටෙක්නික්’ එක විදිහට තොරගෙන තියෙන්නෙ මානව ‘විස්මෘතිය’. මේ තාක්ෂණික ප්‍රවේශයත් එක්ක ඔබට කිසිම කෙනෙක් එක්ක තරගයක් නෑ. මේක ඔබේ “ජීවිතයට ඉඩ දෙන්න” කෘතියෙහිම ඔබ සලකුණු තැබුවා. මේ දිනවල විකාශනය වන ඔබේ පිටපත් දෙකම, ඒ කියන්නෙ“බොහිමියානුවා” සහ “තාරා” යන දෙකේම ඔබ ඔබ පාවිච්චි කරන්නෙත් මේ විස්මෘතියම යි. මොකද්ද මේ විස්මෘතියත් එක්ක ඔබේ තියන ගනුදෙනුව?

නාමල්: ප්‍රධාන හේතුව, අප දකින ප්‍රකෘතිය, ප්‍රකෘතිය ලෙස දකින්න මගේ සූදානමක්, කැමැත්තක් නෑ. එය සමහරවිට මම රංගනය හැදෑරීමෙන් ලද අවබෝධයක්. “මම ඔබට ආදරෙයි” කියන දෙබස යමෙක් කියනකොට එතුළ සැඟවුණ නොයෙකුත් දහසකුත් වංක, නරුම, අවස්ථාවාදී අඳුර ගැන මම උනන්දුයි. මොකද මම දන්නව ඒ අඳුර නොතිබෙන්න ඒ වචන ටිකට ගැඹුරක් නෑ කියලා.

විස්මෘතිය ශිල්ප ක්‍රමයක් විදිහට ගත්තහම වාසියක් තියනව. මොකද එය පවතින සමාජ සන්දර්භීය සම්මතයෙන් ගැලවී පිටස්තර යමක් ලෙසයි සියල්ලන්ගේ පොදු එකඟතාව. එම නිසාම මිනිසුන් ප්‍රකෘතියට වඩා විස්මෘතියේදී නිරාවරණය වෙනවා. තමාගේ සත්‍ය විස්මෘතියට මුවා වෙලා කියාගන්නව. විස්මෘතියේදි කියවෙන දේ මිනිසුන් උරාගෙන හදවතේ ගැඹුරේ තැනක තැන්පත් කරගන්නවා.

මම ඔබට ප්‍රබන්ධයෙන් පිට අත්දැකීම ගොන්නකින් එකක් කියන්නං.

“…මගේ අප්පච්චි දවසක් අම්මට නරුම විදිහට පහර දුන්න. මම හිටියෙ ඒක වලක්වන්න, මැදිහත් වෙන්න බැරි තරම් කුඩා වයසක. ඒ පහර කන අතරතුර අම්ම එකවරම විස්මෘතියකට ගියා. මොකක්දෝ ආවේශයක් ගත්ත. අම්මගෙ මියගිය ලොකු අක්ක විදිහට හැසිරෙන්න ගත්තා. ඒ ආවේශය ඇතුළෙ වසර දහයක් පමණ කියාගත නොහැකි සත්‍යයන් ගොන්නක් වමෑරුව. විඳපු පීඩා ගැන, ජීවිතය කාලකන්නි වූ හැටි. නැවත පහරදුන්නොත් ලේ බොනවා, වගේ දේවල් ටිකක් ඒ ආවේශයෙන් ලොකු අක්ක කිව්වා. ඉන්පසු බොහෝ කාලයකට අප්පච්චි පසුබෑවා. මගෙ අම්ම විස්මෘතිය හරහා සත්‍යය වමෑරුවා…”

මිනිස්සු විස්මෘතියට පිවිසෙන්නෙ “සත්‍යය” දරාගන්න බැරි තරම් කටුක වූ විට. මම ගත්තෙ එහි වාසිය.

අවසාන වශයෙන් මං මෙහෙම අහන්නම්. ඔබේ රචනා ඇතුළෙ ඔබ සමාජගත කරනවා රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නය ගැන ඔබේ දෘෂ්ඨිවාදය. ඔබ ‘දෙමළා’ ඇතුළු සියලු පීඩිතයන්ගේ අයිතිය පිළිගන්නා අතලොස්සක් කලාකරුවන් අතරින් කෙනෙක් ලෙසයි මං හඳුනාගෙන ඉන්නෙ. ඔබ හිතනවද ඔබේ මේ රචනා හරහා කෙරෙන ඥාණනය සමාජය ග්‍රහණය කරගන්නා බව? මොකක්ද මේ සමාජය?

නාමල්: මම ඉස්සල්ලම මොකද්ද මේ සමාජය කියන තැනින් පටන්ගන්නං. අපේ සමාජය පිරෙන්න බලාගෙන ඉන්න හිස් භාජනයක් වගේ. පුරවන ඕන දෙයක් පිරවෙනව. මිහිඳු හාමුදුරුවො බෞද්ධ දර්ශනය ගෙන ආවහම ඉන් පිරෙනවා. හින්දු දේවවාදයෙනුත් පිරෙනවා. කිතු දහම ආවහම ඒකෙන් පිරෙනව. ඊනියා වික්ටෝරියානු  සුචරිතයෙන් පිරෙනවා. නිර්ප්‍රචන්ඩ බුදු දහම ජාතිවාදයකරා ගෙන යන දෘෂ්ටිවාදයෙන් පිරෙනවා. පටු දේශපාලන උවමනාවන්ට ප්‍රචන්ඩත්වය වපුරනවිට ඉන් පිරෙනවා. ඉන්දියානු ටෙලි නාට්‍යය හරහා, ස්ත්‍රී පීඩක ඊනියා සංස්කෘතියෙන් පිරෙනවා. කොරියානු ටෙලි නිර්මාණ නිසා පරිභෝජනවාදි සංකල්ප වලින් පිරෙනවා.

ලංකාවෙ කේන්ද්‍රීය ජාතික ප්‍රශ්නය තියෙන්නෙ එතන. තර්කයෙන් තොරව, විචාරයෙන් තොරව වැළඳගැනීම.  ඒ තුළින් පිරීම. සිහිබුද්ධියෙන් යුතුව බුද්ධ දර්ශනයෙන් පිරුණු කෙනෙකුට, දර්ශනයේ පදනමින්ම ප්‍රතික්ෂේප කරන වෙනස්කොට සැලකීම, ජාතිවාදය, ප්‍රචණ්ඩත්වය, වගේ දේකින් පිරෙන්න ඉඩක් නෑ.

අපි සමාජයක් විදිහට ඉස්සෙල්ලාම පිරෙන්න ඕනෙ (First policy) පුරුෂාර්ථ වලින්. උදාහරණ විදිහට අප අවම මනුෂ්‍යත්වයවත් පවත්වා ගැනීමට නම්, අවම තරමින් අනෙකාගේ ජීවත්වීමේ අයිතිය හා නිදහස, පළමු පුරුෂාර්ථය විදිහට හඳුනාගත යුතුයි. පුරුෂාර්ථ කියන දේ කිසිඳු කොන්දේසි, තත්ත්වයන් යටතේදී වෙනස් නොවෙන මානව ගුණයක්. ජාතිය, ආගම. කුලය, පංතිය මත වෙනස් නොවෙන්නක්. අපි සාමූහික සංවාදය හෙවත් කලාව හරහා කරන්න ඕනෙ මේ පුරුෂාර්ථ හඳුනාගැනීම කියල මම හිතනවා. කලාව කියන සංස්කෘතික මෙවළම තුළින් එය කළ හැකියි.

නමුත් ප්‍රශ්නය තියෙන්නෙ මේ පවතින ධනේශ්වර සමාජ වටපිටාව ඇතුළෙ මේ සියලු සංස්කෘතික මෙවලම් අද පවතින්නෙ ලාභයම පමණක් මුල්කරගෙන වීමයි. ඒ මෙවලම් අයිතිකරුවන් තමයි අධිපති මතය තනන්නෙ. පුවත්පත්වල පුරවන්නෙ හොඳින් විකිණෙන දෘෂ්ටිවාද. රූපවාහිනී ගුවන් කාලයේ පිරෙන්නෙ ලාබෙටම ගන්න පුළුවන් නිර්මාණ. ඉනුත් සමාජය ඥාණනය වෙනවා කියලා කියන්න කෙනෙකුට පුළුවන්. ඉන් සමාජය ඥාණනය වෙන්නෙ මොනතරම් නරක අතටද කියන එක ඒ වෙළෙන්දන්ට වැඩක් නෑ. එනිසාම ඔබ අසන සහ මම කියන සමාජ ඥාණනය කරන කලාවට වෙළඳපොල ඉල්ලුම අඩුයි.

මේ මොහොතෙ ලංකාවෙ ‘සුභාවිත කලාව’ කියන්නෙ විකල්ප යථාර්ථයක්. මම හිතනව, මම කතාකරන දේ මේ සමාජයේ සුළු පිරිසක් හෝ ග්‍රහණය කරගන්නා බව. ඉදිරියේදී තව තවත් එකතු වෙයි. විකල්පය හැම විටම සුළුතරයේ තැන තියෙන්නේ නෑ. තනි තනි පුද්ගල උත්සාහයන් නිසා තමයි ලෝකය මේ තැනට වෙනස් වුණේ. ඒ නිසා මම උත්සාහය අත හරින්නේ නෑ.

 

JDS වෙබ්අඩවියෙන්