නුවන් කුලසේකරට ඇප! (video)

නුවන් කුලසේකරට ඇප

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල රන්මුතුගල ප්‍රදේශයේදී තරුණයකු ඊයේ (19) සවස මෝටර් රථයක ගැටී මිය යැමෙන් පසු මෝටර් රථය පැදවූ ක්‍රිකට්‌ ක්‍රීඩක නුවන් කුලසේකර කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනි.

අත්අඩංගුවට ගත් නුවන් කුලසේකර ඊයේ (19) සවස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්‌මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

අනතුරින් මියගොස්‌ ඇත්තේ නිට්‌ටඹුවේ පදිංචි අරවින්ද නිශ්ශංක නමැති 28 හැවිරිදි තරුණයෙකි.

නුවන් කුලසේකර මෝටර් රථයෙන් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් මියගිය තරුණයා යතුරුපැදියකින් පැමිණ තිබේ.

තරුණයා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී ඔහුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව හෝ වෙනත් හේතුවක්‌ මත යතුරුපැදිය පෙරළී තරුණයා ප්‍රතිවිරුද්ධ මන්තීරුවට විසිවී ඇති බවත් එම අවස්‌ථාවේ කුලසේකර පැමිණි මෝටර් රථයට යටවී ඇති බවත් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවන් කුලසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදාහැර තිබෙනවා.

වීඩියෝව