Facebook වෙනුවට ලාංකිකයෙකුගෙන් Chainora!

මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය යනු ඉතා වේගයෙන් ජනතා ආකර්ශනය දිනාගත් සන්නිවේදන මාධ්‍යයකි. ඒ අතරිනුත් Facebook සමාජ ජාලා වෙබ් අඩවියට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයකි. Facebook යනු මේ වනවිට තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්වී හමාරය. අප මේ කියන්නට යන්නේ Facebook සමාජ ජාලා වෙබ් අඩවිය වැනි සමාජ ජාලා වෙබ් අඩවියක් නිර්මාණය කළ ශ්‍රී ලාංකික යව්වනයෙකු පිළිබඳවයි.

ඔහු ලකිඳු ජයතිලකයි. 18 හැවිරිදි මේ යව්වනයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටී. රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ ලකිඳු මේ වනවිට ICBT Campus හි මෘදුකාංග ඉංජිනේරු උපාධිය සඳහා ඉගෙනුම ලබමින් සිටී. ඔහු එහි පළමු වසර සමත්වී ඇති අතර සිය සමාජ ජාලා වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කටයුතු හේතුවෙන් ඔහු උපාධි අධ්‍යයන කටයුතු මදකට නතර කර තිබෙනවා.
ඔහු සිය සමාජ ජාලා වෙබ් අඩවිය නම්කර ඇත්තේ Chainora ලෙසයි. එම නම භාවිතා කිරීමේ විශේෂත්වය කුමක්දැයි ඇසූවිට ඔහු ප්‍රකාශ කළේ ලෝකය හා සම්බන්ධ වන රන් දම්වැල යන අර්ථයෙන් මේ නම යෙදූ බවයි. Chainora යන්න ස්පාඤ්ඤ භාෂාවේ වචනයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ලකිඳුට Chainora සමාජ ජාලා වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා වර්ෂයකට ආසන්න කාලයක් (මාස 11 ක්) ගතවී තිබෙනවා. ඔහු මෙය අන්තර්ජාලයට මුදාහරින්නේ සැප්තැම්බර් මස පළමුවැනිදායි. එතැන් සිට මේ දක්වා ගතවූ කෙටි කාලය තුළ සාමාජිකයන් දහසකට අධික ප්‍රමාණයක් එකතු වී ඇති බව ඔහු පවසනවා. එම සාමාජිකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති අතර මේ වනවිට වෙබ් අඩවිය ඇරඹීමෙන් පසු ඇතිවූ තාක්ෂණික ගැටලු බොහෝ ප්‍රමාණයක් විසඳා ගැනීමට ලකිඳු සමත්ව තිබෙනවා. මේ වනවිට ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම අයෙකුට Chainora සමග එකතු විය හැකියි.
ලකිඳු කිසිවකුගේ උදව් නොමැතිව තනිවම දැඩි කැපවීමෙන් මෙය නිර්මාණය කර තිබේ. Facebook සමාජ ජාලා වෙබ් අඩවියට අභියෝගයක් වියහැකි මට්ටමට තමාගේ Chainora සමාජ ජාලා වෙබ් අඩවිය දියුණු කිරීම එකම අරමුණ බවයි ලකිඳු පවසන්නේ. ඔහු සිය සමාජ ජාලා වෙබ් අඩවිය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එහෙත් මුල්‍යමය අතින් ශක්තිමත් නොවීම එයට එකම බාධාව බවයි ඔහු පවසන්නේ. මූලික වියදම් ලෙස රුපියල් මිලියන 40 ක් පමණ අවශ්‍ය බවත් මේ දිනවල ආයෝජකයෙකු සොයමින් සිටින බවත් ඔහු පවසනවා. මේ සඳහා කවරෙක් හෝ ඉදිරිපත් වන්නේ නම් ඉතා ඉක්මනින් එම කටයුතු ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් ලකිඳු පසුවේ.
075 8319429 දුරකතන අංකයෙන් හෝ lakindu1.jayathilaka@gmail.com විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ ඔහුව සම්බන්ධ කරගත හැකිය.
Lankanesweb වෙබ්අඩවියෙන්

One Comment to “Facebook වෙනුවට ලාංකිකයෙකුගෙන් Chainora!

Comments are closed.