මහාචාර්ය ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ සිරුරේ කොටස් SAITM ගෙනිහින්!

මහාචාර්ය ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ සිරුරේ කොටස් SAITM ගෙනිහින්!

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විසින් ඔහු එම තනතුරින් විශ්‍රාම යැමට දින කිහිපයකට පෙර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් රැගෙන ගිය රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ශරීරයෙන් ඉවත් කරගත් අස්‌ථි කොටස්‌ ඇතුළු අස්‌ථි කොටස්‌ පාර්සල් 15 – 20 ක්‌ පමණ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන ගොස්‌ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21 දා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතාට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් වැඩිදුර විමර්ශන ආරම්භ කොට ඇතැයි ද ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන සහායක ලෙස කටයුතු කරන පී. විමලසිරි පෙරේරා නමැත්තා ප්‍රකාශයක්‌ ලබාදෙමින් තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ එදින පස්‌වරු 3.00 පමණ වන තුරු පැවැත් වූ බවත් ඉන් අනතුරුව මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විසින් කරන ලද ඉල්ලීම අනුව තමා තාජුඩීන්ගේ ශරීරයෙන් අස්‌ථි කොටස්‌ කිහිපයක්‌ ඉවත් කළ බව පැවසූ බවත් අධිකරණයට පෙන්වා දුන්නේය. මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම යැමට දින කිහිපයකට පෙර එකී අස්‌ථි කොටස්‌ පාර්සල් සේවකයන් ලවා පහත මාලයට ගෙන්වා ගෙන එලෙස සයිටම් ආයතනය වෙත රැගෙන ගිය බවට තම විමර්ශන නිලධාරීන් එහි සේවකයන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව පැහැදිලි වන බව ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිsටින කොළඹ දිසාව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක හා පොලිස්‌ පරීක්‍ෂක සුමිත් පෙරේරා ලබන 5 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටද අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.