මැලේසියානු මහකොමසාරිස් අන්සාර් මහතා දේශපාලනයට එන කතාව බොරු!

එක්තරා අන්තවාදී සිංහල වෙබ්අඩවියක් විසින් “ගුටි කෑ මැලේසියාවේ මහකොමසාරිස් අන්සාර් බදුර්දින්ගේ පක්ෂයෙන් එන ජන්දෙට” යන උදෘතය යටතේ පුවතක් පලකරමින් පවසා තිබුනේ මැලේසියාවේ වත්මන් ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්‍රාහිම් අන්සාර් මහතා රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාගේ පක්ෂය වන ජාතික කොංග්‍රසයෙන් දේශපාලනයට එන බවයි. එම පුවත මෙසේය.

 

උපුටා ගැනීම

ගුටි කෑ මැලේසියාවේ මහකොමසාරිස් අන්සාර් බදුර්දින්ගේ පක්ෂයෙන් එන ජන්දෙට

මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතා තානාපති සේවයෙන් ඉවත්ව මෙරට දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට මුස්ලිම් ජාතිකත්වය පදනම් කරගත් දේශපාලන පක්ෂයකින් ඉදිරියේ දී නැගෙනහිර පළාත පදනම් කරගනිමින් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වන විට ඔහු සූදානමින් පසුවන බවත් පැවසේ.

අන්සාර් මහතා පසුගිය සැප්තැම්බර් 04 වන දින මලයාසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළේ දී පහර කෑමකට ලක් විය.

එම මැර පිරිසට නායකත්වය දී තිබුණේ මීට පෙර වෙනත් හේතුන් මත කිහිප වතාවක්ම අත්අඩංගුවට ගැනීමට ලක්ව සිටි එල්ටීටීඊ සංවිධානයට හිතවත් යයි සැලකෙන පුද්ගලයෙකි.

ඔහු එල්ටීටීඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරුවා වූ කේ. පී. හෙවත් කුමරන් පද්මනාදන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවෙක් යයි ද  අනාවරණය වී ඇත.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රීක වශයෙන් මැදිහත් වීම අවම වීම ගැන අන්සාර් මහතා නොසතුටෙන් පසුවන බව ද දැනගැනීමට ඇත.

උපුටා ගැනීම අවසන්

 

අප මේ සම්බන්ධව ඔහුගේ පවුලේ උදවියගෙන් විමසා සිටියා. එහිදී එම පවුලේ උදවිය අප හට ප්‍රකාශ කලේ එවැනි පුවතක් ඉංග්‍රීසි වෙබ්අඩවියක සහ සිංහල අන්තවාදී වෙබ්අඩවියක පලවී ඇති බැව් ඔවුන්ද දන්නා නමුත් එම පුවත අසත්‍යයක් බවයි. ඉබ්‍රාහිම් අන්සාර් මහතා තවමත් සිටින්නේ මැලේසියාවේ බවත් ඒ මහතා ලබන නොවැම්බර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිතය. ලංකාවට පැමිණි පසුව ඒ මහතා රාජතාන්ත්‍රික සේවාවෙන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතාගේ පවුලේ උදවිය අපවෙත සනාථ කළා.

රාජතාන්ත්‍රික සේවාවේ යෙදී සිටින පුද්ගලයෙකු ලෙස ඒ මහතා ඇමති රිෂාද් බදියුදීන් පමණක් නොව බොහෝ දේශපාලකයන් සමග සම්බන්ධතා ඇති පුද්ගලයෙකි. එමෙන්ම ඔහු ඇමති රිෂාද් බදියුදීන් නියෝජනය කරන මන්නාරම් දිස්ත්‍රික්කයෙන් පැමිණි පුද්ගලයෙකි. මේ නිසා වෙබ් මාධ්‍ය විසින් මෙවැනි පුවතක් නිර්මාණය කරන්නට ඇති බැව් පවුලේ උදවිය අප හා ප්‍රකාශ කළා. නමුත් කිසිසේත්ම අන්සාර් මහතා තුල දේශපාලනයට ඒමේ අදහසක් නොමැති බව අපවෙත සනාථ කළා.