කටාර්හි ශ්‍රී ලංකා තානාපති තුමාට දහම් පාසල සහ ශ්‍රී ලංකා පාසලේ දෙමව්පියන්ගෙන් ලිපියක්!

karunadasa-w-m, ඩබ්.එම්. කරුණාදාස

ගරු තානාපති තුමනි, කටාර්හි දහම් පාසලේ සහ  ශ්‍රී ලංකා පාසලේ දෙමාපියන් වන අප මෙවැනි ලිපියක් ඔබහට එවීමට අපි කිසි විට නොසිතුවෙමු. දිගින් දිගටම ඔබ විසින් ගෙන යන අත්තනෝමතික ක්‍රියා කලාපය ගැන රජය සහ සියලු ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට අවශ්‍ය බව අප හට වැටහී ඇත.

පසුගිය සියලු රජයන් කටාර් රාජ්‍යයට තානාපති වශයෙන් පත්කරන ලද්දේ විදේශ සේවයේ බහුල අත්දැකීම් හරහා තානාපති තත්ත්වයට උසස් වීම ලබාගත් මහත්වරුන්ය. වෙනත් බොහෝ රටවලට දේශපාලන සම්බන්ධතා හරහා තානාපති වරුන් පත්කළ ද, මැදපෙරදිග සඳහා තානාපතිවරුන් පත්කිරිමේදී එසේ නොකිරීමට පසුගිය සියලු රජයන් බොහෝ දුරට වග බලා ගත්හ.

අපගේ අවාසනාවකට වත්මන් රජය ඔබව  කටාර් රජයේ තානාපති වශයෙන් පත් කරන්නේ හුදෙක් දේශපාලන සම්බන්ධතා හරහා බව අපි හොඳින් දනිමු.  ඔබ හට විදේශයන්හි රැකියා කරන්නන්ගේ ගැටළු සම්බන්ධව කිසිදු අත්දැකීමක් නොමැති බවද අපි හොඳින් දනිමු. ඔබගේ දේශපාලන සම්බන්ධතාවන් හරහා  කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්හට වැදගත් වැඩ කොටසක් කිරීම පසෙක දමා තමන්ට වඩා බලවතකු නොමැත යන හීනමානයෙන් කටයුතු කිරීම අපගේ මෙන්ම ඔබගේද අවාසනාවය.

උගත් වෘත්තිකයන් දහස් ගණනක් කටාර්හි වාසය කරද්දී ඔබ වටා සිටින්නේ වෙළෙන්දන් අතලොස්සකි. ඔබ විසින් පත්කරන ලද ශ්‍රී ලාංකිකයන්ගේ  ඉහලම කමිටුවේ සිටින්නන් දෙස බැලීමෙන් මෙය තහවුරු වේ. උපාධියක් ඇති පුද්ගලයන් කී දෙනෙක් ඔබගේ කමිටුවේ සිටීද ? අප දන්නා තරමට එකදු පුද්ගලයෙකු හෝ නැත.  එකදු පුද්ගලයෙකුට හෝ වෘත්තිමය රැකියාවක් ද නොමැත.  එහි සභාපතිවරයා සාමාන්‍ය පෙළ  පවා අසමත් පුද්ගලයෙක් බව කටාර්හි සියලු දෙනා දන්නා කරුණකි. හුදෙක්  ආපන ශාලා ව්‍යාපාරයක් හරහා ධනය උපයාගත් මොහු ශ්‍රී ලාංකීය  ප්‍රජාවට කර ඇති සේවය කුමක්ද ? තවකෙකු බුමුතුරුණු කඩ හිමියෙකි, තවකෙකු ආරක්ෂක සේවා ව්‍යාපාරයක් කරන්නෙකි, තවකෙකු මෙරට සිට ශ්‍රී ලංකාවට භාන්ඩ නැව් ගත කරන ආයතනයක සේවකයෙකි.  එහි සිටින එකදු  පුද්ගලයෙක් ශ්‍රී ලාංකීය ප්‍රජාවට කිසිවක් කර නැති හුදෙක් මුදල් ඉපැයීම පෙරදැරිව කටයුතු කන්නන් පිරිසකි. ආචාර්ය උපාධියක් ඇති ඔබගේ ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ උගත් කම සමාජයට නායකත්වය දීමට නොසුදුසු යැයි ඔබ සිතන බවකි.

ඔබගේ ආගමික විශ්වාසය වෙනකක් වීම  අපට ගැටළුවක් නොමැත. අපට ඇති ගැටලුව ඔබ විසින් බෞද්ධාගමට කරන බාධාවන්ය. වසර ගණනක් පුරා දහම් පාසල පවත්වාගෙන ලැබුවේ තානාපති කාර්යාලයේ බව ඔබ දනී. තානාපති කාර්යාලයේ බෝධීන් වහන්සේ නමක් සහ බුදු රුවක් ස්ථාපනය කර ඇති මුත් වෙනත් ස්ථානයක් කුලියට ගතහොත් එසේ කිරීමට කටාර් රජයේ නීති හමුවේ නොහැකි බව ඕනෑම මෝඩයෙකු පවා දන්නා දෙයකි. අබෞද්ධයෙක් වන ඔබට සහ බහුතරයක් අන්‍ය ආගමික අය සිටින ඔබගේ කමිටුවටත් අපගේ දරුවන්ට බුදු දහම ඉගැන්වීමේ  ඇති වැදගත් කම නොතේරීම පැහැදිළිය. කටාර් රාජ්‍යය ඉස්ලාම් රජයක් වශයෙන් බුදු දහම ඉගැන්වීමට කිසිදු අවස්ථාවක් සලසා නොදෙන බවද ඔබ හොඳින්ම දන්නා කරුණකි. එසේ තිබියදී දහම් පාසල වෙනත් ස්ථානයකට ගෙන යාම හරහා එහි සිටින ගුරුවරුන් මෙන්ම දරුවන්ද විශාල අවදානමකට පත් කර එහි අනාගතය සම්පුර්ණයෙන්ම අඳුරු කර ඇත.  එමෙන්ම වෙනත් ස්ථානයක් කරා දහම් පාසල ගෙනයාමෙන් ඒ සඳහා විශාල මුදලක් කුලිය වශයෙන් දහම් පාසලේ දෙමාපියන්ට ගෙවීමට සිදුවෙනු ඇත. ඔබ වටා සිටින වෙළෙඳුන් හට අවශ්‍ය කොමිස් මුදල මේ හරහා ලබා ගැනීමට පහසුකිරීම ඔබගේ දෙවන පරමාර්ථය බවද අපහට හොඳින් වැටහේ.

දහම් පාසල ආරම්භ කළ දා සිට එහි ක්‍රියාශීලිව කටයුතු කළ මහත්වරුන් දෙදෙනෙකු හට තානාපති කාර්යාලයට ඇතුලු වීම තහනම් කරන ලද්දේ කුමක් කරුණකට ද යන්න ඔබ විසින් ශ්‍රී ලාංකිකයන් හට කිව යුතුය. ලෝකයේ කිසිදු තානාපති කාර්යාලයක් තමාගේ රට වැසියෙකුට එහි ඇතුළුවීම තහනම් කරන්නේ නැත. අපි ඔබට අභියෝග කරන්නේ හැකිනම් කරුණු ඉදිරිපත් කරන ලෙසය. සියලු බොදු කටයුතුවලට නායකත්වයත් තම ශ්‍රමයත්, ධනයත්  කැපකළ මේ දෙදෙනා ශ්‍රී ලංකාවට කරන ලද අපරාධය කුමක්දැයි අප දැනගනු කැමැත්තමු . ඔවුනට එසේ කිරීමට හේතු කාරණාව අන් කිසිවක් නොව දහම් පාසැල වෙනත් ස්ථානයකට ගෙන යෑමට මොවුන් විරුද්ධ වීමය.

කටාර්හි තානාපති කාර්යාලයක් ස්ථාපනය කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීම පෙරදැරි කරගෙන නමුත් ඔබ කටයුතු කරන්නේ අපගේ ගැටළු වැඩි කිරීමටය. වසර ගණනක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අධ්‍යාපනය  ලබා දෙන  ශ්‍රී ලංකා විදුහල සමග ඔබට විශේෂ ගැටළුවක් ඇත. එයටද හේතුව අපි හොඳින් දනිමු.  එනම් එහි කටාර් රියාල් මිලියන 7 ( රුපියල් මිලියන 28) බැංකු ඉතුරුවක් සහ මාස්පතා විශාල මුදලක් ලැබීමය. ඔබගේ ළඟ සිටින වෙළෙන්දන් හට මෙය නිධානයකි. ඔබ සහ ඔබගේ වටා සිටින වුන් විසින් මෙම මුදලින් කටාර් රියාල් 25000 ක් ලබා ගැනීමට උත්සාහ නොකළේද ? එය කිරීමට නොහැකිවන්නේ පාසලේ වත්මන් බාරකාර මණ්ඩලය එයට විරුද්ධ වීම නිසාය. එතැන් සිට පාසලේ පාලන බාරකාර මණ්ඩලය වෙනස් කිරීමට ඔබ මොන තරම් වෙහෙසෙන්නේද? යටි කූට්ටු කම් කරන්නේද? (තානාපතිවරයා භාරකාර මණ්ඩලයට නිල බලයෙන් පත්වීම ඔබ අවභාවිතා කරමින් සිටී.)

මෙකී පාසැල ආරම්භ කරන ලද්දේ වෘත්තිකයන් 20 දිනෙකුගේ පුද්ගලික ධන පරිත්‍යාගෙනි. කිසිදු රජයක් මේ සඳහා මුදල් යොදා නොමැත. මේ සඳහා නායකත්වය දෙනු ලබන්නේ කුමුදු ෆොන්සේකා නමැති මහත්මයෙකි. කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධියක් සහ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියක්  ඇති මොහු වරලත් ගණකාධිවරයෙක් මෙන්ම ප්‍රධාන මුල්‍ය නිලධාරියා  වශයෙන් දැවැන්ත පෞද්ගලික ආයතනයක රැකියාව කරන්නෙකි. සමන් වික්‍රමසුන්දර තවත් බාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකි.  ඔහු වරලත් ප්‍රමාණ මිනුම්දෝරුවෙකි. එමෙන්ම ජයවර්ධන විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක්  ඇත්තෙකි. තවත් ක්‍රියාකාරී බාරකාර මණ්ඩලයේ සාමාජිකයෙක් වන්නේ ආරියරත්න ගමගේ මහතාය. ඔහුද වරලත් ගණකාධිකාරීවරයෙකි. කටාර් පෙට්‍රොලියම් ආයතනයේ  කළමනාකරුවෙකි.

මෙවැනි පිරිසක් ඉවත්කර ඔබගේ සහචරයන් පත්කරවන්නට ඔබට ඇති වුවමනාව මුදල් සොරාගැනීම මිස අන් කුමක්ද? සාමන්‍ය පෙල පවා අසමත් පිරිසකට අපගේ දරුවන්ගේ  අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව අප ඔබට අවධාරණය කරන්නෙමු.

ආපන ශාලාවක්, බුමුතුරුණු කඩයක්, කළමනාකරණය කිරීම සහ පාසලක දරුවන්ගේ අධ්‍යාපනය  මෙන්ම උගත් ගුරුවරුන් පිරිසක් මෙහෙයැවීම හාත්පසින්ම වෙනස් කටයුත්තකි.  ආචාර්ය උපාධියක් ඇති ඔබ හට මෙවැනි දෙයක් නොපෙනීම පුදුමයට කරුණකි.

පාසැල දැනට පවත්වාගෙන යනු ලබන්නේ කුමුදු ෆොන්සේකා මහතාගේ දැන හැඳුනුම මත කටාර් ෂේක් වරයකුට අයත් ගොඩනැගිල්ලකය. ළමුන් 1000 ඉගෙනුම ලබන  මෙම ගොඩනැගිල්ල සඳහා ගෙවන්නේ කටාර් රියාල්  15,000 ක් පමණි.   කාමර තුනක නිවසක් කටාර් රියාල් 7000 ක් වන මේ රටේ මෙවැනි ගොඩනැගිල්ලක්  කටාර් රියාල් 200,000 ක් පමණ වටින්නේය. ෆොන්සේකා මහතාට මුදල් හම්බකර ගැනීමට අවශ්‍ය නම් 15,000 වෙනුවට කටාර් රියාල් 150,000 ක් යැයි පවසා ඉතිරි 135,000 ක මුදල මාසයක් ගානේ තම සාක්කුවට දමා ගත හැකිය.   එසේ නොකර සිටින පුද්ගලයෙකු අද සමාජයේ නොමැති කාලයක මොහු දෙවියෙකි.  මේ පාසැල ආරම්භ කළ අවස්ථාවේ සිටියේ ළමුන් 10 දෙනෙකි. එහි සේවයේ  සිටි ගුරුවරුන්ට පඩියද, ගොඩනැගිලි කුලිය ද තම පෞද්ගලික ධනයෙන් ගෙවද්දී ඔබ විසින් නම්කළ කමිටුවේ සාමාජිකයන් සිටියේ කටාර් රාජ්‍යයේ නොවේද ?  හිටි හැටියේ මෙවැනි සත්ව කරුණාවක් පහල වීම විමතියට කරුණකි.

ඔබ කෙදිනක හෝ ශ්‍රී ලංකා පාසලේ දරුවන් සමග කතා කර තිබේද ? නැත. ඔබට ව්‍යාපාරිකයන් සමග කතා කිරීමට බොහෝ වේලා ඇත. ඔබ දරුවන් සමග කතා කළහොත් ඔවුන් මේ පාසලටත් ෆොන්සේකා මහතාටත් කොතරම් ආදරයක් දක්වනු ඇත්දැයි වටහා ගනු ඇත. ඔබ හෝ ඔබ වටා සිටින්නන් නොමැතිව මේ දරුවන් මොන තරම් දක්ෂතාවයන් පෙන්වා ඇත්ද? මෙවර උසස්පෙළ ගණිත අංශයෙන්  A* හතරක් ලබාගත් දරුවන් බිහිකළේ ඔබ හෝ ඔබ සමග සිටින්නන්ද ?  නැත. ඒ වත්මන් බාරකාර මණ්ඩලයත් ගුරුවරු දෙමාපියන් සහ දරුවන්ගේ දැඩි කැප කිරීමත් හරහාය. ඔබ මේ කිසිවෙකුට කන්දී තිබේ නම් ඔප්පු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු. ගුරුවරු සියල්ලම ශ්‍රී ලාංකිකයන් වන මේ පාසැල මගින් අපගේ රටට මුදල් ලැබෙන්නේ මේ පාසැල පටන්ගත් අය නිසාය. එසේ නොවන්නේ නම් අපගේ දරුවන් වෙනත් රටකට අයත් පාසලක ඔවුන්ගේ ජාතික ගීය ගයනා කරමින් අපගේ මුදල් ඔවුන්ගේ රටවලට යවනු ඇත.

ඔබට හැකි නම් ශ්‍රී ලංකා පාසලට වඩා අඩු මුදලක් අයකරන කටාර්හි එකදු ජාත්‍යන්තර පාසලක් තිබේ නම් කියන ලෙස ඉල්ලා සිටිමු. ඔබ අප හට මෙතරම් කරුණාවක් දක්වන්නේ නම් ශ්‍රී ලංකා රජය මගින් මෙහි සිටින ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමට ක්‍රමයක් ආරම්භ කළ හැකිය . ඒ හරහා  අප පාසලට ගෙවන මාසික ගාස්තුව අඩු කර ගත හැකිය. එවැන්නක් නොකරන ඔබ දොඩවයි. ඕනෑම කෙනෙකුට කටක් ඇත්නම් කතා කළ හැකි නමුත් සැමදෙනාටම වැඩ කිරීමට නොහැකිය.  එබැවින් පළමුව  යමක් කර පෙන්වන තුරු මේ  පාසැල මෙතරම් දුරක් ගෙන ආ පුද්ගලයන්ට මෙය කරගෙන යෑමට අකුල් හෙලීමෙන් වළකින ලෙස ඔබට දැනුම් දෙමු.

අපි තවත් එක අභියෝගයක් ඔබ වෙත ඉදිරිපත් කරමු. පාසැලේ පාලනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පාසලේ දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ කැමැත්ත විමසීම ය. මෙහි ඉගෙනුම ලබන්නේ අපගේ දරුවන්ය. පාසල් ගාස්තු ගෙවන්නේද අපය. රජය හෝ ඔබගේ වන්දිභට්ටයන් හෝ මේ පාසලට කිසිවක් කර නොමැත. එබැවින් පාසලට පැමිණ දෙමාපියන් මුණගැසී හැකිනම් චන්දයක් පවත්වා ඔබගේ ගැත්තන් හට පාලනය ලබා ගැනීමට උත්සාහ කරන ලෙස අභියෝග කරමු.

ඔබ වෙත අපගේ දැඩි පිළිකුළත් අප්‍රසාදයත් මින් දන්වා සිටින අතර මෙහි පිටපතක් ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදේශ ඇමති තුමන්,   සහ විදේශ රැකියා ඇමතිතුමියට, යොමුකර සිටින්නේ මේ සම්බන්ධව සොයාබැලීමට කාරුණිකව අවධානය යොමු කර සිටීමට ය.

ජනමාධ්‍යයක් ලෙස ලංකා ඊ නිව්ස් වෙතද මෙහි පිටපතක් යවන බව දැනුම් දෙමු

මෙයට,

කටාර්හි දහම් පාසලේ සහ  ශ්‍රී ලංකා පාසලේ දෙමාපියන්

 

 

 

 

One Comment to “කටාර්හි ශ්‍රී ලංකා තානාපති තුමාට දහම් පාසල සහ ශ්‍රී ලංකා පාසලේ දෙමව්පියන්ගෙන් ලිපියක්!

  1. This letter is not stating everything correctly. there are 2 sides involving for this problem (Stafford Sri Lanka School Governing Committee Chairmen and Sri Lankan Embassy current HE. Both parties are hampering from SL Politicians and therefore ether parties are not willing to come for any amicable settlement and both the parties are roaring from their dens. Specially we have to push School governing body to full fill the what ever possible requirements which are requested by the HE.

    Dear all Sri lankan community in Doha, Please come forward and push all concerns parties to come for an amicable settlement instead of playing their own games with political agenda

Comments are closed.