ලසන්ත ඝාතනයට නවීන උල් ආයුධයක් යොදාගෙන!

ලසන්ත ඝාතනයට නවීන උල් ආයුධයක් යොදාගෙන

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සඳහා ඝාතකයින් විසින් යොදාගෙන ඇත්තේ නවින පන්නයේ උල් ආයුධයක් විය හැකි බව රහස් පොලිසිය විශ්වාස කරයි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය පසුගියදා යළි ගොඩගනු ලැබුවේ ඒ මහතා ඝාතනයට යොදා ගන්නා ලද ආයුධය සම්බන්ධයෙන් හරි නිගමනයකට එළඹීමට නොහැකිව තිබූ නිසා බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ආයුධය නවීන පන්නයේ උල්සහිත ආයුධයක් යැයි සැක කෙරෙන අතර එම ආයුධය මෙතෙක් මෙරට තුළ අපරාධකරුවන් විසින් හෝ භාවිත කර නැති ආයුධයක් වන බවද රහස් පොලිසිය විශ්වාස කරයි.

දරුණු ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් භාවිත කරන එක්තරා උල් ආයුධයක් අපරාධය කිරීමට යොදා ගනිමින් එය පුද්ගලයෙකු වෙත එල්ල කරන විට එම ආයුධයෙන් උල් කිහිපයක් එළියට කඩාගෙන එන අතර එය ආපසු ගැනීමේදී එම උල් ආයුධය ඇතුලට ගොස් හැකිලී යන වර්ගයේ එකක් විය හැකි බවද සැක කෙරේ. එවැනි ආයුධ විදේශ රටවල භයානක ත්‍රස්තවාදී සහ මාෆියා කල්ලි මගින් භාවිත කරන බවට වාර්තා වෙයි.

මෙම ආයුධය ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට යොදා ගත්තේ නම් එම ඝාතනය බරපතළ ලෙස සැලසුම් සකස් කර ඔහු ඝාතනය කිරීම සඳහාම ගෙන්වන ලද එකක් විය හැකි බවද පැවසේ. ‍

‍ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කළ බව එම ඝාතනය ඇසින් දුටු පුද්ගලයින්ගෙන් පවා හෙළිවී නොමැත. තවද ඔහු වෙඩි තබා ඝාතනය කළේ නම් එම ස්ථානයේ තිබී වෙඩි උණ්ඩ කොපු හසුවිය හැකිය. එහෙත් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූ අත්තිඩිය, මලල්ලාර් පාසල අසල තිබී කිසිදු උණ්ඩයක් සොයා ගැනීමට නොහැකි විය.

තවද ඔහු වෙඩි තබා ඝාතනය කළ බවට එවකට සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම් විසින් සටහන් කර නොමැති බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තා වෙතද රහස් පොලිසියේ වැඩි අවධානය යොමු වී තිබේ.

පසුගියදා ගොඩගන්නා ලද ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහයේ අස්ථි කොටස් මේ වන විට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණයට භාජනය වෙමින් පවතී. එහිදී ඔවුන් විශේෂ අවධානය යොමුකර ඇත්තේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමෙන්ද උල් ආයුධයකින්ද යන්නත් එම ආයුධය කුමන වර්ගයේ එකක්ද යන්නත් හෙළිකර ගැනීම සඳහා වෙයි.

අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙම පරීක්ෂණ වාර්තාව සති තුනක් වැනි කාලයක් තුළ ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

තවද වෙඩි තැබීමෙන් හෝ උල් ආයුධයකින් ඇනීමෙන් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ එම ස්ථානයේදීම ඔහු ඝාතනයට ලක්වන ආකාරයේ බරපතළ ප්‍රහාරයක් එල්ල කරමිනි. ලසන්ත වික්‍රමතුංග මහතා එදින එම මෝටර් රථය රැගෙන කාර්යාලය වෙත පැමිණෙමින් සිටිය දී ඔහු පසු පස යතුරු පැදියකින් යම් පිරිසක් ලුහුබඳිමින් සිටින බව ඔහු දුරකථනයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

එදින පමණක් නොව ඊට පෙර අවස්ථා කිහිපයකදීම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක් කිරීම සඳහා ඔහුගේ නිවසට වෙඩි තැබීම, ඔහුට මරණීය තර්ජන එල්ල කිරීම ඇතුළු බොහෝ දෑ සිදුකර ඇතැයි ද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් සහ අපරාධය කළ ඝාතකයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන තිබේ. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු වනු ඇත.