සයිටම්හි තිබූ අස්ථි අතර තාජුඩීන්ගේ කොටස් ඇත්දැයි පරීක්ෂණ!

සයිටම්හි තිබූ අස්ථි අතර තාජුඩීන්ගේ කොටස් ඇත්දැයි පරීක්ෂණ

මාලබේ සයිටම් ආයතනයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් කලවා අස්ති කොටස් 19 හා පසු අස්ථි කොටස් 7 අතර මිය ගිය තාජුඩීන්ගේ මෘත ශරීරයේ අස්ථානගත වූ අස්ථි කොටස් තිබේද? යන්න තහවුරු කරගැනීමට එකී අස්ථි කොටස් බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත ඩී. එන්. ඒ. වාර්තා ලබා ගැනීම සඳහා යොමු කිරීමට කටයුතු කරගෙන යන බවට රහස් පොලිසිය ඊයේ (05) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා වෙත දැනුම්දී තිබෙනවා.

මෙම ජාන පරීක්ෂාව සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව සඳහන් කළ රහස් පොලිසිය ප්‍රතිපාදන ලද විගස ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන බව දැන්වීය. මීට අමතරව ජනාධිපති කාර්යාල‍ෙය් අභ්‍යන්තර දුරකථන ජාලය සඳහා CARS නැමැති මාදෘකාංගය භාවිතා කර ඇති බවත් රහස් පොලිසි භාරයට ගත් දුරකථන දත්ත ගබඩාව (CPU) පරීක්ෂා කිරීමේදී 2012.05.17 දින නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ‍ඩෙිවියන් පෙරේරා මහතා භාවිතා කළ 072-7161221 දරන දුරකථනයට අවස්ථා 4කදී දුරකථන ඇමතුම් 4ක් CPU යන්ත්‍රය හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී ඇති බවට රහස් පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේය.

මෙහි එක් අංකයක් පැය 5.30 ලැබී ඇති බවත් 2012.05.16 , 2012.05.17 යන දිනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර දුරකථන මඟින් CPU හරහා 077-7755950, 0775000001, 077 -3659168 හා 077-3947841 යන අංකවලට ජනාධිපති කාර්යාලය සම්බන්ධ වී ඇති අතර එම අංක භාරව සිටි පුද්ගලයින් කවුරුන්ද? යන්න සම්බන්ධව ජනාධිපති අතිරේක ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇති බවත් මෙතෙක් පිළිතුරක් ලැබී නැති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මෙහිදී රජයේ අධිනිතීඥ ඩිලාන් රත්නායක මහතා පැවසුවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් වෛද්‍ය සභාව මන්දගාමී ස්වරූපයෙන් සිය විමර්ශන පවත්වන බවය.අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි මිස්බා මහතා පෙන්වා දුන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධව අධිකරණ නියෝග නිකුත් වුවද අදාළ අංශ සක්‍රියව ඊට දායක වී නොමැති බවය. පළමු සැකකරු වෙනුවෙන් නිතීඥ අජිත් පතිරණ මහතා පෙන්වා දුන්නේ දුරකථන විස්තර අනුව රහස් පොලිසිය දැනටමත් නියම සැකකරුවන් හඳුනාගෙන ඇති බැවින් තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා සිටියේය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දෙවන සැකකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධව බන්ධනාගාර ආඥා පනත, වෛද්‍ය ආඥා පනත හා රැඳවියන් සම්බන්ධ ජාතන්තර නීති ප්‍රතිපාදන අධ්‍යයනය කර 2 සැකකරු රැඳවිය යුත්තේ කොහේද? යන්න පිළිබඳව නියෝගයක් ඉදිරි කැඳවීම් දින නිකුත් කරන බවත් වෛද්‍ය ආඥා පනත නිසි අධ්‍යයනයෙන් පසු වෛද්‍ය සභාවේ විමර්ශනයට අදාළ සවිස්තර නියෝගයක් එදිනට නිකුත් කරන බව පැවසීය.

තවද මෘත ශරීර කොටස් ජාන විමර්ශන සඳහා පොලිස්පතිවරයා දැනුවත් කර ජින්ටෙක් ආයතනය වෙත ඉදිරිපත් කරන ලෙසත් ඊට අදාළ නියෝග අපරාධ නඩු විධාන සංග්‍රහය 124 වගන්ති ප්‍රකාරව අධිකරණයෙන් ලබා ගැනීමට නියම කරමින් සැකකරුවන් මේ මස 19 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා හා බස්නාහිර පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙලෙස බන්ධනාගාර ගත කෙරිණ.

දිනමිණ