තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක්‌ ගැන පරීක්‍ෂණ!

තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන්ගත් වාහනයක්‌ ගැන පරීක්‍ෂණ

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ 2012.06.16 වැනිදා රාත්‍රි ඔහු ගමන් කළ වාහනය පිටුපසින් සැක සහිත ලෙස ධාවනය වූ වාහනයක්‌ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ ඔස්‌සේ දීර්ඝ ලෙස පරීක්‍ෂණ සිදුකරන්නේ යැයි පැමිණිල්ල මෙහෙයවන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා ඊයේ (14) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතාට දැනුම් දී තිබෙනවා.

එකී ඝාතනය සිදුවූ දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා ජනාධිපති මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපතිවරයාට ලැබුණ දුරකථන ඇමතුම් පිළිබඳවද විමර්ශන සිදුකරන්නේ යැයිද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී වැඩිදුරටත් අධිකරණයට පෙන්වාදී තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.  මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කොට ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එම කරුණු සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක හා පොලිස්‌ පරීක්‍ෂක සුමිත් පෙරේරා යන සැකකරුවන් දෙදෙනා ලබන 26 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කිරීමට නියෝග කොට ඇත.