නැගී එන ජාතිවාදී ව්‍යාපාරයේ අක්මුල්! රංජිත් හේනායකආරච්චිගේ ලිපියක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග ලොව පුරා ජාතිකවාදීන් තුළ උද්දාමයක් ඇති වී තිබේ. තැන තැන රඟන පුංචි පුංචි ආඥාදායකයන් තමන්ගේ වපසරියට අනුව තම ජයග්‍රාහණයන් ගැන ලෝක පිම්මක සිහින මවමින් සිටිනු පෙනේ.

ලංකාවේදී නව ජාතිකවාදය නියෝජනය කරන සිහළ උරුමය මෙන්ම ප්‍රංශයේදී නව ජාතිකවාදයේ එහි නියෝජිතයන් වන ‘ජාතික පෙරමුණ’ වැනි ලොව පුරා ලොකු කුඩා නව ජාතිකවාදී කණ්ඩායම් අමරිකාවේ ට්‍රම්ප්ගේ මෙන්ම එංගලන්තයේ බ්‍රෙක්සිට් ජය තමන්ගේ ජයක් ලෙස ගනිමින් උදම් අනිති. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන උදම් අනන හෙළ උරුමයේ නායකයන් වන චම්පික රණවකලා ඊළඟට තමන්ගේ නව සිංහල ජාතිකවාදී වැඩපිළිවෙළ ජයග්‍රහණය කළ හැකි යැයි සිහින දකින බව ඔවුන්ගේ ප්‍රකාශයන් තුලින් පෙන්නුම් කරයි. මේ ආකාරයෙන්ම මාරීන් ලෝ ෆෙන්ලා ප්‍රංශයේදීත්, ජර්මනියෙන් කුඩා කණ්ඩායමක් වන ෆවුකි ෆෙට්රි ලා වැනි කොටස් යුරෝපය පුරා රටින් රට දැකිය හැක.
මෙම ජාතිකවාදීන් තමන් සුපිරිසිදු ජාතිකවාදීන් ලෙස පෙනී සිටියා වුවත් ඔවුන්ගේ සංයුතීන් දෙස තිරය පිටුපසට විමසුම් ඇස් යොමුකළ විට පෙනෙන සාධක විමසා බැලිය යුතුය. ඒ ඒ රටට අනුව මොවුන් ගේ සංකලණයන් සහ සංයුතීන්හි විවිධත්වයක් ඇතත් මෙම සෑම ජාතිකවාදයකටම පොදු ගුණාකාරයක් තිබෙන බව දැකිය හැක.

මෙම සෑම නව ජාතිකවාදයකම ප්‍රධාන පොදු උපක්‍රමය වන්නේ සමාජය මත විශාල බියක් ජනිත කරවීමයි. එය රටින් රටට වෙනස් කරුණු පදනම් කර ගත්තා වුවත් බිය ජනිත කරවීම මූලික උපක්‍රමයයි. යුරෝපයේ ඇමරිකාවේ වැනි තැන්වල මුස්ලිම් විරෝධය, සංක්‍රමණිකයන්ට එරෙහිවීම, ත්‍රස්තවාදය ගැන බිය ජනිත කරවීම වැනි කාරණා මුල්කර ගන්නා අතර ලංකාව වැනි තැනක  බටහිර බිල්ලා, කොටි ත්‍රස්තවාදය ආදී කාරණා පෙන්වති. ඊළඟ කාරණය වන්නේ ඔවුන් තම තමනට රිසි අයුරින් බොරු ගණන් හිලව් සංඛ්‍යාලේඛණ දත්තයන් ඉදිරිපත් කිරීමයි. බොහෝ විට ඔවුන් තමන්ට රුචි අයුරින් එම දත්තයන් මවා පායි. බොහෝ විට ඒවා ප්‍රශ්නකිරීමකට ලක්කිරීමට පවා ඉඩ නොදෙනු ලබයි.මේ තත්වය හැදින්වෙන්නේ පශ්චාත් සාධක සමාජය ( Post truth = Post fact) ලෙසයි. පශ්චාත් සාධක සමාජය යනු සත්‍ය කරුණු මුල් කර ගෙන සිතීම වෙනුවට සත්‍යයෙන් තොර මෙන්ම හැගීම් මුල්කර ගත් ජනප්‍රිය කියමන් මත පිහිටා සිතීම සහ ක්‍රියාකිරීමයි. නවීන ලෝකය තුල ඇති ආර්ථික හා සමාජීය ප්‍රශ්න විසදීමට තමන්ට මොහොතකින් හැකි බව පවසන මොවුන් ඒ ප්‍රශ්න ඔවුන් විසදන ආකාරය කිසි තැනක පැහැදිලි ඉදිරිපත් කිරීමක් නොකරනු ලබයි. ඔවුන් සෑම තැනකම එයට දෙන පොදු විසදුම ජාත්‍යන්තර වාදයෙන් මිදි ජාතික රාමුව තුල රට කොටු කිරීම ලෙස පවසයි. (මෙය වෙනම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි)

මේ සමඟ මෙතෙක් ප්‍රභූ පාලක පන්ති මෙම ප්‍රශ්න නොවිසදූ බව පවසන මොවුන් ඒ ප්‍රභූ පන්තීන්වලට මේ ප්‍රශ්න විසදීමට සැබෑ වුවමනාවක් මෙන්ම නොහැකියාවක්ද ඇති බව පවසති. ( මෙම කාරණය තුල සත්‍ය ගැබ් වී තිබේ) මෙම ප්‍රභූන් අතින් ජාතික වාදීන් වන ඔවුන් අතට බලය මාරු කළ යුතු බව පවසන අතර සැබෑ අර්බුදයට හේතු හෙලිදරව් කිරීමෙන් වැලකි සිටිති. ඒවාගේම ප්‍රභූ පන්තීන් මෙම ප්‍රශ්න නොවිසදූ බව පවසන ට්‍රම්ප්ලා, බොරිස් ජොන්සන්ලා, මාරීන් ලෝ ෆෙන්ලා මෙම පාලක පන්තියටත් ඉහලින් සිටින ප්‍රභූන් බව කිසි විටෙක ඉදිරිපත් නොවේ.
ඒවාගේම මේ සෑම තැනකටම පොදු තවත් කාරණයක් වන්නේ මෙම නව ජාතිකවාදීන් අතීතකාමය තුලට සමාජය ඇද දැමීමයි. පෙරදින තිබූ සුපිරි ජීවන තත්වයන් ගැන පුන පුනා පවසන මොවුන් නැවත ඒ සුපිරි බවට ජනතාව ගෙන යන බව සපථ කරයි. එසේ කරන ආකාරය ප්‍රශ්න කිරීම වැලැක්වීමට එම ප්‍රශ්න කිරීම්වලට බාධා කිරීමට කණ්ඩායම්ක මොවුන් සමග නිරන්තරයෙන් ගමන් කරයි.

ඒවගේම මෙම නව ජාතිකවාදීන් ගෙනහැර පෑමට උත්සාහ කරනු ලබන්නේ තමන් මේ ඉදිරිපත් කරනු ලබන්නේ අලුත්ම ලෝක දර්ශණයක් බවයි. නමුත් එහි සැබෑව නම් ජාතිකවාදය, වර්ගවාදය ආගම් වාදය ආදී මේ පටු දැක්මන් අලුත් දේ නොව මිනිස් සංහතිය ආරම්භයේ සිට ගෝත්‍ර, ජාති, කුල ආගම් ආදී විවිධ ආකාරයෙන් අද දක්වාම ලෝකය තුල තැන තැන පැවතුන බවයි. 19 වන සියවස අග භාගයේ 20 වන සිය වසේ මුල් කාර්තු තුන දක්වාමත් ජාතික වාදය ලෝක දේශපාලනය තුල ප්‍රධාන බලවේගයක්ව පැවතිණි. ජාතික රාජ්‍ය බිහිවීම, ජාතික රාජ්‍යන් තම බලය තහවුරු කිරීම, 19 වන සියවස 20 සියවස්වල පැහැදිලි දේශපාලන ලක්ෂණයන්ය.

ජාතිකවාදය ජාතිවාදය දක්වා පටු වූ සෑම තැනකදීම එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස යුද්ධය නිර්මාණය වේ. මිනිස් ජීවිත මිලියන ගණනින් බිලිගත් පලමු වැනි සහ දෙවැනි ලෝක යුද්ධ ජාතිකවාදයේ ප්‍රතිඵලයන්ය. ප්‍රංශ ජනාධිපතිව සිටි ප්‍රංශුවා මිතරන් ‘ජාතිකවාදය යනු යුද්ධයයි’ 1995 දී ජාතිකවාදය නැවත මතුවීම පිළිබඳව කතා කරමින් අනතුරු ඇඟවීය.

නව ජාතිකවාදී කණ්ඩායම් අලුත් ගැම්ම ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තුලින් ලබමින් යුරෝපයේ නව ජාතිකවාදීන් නැවත බලයට ගෙන ඒමට මහත් පරිශ්‍රමයක් මේ අවධියේදී දරණ් පෙනේ. නෙදර්ලන්තයේ දී විල්ඩර්ස්ලාගේ ජයග්‍රහණයක් ගැන සිහින මවන මොවුන් ප්‍රංශයේදී මාරීන් ලෝ ෆෙන්ලා ජය ගනු ඇතැයි සිතති. ලංකාවේ චම්පික රණවක තම කතාවෙන් කියා සිටියේ ඔවුන් එදා අනූගණන්වල කියූ ආකාරයෙන් දැන් ලෝකය ජාතිකවාදය වෙත ගමන් කරමින් තිබෙන බවයි. ඒ ලංකාවේ පුංචි ආඥාදායකයන් ද ඇමරිකාවේ අති දක්ෂිණාංශික ජාතිකවාදීන්ගේ ජයග්‍රහණයෙන් උද්දාමය ලබා ඇති අයුරුයි. එහිදී චම්පික ඉදිරිපක් කරන්නේ ගෝලීයකරණය අවසාන වී ඇති බවත් ජාතිකවාදය ප්‍රශ්න විසදීමේ මාර්ගය ලෙස ඉදිරියට එන බවත්ය. මෙම කියමන නිවැරදිද? ගෝලීයකරණය අවසානයට ලගා වී තිබේද? ජාතිකවාදය තුලින් අද ලෝකයේ පවතින සංකීර්ණ ආර්ථික දේශපාලන ප්‍රශ්නවලට විසදුම් සෙවිය හැකිද? එමෙන්ම එම ජාතිකවාදයේ ජයග්‍රහණය ලොව මෙතකේ නොතිබූ අලුත් තත්වයක් උදාකර තිබේද?

ගෝලීයකරණය යනු වසර සිය ගණනක් නැතිනම් දහස් ගණනක් තිස්සේ ලෝකයේ සිදුවෙමින් පැවති ක්‍රියාදාමයකි. මිනිස් සංහතියේ දියුණුවද ඒ තුලම සිදුවී තිබේ. එක සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට ලබන ආභාෂයන් සහ හුවමාරු ලෝකය දියුණු පොහොසත් එකක් බවට පත් කිරීමට ඉවහල් වුණි. මහින්දා ගමනය මෙන්ම අරාබි වෙළෙදුන් පමණක් නොව යුරෝපීය ආක්‍රමණිකයන්ද අපටත් බොහෝ දේ දායද කළ බව අපි දනිමු. මාකෝ ෆෝලෝ ගේ චාරිකාව තුලින් යුරෝපයේ දියුණුවට ඉවහල් වන කඩදාසි, වෙඩි බෙහෙත්, නූඩ්ල්ස් ආදී බොහෝ දේ පෙරදිගින් ඔවුනට ලැබුණි. කොලොම්බස්ලා දකුණු ඇමරිකා ගමනේ දී රන් මැණික් පමණක් නොව තක්කාලි, අර්තාපල් මෙන්ම බඩඉරිඟු වැනි තවත් ආහාර වර්ගද යුරෝපීය සංස්කෘතියට එක් කරනු ලැබීය. වසර දහස් ගණනකට උඩදී පවා ග්‍රීක් දර්ශණය සහ ඉන්දීය දර්ශණ අතර හුවමාරු තිබූ බව ප්‍රකට කරුණය. මෙසේ මිනිස් සංහතියේ දියුණුවට ගෝලීය සබඳතා එදා සිට අද දක්වාම හේතු වී තිබුණි.

වසර දහස් ගණනක් හිමින් ගමන් කළ ලෝක සබඳතා කාර්මික දියුණුව සහ ධනේෂ්වර දියුණුව තුල වේගවත් වූ අතර එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල සිට නව නිදහස්වාදී ගෝලීයකරණය, නැතිනම් නව ලිබරල්වාදයේ ආධිපත්‍ය ලෙස සිදු කරනු ලබන ගෝලීයකරණ ක්‍රියාදාමය මිනිස් සංහතියට යහපත් දේ මෙන්ම විශාල අගතීන්ද හිමිකරමින් පවතී. එසේම නව ලිබරල්වාදී ආර්ථික ක්‍රියාදාමය ලෝකය මත නපුරු ආක්‍රමණකාරී ආකාරයකින් පැතිර වූ අතර එය ගෝලීයකරණයට ටෝබෝ යන්ත්‍රයක් සවිකලාක් මෙන් වේගවත්ව පැතිවරවනු ලැබීය. අද වන විට යුරෝපය පුරාත් ඇමරිකාවේත් මෙම නවලිබරල් ව්‍යාප්තවාදයට එරෙහිව විරෝධය පලවෙමින් පවතී. මෙම නව ලිබරල්වාදය විසින් ලෝකයේ සම්පත් නැත්නම් ධනය එක්තරා සුළු පිරිසක් අතට පත්කරන අතර දියුණු ධනපති රටවල ‘වැඩ කරන දුප්පතුන්ගේ ‘ (Working poor) සමාජයක් බිහි කරනු ලබයි. මෙම නව ලිබරල්වාදය විසින් පැරණි ධනවාදී රටවල ලිබරල්වාදය විසින් වැඩකරන ජනයා දිනාගෙන තිබූ සමාජයමය අයිතීන් එකින් එක දිනෙන් දින කප්පාදු කරනු ලැබීය. හැට ගණන් අග හැත්තෑ ගණන්වල මුල මෙය ඇරඹෙන විට එහි පසුකාලීන අයථා විපාක එදා දැක ගැනීමට ධනපති ආර්ථික විද්‍යාඥයන් මැලි විය.
එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් රටවල් මත පටවන ආර්ථික වැඩ පිළිවෙල වන මෙම නව නිදහස්වාදය අද අර්බුදයේ හේතු කාරකයායි. ප්‍රාග් ධනයට නිදහසේ හැසිරීමට ඉඩ හැරීම එනම් ලාභ උපරිම කිරීමට තිබූ සියළු බාධා (නීති) ඉවත් කිරීම, රජය සියළුම ආර්ථික කාර්යන්ගෙන් ඉවත්ව නිෂ්පාදනය සහ වෙළදාම පුද්ගලිකකරණයට යටත් කිරීම, සමාජ සුභ සාධනයන් කපා හැර රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකකරණයට හසු කිරීම, වැනි නවලිබරල්වාදී නීති පද්ධතියකට ලෝකයේ රටවල් හසු කරනු ලැබුණි. ලිබරල්වාදය විසින් දිගු කලක් තිස්සේ ධනවාදී රාජ්‍යන් තුළ සමාජ යහපත සඳහා දිනාගෙන තිබූ යම් යම් අයිතීන් සහ ආරක්ෂක නීති පද්ධතීන් ලාභය පමණක් උපරිම කිරීමේ නව ලිබරල්වාදය විසින් එකින් එක බිද හෙලනු ලැබීය.

මෙම ක්‍රියාවලියට මූලික මග පෙන්වීම සිදු වන්නේ හැට ගණන්වල අග භාගයේ ලෝක බැංකු ප්‍රතිපත්ති තුලිනි. එවකට ලෝක බැංකු අධිපති වූ රොබට් මැක්නමාරා සහ ඔහුගේ අනුගාමික ආර්ථික විශේෂඥයන්ගේ මග පෙන්වීම මෙම නව ලිබරල් නැම්ම ලෝකය තුල ඇති කරනු ලබයි. ඒ නව ලිබරල් නැතිනම් කොන්සවේටිව් දේශපාලනය ලෝකය පුරා ප්‍රචලිත කිරීමේ දේශපාලන නායකයන් වන්නේ රෝනල්ඩ් රේගන් සහ මාග්‍රට් තැචර්ය. එදා රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වන්නේ මෙම බද්දෙන් නිදහස් ආර්ථිකයක් ගැන දේශනා කළ ආතර් ලැෆර් වැනි ආර්ථික විද්‍යාඥයන්ය. මෙම නව ලිබරල් ආර්ථික දේශපාලනය ලෝකය පුරා විශාල වේගයකින් ගමන් කරන අතර ලොව සෑම අස්සක් මුල්ලක්ම වෙළඳ පොළ ආර්ථිකයක ඈදා ගනු ලබයි. එයින් යහපත් දේද සිදුවන නමුත් එතුලින් සිදුවන වඩාත් අයහපත් ප්‍රතිඵලය වන්නේ විශාල ලෙස පැතිරුණු වැඩකරන දුප්පතුන්ගේ සමාජ පන්තියක් බිහිවීමයි. (1998 දී මවිසින් ලියන ලද ‘නව නිදහස්වාදය තුළ ජගත්කරණය’ නම් කෘතියේ එදා තත්වය අනුව නව ලිබරල්වාදයේ ආධිපත්‍ය පැතිරෙන ආකාරය එතුලින් ගෙන දෙන ප්‍රතිඵල මවිසින් විස්තර කරනු ලැබීය)

අද තත්වය නම් නව ලිබරල්වාදයේ ආනිසන්ස වැඩියෙන්ම විදින රටවල් බවට පත්වී ඇත්තේ දියුණු ධනපති රටවල් අතරින් වැඩියෙන්ම නව නිබරල්වාදයට නතු කළ රටවල්ය. රොනල්ඩ් රේගන් සහ මාග්‍රට් තැචර් ඇමරිකා එක්සත්ජනපදය හා එංගලන්තය තුල නව ලිබරල් ප්‍රතිපත්ති පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒවායින් කෙටි කාලීන වාසි ලැබුවා වුවත් දිගු කාලීනව ඇති නැති පරතරය විශාල කර පැතුරුණු වැඩ කරන ජනයාගේ ජීවිත ප්‍රපාතයට ඇද දමා ඇත. වෘත්තීය සමිති මර්දනය කර වෘත්තීය අරගල කර වැඩ කරන පන්තීන් දිනා සිටි අයිතීන්, කප්පාදු කරනු ලැබූ අතර නව ලිබරල් ආර්ථික දේශපාලනය තුල ඔවුන්ව අසරණ කරනු ලැබීය. එහි අවසාන ප්‍රතිඵලය අද වන විට බ්‍රෙක්සිට් සහ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයන් තුලින් පෙන්නුම් කරමින් පවතී.