උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද?

උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බුවල්ලා

සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද එනවිටම ලංකාවේ අන්තවාදීන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන ඝෝෂාව සමාජය තුල තීව්ර කරයි. මෙය දැන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වෙන අදිසි ප්‍රයාමයකි. මවිතය දනවන කරුණ නම් මේ පසුපස සිටින්නේ කවුදැයි මේ දක්වා කිසිවෙකු විමසා නොබැලීමයි.

මීට වසර ගණනාවකට ප්‍රථම සිංහල අළුත් අවුරුදු සමයේදී අන්තවාදීන් විසින් නෝලිමිට් ටොෆියක පලහිලව්වක් විශාල ඝෝෂාවකට නැගුවා ඔබට දැන් අමතකවී ඇති බව නිසැකය. නෝලිමිට් විසින් වඳපෙත්තක් සිංහල කාන්තාවන්ට දෙන බව එම ඝෝෂාවයි. නමුත් පසුව අප සොයා බලන විට දැනගන්නට ලැබුණේ මෙම ටොෆිය නිශ්පාදනය කර තිබුණේ සිංහල ව්‍යාපාරිකයෙකුය අයත් ග්ලූකෝරස ආයතනයෙන් බවයි. එමෙන්ම එම ටොෆියේ අඩංගු රසායනික සාමාන්‍ය ටොෆි වල තිබෙන ඒවාම බව අපට තහවුරු විය.

ඉන්පසුව එළඹුනේ ෆිටෝන් කාමර වල කැමරා සවිකර ඇති බවයි. එම චෝදනාවත් නිෂේධ වුයේ එහි සත්‍යතාවයක් නැති බව සනාථ වීමෙන් පසුවය. නමුත් ගම්පහ ප්‍රදේශයේ සිංහල ව්‍යාපාරිකයෙකු මරා දැමුණේ ඔහුගේ සාප්පුවට ආ කාන්තාවක ෆිටෝන් කාමරයේදී වීඩියෝ කිරීමේ පලහිලව්වක් මත බව පසුව හෙළිවුනි. සැබවින්ම මෙය මුස්ලිම් වෙලදසැලක සිදුවුනා නම් මාධ්‍ය හැසිරෙන්නේ මීට වඩා ඉතාමත් සාහසිකව බව ඔබ කවුරුත් දන්නාවු සත්‍යයකි.

මෙවර උත්සව සමය එළඹීමත් සමග දෙමටගොඩ මුස්ලිම් වෙලදසැලක බෞද්ධ කොඩිය කලිසම් සාක්කුවට මසා විකුණනවා යනුවෙන් එක්තරා රූපවාහිණි නාලිකාවක් විසින් පුවතක් ප්‍රචාරය කෙරුණා. පසුව අප විසින් හෙළිදරව් කෙරුණේ එම කලිසම් මසා වෙලඳපොලට නිකුත් කර තිබුණේද සිංහල ව්‍යාපාරිකයෙකුම බවයි. එය අනාවරණය වීමත් සමගම එම ඝෝෂාවත් යටපත් විය. කෙසේ නමුත් මේ සියළුම සිද්ධි දාමයන් අවසන් වන්නේ මුස්ලිම් පාර්ශවයට බෝලය පාස්කර අවසන් වු පසුව වීම විශේෂිත දෙයකි. මෙමගින් වන හානිය සම්බන්ධව මාධ්‍ය මගින් නැවත නිවැරදි කිරීම් සිදුකරන්නේ නැත.

පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ පෝස්ටර් ව්‍යාපාරයක් ඇරඹුනේ මේ අතරතුරයි. මෙම පෝස්ටර් වලින් කියැවුණේ සිංහලයන්ගේ විනාශය අතලඟයි කියායි. මෙම පොස්ටර් මගින් කියැවුනේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙසයි. මා මේ දිනයේ කුරුණෑගල ප්‍රදේශයේ සිටි නිසා මෙම පොස්ටර් ඡායාරූපයට ගත්තා පමණක් නොව එය කලේ කවුරුන්දැයි සොයා බැළුවෙමි. මෙම පොස්ටර් බැලු බැල්මටම අන්තවාදීන් කරන ඒවාට වඩා ඉතාමත් හොද තත්වයෙන් කළ ඒවා බව වැටහුණි. අනික මෙම පෝස්ටර් ඇලවී තිබුණේද ඉතාමත් පලපුරුදු ක්‍රමවේදයකටය.

පෝස්ටර් ඇලවී තිබුණු ආකාරය ටියුෂන් මාස්ටර්ලා තම පෝස්ටර අලවා ගන්නා ආකාරයට සමානකම් තිබුණි. අප විසින් සොයා බලන කල මෙම පෝස්ටර් ව්‍යාපාරයට මුලිකත්වය ගෙන තිබු තැනැත්තා කලින් කුරුණෑගල ප්‍රදේශයේ ටියුෂන් මාස්ටර්ලා ලඟ ටික්කෙකු ලෙස වැඩකළ තැනැත්තෙකු බවට හෙළිවිය. මෙතරම් පෝස්ටර් ප්‍රමාණයක් මුද්‍රණය කර ඒවා ඇලවීම සදහා දායක වී තිබුණේ කුරුණෑගල සහ දිවයින ප්‍රරා ඉංග්‍රීසි අකුරු තුනක් සහිත වෙලදනාමයක් ඇති රෙදිපිලි වෙලෙන්දෙකු විසිනි. දැන් කාරණය ඉතාමත් පැහැදිලි වුනි. ඇත්ත වශයෙන්ම මෙතෙක් කලක් අළුත් අවුරුදු කාලය එළඹෙන විට මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්නැයි ඝෝෂාවේ අදිසි හස්තය හමුවිය.

ඇත්තටම මේ තැනැත්තාගේ අතීතයද ඉතාමත් ගඳගහන එකක් බව මම පුද්ගලිකවම දනිමි. තමන්ගේ වෙලඳ අරමුණු ඉටුකරගැනීමට මෙවැනි පහත් තත්වයේ දේවල් කිරීමට මේ තැනැත්තාට ඉතාමත් පහසු බව ඔහුගේ අතීත සංසිද්ධි තුලින්ම අපි දනිමු. එමෙන්ම මේවාට අනුබල දෙන සහ මෙමගින් වාසි සලසා ගන්නට උත්සාහ දරණ තවත් වෙලෙන්දන් කිහිප දෙනෙකුම අප විසින් හදුනා ගෙන ඇත. මේ සියළු දෙනා රෙදිපිළි වෙලඳ මාෆියාවක කොටස්කරුවන්ය. මොවුන්ට අවශ්‍ය කරන්නේ සිංහල අවුරුදු සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියා ඝෝෂාවක් ඇති කොට වෙලදාමේ වැඩිපුර කොටස තමන් ගිල ගැනීමටයි.

ඇත්තටම මුන් රටටත් ජාතියටත් ආගමටත් ආදරය කරන වුන් නොව මුදලට කෑදර අයයි. මොවුන්ට ජනතාවට සෙත සලසන්නට අවශ්‍ය නම් කළයුත්තේ උත්සව සමයේ රෙදිපිළි ජනතාවට පහසු මිලකට ලබාදීමයි. ජනතාවගේ රුචිකත්වය බලා ඒ අනුව විලාසිතා ඉදිරිපත් කිරීමයි. භාන්ඩ ලාභ කරන අතරතුර ගුණාත්මක තත්වය උසස් කිරීමයි. අවසාන වශයෙන් පාරිබෝගිකයන්ට යහපත් මෙන්ම ගෞරවාන්විත සේවාවක් ලබාදීමයි. මේ එකක්වත් නොකර ජනතාව අතර බොරු බියක් ඇතිකර තම ව්‍යාපාරික කුට්ටිය වැඩිකර ගැනීමට ඔවුන් දරන උත්සාහය නම් නිර්ලජ්ජිතය.

නමුත් ජනතාව මේවායින් අන්දන්නට පුළුවන් යැයි සිතීම මෝඩ කමකි. තමන්ට අවශ්‍ය විලාසිතාව ඉතා ගුණාත්මකව සහ පහසු මිලට ගතහැක්කේ කොහේද යන්න ජනතාව සොයා බලති. තමන් විසින් රෙදිපිළි මිලදී ගත යුත්තේ කෝහේද? යන්න ඔවුන් තෝරා ගන්නේ ඉන් අනතුරුවයි.

 

 

 

One Comment to “උත්සව සමයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන රෙදිපිළි බූවල්ලා කවුද?

  1. Businessmen are behind the scene, they should be put behind the bar for creating calamity between communities for their Own benefits and disturbing the Law and Order!

    Will the Law Enforcement Authorities look in to this nasty work!

Comments are closed.