පලස්තීන නිදහස් සටනේ නොමැකෙන නාමයක්! “හිලේරියන් කපුචි අගරදගුරු තුමා”

පලස්තීන නිදහස් සටනේ නොමැකෙන නාමයක්! “හිලේරියන් කපුචි අගරදගුරු තුමා” Archbishop Hilarion Capucci

පලස්තීන වැසියන්ට මෙම වසර ආරම්භ වුයේ අශුභදායක පුවතක් සමගය. ඒ ඔවුන්ගේ ඉමහත් ආදරයට පාත්‍රවූ ග්‍රීක මෙල්කයිට් අගරදගුරු හිලේරියන් කපූචි අගරදගුරු තුමා Archbishop Hilarion Capucci අවුරුදු 94 ක් ආයු වලඳා රෝමයේදී අභාවප්‍රාප්ත වු පුවත සැලවීමයි.

එතුමා පලස්තීන වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම මුළු ජීවිතයම කැපකළ අගරදරුගු තුමෙකි. දේවධර්මයේ අනුහස තම තම ජීවිතයට ලබාගත් එතුමා පලස්තීන වැසියන් පාගාගෙන පීඩාවට පත්කරන ඊශ්‍රායෙලයට විරුද්ධව එඩිතරව අරගල කළ අගරදගුරුතුමෙකි. මෙම අරගලයේ උච්චතම සිද්ධිය වුයේ 1974 අගෝස්තු මස එතුමා වතිකානු තානාපති ලාංඡනය සහිත තමන්ගේ වාහනයේ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමග ලෙබනනයේ සිට ජෙරුසලම දක්වා ගමන් කරමින් සිටින විට ඊශ්‍රායෙල් හමුදා සොල්දාදුවන්ගේ සෝදිසි කිරීම්වල ප්‍රථිඵලයක් ලෙස අත්අඩංගුවට පත් වීමයි. ඊශ්‍රායෙල් යුධ අධිකරණය එතුමන්ව අවුරුදු 12 කට සිරගත කිරීමට නියම කළේය. ඊට විරුද්ධව එතුමන් නිරාහාර උපවාසයේ යෙදුනු අතර පලස්තීන ගරිල්ලන් විසින් එතුමන් ඇතුළු සිරකරුවන් කිහිප දෙනෙකුගේ නිදහස ඉල්ලා 1976 දී ප්‍රංශ ගුවන් සේවයට අයත් ගුවන් යානයක්ද පැහැර ගන්නා ලදී. කෙසේ වෙතත් 1978දී VI වන පාවුළු පාප්තුමන්ගේ බලපෑම මත ඊශ්‍රායෙල් රජය නැවත එතුමන් මැදපෙරදිග රටක කිසිදු නිලයකට පත් නොකරන කොන්දේසිය මත නිදහස් කරන ලදී. එතුමන් හිර අඩස්සියට පත් කිරීම එවකට මෙල්කනයිට් සභාවේ රදගුරුතුමන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. “මෙම අගරදගුරුතුමා අවි ආයුධ දැරීම තමන්ගේ යුතුකමක් ලෙස සැලකුවා නම් එතුමන් පිට වරද තැබිය හැකි වනුයේ කෙසේද? ඉතිහාසය තුල අපි දකිනවා නාසි කදවුරු වලින් ජුදා ජාතිකයන් බේරා ගැනීම සදහා අවි ආයුධ නීති විරෝධීව ප්‍රවාහනය කරමින් හා නීති විරෝධී ක්‍රියාවන්හි යෙදෙමින් තම ජීවිත අන්තරාව කැපකළ වෙනත් රදගුරුතුමන්ලා සිටිය බව, මට තේරෙන්නේ නැහැ අරාබි ජාතිකයන්ව නිදහස් කර ගැනීමට සූදානම් මනුෂ්‍යයෙක්ව වරදට තීන්දු කරන්නේ කෙසේද කියලා. එසේම ඊශ්‍රායෙලය ජෙරුසලමට ඇතුළුවී සිටින්නේ නීති විරෝධීව එක්සත් ජාතීන්ගේ ඉල්ලීම් වලට එරෙහිව යමිනුයි.”

එමෙන්ම කපුචි රදගුරු තුමන්ට එරෙහිව තවත් චෝදනාවක් වුයේ එතුමන් 1974 වසරේදී ඇමරිකා එක්සත් ජනපද  රාජ්‍ය ලේකම් වු හෙන්රි කිසිංගර් ජෙරුසලමට පැමිණෙන අවස්ථාවක ඔහුව ඝාතණය කිරීම සදහා රොකට් 3ක් භාවිතා කිරීමේ සැලැස්මක කොටස් කරුවෙකු වු බවයි.

හිරෙන් නිදහස් වු පසුව එතුමන්ව පාප්තුමන් විසින් ලතින් ඇමරිකාවේ නිල කටයුතු සදහා පත්කළ අතර පසුව දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් එතුමන්ව යුරෝපයට පත්කරන ලදී. එම කාලය තුලදී පවා එතුමා ක්‍රියාකාරී විය. 1979දී ඉරානයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස හිර අඩස්සියට පත්වු ඇමරිකන් ජාතිකයන් බැහැ දැකීමට එතුමන් ඉරානයට ගියේය. එමෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ අසාර්ථක මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත්වු ඇමරිකානු සොල්දාදුවන් අට දෙනෙකුගේ මෘතදේහයන් සමග එතුමන් ඇමරිකාවට පැමිණියේය. 1990 වසරේදී සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කිරීමෙන් පසු හිර අඩස්සියට පත්වු ඉතාලි ජාතිකයන්ව නිදහස් කර ගැනීමට එතුමන් මැදිහත් විය. තවද 2010 වසරේදී ගාසා තීරයට සහන සේවා භාන්ඩ ගෙන ගිය නැව ඊශ්‍රායෙල් හමුදාවේ අත්අඩංගුවට පත්වන විට අගරදගුරුතුමාද එම නැවේ වු අතර, එතුමන් හිර අඩස්සියට පත්කර පසුව පිටුවහල් කරන ලදී. 2000 වසරේදී එතුමන්ගේ නායකත්වය යටතේ සම්බාධක විරොදී කංඩායමක් ඉරාකය බැහැදැකීමට ගිය අතර එහිදී එතුමන් ප්‍රකාශ කළේ “මැදපෙරදිග රටවල් දෙකක ජනතාව පීඩා විදිති. ඒ සම්බාධක නිසා ඉරාක ජනතාව සහ තමන්ගේ ආත්ම ගරුත්වය හා අභිමානය වෙනුවෙන් අරගල කරන පලස්තීන ජනතාව.”

ඉරානය, ඊජිප්තුව, ලිබියාව, සුඩානය සහ සිරියාව වැනි රටවල් එතුමන්ගේ ඡායාරූප සහිත තැපැල් මුද්දර නිකුත් කරමින් එතුමන්ට ගෞරවය දක්වා ඇත. පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක සාමාජිකාවක සදහන් කළේ “කපූචි අගරදගුරු තුමා අපට සිහිපත් කරනුයේ වියට්නාම් යුධ විරෝධයේ සිට ලතින් ඇමරිකානු විමුක්ති අරගල වල ක්‍රියාකාරී වු ගරු පියතුමන්ලාගේ යුගය බවයි. එතුමන් ක්‍රියාකාරී සභාව නිරූපනය කළා. එතුමන් තම ප්‍රතිපත්තීන් ක්‍රියාවට පරිවර්තනය කළ අසාධාරණයට විරුද්ධව අරගල කළ ආගමික නායකයෙක්. විප්ලවකාරී පියතුමන්ලාගේ යුගය දැන් අවසානයි. කතෝලික සභාව තවදුරටත් ක්‍රියාකාරී අරගලයක් තුල නැහැ. සභාව දැන් සිටින්නේ අදිමදි කරමින් ප්‍රවේසම්කාරී ලෙස හැසිරෙන යුගයක. අද පියතුමන්ලා අරගලයට සහයෝගය දක්වන්නේ විප්ලවවාදීන් ලෙසට වඩා සාක්ෂිකරුවන් හා පක්ෂව මත ප්‍රකාශ කරන්නන් ලෙසයි.”

අසාධාරණයට පීඩාවට පත්වු පලස්තීන ජනතාව වෙනුවෙන් තම ජීවිතයම කැපකළ හිලේරියන් කපූචි අගරදගුරු තුමාට අප අපගේ ගරුත්වය පලකරන අතර, පීඩාවට පත් ජනතාව සමග නිදහස පතා අරගලයේ ක්‍රියාකාරී ලෙස යෙදෙන ආගමික නායකයන්ගේ අවශ්‍යතාවය අප දැඩිලෙස අවධාරණය කරනු ලබයි.