බලය නැතත් ජනතාවට සේවය කරයි! මේ සිංහල ෆාරුක්‌!

වර්තමානයේ දී මැති ඇමැතිවරයකු නොවුවද සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා ජනතාව තවමත් හමුවන දේශපාලනඥයකු රුවන්වැල්ලේ සිටී. වාද භේදයකින් තොරව හැකි අයුරින් ජනතාවට යමක්‌ කරදීම එකම අරමුණ කොට ගෙන සිය දේශපාලන ජීවිතයේ 53 වන වසර ගත කරන මෙම අපූරු දේශපාලනඥයා වනුයේ අල්හාඡ් යූ. එල්. එම්. ෆාරුක්‌ මහතාය.

දැනට 76 වන වියේ පසුවෙමින් දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටියද ජනතාවගෙන් ඔහුට බේරී සිටීමට නොහැකි වී ඇත. එනයින් රුවන්වැල්ලේ කන්නන්තොට රොෂානා නිවසේ ඔහු සිටින හැම දිනකම සෑහෙන පිරිසක්‌ ඔහු සොයා එනුයේ තමන්ගේ ගැටලුවලට කුමන හෝ විසඳුමක්‌ ඔහුගෙන් ලැබෙන බැවිණි.

රුවන්වැල්ල ආසනය නියෝජනය කරමින් ඔහු වසර 14 ක්‌ පාර්ලිමේන්තුවේ එජාප මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. අනතුරුව දෙවරක්‌ම ලංගම සභාපති ධුරය උසුලනු ලැබීය. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සභාපතිවරයා ලෙස ද කලක්‌ කටයුතු කළේය. ඒ නිසාම පක්‌ෂ විපක්‌ෂ සියලු දේශපාලනඥයන් සේම රාජ්‍ය නිලධාරීන් ද ඔහු හඳුනයි.

ජනතාවගේ ගැටලුවලට පිළියම් සොයා දෙනුයේ මේ දැන හැඳුනුම්කම් ප්‍රයෝජනයට ගනිමිනි.

දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා 1956 වසරේදී වාමාංශික නායකයන් සමඟ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා රුවන්වැල්ලට පැමිණි අවස්‌ථාවේ ගැටවර වියේ පසුවූ ෆාරුක්‌ මහතා ඔහුට විශාල සහයෝගයක්‌ ලබා දුන්නේය. ගම් නියම් ගම් කරා ගොසින් කැපවී කටයුතු කළ ද ප්‍රේමදාස මහතා පරාජයට පත්විය. එහෙත් ඒ මහතා පසු කලෙක ජනාධිපති වූ විට කෘතගුණ සැලකීමක්‌ ලෙස එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ෆාරුක්‌ මහතාට ප්‍රවාහන රාජ්‍ය ඇමැතිකම දෙනු ලැබීය. එසේම ෆාරුක්‌ මහතාගේ ඉල්ලීම් ඉටුකරමින් රුවන්වැල්ලේ සංවර්ධන කටයුතු වලට ද උපකාර කළේය.

එජාප ක්‍රියාකාරී දේශපාලනයට එක්‌වෙමින් 1965 මැතිවරණයෙන් ජයගත් පී. සී. ඉඹුලාන මහතාගේ පෞද්ගලික ලේකම් වූ ෆාරුක්‌ මහතා කෑගල්ල දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභාවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය. ඔහු මුලින්ම පාර්ලිමේන්තුවට පත්වන්නේ 1988 වසරරේදී ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් පී. සී. ඉඹුලාන ඇමතිවරයා ඌව ආණ්‌ඩුකාරවරයා ලෙස පත්කළ පසුවය.

එහිදී සිරිකොත මගින් රුවන්වැල්ලට මන්ත්‍රීවරයකු පත්කර ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවනු ලැබීය. ඒ අනුව හිටපු දේශපාලඥයන් ඇතුළු 27 දෙනකු ඒ සඳහා ඉදිරිපත් විය. එහිදී මුස්‌ලිම් ජාතිකයකු ලෙස ෆාරුක්‌ මහතා ද ඒ අතර විය. එජාප ශාඛා හා තරුණ සමිති නියෝජිතයන් 151 දෙනෙකුට ඡන්ද අයිතිය තිබිණි. එක්‌ අයකු පමණක්‌ මුස්‌ලිම් වූ අතර අනෙක්‌ සියලු දෙනාම සිංහල ජාතිකයන් විය. එහිදී සිංහල ඡන්ද 98 ක්‌ම ලැබුණේ ෆාරුක්‌ මහතාටය. ඔහු පාර්ලිමේන්තුවට ගියේ ඒ අයුරිනි. අනතුරුව 1989 මැතිවරණයට තරග කළ ෆාරුක්‌ මහතා කෑගල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළ එජාප නියෝජිතයන් අතරින් දෙවන තැනට ද පත්විය.

1994 මැතිවරණයෙන් ද විශිෂ්ට ලෙස ජයගත් ෆාරුක්‌ මහතා ප්‍රේමදාස යුගයේ ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා විය. ඉන්පසු ඔහුට දේශාපාලනයෙන් ඉවත්වීමට සිදුවූයේ එජාප නායකයන්ගේ ඉල්ලීමක්‌ ඉටුකිරීමටය. එනම් 2000 වසරේදී පැවැති මැතිවරණයේදී රුක්‌මන් සේනානායක මහතාට අවස්‌ථාව ලබා දීමටය. එජාප නායකයන්ගේ ඉල්ලීමට අවනත වූ ඔහු සිය ආසනය සේනානායක මහතාට පරිත්‍යාග කළේ ඊට එරෙහිව වචනයක්‌ හෝ කතා නොකිරීමෙනි. එමතු නොව ඔහු සේනානායක මහතාට සහාය ලබා දුන්නේය. එහිදී ෆාරුක්‌ මහතා ගොඩනගා තිබූ ඡන්ද පදනම මත සේනානායක මහතා ජයග්‍රහණය කළේය.. කෙසේ වුවද දේශපාලන අතීතය දෙස බැලීමේදී ෆාරුක්‌ මහතා පරාජිත දේශපාලනඥයකු නොවේ. මෑතකදී පනස්‌ වසරක දේශපාලන ජීවිතය සැමරීම සඳහා බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවය ද ගරු ගාම්භීර අයුරින් සිදුවූයේ ඒ නිසාය. සිංහල භාෂාව මැනවින් හැසිරවිය හැකි ෆාරුක්‌ මහතා සිංහල බෞද්ධ ජනතාවට කෙතරම් සමීපද යත් ඔහු හඳුන්වන්නේ සිංහල ෆාරුක්‌ කියාය. බෞද්ධ විහාරස්‌ථානවල පැවැත්වෙන පිංකම් සඳහා හැකි සෑම විටම සහභාගි වන ඒ මහතා ප්‍රදේශයේ භික්‌ෂූන් වහන්සේලාගේද සමීප දායකයෙකි.

මේ වන විට ජනතා සේවය සඳහා ඔහු යූ. එල්. එම්. ෆාරුක්‌ පදනම හා තුන් කෝරල පුරවැසි එකමුතුව සංවිධානය පිහිටුවා ඇත. එම සංවිධානයේ අනුශාසකත්වය දරන්නේ හාල්යාලේ අරියවංශ නාහිමියන්ය.

මෙකී සංවිධාන මඟින් වාර්ෂිකව ප්‍රජා සත්කාර්යයන් ද සිදුකරයි. පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, දිළිඳු පවුල්වලට ආධාර ලබාදීම, ළදරු පාසල්වලට උපකරණ බෙදා දීම, ගැබිනි මාතාවන්ට පෝෂණ ආහාර ලබාදීම ඇතුළු විවිධ සුබ සාධන කටයුතු මෙකී පදනම හරහා සිදුකරමින් පවතී ඉකුත් වෙසක්‌ පොහොය සැමරීම සඳහා ප්‍රදේශයේ විහාරස්‌ථානවලට විදුලි බුබුළු වැල් 26000 ක්‌ ලබා දීම ද ෆාරුක්‌ මහතා විසින් සිදුකරනු ලැබීය.

මෙකී කරුණු මත පිහිටක්‌ අපේක්‌ෂාවෙන් ජනතාව තවමත් ඔහු සොයා එති. එවිට කුමන හෝ පිළියමක්‌ ඊට ලබාදීමට ෆාරුක්‌ මහතා උත්සාහ කරයි. බොහෝ විට ඒවා සාර්ථක වේ. ඒ නිසා ඔහු තවමත් ජනහද බැඳගත් සැබෑ දේශපාලන සමාජ සේවකයෙකි.

දූෂණ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා කිසිවක්‌ නොමැති ෆාරුක්‌ මහතාගෙන් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විමසන ලදුව එජාපය වෙනුවෙන් වෙනස්‌ නොවී අවංක දේශපාලනයක්‌ කළ තමාට මෙවර ජනතාවට සේවය කිරීම සඳහා තනතුරක්‌ ආදී කිසිවක්‌ නොලැබුණ බව පැවසීය. එසේම තමන් ද ආත්ම ගරුත්වය තබාගෙන කිසිවක්‌ නොඉල්ලපු බවද ඒ මහතා කීය.

වසර ගණනාවක්‌ නොකඩවාම ප්‍රේමදාස ගුණ සමරු උත්සවය කළ එකම පුද්ගලයා තමා බවද ඊට සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වූ බව ද ඒ මහතා පවසයි. වෙනත් පක්‌ෂවලට ඇරයුම් කළ ද පක්‌ෂ මාරු නොකර ස්‌ථිර ප්‍රතිපත්තියක පිහිටා තමා මේ වනතුරුම කටයුතු කරන බවද ඒ මහතා පැවැසීය.

සම්මුති ආණ්‌ඩුව තුළ භේද ඇතිවුවහොත් එහි අනිසි ප්‍රතිඵල විඳීමට සිදුවන්නේ ජනතාවට බවද ඒ මහතා කීය. එසේම ජනතාව වෙනසක්‌ සිදුකළේ දුෂණ අක්‍රමිකතාවලින් තොර පිරිසිදු දේශපානයක්‌ අපේක්‌ෂාවෙන් බවද, එය සිතට ගෙන දේශපාලඥයන් කටයුතු කළ යුතුව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

විමලරත්න සමරක්‌කොඩි

දිවයින පුවත්පත