ලාංකික මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය යනු කුමක්ද?

විවාහය සම්බන්ධව ලංකාවේ තිබෙන එක් නීතියක් වන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියයි. මේ මුස්ලිම් විවාහ නීතිය, උඩරට විවාහ නීතියෙන්, සාමාන්‍ය විවාහ නීතියෙන් හා තේසවලාමේ නීතියෙන් වෙනස් වෙනවා. ඒකට හේතුව වන්නේ යම් පුද්ගලයෙක් ඉස්ලාම් ධර්මය අදහන කෙනෙක්ද යන්න මත එම පුද්ගලයා මුස්ලිම් විවාහ නීතිය බලපාන බැවිනි. අනෙකුත් උඩරට නීතිය බලපාන්නේ උඩරට ජනතාවට පමණි. තේසවලාම නීතිය බලපාන්නේ යාපනය ආශ්‍රිතව හින්දු ජනතාව වෙතයි. සාමාන්‍ය විවාහ නීතිය යටත් විජිත යුගයේදී කිතුණුවන්ගෙන් අරඹා අද බෞද්ධ හෝ ඕනෑම කෙනෙකුට බලපාන එකක් බවට පත්ව ඇත.

එමෙන්ම මෙම නීතිය යම් ප්‍රදේශයකට අයත් වන නීතියක්ද නොවේ. මෙහි දක්නට ලැබෙන සුවිශේෂී කාරණයක් වන්නේ යම් පුද්ගලයෙකු සාමාන්‍ය නීතියෙන් පාලනය වුවත්  තේසවලාමේ නීතියෙන් පාලනය වුවත් එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නේ නම් ඒ දිනයේ සිට එසේ වැළඳගත් කෙනා මුස්ලිම් නීතියෙන් පාලනය වීමයි. සරලව දක්වන්නේ නම් යමෙක් මුස්ලිම් නීතියෙන් පාලනය වන්නේද යන්න රදා පවතින්නේ එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය ඇදහීම මගිනි.

ලාංකීය මුස්ලිම්වරුන්ගේ වගතුග

ලාංකීය මුස්ලිම්වරුන්ගේ වග තුග

ලාංකීය මුස්ලිම්වරුන්ගේ ඉතිහාස කරුණු මොනවාද? කෙතරම් අතීතයකට මෙය දිව යනවාද? මුලික වශයෙන් පොත් පත්වල සදහන් වන ආකාරයට අරාබිවරුන් ලංකාවට පැමිණ තිබෙන්නේ ඔවුන් ඉස්ලාම් ධර්මය වැලද ගැනීමටත් පෙර සිටය. අනුරාධපුර යුගයේදී නගරයේ යවන වීථි එනම් යොන් වීදි තිබුණු බව ඉතිහාසයේ සටහන් වෙනවා. ඒ කියන්නේ ඒකාලයේ සිට අරාබි වරු මෙහි ජීවත් වු බවයි. ඉන්පසුවද 8 වන හා 9 වන සියවස්වලදී වෙළදුන් ලෙස මුස්ලිම් වරු ලංකාවට ඇවිත් තියනවා.  ඊට අමතරව පසුකාලීනව ඉන්දියාවෙන්ද ලංකාවට මුස්ලිම් වරු සංක්‍රමණය වෙලා තියනවා.  ලංකාවේ මුස්ලිම්වරු පැවත එන්නේ ඒ විදියට ලංකාවට ආපු අයගෙන් කියලයි සදහන් වෙන්නේ.

ඒ වගේම ලන්දේසි පාලන කාලයේදී ලංකාවට සොල්දාදුවන් වශයෙනුත් පිරිස් පැමිණ තිබෙනවා. මෙම පිරිස් බදවාගෙන තියෙන්නේ අතීතයේ ජාවක රට එනම් වත්මන් ඉන්දුනීසියාව සහ මැල්සියාව වන අතර ඔවුන් මැලේ ජාතිකයන් ලෙස පොදුවේ හැදින්වෙනවා. එම මැලේ ජාතිකයන්ගෙන් පැවත එන පිරිස්ද ලංකාවේ මුස්ලිම් ජන කොටස වලට අයත් වනවා.

එමෙන්ම ලන්දේසීන්ගේ පාලන කාලයේදී මොහම්මදික ආගම අදහන පිරිසට තිබුණු මුලික ගැටළුවක් වුයේ ඔවුන්ගේ නිතිය කුමක්ද යන්නයි. ඒ නිසා ලන්දේසි යුගයේ ෆල්ක් ආණ්ඩුකාරවරයා විසින් මුස්ලිම් නීති සංග්‍රහයක් ගෙන්වා ගත බවට පොත් පත් වල සදහන් වනවා.

එමෙන්ම 1799 ප්‍රකාශනය මගින් බ්‍රිතාන්‍යන් විසින් ලන්දේසීන්ගේ නීති තවදුරටත් පවත්වාගෙන යාමට එකග වුවා, ඒ හේතුවෙන් මෙම මුස්ලිම් නීති හෙවත් මෝහම්මදික නීති බ්‍රිතාන්‍ය යුගයේදීද දක්නට ලැබුණා. එමෙන්ම 1801 යුක්ති සන්නස මගින් මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන්  ඔවුන්ගේ දේපලවලට උරුමය හා අනුප්‍රාප්තිය, කුලිය, භාණ්ඩ හා පාර්ශවයන් අතර සිදුවන් සියලුම ගිවිසුම් සහ ගනුදෙනු මුස්ලිම්වරුන්ගේ නීති වලට අනුව විය යුතු බව දක්වන ලදී.

එමෙන්ම එවකට ක්‍රියාත්මක වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට මෙම සංග්‍රහය (codification) ඉදිරිපත් කිරීමට පෙරාතුව ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් විසින් මෙය මුස්ලිම් වරුන්ගේ සැබෑ තතු වලට ගැලපෙන්නේද යන්න සොයා බැලීමට සිංහලට පරිවර්තනය කර මුස්ලිම් පුජකයින් හා නායකයින්  අතට පත් කළ බව සදහන් වේ.

ඉන් අනතුරුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතියද ඇතිව එය ක්‍රියාවේ යෙදවීමට 1806 අංක 14 දරන රෙගුලාසිය මගින් ප්‍රකාශයට පත් කළහ. එමෙන්ම 1852 අංක 5 දරන ආඥාපනත මගින් මෝහම්මදික නීති සංග්‍රහය ලංකාවේ සියලුම මුස්ලිම් වරුන්ට අදාල වන ආකාරයාට ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී.

මොහොම්මදික නීති සංග්‍රහය

මුස්ලිම්වරුන්ට අදාල වූ මොහොම්මදික නීති සංග්‍රහය මුස්ලිම් නීතිවල සර්ව සම්පුර්ණ සංග්‍රහයක් නොවූ බව සදහන් වේ. සාමාන්‍ය අදහසින් කියන්නේ නම් එහි වුයේ මුස්ලිම්වරුන්ගේ නීති හා භාවිතයන් සංග්‍රහ ගත කිරීමකි. එමගින් සියලු නීති ආවරණය නොකිරීම හේතුවෙන් එහි හිස්තැන් රාශියක් විය. ඒ හේතුවෙන් යම් කිසි ආරවුලක් නිරාකරණය කිරීමට විසදුම් නොමැති වන්නේ නම් එම හිස්තැන් සම්පුර්ණ කිරීමට උසාවි රෝම ලන්දේසි නිතිය යොදා ගත්තේය.

එමෙන්ම මෝහම්මදික නීති සංග්‍රහයේ කරුණු යල්පැන ගිය ඒවා වීම හේතුවෙන් භාවිතාවන්ට නොගැලපීම හේතුවෙනුත් මුස්ලිම් ජනයා අතරයම් ගැටළු කාරී තත්ත්ව ඇති විය.

එමෙන්ම 1929 වර්ෂයේදී අංක 27 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීමේ ආඥාපනත පණවන ලදී. එමෙන්ම 1931 දී මුස්ලිම් අන්තිම කැමති පත්‍රයක් රහිත අනුප්‍රාප්තිය හා වක්ෆ් ආඥාපනත පනවන ලදී. එමෙන්ම මේ ආකාරයට මුස්ලිම් නීති නීතියේ වර්ධනය දැක්විය හැකිය. ඒ හේතුවෙන් 1931 දී මෝහම්මදික නීති සංග්‍රහය සම්පුර්ණයෙන්ම අවලංගු විය.

මෑත කාලීන වර්ධනයන්

මුස්ලිම් නිතිය හා දක්නට ලැබෙන වර්ධනීය තත්වයක් වන්නේ ක්වාසි අධිකරණය නමින් මුස්ලිම් විනිසුරුවරුන්ගෙන් යුත් මුස්ලිම් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමයි. මෙම අධිකරණ ක්‍රමයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ 1929 මුස්ලිම් විවාහ සහ දික්කසාද ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ වෛවාහික නඩු විභාග කිරීමේ බලයයි. නමුත් මෙය ස්ථාපිත කිරීමට පෙරාතුව මෙම නඩු සාමාන්‍ය අධිකරණ ක්‍රමය යටතේ ක්‍රියාත්මක විය.

නමුත් පසුකලිනව මෙම පනතද අහෝසි වූ අතර ඉන් අනතුරුව 1951 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත හදුන්වා දුන් බව දැක්වේ. මෙම පනතේ ඇති කරන ලද විශේෂතම ලක්ෂණය වුවේ, මුස්ලිම් විවාහය හෝ දික්කසාද සම්බන්ධ කරුණු වලදී පාර්ශවයන්ගේ තත්වය, අනොන්‍ය අයිතිවාසිකම් හා වගකීම් යන ආදිය ඔවුන් අයත් නිකායේ මුස්ලිම් නිතිය අනුව තීරණය කල යුතු බව දැක්වීමයි. එමෙන්ම 1956 දී මුස්ලිම් දේවස්ථාන හා පුණ්‍යභාර පනත හදුන්වා දීම සිදු කරන ලදී. එමෙන්ම මෙම පනත මගින් පෙර සදහන් කළ 1931 මුස්ලිම් අන්තිම කැමැති පත්‍රයක් රහිත අනුප්‍රාප්ති සහ වක්ෆ් ආඥාපනතේ 2 වන කොටස අවලංගු කළහ.

දරුවන් නඩත්තු කිරීම

ඉස්ලාමිය නීතියට අනුව පිරිමි දරුවෙක් වයස අවුරුදු 15 දී වැඩිවියට එළඹේ. එම නිසා පියෙකු තමන්ගේ පිරිමි දරුවා නඩත්තු කිරීමට බැදී සිටින්නේ ඔහුට වයස අවුරුදු 15 වන තෙක් පමණි. නමුත් වයස් පුර්ණ ආබාධිත දරුවෙක් නඩත්තු කිරීමට බැදී සිටියි.

දික්කසාද වීමකදී ගැහැණු දරුවන් සිටින්නේ  නම් ඔවුන් වැඩිවියට පත්වන තුරු හෝ විවාහ දිවියට පත් වන තුරු මවගේ භාරයේ සිටිය යුතු යැයි මුස්ලිම් නිතියේ සදහන් වේ. එමෙන්ම පිරිමි දරුවන් මවගේ භාරයේ සිටිය යුත්තේ වයස හත වන තෙක් හෝ උපරිමයක් වශයෙන් ඔවුන් තරුණු වියට පත් වන තෙක් පමණි. නමුත් මෙකි සියළු අවස්ථාවල දරුවන්ගේ නඩත්තුව භාරවන්නේ ඔවුන්ගේ නීත්‍යානුකූල පියාටමය.

විවාහ

එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාදිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය . මුස්ලිම් නිතිය අනුව මනමාලියට සිය විවාහයට අත්සන් කිරීමේ අවස්ථාව උදා නොවන අතර, එය සිදු කරනු ලබන්නේ ඇයගේ භාරකරු වේ. එනම් වලිවරයා වේ. බොහෝ විට වලිවරයා වන්නේ පියා, වැඩිමහල් සහෝදරයා හෝ වැඩිවියේ පසුවන ලේ ඥාතියෙකි.

එමෙන්ම මුස්ලිම් නීතියේ බහු විවාහ සංකල්පයක් ඇත. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ දැක්වෙන ආකාරයට පුරුෂයෙකුට විවාහ 4ක් කර ගත හැකි අතර, ඒ සදහා කාදිවරයාගේ අවසරය අවශ්‍ය වේ.  නමුත් මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් පමනක් මෙය වලංගු වේ. නමුත් යම් පුරුෂයෙකු දික්කසාද වී නැවත විවාහයක් කර ගැනීමට පෙර දික්කසාදය දුන් තැනැත්තියට මාස 4 කුත් දින 10ක් දිය යුතුය. මෙය ඉද්දා කාලය ලෙස හදුන්වන අතර එසේ කිරීමේ අරමුණ වන්නේ ඇය ගැබ්ගෙන ඇද්දයි බැලීමටයි.

විවාහ සම්බන්ධයෙන් කතා කිරීමේදී යම් පුද්ගලයෙක් පෙර අවස්ථාවේදී සාමාන්‍ය නිතිය යටතේ විවාහ වී එක පාර්ශවිකව ඉස්ලාම් ධර්මය වැලද ගතහොත් එය බහු භාර්යා සේවනය කිරීම සදහා සුදුසු කමක් වන්නේ නැත. එමෙන්ම යම් පුද්ගලයෙක් ඉස්ලාම් ධර්මය අත්හැර දමා ලංකාවේ බලපවත්නා වෙනත් ආගමක් ඇදහීමට පටන් ගතහොත් ඔහුට විවාහ දෙකක් කර ගැනීමේ අයිතිය හිමි වන්නේ ද නැත.

 

 

 

 

One Comment to “ලාංකික මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය යනු කුමක්ද?

Comments are closed.