ගම්පොළ බුවනෙකබාහු රජුගෙන් ගම්වර ගත් ඉබන් බතූතා හෙවත් ඉබ්නු බතූතා!

බුදුන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කර පිහිටවූ ශ්‍රී පාද ස්‌ථානය බෞද්ධ ජනතාවගේ පමණක්‌ නොව අන්‍යාගමික ජනයා අතර ද ප්‍රකට වන්නේ සිරිපා ගමන් මගෙහි වූ අපූර්වත්වය නිසාම විය යුතුය. අබු අබ්දුල්ලා මහමුත් හෙවත් ඉබන් බතූතා සිරිපා වැඳපුදා ගත්තේ ද එබැවින් විය යුතුය. ඔහු සිරිපා වැන්දේ ක්‍රි.ව 1342 දීය. ඔහුගේ සිරිපා ගමන අහම්බයක්‌ නොවුණ ද කලක පටන් වූ සැලැසුමක ප්‍රතිඵලයක්‌ ද නොවීය.

මධ්‍යතන යුගයේ අප්‍රිකාවේ මොරොක්‌කෝවේ, ටැන්ජියර්ස්‌ හි උපත ලැබූ ඉබන් බතූතා ආසියාව යුරෝපය සහ අප්‍රිකාව පුරා සැරිසැරූයේ මේ විශ්මයජනක සොබාදහම දස දහස්‌ වරක්‌ වින්දනය කරමින් බව සෑම රටකදීම කියා ඇත. 1304 දී උපන් ඔහු වයස අවුරුදු 21 දී උතුරු අප්‍රිකානු වෙරළ දිගේ ආපසු නොහැරී ඇවිද ගියේ සිය දේශාඨක ජීවිතය අරඹමිණි. ඇලෙක්‌සැන්ඩ්‍රියා, කයිරෝ, ජෙරුසෙලම, ඇන්ටියොක්‌ හරහා දමස්‌කස්‌ නුවරට පැමිණි ඉබන් බතූතා අනතුරුව මෙදිනා සහ මක්‌කම ශුද්ධ නගර වල වැදපුදා ගත්තේය. ඉරාකය සිරියාව පලස්‌තීනය අරාබිය ඉරානය අප්‍රිකාව තෙක්‌ ඇවිද ගිය හෙතෙම යළිත් මක්‌කම ගියේ ගිහි ජීවිතයේ අරුතක්‌ නොමැති බැව් සිතමින් බව සිංහල ශබ්ද කෝෂය සවිස්‌තරාත්මකව පෙන්වා දෙයි.

දේශයෙන් දේශයට යාම තරම් ජීවිතය විදිය හැකි අන්කවරකින් හෝ සිතට සැනසිල්ලක්‌ නොගෙනෙන බැව් කියමින් බතූතා, යළිත් කොන්ස්‌තන්තිනෝපලයටත් තුර්කිය සුළු ආසියාව ඛුරාසායනය ඇෆ්ගනිස්‌ථානය කාබුල්, හින්දුකුෂ් හරහා ඉන්දියාවේ සින්දු නදි වෙත ගියේය. දිල්ලියේ මහම්මුද් බින් තුග්ලුක්‌ අධිරාජ්‍යයාගේ ආරාධනයෙන් රජවාසලට ගොස්‌ එහිදී මාලික්‌ කාදි විශිෂ්ට පදවිය ලැබීය. මෙකලදීම ඔහු මුස්‌ලිම් ආගමික වත් පිළිවෙත් අනුව තවුස්‌දම් රැකීමටත්, (ඉස්ලාම් දහම තුල තවුස් දම් පිරීමක් ගැන සදහන්ව නොමැත. මෙය එකල ඔවුන්ගේ සංස්කෘතික විශ්වාසයක් විය හැක) ධර්මිෂ්ඨ ජීවිතයක්‌ ගත කිරීමටත් අදිටන් කරගෙන ඇත.

හේ වර්ෂ 1341 දී දකුණු ඉන්දියාවටත් මලබාරයටත් මාලදිවයිනටත් ගියේය. මෙකල මුහුදුකරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරය වූයේ මුහුදු කොල්ලකෑමයි. යාපනයේ හා ඒ අවට මුහුදු කොල්ල කෑම්වල නිරතව සිටියේ ආර්යය චක්‍රවර්තීන්ය. සුමාත්‍රාව සහ මලබාරය ඔස්‌සේ ඉබන් බතූතා යාපනයේ වයඹ දෙසින් මෙසිරිලකට ආයේය.

ගම්පොළ බුවනෙකබාහු රජුගෙන් ගම්වර ගත් ඉබන් බතූතා හෙවත් ඉබ්නු බතූතා! සිරිලක අසිරිය ඉබන් බතූතා ගේ දෑස පැහැරගත් අයුරු එච්. ඒ. ආර්. ගිබ්ස්‌ ගේ ඓතිහාසික ග්‍රන්ථයෙන් විචිත්‍රවත් වන්නේ එතැන් සිටය. බතූතා අන්‍යයන්ගේ සිත් පැහැර ගන්නේ, යහගුණ වගාවෙනි. එසේම විටෙක දැඩි මතධාරියෙකුද බව සනාථ වන කරුණුද ජනශ්‍රැතිවලද සඳහන්ය.

ගම්පොල යුගයේ හතරවන බුවනෙකබාහු රජ සමයේ (ක්‍රි.ව 1341) පැමිණි බතුතා ගම්පොල කහටපිටියේ කිරිගහ පාමුල වාඩිවී ගිමන් හරිමින් සිටියදී ඈතින් දිස්‌වූ උල් හැඩැති අපූරු කන්දක්‌ දැක මේ නම් යස නිමැවුමකැයි කීය. වෙන තැනෙක නොගොස්‌ හෙතෙම කිරි ගහ අසලම රැදී සිටීමට තීරණය කොට එහි රැඳීය. මුස්‌ලිම් තාපසයෙක්‌ කහටපිටිය කිරිගහ අසල සිටින බව සැලවූ බුවනෙකබාහු රජ තෙමේ වහා ඇතුපිට නැග එතැනට ගොස්‌ තර්ජනාත්මක ස්‌වරූපයෙන් කරුණු විමසන කළ, ඉබන් බතුතා නිහඩව මන්ත්‍ර ජපකොට ඇතුට පා සොලවාලිය නොහැකි සේ තැබූ බව ඉතිහාස කෘතීන් හුවා දක්‌වයි. එසේ වූ තැන බුවනෙකබාහු රජ තෙමේ, ගම්වර දී බතූතා අස්‌වසා ලූ බවත් වත්මන කහටපිටිය පල්ලිය ඉඩම බතූතාට පැවරූ බවත් සදහන්ය.

අනතුරුව රජ, බතූතා දෑස්‌දල්වා බලා සිටි කන්දේ වගතුග පැහැදිලි කැර දී අවැසි නම් එහි යාමට ඉඩ සලසා දෙන බව පවසා ඇත. මා මේ සුන්දර දිවයිනට පා තැබූ දා සිට බලවත් ආශාවෙන් පසුවූයේ පූජනීය ආදම්ගේ පා සටහන් දැක වැඳ පුදා ගැනීමටයි. යනුවෙන් බතූතා පවසා ඇත. ඔහු සිරිපාදය නිතරම හැදින්වූයේ ආදම් පා තැබූ තැන ලෙසය. ආදම්ගේ පා සටහන් දැක ගැනීමට සැතැප්ම දොළහකට ආසන්න දුරක්‌ ඇති කන්ද ට යන බව බතූතා, ආර්යය චක්‍රවර්තීන්ටද දැන්වීය.

ඔබට සිරිපා වැඳගන්නට යැමට මා උපකාර කරන්නම්. ඔබ පැමිණි නැව ආපසු හරවා යවන්න. ආර්යය චක්‍රවර්තීන් කීය. එසේ කී කළ බතූතා සිය නැව් ප්‍රධානියාට කතා කොට ආපසු යන ලෙස කීය. බතූතා සිය සිරිපා ගමන පිළිබඳව ඔහුගේ වචන වලින්ම කරුණු ගෙනහැර දක්‌වා තිබූයේ මෙලෙසය.

ඉබන් බතූතාගේ සිරිපා චාරිකා විස්‌තරය
පල්ලැක්‌කියක මා හිදුවා ඔසවාගෙන යන ලෙස කුලීකරුවන් යෙදූ ආර්යය චක්‍රවර්තීන් මට ඇති තරම් කෑම බීම සැපයූවා. මේ ගමන බොහොම දුෂ්කරයි. නමුත් අතිශයින්ම වැදගත්. ඉගෙනගන්න බොහොමයක්‌ දේ මෙහි තිබුණා. සෙරන්ඩිබ්හිල් තමයි සිරිපාද කන්ද කියන්නේ. මේ බව හුගක්‌ දෙනෙක්‌ දන්නේ නැහැ. අමුතු සීතලක්‌ එක්‌ක දැවටුන මද සුළග ඇගට අමුතු සිසිලසක්‌ ගෙන දුන්නා. මද දුරක්‌ යන විට හමුවූ මැහැලි අම්බලම ප්‍රදේශයේ ගල් ගුහා රැසක්‌ තිබුණා. ඒවායේ ලොකු ඉතිහාසයක්‌ තිබෙන බව මා සමග ගිය පිරිස්‌ කියා සිටියා. කන්ද ඉහළට යන තෙක්‌ම තැනින් තැන ජලය ගලා හැලෙනවා. ජලයේ ශබ්දය හරිම මිහිරියි. ඇගේ එල්ලෙන ඇලෙන පුංචි සත්තු පිරිලා. ඒ කූඩැල්ලො කියන සත්තු බව දැන ගත්තා. වෙනත් ලොකු සත්තු බොහොමයක්‌ මුණ ගැහුණත් ඒ එක සතෙක්‌වත් නපුරක්‌ කළේ නෑ.

මේ ගමන අතිශයින්ම දුෂ්කර බව යළිත් කිව යුතුයි. කදු ගැටය මුදුනට යන්න මාර්ග දෙකක්‌ තිබෙනවා. එකක්‌ බාබා පාර (නල්ලතන්නි). අනෙක මාමා (රත්නපුර) පාර. මාමා පාර පහසුයි. තැනින් තැන යකඩ කණු හිටවලා යකඩ දම් වැල් ඇදලත් තිබුණා. කදීරූ ලෙන ළග මිනිස්‌සු පිරිලා. එතන දිය උල්පතකින් වතුර උනන පෙනුමක්‌ තිබුණා. සමතලා බිමක්‌ නිසා බෙහෙවින් දැකුම්කලුයි. පොකුණෙ මාළුන්ට කාගෙන්වත් කරදර නෑ. මෙතන තිබුණ ගල් ගුහාවේ බඩු මුට්‌ටු තියලා හැමෝම කඳු ගැටය නැංගා. එයත් බොහොම පීඩාකාරි ගමනක්‌.

කදු මුදුනට ගිය විට සියලු වෙහෙස දුරු වෙලා යනවා. ගල ඇතුලට පා සටහන කිදා බැස ඇත්තේ කොහොමද කියලා මට ප්‍රශ්නයක්‌. දිගින් වියන් 11ක්‌ පමණ පලල් පා සටහන මාව පුදුමයට පත් කළා.

ආපසු ආවේ බාබා පාරෙන්. ඒ පාරේ එක තැනක අමුතු විශාල ගසක්‌ තිබෙනවා. මිනිස්‌සු ගොඩක්‌ උඩ බලාගෙන ඉන්නවා දැක්‌කා. අහලා හොයලා බලද්දි මේ ගසේ කොළයක්‌ කවදාවත් බිමට නොවැටෙන බව මිනිස්‌සු කිව්වා. අහම්බයකින් කොළයක්‌ වැටුණොත් ඒ කොළය කෑමට ගන්නා අය වයසට නොයන බව ඔවුන් කිව්වා. සමහරු මේ ගස ඇවිදින ගස ලෙසත් හදුන්වනවා. මගේ ජීවිතයේ අමතක නොවන සුන්දර ගමනක්‌ තමයි සෙරන්ඩිබ් හිල් චාරිකාව.

ඉබන් බතූතා, ක්‍රි.ව 1352 දී යළි අප්‍රිකාවට ගොස්‌ සිය චාරිකා සටහන් කෙළේය.

ලෝකයේ සැතැප්ම 7740 ක්‌ දුර ගමන් කළ අසහාය කීර්ති ධර දේශාඨකයා බතූතාය. මධ්‍යතන ලෝකයේ අසහාය යාත්‍රිකයා වූ ඉබන් බතූතා ක්‍රි.ව 1378 දී අප්‍රිකාවේදී මෙලොවින් සමු ගත්තේය.

 

උපේක්‍ෂා

http://www.divaina.com/2014/03/16/feature03.htm

Ibn Battuta Travels in Asia and Africa 1325-1354