තිහාරිය‍ේ ප්‍රදීපාගාරය! තන්වීර් ඇකඩමිය

මෙය වෙනස් ඉස්කෝලයකි. වෙනස් අධ්‍යාපන ආයතනයකි. වෙනස් අරමුණකින් පටන්ගත් තැනකි. වෙනස් විදියට හිතන මිනිසුන් වෙනස් දේවල් කළ යුතු කාලයකි මෙය. මුස්ලිම් විරෝධය ලොව පුරා රෝගයක් මෙන් පැතිරෙන්නේ කලෙක පටන්ය. කලෙක එය උත්සන්න වෙද්දී කලෙක යටපත් වෙයි. දැන් ටිකෙන් ටික ඉස්ලාම් විරෝධය උත්සන්න වෙමින් පවතිද්දී අපි ‘තන්වීර් ඇකඩමි’ වෙත ගියෙමු.

නිට්ටඹුව තිහාරිය හන්දියෙන් මින්හාත් පාර දිගේ යද්දී තන්වීර් ඇකඩමිය හමුවෙයි. හවස් වරුවක තන්වීර් ඇකඩමියට අප ගියේ පෙර සිටම අපට ලැබී තිබුණු ආරාධනාවක් අනුවයි. කලක් තිස්සේ යන්නට හිතාගෙන හිටියත් ඒ පැත්තේ යන්නට අවස්ථාවක් ලැබුණේ නැත. මුස්ලිම් පල්ලියකට මීට පෙර වරක් ගිය අපට ‘මදරසා’වකට යන්නට කලක පටන් ආසාවක් තිබුණි. බෞද්ධයන් ඉස්ලාම් පල්ලියක හෝ මදරසාවක කුමක් සිදුවන්නේදැයි දන්නේ නැත. සියල්ල දෙමළ භාෂාවෙන් සිදුවන නිසාය. ඒ නිසා ලංකාවේ එකම සිංහල භාෂිත මදරසාවෙන් එහි එන්නැයි අපට ඇරයුමක් ලැබෙද්දී ටිකක් කල්ගත වී වුණත් අප තන්වීර් ඇකඩමියට ගොඩවැදුණේ ලොකු උනන්දුවකිනි.

මවුලවිවරුන් තනන මදර්සා
බෞද්ධයන්ට හෝ කතෝලිකයන්ට මෙන් ඉස්ලාම් ආගමට පූජ්‍ය පක්ෂයක් නැත. ඉස්ලාම් භක්තිකයන් තනිකඩව, පූජ්‍ය පක්ෂය ලෙස ආරාමවල හෝ වනගතව ගතකරන ජීවිත පිළිගන්නේ නැත.

“අපේ විශ්වාසය අනුව ආගම වෙනුවෙන් වැඩිපුරම කැපවෙන්නේ හොඳම මිනිස්සු. සාමයට ළැදි, සහෝදරත්වය පිළිගන්න ලෝකයේ යහපත ගැන හිතන මිනිස්සු. එහෙම කෙනෙක් පවුල්ගත නොවෙනවා නම්, දරුවන් හදන්නේ නැත්නම් ඒක වැරැද්දක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේ අය තමයි දරුවන් හදලා පවුල් තනන්න ඕනෑ. ඒ වගේ අය තමයි බෝවෙන්න ඕනෑ.” මුස්ලිම් භක්තිකයන්ගේ විශ්වාසය මෙබඳුය. ඒ නිසා මුස්ලිම් ආගමික නායකයන් ලෙස සලකන්නේ බෞද්ධ භික්ෂූන් මෙන් පූජ්‍ය පක්ෂය නොවේ. කුමක් හෝ රැකියාවක් කරන, පවුල් ජීවිත ගතකරන එහෙත් ඉස්ලාම් ආගම ගැන වැඩිදුර අධ්‍යාපනය ලබා විභාග සමත්වීමෙන් පසුව ‘මවුලවි’වරයෙකු යන හැඳින්වීම් නාමය ලබන පුද්ගලයන්ය.

ඔවුහු භික්ෂූන් බඳු නොවෙති. ඔවුන් ආචාර්ය, වෛද්‍ය, මහාචාර්ය වැනි අනෙක් සුදුසුකම් මෙන්ම ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් සුදුසුකම් ලද පුද්ගලයන් පමණි.

“අපේ විශ්වාසය මිනිස් ජීවිතය කියන්නේ මරණින් මතු ජීවිතය සූදානම් කරන, එයට තෝරාගන්න ලැබෙන අවස්ථාවක්. යහපත් අය මරණෙන් මතු ස්වර්ගමය ජීවිතය ලබනවා. හැබැයි කෙනෙක් මිනිස් ජීවිතයේදී මවුලවිවරයෙක් වුණා කියලා එයාට ස්වර්ගයට ටිකට් එක ලැබෙන්නේ නෑ. නරක වැඩ කළොත් එයාත් අපායට තමයි. හැමෝම සමානයි. පල්ලියට ගියත් මවුලවි කෙනෙක් කියලා කවුරුත් ඉදිරිපස අසුනක් දෙන්නේ නෑ. මවුලවිවරුන්ට කවුරුත් වඳින්නේ නෑ. එයා සාමාන්‍ය පුද්ගලයෙක්.” ඉස්ලාම් භක්තිකයෝ එසේ විශ්වාස කරති.

“ලංකාවේ පිරිවෙන් වගේ මුස්ලිම් මවුලවිවරුන් බිහි කරන්නට ආගමික අධ්‍යාපනය උගන්වන්නේ මදරසාවලදී. තන්වීර් ඇකඩමිය තවත් මදරසා ආයතනයක්. හැබැයි ලංකාවේ අනෙක් මදරසා දෙමළ භාෂාවෙන් කටයුතු කරන්නේ. ලංකාවේ සම්පූර්ණයෙන් සිංහලෙන් උගන්වන එකම මදරසා එක තන්වීර් ඇකඩමිය. හැබැයි අපි උගන්වන්නේත් දෙමළ භාෂාවෙන් කරන දේමයි. එකම දේ අනෙක් ආයතනවල දෙමළ භාෂාවෙන් කටයුතු කරන එක විතරයි. ඉතින් ඔබ මෙතැනට ආපු එක ගැන අපට සන්තෝසයි. අපට පැහැදිලි කරන්න පුළුවන් මදරසාවක වෙන්නේ මොනවද කියලා. ඇතැම් සිංහලයන් හිතන්නේ අපි මදරසා ඇතුළේ කුමන්ත්‍රණ කරන්න උගන්වනවා කියලයි.” තන්වීර් ඇකඩමියේ විදුහල්පති හසීම් අපට විස්තර කළේය.

උණුසුම් පිළිගැනීම්
ඉස්ලාම් තැනකට යන්නට බියවන්නෝ සිටිති. පල්ලියකට හෝ මදිරාසාවකට ඇතුල්වෙන්නට නොදෙන බව ඇතැම්හු විශ්වාස කරති. කාන්තන්කුඩි වගේ ගම්මානයක පමණක් නොව තිහාරිය වගේ තැනකට යන්නත් බියවන්නෝ සිටිති. එහෙත් අනෙක් ඕනෑම කෙනෙකු මෙන් ඉස්ලාම් භක්තිකයෝද සාමාන්‍ය මිනිස්සුය. තිහාරියේ සිටින අප මාධ්‍යවේදී මිතුරා වන අස්කර්ගේ නිවසටද අපි ගොඩවැදුණේ තන්වීර් ඇකඩමියට යන අතරේය. ඔහුගේ මිත්‍රශීලී මව, මල්ලි සහ බිරිඳ සමඟ අපි කතා කළෙමු. අස්කර්ගේ මව මෙන්ම බාල සහෝදරයාද පහුගිය දිනවල ඩෙංගු රෝගයෙන් පීඩා විඳ තිබුණි. ආගම් භේදයක් නැත. ලංකාවේ ඕනෑම කෙනෙක්ට විඳින්නට සිදුවන අත්දැකීම් මුස්ලිම් කෙනෙකුටද විඳින්නට සිදුවනු ඇත.

තන්වීර් ඇකඩමියට අප එන අතරේ විනාඩි කිහිපයකට සැරයක් දුරකථනයෙන් අමතා දැන් කොතැනදැයි අසුවේ ඇකඩමියේ විදුහල්පති හසීම් සහෝදරයාය. ඔවුහු සියලුදෙනා එක්ව දැඩි උණුසමකින් අප පිළිගත්තෝය. “ඔයාලා ආවේ ඔයාලාගේ වැඩකට නෙවෙයි. අපේ වැඩකට.” ඔවුන් කීවේ එසේය.

සිංහල ජනතාව සමඟ සංවාදගත වීමට ඉස්ලාම් භක්තිකයන්ට මේ වන විට ඇත්තේ දැවැන්ත වුවමනාවකි. බාධාවකට ඇත්තේ භාෂාවයි. එහෙත් සාමයට ළැදි සෑම ඉස්ලාම් පුරවැසියෙකුටම ඇති බිය වන්නේ අනවශ්‍ය ගැටුමකට බෞද්ධයන් සහ ඉස්ලාම් භක්තිකයන් යොමුවේවිද යන්නයි. ඔවුන්ට ඇහුම්කන් දෙන ඕනෑම කෙනෙකු ඉමහත් ගෞරවයෙන් පිළිගන්නටත් අහන ඕනෑම පැනයකට පිළිතුර දෙන්නටත් ඔවුන් සූදානම්ය.

තන්වීර් ඇකඩමිය
තන්වීර් අරාබි වචනයකි. තන්වීර් යන්නෙහි තේරුම ප්‍රදීපාගාරය යන්නයි. ලංකාවේ බොහෝ ඉස්ලාම් භක්තිකයෝ නම් වශයෙන් මෙවන් අරාබි යෙදුම් පාවිච්චි කරති. මංමාවත්වලට අරාබි වචන පාවිච්චි කරති. බොහෝ ඒවා සාමකාමී තේරුම් ඇති නම්ය. එහෙත් බොහෝ මුස්ලිම් නොවන ලාංකිකයන් අරාබි වචන ප්‍රිය කරන්නේ නැත.
ඇකඩමිය ගැන අපට විස්තර කළේ එහි විදුහල්පති හසීම්ය.

“අපේ තේමා පාඨය යහපත් කටයුතුවලට සහාය වෙන්න කියන එකයි. සිංහල කතාකරන මුස්ලිම් ජනතාව අතරින් ඉස්ලාමීය විද්වතුන් බිහි කිරීමයි අපේ ආයතනයේ මූලිකම අරමුණ. ඇකඩමිය 2009 මැයි 24 වැනිදා තමයි පටන්ගත්තේ.”

“මුස්ලිම් සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබනවා වගේම සැලකිය යුතු පිරිසක් මුස්ලිම් ජනතාව තමන්ගේ මව් භාෂාව ලෙස සිංහල භාෂාව පාවිච්චි කරනවා. එහෙත් සිංහල භාෂාවෙන් ඉස්ලාම් ආගම අධ්‍යයනය කරන්න අවස්ථාවක් නැහැ. පාසල් විෂය මාලාවේ සිංහල භාෂාවෙන් ඉස්ලාම් ආගම විෂයක් විදියට තිබුණත් උගන්වන්න පහසුකම් නෑ. ගුරුවරු මදි. ඒ නිසා ලංකාවේ ඉස්ලාම් ආගම අරාබි සහ දෙමළ භාෂාවලින් තියෙන්නේ.”

ඉස්ලාම් ධර්මය දෙමළ භාෂාවෙන් පමණක් පැවතීම නිසා සිංහල පමණක් දන්නා කෙනෙකුට ඉස්ලාම් ආගම ගැන අවබෝධයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එපමණක් නොව සිංහල භාෂාවෙන් ඉස්ලාම් ධර්මය ගැන වැරදි ප්‍රචාරයක් සිදුවෙද්දී එයට ප්‍රතිචාර දක්වන්නට ඉඩක් ලැබෙන්නේත් නැත. ඒ නිසා සංවාදවලදී ඉස්ලාම් ආගම ගැන පැහැදිලි අවබෝධයක් ලබන්නට හැකියාවක් නැත.

“ගොඩක් පොදු උත්සවවල සර්වාගමික කටයුතු සිද්ධවෙනවා. එතකොට කිතුනු දේශකයා සහ බෞද්ධ හිමිනමක් සිංහලෙන් දේශනා කරනවා. හින්දු දේශකයා සිංහලෙන් කතා නොකළත් හින්දු ආගම බෞද්ධ ආගම එක්ක ගැටගැහිලා තියෙන නිසා වැරදි වැටහීම් ඇතිවෙන්නේ නෑ. හින්දු ආගම ගැන සිංහලයා දන්නවා. ඒත් ඉස්ලාම් දේශනය දෙමළින් සිද්ධවෙද්දී කියන්නේ මොනවාද කියලා සිංහල අය දන්නේ නෑ. ඉස්ලාම් මවුලවිවරු සිංහලෙන් දේශනය කළත් ඒ අයට තමන්ගේ පණිවිඩය හරියට යවාගන්න බෑ. කෙටියෙන්, අපැහැදිලි සහ කම්මැලි හිතෙන දේශනයක් වෙන්නේ.” හසීම් මහතා තවත් පැත්තක් පෙන්වා දුන්නේය.

“සියවස් ගණනාවක් මුස්ලිම්වරු ජීවත්වුණත් අපේ සංස්කෘතිය ගැන අවබෝධයක් නැතිවෙන්න මේ භාෂා ප්‍රශ්නය හේතුවෙලා.”

ඇකඩමියේ ඉගෙනගන්නා සිසුන් උසස් පෙළ විභාගයට සහ මවුලවිවරයෙක් වීම සඳහා අවැසි විභාගවලට සූදානම් කිරීම සිදුකෙරෙයි. අරාබි භාෂාව, ඉස්ලාම් ශිෂ්ටාචාරය, ඉස්ලාම් ආගම, දේශපාලන විද්‍යාව සහ සිංහල යන ප්‍රධාන විෂයන් උගන්වන අතර මේ විෂයන් අතරින් තුනකින් උසස් පෙළ විභාගයට මුහුණදිය හැකිය. මේ විෂයන්ට අමතරව දෙමළ, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය උගන්වයි. ලංකාවේ ඇති අනෙක් ආගම් සහ සංස්කෘතීන් පිළිබඳවත් උගන්වයි.

“මේක තමයි ඕනම මදරසාවක වෙන්නේ. ෂරියා නීතිය උගන්වනවා කිව්වාම සමහරු අර්ථකථනය කරනවා මිනීමරන හැටි උගන්වනවා. අමුතු දෙයක් උගන්වනවා කියලා. එහෙම කියන්නේ හරියට දන්නේ නැති හින්දා.”

ආරම්භය
ප්‍රබෝධය නම් සිංහල භාෂිත ඉස්ලාම් ආගමික සඟරාවේ කර්තෘවරයා වන එම්.එච්.එම්. හසන් මහතා තන්වීර් ඇකඩමිය ආරම්භ කිරීම වෙනුවෙන් සැලකිය යුතු මැදිහත්වීමක් කළ අයෙකි. මේ වනවිට තන්වීර් ඇකඩමිය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති ස්වෙච්ඡා පාලක සභාවේ සාමාජිකයෙකි. ඔහු තන්වීර් ඇකඩමියේ ආරම්භය ගැන මෙලෙස විස්තර කළේය.

“ඇකඩමිය පටන්ගැන්ම අවුරුදු දහයක් පහළොවක් තිස්සේ කතාවුණු දෙයක්. ගොඩක් ප්‍රශ්න තිබුණු හින්දා ඒක පටන්ගන්න බැරිවුණා. මුදල් ප්‍රශ්නයක් තිබුණා. දෙදාහේ අපි ඉඩමක් ගත්තා බිල්ඩිමක් හැදුවා. ඒත් ඉස්කෝලේ පටන්ගන්න දෙදාස් නවය වෙනකන් බැරිවුණා. දෙදාස් නවයෙදී ළමයි විසිපහක් එක්ක පොඩියට පටන් ගත්තා. මේ වෙද්දී පළවෙනි සහ දෙවැනි කණ්ඩායම් පිටවෙලා ඉවරයි. තවම මුස්ලිම් සමාජයෙන් විශාල ප්‍රතිචාරයක් මේකට ලැබිලා නැහැ. අපි එක වසරකින් ළමයි විසිපහ ගාණේ ළමයි එකසිය විසිපහක් බඳවාගන්න බලාපොරොත්තු වුණත් මේ වෙද්දී ළමයි හැත්තෑ ගණනක් තමයි ඉන්නේ.”

ආගම සහ භාෂාව
ඉස්ලාම් භක්තිකයෝ සියල්ලෝම පාහේ අරාබි භාෂාව ඉගෙන ගනිති. අරාබි වචන, නම් පාවිච්චි කරති. ඇතැමුන්ට එය එතරම් රුස්සන්නේ නැත. අරාබි භාෂාව පාවිච්චි කරන නිසා මුසල්මානුවන් ඉස්ලාම් රටවල් සමඟ මෙන්ම අන්තවාදී සංවිධාන සමඟද සම්බන්ධ බව සැක කරන්නෝ බොහෝය.

“මේ අරාබි භාෂාව ගැන අනෙක් ජනවර්ගවලට තියෙන කුකුස මට තේරෙනවා. එහෙත් අපට තියෙන විශ්වාසයන් එක්ක අපට අරාබි භාෂාව ඕනෑ. අරාබි භාෂාව වැදගත්වෙන්නේ අරාබියෙන් කුරාණය තියෙන නිසා. බෞද්ධයන්ට පාලි භාෂාව වැදගත් වෙනවා වගේම, ඊට වඩා ටිකක් වැඩියෙන් අරාබි භාෂාව ඉස්ලාම් භක්තිකයාට වැදගත් වෙනවා. බෞද්ධයෙක් ගාථා කියන්නේ පාලි භාෂාවෙන්නේ. අපේ නැමදුම් සහ යාඥා කරන්නේ අරාබියෙන්. ඒ නිසා ලෝකේ කොහේ පල්ලියක් තිබුණත් යාඥා කරන්න පුළුවන්. ඒ වගේම කුරාණයේ පරිවර්තන කොතරම් තිබුණත් ඒවා පරිවර්තන විතරයි. කුරාණය විදියට සලකන්නේ අරාබි භාෂාවෙන් ලියැවුණ, සංස්කරණය නොවුණ සැබෑ පිටපත විතරයි.” හසන් මහතා පැහැදිලි කරයි.

ලිබරල් සහ ඉස්ලාම්
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප සමඟ ගැටෙන තැන් ඕනෑම ආගමක තිබේ. ඉස්ලාම් ආගම තුළද එවැනි තැන් බොහෝය. අපට අනෙක් ඕනෑම ආගමක් ගැන ඇති හැඟීම ඉස්ලාම් ආගම ගැනත් එලෙසම ඇත. එහෙත් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් විශ්වාස කිරීමේ අයිතිය ඒ විශ්වාසය අනෙකාට හානියක් නොකරන තාක් කල් පවතියි. අනෙකාගේ විශ්වාසයට ගරු කිරීම මෙන්ම ඒවා අවබෝධ කරගැනීම වැදගත්ය.

ඥානසාර හිමියන් කුරාණය සම්පූර්ණයෙන් කියවා නැති බව ලියුම්කාරියට විශ්වාසය. ඉස්ලාම් විරෝධී අදහස් මෙන්ම කුරාණයේ වගන්ති උපුටමින් ඥානසාර හිමියන් ප්‍රමුඛ ඉස්ලාම් විරෝධීන් මතුකරන කරුණු බොහොමයක් අන්තර්ජාලයෙන් ඕනෑ තරම් සොයාගත හැකිය. ලියුම්කාරිය කුරාණය කියවා ඇත. කුරාණයේ ඇත්තේද අනෙක් ඕනෑම ආගමක මෙන් යහපත් සමාජයක් ඇතිකිරීමේ බලාපොරොත්තුවෙන් ලියූ දේවල්ය.

අනෙක් ඕනෑම සංස්කෘතියක මෙන් සදාචාරවාදී වෙන්නට ගොස් නිදහස සීමා කරන තැන ඉස්ලාම් ආගමේත් ඇති බව ඇත්තය. එහෙත් කුරාණය මිනිස් සමාජය ආපස්සට ගෙනයන විනාශකාරී ලියැවිල්ලක් නොවේ.

ඉස්ලාම් ආගම ගැන වැරදි අදහස් සමාජගත වෙද්දී තන්වීර් ඇකඩමිය වැනි ආයතන වැදගත් වෙන්නේ සංවාදයක් ඇති කිරීමටයි. ඉස්ලාම් භක්තිකයන්ද සමාජයෙන් තව තවත් ඈත් වෙනවා වෙනුවට සිංහල සමාජය සමඟ සංවාදගත වීම වැදගත්ය. ‘තන්වීර්’ හෙවත් ප්‍රදීපාගාරයෙන් අනාගතය ආලෝකවත් කරන්නට සමත් මිනිසුන් බිහිවෙනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. ඒ වෙනුවෙන් ඔවුන්ට සුබ පතන්නෙමු.■

 

රාවය පුවත්පත

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *