සුංගාවිල මුස්ලිම් මිනිස්සු මහා කැලයට යට වූ සෝමාවති චෛත්‍යය සොයාගත් හැටි!

පොලොන්නරුවේ  ඓතිහාසික සෝමාවතිය චෛත්‍ය 1940 වසරේදී තම පියා ඇතුළු ඥාතීන් පිරිසක් විසින් සොයා ගනු ලැබූ බව සුංගාවිල පුරාණගම පදිංචි එස්.එල් මොහිදීන් බාබා (90) මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් මව්බිම ට විශේෂ ප්‍රකාශයක් කරමින් අදහස් දැක්වූ මොහිදීන් බාබා මහතා මෙසේද කීය.

ඒ කාලයේ අපේ ඥාතීන් පදිංචිව සිටියේ සුංගාවිල පුරාණ ගමේ. දෙසීයක් විතරවූ ඒ පිරිස පොල් අතු සෙවිලි කළ නිවාස 40 ක ජීවත් වුනේ. ගොඩ වී විගාව හා මසුන් අල්ලා ගැනීමෙන් ජීවත් වූ මේ පිරිස ගවයන් ඇති දැඩි කිරීමද කලා. 1957 අවුරුද්දේ ඇතිවු ගංවතුරින් අපේ නිවාස 40 ම ගසා ගෙන ගියා. ඉන්පසු අපි ගම අතහැර දමා සුංගාවිලට  පැමිණියා.

මේ කාලයේ අපේ ගමේ පල්ලියක් තිබුනා. සුංගාවිල පෙරියාආරු ගගෙන් එගොඩවී සෝමාවතිය චෛත්‍යයට යන්න වෙනවා. මේ කාලයේ මසුන් අල්ලන්න වනාන්තරයට යනවා. ගමයන් පටිටිවල රඳවනවා. මේ කාලයේදී අපේ තාත්තට සෝමාවතිය චෛත්‍ය දැකගන්නට ලැබුණ බව අපට කීවා. ඒ කාලයේ හිටපු ජනපද නිලධාරී මහතෙකු වන මදුරුසිංහ මහතා නිතරම වගේ සෝමාවතිය චෛත්‍යයට යනවා. ඒ ගමනට මමත් එක් වෙනවා.

සුංගාවිල පෙරියආරු ගගේ පාලම් පාරුව පැද්දේ මම. එක් කෙනෙකු එගොඩ කරන්න ශත 10 ක් අය කළා. සමහර දවස්වල අපි ගවපට්ටිවල රාත්‍රිය ගත කරනවා. රාත්‍රී කාලයේදී සෝමාවතිය චෛත්‍යට ඉහලින් නිල් රතු රෝස පාට ආලෝක ධාරා එනවා. ඒවා එක්වරම නිවී යනවා. අපි එක්ක සිටි මදුරසිංහ මහත්තයා කීවේ ඒවා දේවතා එළි බවයි.

අපේ මිනිස්සු මේ චෛත්‍යයට හරිම ආදරෙයි. චෛත්‍යයට නමස්කාර කොට වනාන්තරයෙන් එන විට කිසිම කරදරයක් වන්නේ නැහැ. ඒ කාලයේ වන්දනාකරුවන් ආවිට අපි කරත්තවලින් එක්ක යනවා. පාරේ යන විට ගසකින් කොළ අත්තක් කඩා එල්ලීමෙන් පසු කිසිදු කරදරයක් වන්නේ නැහැ.

අලියාර් අම්මා උම්මා (92)

පදිංචිය සුංගාවිල. දරුවන් 7 දෙනෙක් සිටිනවා. අපි ජීවත්වුනේ සුංගාවිල පුරාණ  ගමේ. ඒ කාලයේ සෝමාවතිය චෛත්‍ය ගැන අපටත් ආරංචි වුනා.

මේ චෛත්‍යයේ බොහොම හාස්කම් තිබෙනවා. රාත්‍රී කාලයේදී වල් අලි රංචි පිටින් ඇවිත් චෛත්‍යයට පදිනවා. හරක් පට්ටිවල සිටින අපේ ඥාතීන් මේවා හොඳින් දැක තිබෙනවා. රාත්‍රී කාලයේදී මේ චෛත්‍යයේ පාට පාට ආලෝක දැකගන්නට පුළුවන්. චෛත්‍ය වදින්න දෙවිවරු වඩිනවා කියලා අපේ නෑදෑයෝ මට කියලා තිබෙනවා.

එස්. අස්තාර් (65) මහතා

අපි පදිංචිව සිටියේ සුංගාවිල පුරාණ ගමේ. 1957 මහ ගංවතුරින් අපේ ගෙවල් ගසාගෙන ගියා. ඉන් පසු සුංගාවිලට පැමිණියා.

මේ කාලය වනවිට සෝමාවතිය පුදබිම පිළිබදව අපටත් දැනගන්නට ලැබුනා. මුස්ලිම්වරු මේ පලාතේ ගව පට්ටි පවත්වාගෙන ගියා. සෝමාවතිය චෛත්‍යය නිසා මේ මිනිසුන්ට වන සතුන්ගෙන් කිසිම කරදරයක් වන්නේ නැහැ. මේ පාරේ යනවිට සෝමාවතිය චෛත්‍යයේ පිහිට ඉල්ලා කොළ අතු ගස්වල එල්ලනවා. ඉතින් කිසිම කරදරයක් වන්නේ නැහැ.

කොටි ත්‍රස්තවාදීන් සෝමාවතිය චෛත්‍යයට හානි කරන්න ආවා. එහිදී කොටි නායකයෙක් මිය ගියා. ඔවුන්ට චූඩා මානික්‍යය ගෙනියන්න බැරිවුණා. වල් අලි රංචුවක් ඒ වෙලාවේ ඔවුන්ට පහරදීමට ඇවිත් තිබෙනවා.

මේ චෛත්‍යයට මුස්ලිම් ජනතාව ගෞරව කරනවා. ඒ පළාතේ තිබෙන බෞද්ධ සිද්ධස්ථානවල නටබුන් මේ මිනිස්සු ආරක්ෂා කරනවා. පසුගිය කාලයේ කෙටි ත්‍රස්ථවාදීන් ගවපට්ටිකරුවන් දෙදෙනෙකු මරා තිබුණා. ඒ මළ සිරුර ගෙන එන්න ආරක්ෂක හමුදාව ගියේ නැහැ. නමුත් අපි සෝමාවතියට බාරයක් වී වනාන්තරයට ගොස් ඒ මළ සිරුර කිසිම කරදරයකින් තොරව ගෙන ආවා. ඓතිහාසික සෝමාවතිය චෛත්‍යයේ පින්කම්වලට මුස්ලිම් ජනතාව පූර්ණ සහයෝගය ලබාදී ක්‍රියා කරනවා.

මෙම ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ජනතාව ආගම් භේදයකින් තොරව සහජීවනයෙන් ජීවත්වන බව කියන්නට ඕනෑ.

 

 

තමන්කඩුව – ගාමිණී ඔබේසේකර

මව්බිම පුවත්පත

2017 ජූලි 30 වන ඉරිදා 05 වන පිටුව