සූ කයි-ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

එක්කෝ ඇය තම නොබෙල් ත්‍යාගය වහාම ආපසු දිය යුතුය. නැතිනම් එය ඇගෙන් ගත යුතුය. ‘බුරුමයේ ප්‍රජාතන්තවාදී නායිකාව’ යැයි අතීතයේ හරසරින් හැඳින්වූ ඇය, තවදුරටත් එම ගෞරව නාමය සඳහා තබා, නොබෙල් ත්‍යාගයක් ළඟ තබාගැනීමටවත් කිසිසේත්ම සුදුසු කෙනෙක් නොවේ. සාමාන්‍යයෙන් දේශපාලකයන්ගෙන් ජනතාව මහා දේවල් හෝ ප්‍රාතිහාර්ය බලාපොරොත්තු නොවෙති. ඒ, දේශපාලනයේ සාමාන්‍ය භාවිතාව තුළ එය දූෂිත යාන්ත්‍රණයක් වන බවට පවතින සදාතනික සත්‍යය සහ අත්දැකීම් සමුදාය නිසා ය. නමුත් බුරුමයේ හෙවත් මියැන්මාරයේ ජනයා අවුන් සාන් සුකී කෙරෙහි බලාපොරොත්තු ‘තබාගෙන’ සිටියා නොවේ. ඔවුහු සාමය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සිය බලාපොරොත්තු ඇය සමග ‘බද්ධ කරගෙන’ සිටියෝය. රොහින්ගියාවරුන් මියැන්මාරය තුළ දරුණු ලෙස ආගමික මර්දනයට හසුවන්නට පටන් ගත් මුල් අවධියේදී රොහින්ගා සරණාගත දරුවෙක් ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියක් සමග මෙසේ කීවාය.

“අල්ලා දෙවියන්ට වැන්දට පස්සෙ අපි වැන්දෙ, ගෙදර බිත්තියෙ එල්ලල තිබ්බ සුකීගෙ පින්තූරෙට..!”

2010 වසරේ පටන් ආපස්සට බලන විට අවුන් සාන් සුකී අවසන් වසර 21 න් 15ක්ම හිරු එළිය නොදකිමින් නිවාස අඩස්සියේ සිටි අයෙකි. ඈ එහිදී විඳි මානසික වධ වේදනා තවම සපුරා සුවපත් වී නැතුවා වන්නට ඇත. ඇගේ පවුලට ජුන්ටාව කළ සැහැසිකම් ඇය තුළ තවම ජීවත් වනවා වන්නට ඇත. නමුත් ඒ සම්පූර්ණ කාලය මුළුල්ලේ මුළු ලෝකයම ඇය සමග සිටි බව කීම නිවැරදි ය. අන්තර්ජාතික පුවත්පත් හා සඟරාවල ඈ වෙනුවෙන් සහ ඈ ගැන ලිපි සහ ශිර්ෂපාඨ දහස් ගණනක් ලියැවෙන්නට ඇත. ඒවා විවිධ භාෂාවලට පරිවර්තනය වන්නට ඇත. නමුත් එදා ලෝකයක්ම එක පෙළට සිටගෙන සිටියේ මෙවැනි නායිකාවක් තනන්නටද?

මේ මොහොතේ මියැන්මාරය තුළ රොහින්ගියා මුස්ලිම්වරුන්ට එරෙහිව මහා සංහාරයක් ක්‍රියාත්මක වෙයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘බෞද්ධ ත්‍රස්තවාදය’ක සහ වාර්ගික අර්බුදයක සම්මිශ්‍රණයකි. ජගත් සංවිධානයට අනුව මියැන්මාරයේ රොහින්ගියා මුස්ලිම්වරුන් යනු ලෝකයේ වඩාත්ම පීඩාවට හසුවූ සුළුතරයයි. නමුත් අවුන් සාන් සුකී ට ඒ බව නොපෙනේ. ඒ රොහින්ගියාවරුන්ගේ විලාපයන් නොඇසේ. “එහෙම දෙයක් වෙන්නෙ නෑ..” යැයි ඇය සරල ලෙසම තිරකොට කියයි. සිය මානව හිමිකම් උල්ලංඝනය වීමේ අමිහිරි අත්දැකීම හොඳින්ම විඳ ඇති අයෙකු විසින්ම එසේ පැවසීමම, තඩි අමානුෂික කමකි.

මේ සිටින්නේ 60 දශකයේදී එංගලන්තය බලා ගොස් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් දර්ශනවාදය හා දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරූ සුකී ද? මේ සිටින්නේ 1988 වසරේදී බහුපක්ෂ ඡන්ද ක්‍රමයක් ඉල්ලා නොබියව හමුදා රජයට විවෘත ලිපියක් ලිව් සුකී ද? මේ සිටින්නේ ඒ වසරේම අගෝස්තු 26 වැනිදා, එනම් මෙයට වසර 29කට පෙර බුරුමයේ ශ්වේදගොන් පැගෝඩාව අසල පැවැත්වූ ප්‍රථම මහජන රැස්වීමේදී දේශයට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි සුකී ද? 1988 වසරේදී ‘සිවිල් අසහනය සහ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම වෙනුවෙන් කැප වූ, “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මියැන්මාර ජාතික ලීගය” පිහිටුවාගත් සුකීද? 1991 වසරේදී යුරෝපා පාර්ලිමේන්තුව විසින් පිරිනමන සාකාරොව් මානව හිමිකම් ත්‍යාගය දිනාගත් සුකී ද? ඒ වසරේම ඔක්තෝබර් මාසයේදී නොබෙල් සාම ත්‍යාගය දිනාගත් සුකී ද?

 ඒ සුකී දැන් කෝ?

වර්ගවාදය වළක්වාලීමේ සහ දඬුවම් කිරීමේ සම්මුතිය (Convention on the Prevention and Punishment of Genocide) විසින් වර්ග සංහාරයක් සිදුවිය හැකි ක්‍රියාවන් 5 ක් විස්තර කරයි. එයට අනුව, “ජාතියක්, ජන වර්ගයක්, රටක් හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් සිතාමතාම විනාශ කිරීම” වර්ග සංහාරයක් යටතට ගැනේ. මියැන්මාරයේ නිල නොලත් නායිකාව බවට අවුන් සාන් සුකී පත්වීමෙන් අනතුරුව රොහින්ගියා මුස්ලිම්වරු මේ අවශ්‍යතා පහෙන් හතරකටම යටත්ව දිනපතා ඝාතනය වෙති. පණ පිටින් පුළුස්සා දැමෙති. අලුත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය සතියේ රොහින්ගියානුවන්ගේ සුසානය යනුවෙන් දැන් හැඳින්වෙන, මුස්ලිම් ආගමිකයන් සොය සොයා කපා කොටා පුළුස්සා දමන රඛීන් ප්‍රාන්තයෙන් පමණක් රොහින්ගියා මරණ 70,000 ක් අවම වශයෙන් වාර්තා වී තිබේ. පසුගිය සති දෙක ඇතුළත රොහින්ගියානුවන් මිලියන කාලක් දෙනා සරණක් සොයමින් අසල්වැසි බංග්ලාදේශයට පළා ගොස් ඇත. දැඩිමතධාරී හින්දු භක්තිකයෙකු වන ඉන්දියාවේ මෝදි දැනටමත් කියා තිබෙන්නේ රොහින්ගියා සරණාගතයන් සිය රට බලා ආවොත් කළ යුතු දෙය ගැන කිසිවෙකුගෙන් උපදෙස් අවශ්‍ය නැති බවයි!

මියැන්මාර ඉතිහාසයේ ප්‍රථම වතාවට නිදහස් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූයේ 2015 නොවැම්බර් 13 වැනිදා ය. එහිදී ඇගේ පක්ෂය ඓතිහාසික ජයග්‍රහණක් ලබාගත්තේය. විදේශික සබඳතා ඇති අයට අයට රටේ  මුල් පුටුවට පත්විය නොහැකි යැයි මියැන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියම කරන නිසා විදේශිකයෙකු සමග විවාහ වී සිටි සුකී ට රටේ ජනපතිනිය බවට පත්වන්නට බැරි විය. නමුත් ඇය තමන් වෙනුවෙන්ම තත්වාකාර හෙවත් ඩී ෆැක්ටෝ නායිකාව වශයෙන් රට පාලනය කරනු පිණිස ‘ස්ටේට් කවුන්සලර්’ යනුවෙන් තනතුරක් නිර්මාණය කරගත්තා ය. රටේ සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංවිධාන, සංගම් සහ පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වාගැනීමටත්, පාර්ලිමේන්තුවට වගකීමටත් මෙම තනතුර මගින් ඇයට  බලය ලබාදෙයි.

දැන් සුකී ට බලය තිබේ. ජාගර දේශපාලනයේ ප්‍රකට පිරුළ අනුව “බලය ඇති විට මොළය නැත. මොළය ඇති විට බලය නැත”! 

එනිසා සුකී මියැන්මාරය තුළ රොහින්ගියා සංහාරයක් සිදුවන බව දන්නේ ම නැත. නැත්නම් ඇයට ‘මතක නැත.’ ද ගාඩියන් පුවත්පත මෙසේ පවසයි. “ඇය දැන් විපුල බලයක් භුක්ති විඳිමින් සිටින්නීය. ඇය දැන් නිදහස් ය. නමුත් ඒ බලය හෝ නිදහස ක්‍රියාවේ යොදවනවා වෙනුවට ඇගේ ප්‍රතිචාරය නිශ්ශබ්දතාවයේ” මනා ලෙස වාර්තාගත වී ඇති සංඛ්‍යාලේඛන නොපිළිගැනීමේ සහ මානුෂීය ආධාර ලබාදීමට බාධා කිරීමේ සම්මිශ්‍රණයක් බවට පත්ව තිබේ…” මානුෂීය ආධාර බෙදාදීමට ආ අන්තර්ජාතික සංවිධාන සාමාජිකයන්ට සුකී චෝදනා කළේ “ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” යනුවෙනි!

සංහාරයට ලක්වන ජනයාට ‘රොහින්ගියානුවන්’ යන යෙදුම භාවිතා නොකරන්නැයි සුකී ඇමරිකානු තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියාය. රොහින්ගියා තාඩන පීඩන සම්බන්ධයෙන් සන්නද්ධ හමුදාවට ඇඟිල්ල දිුගු කරනවාට ඇය කැමති නැත! සියවස් ගණනක් මියැන්මාරය තුළ දිවි ගෙවූ රොහින්ගියා මුස්ලිම්වරුන්ගෙන් බහුතරයකට අද අත් වී ඇත්තේ එදා ලංකාවේ කඳුකරයේ තේ වතුවල දහදුක් විඳිමින් සිටි දමිල ජනතාවට අත් වූ ඉරණමම ය. 1982 පුරවැසි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව කියන අවුන් සාන් සුකී නිසා මියැන්මාරයේ රොහින්ගියා මුස්ලිම්වරුන්ගෙන් බහුතරය රටේ පුරවැසියන් නොවේ. ඇය ඔවුන්ව හඳුන්වන්නේ ‘ඉන්ටපෝලර්ස්’ හෙවත් ‘අයුතු මැදිහත්කරුවන්’ ලෙස ය. එසේ වී තිබෙන්නේ ඔවුන් උතුරුදිග අයර්ලන්තයේදී, ඉන්දු කාශ්මීරයේදී හෝ ලංකාවේදී සිදුවුණාක් මෙන් “රටෙන් කොටසක්” පවා ඉල්ලා සිටින්නේ නැතිව ය.

පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය රොහින්ගියා මුස්ලිම්වරුන් මියැන්මාරය තුළදී ලක්වන සැලකීම් පිළිබඳ වාර්තාවක් නිකුත් කළේය. ඒවායින් හෙළිදරව් වන අපරාධ අතිශය සාහසික ය. ඒ ඇතැම් සිද්ධියක් රොහින්ගියා මුස්ලිම් ජාතියට අයත් ගැහැනු දරුවන් සහ ස්ත්‍රීන් දූෂණය කිරීම් ගැන ය. ඒ සිද්ධිවලදී හටගත් දරුණු ලිංගික තුවාළ හේතුවෙන්ම ඔවුන් මිය ගිය අවස්ථාවන් ගැන ය. දරුවන් සහ වැඩිහිටියන්ගේ උගුරු දඬු, ඔවුන්ගේ පවුල්වල අයවලුන් ඉදිරියේදීම කපා දැමූ ආකාරය ගැන ය. මියැන්මාර හමුදාවේ හෙලිකොප්ටර විසින් රොහින්ගා ගම්වලට වෙඩි වර්ෂා පැවැත්වූ ආකාරය ගැන ය. ජනයා සිය නිවෙස් තුළට දමා පණ පිටින් ගිනි තැබූ ආකාරය ගැන ය. සොල්දාදුවන් අබිමුව විලි රුදාවෙන් පෙළුණු මවකට පහර දුන් අන්දම සහ ඉක්බිති ඉපදුණු කිරි කැටියා එසැණින් මරා දැමූ ආකාරය ගැන ය. පළා යන ජනයා පිරුණු බෝට්ටු, වෙඩි පහරින් සිදුරු කර ගං දියේ ගිල්වා දැමූ හැටි ගැන ය. සුකී මේ වාර්තාව දැක නැති සෙයකි. ඇය උපන්තේකට රඛීන් ප්‍රාන්තය වෙත ද ගොස් නැත. එසේම රොහින්ගියා කතුන් ලක්වන තාඩන පීඩන පිළිබඳ ජාත්‍යන්තරය කරුණු හෙළිකරන්නට පටන්ගත් විගස අවුන් සාන් සුකීගේ කාර්යාලය එහි ෆේස්බුක් පිටුවේ බැනරයක් ප්‍රදර්ශනය කරන්නට වූහ. “Fake Rapes” යැයි එහි ලියැවී තිබිණි!

මියැන්මාරයේ රටක් අහිමි ජනතාව ඔවුන් ය. මියැන්මාර බෞද්ධයෝ ඔවුන්ට මෙසේ කියති. “තොපි අයිති මේ රටට නෙවෙයි.. මේක අපේ රටට… තොපි බංගලි දේසෙට පලයව්..” ඔබට මෙහි යම් සමීප කමක් දැනේද..? එදා 1983 වසරේදී ලංකාවේ සිංහල අන්තවාදීන් දමිල සහෝදරයන් ට කීවේ ද මෙයටම සමාන කතාවක් නොවේද..? ‘දෙමළුන්ගේ රට ඉන්දියාව. මේ රට තොපේ නෙවෙයි” පලයව් තමිල්නාඩුවට..!’

මව් රට යනු තමන් ඉපදුණු රට නොවේද…?

සැබෑවකි. මේ වන විට රොහින්ගියා මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගෙන ඇත. මේ අලුත්ම ඝාතන රැල්ලට ආසන්නතම සිද්ධිය වූයේ මෙයට සති දෙකකට පමණ පෙර ‘අර්කාන් රොහින්ගියා ගළවාගැනීමේ හමුදාව’ යනුවෙන් තමන්ව හඳුන්වා ගන්නා ආයුධ සන්නද්ධ රොහින්ගියානුවන් කණ්ඩායමක් විසින් ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකුව වෙඩි තබා ඝාතනය කිරීමයි. නැවතත් ඔබට යම් සමාන කමක් දැනිණිද? දැන්, රොහින්ගියානුවන්ට තිබෙන විසඳුම කුමක්ද? රටෙන් කොටසක් ඉල්ලා සිටිමින් සන්නද්ධ අරගලයකට යාමද? අවසානයේ ප්‍රභාකරන් කෙනෙක් හෝ රොහින්ගියා ඩයස්පෝරාවක් නිර්මාණය කර ගැනීමද..? මේ අර්ථයේදී මේ දෙරට අතර එකම වෙනස ජාතිය වෙනුවට ආගම ආදේශ වීම පමණි.

අතීතයේ මතු යම් දිනෙක මියැන්මාරයේ රොහින්ගියා සංහාරය ජාත්‍යන්තරය විසින් හේතු සාධක ඇතිව සනාථ කරන දිනයක “ආහ්.. ඔව්” ඒත් ඉතින් ඒක අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්’ යනුවෙන් පවා මේ අමානුෂ ගැහැනිය විසින් කියන්නට ඉඩ තිබේ. නමුත් එදා 1991 වසරේ පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගය භාර ගනිමින් සුකී කළ කතාවේ මේ කොටස ඔබට මතකද?
“Wherever suffering is ignored, there will be the seeds of conflict, for suffering degrades and embitters and enrages.”
“දුක් ගැහැට විඳීම් නොසලකා හරින විට ඒ අවමන් සහගත පහත හෙළීම් සහ අප්‍රසන්නතා සහ ප්‍රකෝප වීම් නිසා අරගලයේ බීජ හටගනු ඇත…”!!

දුක යනු, ඒ බව තමන්ගේම මුවින් කියූ චරිතයක් අද මෙසේ හැසිරෙමින් සිටීමයි. 

මියැන්මාරයේ වෙසෙන මිලියනයක් වූ රොහින්ගියානුවන් අතරින් මේ වනවිට ඉතිරිව සිටින්නේ මිලියන භාගයක් පමණි. සෙසු සියල්ලන්ම රටෙන් පළාගොස් ඇත. අසරණ කම නිසාම රට තුළ ඉතිරිව සිටින රොහින්ගියානුවන් ‘ජාතියේ (ආගමේ) හතුරන් වශයෙන් දකින අෂීන් විරතු වැනි චරිතවලට අවුන් සාන් සුකීගේ හැසිරීම තුළ තව තවත් වීරත්වය ආරූඪ වේ. පසුගිය අගෝස්තු මාසයේ අවසන් සතියේදී විරතු හා ඔහුගේ ඩෙනිම් හඳින ඇබිත්තයන් විසින් පවත්වාගෙන යන ‘බා මා තා’ කණ්ඩායමේ සතිපතා පුවත්පත වූ ‘අවුන් සේ යාතු’ හි ශිර්ෂපාඨය වූයේ මෙයයි. “ලෝකය අවසන් වන තෙක් ජාතිය සහ ආගම පැවතිය යුතුය”. ඒ කලාපයේ,  රඛීන් ප්‍රාන්තයේ ආගමික ත්‍රස්තවාදය ඇතිකිරීම සඳහා මුල් වූ චරිතය ලෙසට හඳුනාගැනෙන විරතුගේ සම්මුඛ සාකච්ඡාවක් ද අන්තර්ගත වී තිබිණි. විරතුලා මෙසේ පිනුම් ගසන්නේ 2010 වසර වන තෙක් දශක ගණනාවක් රට මර්දනයෙන් භීතියට පත් කළ හමුදා ජුන්ටාව යටතේ වූවා නම් දුක නැත.

මේ සියලු කරුණු මධ්‍යයේ වන විට සුකී හට පිරිනැමූ නොබෙල් සාම ත්‍යාගය. නොබෙල් කමිටුව විසින් ආපසු කැඳවිය යුතුය යනුවෙන් විශාල ජාත්‍යන්තර මතයක් ඇති වී තිබේ. ඒ සඳහා අත්සන් ලක්ෂ 5 කින් යුක්ත අන්තර්ජාල පෙත්සමක් ද මේ වන විට අත්සන් තැබේ. (https://www.change.org/p/take-back-aung-san-suu-kyi-s-nobel-peace-prize)

ඇතැම් ජාත්‍යන්තර මාධ්‍යයන්  කවදත් ඇගේ නම උච්ඡාරණය කරන්නේ ‘සූකී’ නොව ‘සූ කයි’ යනුවෙනි. එනිසා මේ ලිපිය අවසන් කළ යුතු හොඳම ක්‍රමය මෙයයි.
‘සූ කයි- ගම කයි!’
– රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

සූ කයි- ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

 

 

 

 

 

2 Comments to “සූ කයි-ගම කයි! අවුන් සාන් සුකීගේ නොබෙල් තෑග්ග ආපසු ගන්න! රදිකා ගුණරත්න

  1. Muslims started attacking Buddhists in Myanmar in 1947. Now It happens everywhere. Muslims attack Christians too. Where there is a Muslim , there is a big problem. We have eradicate this “Muslim menace” from the whole world.

  2. When Muslims rebels killing Buddhist monks and attacking to police stations in Myanmar no body questioned. Only Muslims shouting and reacting when others attacking. Why shouldn’t Muslim world advised to their brothers in Myanmar to behave as humans not as animals.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *