කාන්තාවට නායකත්ව/අධිකාරී තනතුරකට පිවිසීමට ඉස්ලාමයෙන් අනුමැතිය තිබේද?

ඉස්ලාමය තුල කාන්තාවන්ට ඔවුන් අවශ්‍ය සුදුසුකම් දරා සිටී නම්, නායකත්ව හෝ අධිකාරීත්ව තනතුරක් දැරීමට අවසර තිබේ. නමුත් සමහර දේ පුරුෂයන්ට පමණක් සීමා කර ඇත. එනම් ඉස්ලාමීය නැමදුමකදී නායකත්වය දීම, හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී තනතුරු වැනි කටයුතු පුරුෂයන්ට පමණක් සීමා කර ඇත. ඒ මන්ද යන්නට බාහිර හේතු ඕනෑ තරම් ගතහැකි නිසා ඒ සම්බන්ධව මෙම ලිපියෙහි සාකච්ඡා නොකරමු.

නමුත් සමහර විද්වතුන් මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන් විසින් පැවසූ නබිවදනක් වරදවා වටහා ගනිමින් කාන්තාවන්ට නායකත්වය දැරීම හෝ තනතුරු දැරීම තහනම් බව පවසති.

එම නබිවදන මෙසේය:

لَنْ يُفْلِحَ قَوْمٌ وَلَّوْا أَمْرَهُمْ امْرَأَةً

කාන්තාවක් අණදෙන කවර හෝ සමාජයක් සාර්ථක නොවන්නේය (A people will not succeed who are commanded by a woman)

මූලාශ්‍රය: සහීහ් අල් බුහාරි 4425, වර්ගය: සහීහ්

මෙම විද්වතුන් වරදවා වටහාගෙන සිටින්නේ ඉහත වාක්‍යයේ වචනාර්ථය ඉස්ලාමය විසින් කාන්තාවට කිසිදු පොදු නායකත්ව තනතුරකට ඉඩ ලබා නොදෙන බවයි. නමුත් ලොව බහුතර මුස්ලිම් විද්වතුන් එය නිර්වචනය කරන්නේ මෙම නබිවදනෙන් අරුත් ගැන්වෙන්නේ කාන්තාවට හමුදාවේ අධිකාරී තනතුරක් දැරීමට අනුමැතිය පමණක් නොදෙන බවයි. මෙහිදී ඇතැම් ඊනියා විද්වතුන්ට أَمْرَ නම්වූ අරාබි වචනයේ අරුත අණකිරීම නැතිනම් නියෝග කිරීම බව ඔවුන්ට පරිවර්තනය කර ගැනීමට අපහසු වීම අවාසනාවකි.

මේ නිසා කාන්තාවකට විනිසුරු තනතුරක් දැරීම වුවද ගැටළුවක් නොමැති බව මැදවත් විද්වතුන්ගේ මතයයි.

ඉබ්නු හජ්ජාර් නම්වූ විද්වතා ලියා තිබෙන පරිදි:

وَخَالَفَ ابْنُ جَرِيرٍ الطَّبَرِيُّ فَقَالَ يَجُوزُ أَنْ تَقْضِيَ فِيمَا تُقْبَلُ شَهَادَتُهَا فِيهِ وَأَطْلَقَ بَعْضُ الْمَالِكِيَّةِ الْجَوَازَ


ඉබ්නු ජරීර් අත්-තබරි කාන්තාවන්ට විනිසුරුවන් වීමට ඉඩ නොදෙන අය සමග එකඟ නොවූ අතර ඇගේ සාක්ෂිය පිළිගත හැකි කරුණු සම්බන්ධයෙන් ඇයගේ ප්‍රසාදය පිළිගත හැකි බව ප්‍රකාශ කර ඇති අතර මාලිකි විද්වතුන් විසින් එසේ කිරීමට අසීමිත අනුමැතිය දී ඇත.

මූලාශ්‍රය: ෆත් උල්-බාරි

 

සන්නද්ධ හමුදාවන්ට අණදීම නමස්කාර වතාවත් මෙහෙයවීම කාන්තාවකට නොසුදුසු නමුත්, ඇය සුදුසුකම් දරා සිටින අනෙකුත් වගකීම් දැරීමට ඇයට බාධාවක් නැත. සත්‍ය වශයෙන්ම ආරම්භක මුස්ලිම් සමාජයේ ප්‍රගමණයට කාන්තාවන් සුවිශේෂ දායකත්වයක් ලබාදී ඇත.

උමර් බින් අල්-කත්තාබ් රළියල්ලාහු අන්හු තුමා විසින් සම්රාහ් බින්ත් නුහයික් නම් තැනැත්තියව වෙලද මධ්‍යස්ථානයේ අවේක්ෂක තනතුරට පත්කර ඇත. 

අබු බල්ජ් යහ්යා වාර්තා කරන පරිදි:

رَأَيْتُ سَمْرَاءَ بِنْتَ نَهِيكٍ وَكَانَتْ قَدْ أَدْرَكَتِ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهَا دِرْعٌ غَلِيظٌ وَخِمَارٌ غَلِيظٌ بِيَدِهَا سَوْطٌ تُؤَدِّبُ النَّاسَ وَتَأْمُرُ بِالْمَعْرُوفِ وَتَنْهَى عَنِ الْمُنْكَرِ

 

මම දුටුවා සම්රාහ් බින්ත් නුහයික් සහ ඇය නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාව දැන සිටියා. ඇය ඝණ වස්ත්‍රයක් සහ වේලයක් හැද සිටියා. ජනතාව විනය කරනු පිණිස ඇයගේ අතේ කසයක් විය. ඇය යහපතට ඉඩදී නපුර ප්‍රතික්ෂේප කළා. 

මූලාශ්‍රය: අල්-මු’ජාම් අල්-කබීර් අත්-තබරානි 785, වර්ගය: හසන්

ඉබ්න් අබ්ද් අල්-බාර් පවසන පරිදි:

أدركت رَسُول اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وعمرت وكانت تمر فِي الأسواق وتأمر بالمعروف وتنهى عَنِ المنكر وتضرب الناس عَلَى ذلك بسوط كَانَ معها

 

ඇය ඇගේ ජීවිත කාලය තුල නබිතුමාණන්ව දැන සිටියා. ඇය යහපතට ඉඩ දෙමින් නපුර ප්‍රතික්ෂේප කරමින් වෙලදපොල තුල නිරීක්ෂණ චාරිකා කළා. ඇය ඇගේ අත තිබූ කසය තුලින් ජනතාව විනය කළා. 

මූලාශ්‍රය: අල්-ඉස්ති’අබ් බිල් මා’රුෆ් 3197

ඉබ්න් අල්-ජව්සායි පවසන පරිදි:

وكان عمر رضي الله عنه إذا دخل السوق دخل عليها

 

උමර් ඉබ්න් අල්-කත්තාබ් වෙලදපොලට පැමිණි විට ඇය වෙත ගියා. 

මූලාශ්‍රය: සීරා උමර් ඉබ්න් අල්-කත්තාබ් 41

ආදි මුස්ලිම් සමාජය තුල ඉතාමත් වැදගත් මුස්ලිම් විද්වතුන් අතර කාන්තාවන්ද සිටියා.

අබුබකර් තුමා විසින් පලමුවෙන් අතින් ලියන ලද අල්-කුර්ආන් පිටපත ආරක්ෂා කිරීමේ වගකීම හෆ්සා බින්ත් උමර් රළියල්ලාහු අන්හා තුමියට පවරා තිබුණා.

ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය එවකට සහාබා සමාජය තුල නබිසල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන් කියූ කෙරූ දේ සම්බන්ධව පැවසීමට අධිකාරීත්වයක් තිබුණු බව ජනතාව පිළිගෙන සිටියා.

අබු මූසා වාර්තා කරන පරිදි:

مَا أَشْكَلَ عَلَيْنَا أَصْحَابَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَدِيثٌ قَطُّ فَسَأَلْنَا عَائِشَةَ إِلَّا وَجَدْنَا عِنْدَهَا مِنْهُ عِلْمًا

 

අප කවදාවත් අල්ලාහ්ගේ දූතයාණන්ගේ සහායකයන් වශයෙන් අප හට කිසිදු නව ගැටළුවක් සිදුවී නෑ, අපි ආයිෂා තුමියගෙන් අසා ඒ ගැන යම් දැනුමක් ලබාගත් නිසා.
මූලාශ්‍රය: සුනන් අත්-තිර්මිදි 3883, වර්ගය: සහීහ් 

අප නබිසල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන්ගෙන් පසුව දෙවන පරම්මරාව තුල මු’ආදාහ් අල්-අදව්වියාහ් නැමති කාන්තාව නබිවදන් ධාරණය කරගෙන පවසන තැනැත්තියකව සිටියා. ඇය විසින් එම නබිවදන් ඉගෙන ගෙන තිබුණේ අලි ඉබ්නු තාලිබ්, ආයිෂා රළියල්ලාහු අන්හා, සහ හිෂාම් ඉබ්නු අම්ර් යන අයගෙනි.

අම්රාහ් බින්ත් අබ්දුර් රහ්මාන් නැමති කාන්තාව ඉස්ලාමීය දෙවැනි පරම්පරාවේ විද්වතියක් ලෙස කටයුතු කළා. ඇය මදිනා නගරයේ නීති විද්වතිය වුවා. ඇය උම්මු සලාමාහ් සහ රාෆි ඉබ්න් කදීජා යන අයගෙන් නබිවදන් ඉගෙනුම ලැබ තිබුණා.

උම්මු අතියියා සහ අනස් ඉබ්නු මාලික්ගේ ශිෂ්‍යාවකව සිටි හෆ්සා බින්ත් සිරීන් ඉස්ලාමයේ දෙවැනි පරපුර යුගයේ නීති විශාරදවරියක ලෙස කටයුතු කළා. ඇගේ එක ශිෂ්‍යාවක වූ කතාදාහ් අල් කුර්ආනයේ අර්ථකතනය සම්බන්ධ විශේෂඥ නිපුනත්වයක් දැක්වුවා.

මෙලෙස ඉස්ලාමය ආරම්භ වු යුගයේ සිට මේ දක්වා කාන්තා විද්වතියන් රැසක් මුස්ලිම් සමාජයේ ආගමික ප්‍රගමණයට දායකත්වය දක්වා තිබෙනවා.

මුස්ලිම් සමාජයට ප්‍රහාරයන් එල්ල වූ අවස්ථාවන් වල කාන්තාවන් මුස්ලිම් සමාජයේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙනවා.

අනස් ඉබ්නු මාලික් පවසන පරිදි:

كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَغْزُو بِأُمِّ سُلَيْمٍ وَنِسْوَةٍ مَعَهَا مِنْ الْأَنْصَارِ يَسْقِينَ الْمَاءَ وَيُدَاوِينَ الْجَرْحَى

 

අල්ලාහ්ගේ දූතයාණන් යුද්ධය සදහා යන විට උම්මු සුලයිම් සහ අනෙකුත් අන්සාරි කාන්තාවන් පැමිණ ජලය ලබාදී තුවාලවූ අයට උවටැන් කළා.  

මූලාශ්‍රය: සුනන් අත්-තිර්මිදි 1575, වර්ගය: සහීහ්

මෙහිදී ඉස්ලාමය රැක ගැනීමට කාන්තාවන් දැක්වූ සහය අවිවාදිතයි.

එමෙන්ම මුස්ලිම් නායකත්වයට උපදේස් සැපයීමේදී කාන්තාවන් සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. අප නබිසල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන් ඉතාමත් සංවේදී කාරණා වලදී කාන්තා උපදෙස් ලබාගෙන තිබෙනවා. එක් අවස්ථාවකදී මුස්ලිම් සමූහය හජ් වන්දනාව ආරම්භ කිරීමෙන් වැලකී සිටියා හුදෙයිබියා සාම ගිවිසුම නිසා. අප නබි තුමාණන් එම ගිවිසුමේ කොන්දේසි පිළිගත් නිසා මුස්ලිම් සමූහය අධෛර්යමත්ව සිටියා. මේ අවස්ථාවේදී අප නබිතුමාණන් එතුමාගේ භාර්යාවක වූ උම්මු සලාමාහ් තුමියගෙන් ඉතා අගනා උපදේශයක් ලබා ගත්තා ප්‍රශ්න ඉතාමත් හොදින් විසදා ගැනීමට.

මර්වාන් පවසන පරිදි: සාම ගිවිසුම ලියා අවසන් වූ පසුව අප නබිතුමාණන් මුස්ලිම් සමූහය අමතා:

قُومُوا فَانْحَرُوا ثُمَّ احْلِقُوا

නැගිට ඔබගේ භාරය ඔප්පු කර ඔබගේ හිස් බූ ගාන්න.

නබිතුමාණන් මෙම නියෝගය තුන් වරක්ම කළද කිසිවෙකු හෝ නැගී සිටියේ නැහැ. කවුරුන් හෝ නැගී සිටියේ නැති අවස්ථාවේ අප නබිතුමාණන් උම්මු සලාමාහ් තුමිය වෙත ගොස් ජනතාවගේ ආකල්පය පැවසුවා.

එවිට උම්මු සලාමාහ් තුමිය:

يَا نَبِيَّ اللَّهِ أَتُحِبُّ ذَلِكَ اخْرُجْ ثُمَّ لاَ تُكَلِّمْ أَحَدًا مِنْهُمْ كَلِمَةً حَتَّى تَنْحَرَ بُدْنَكَ وَتَدْعُوَ حَالِقَكَ فَيَحْلِقَكَ

 

අල්ලාහ්ගේ දූතයාණෙනි, ඔබගේ නියෝගය ඉටු වෙනවාට කැමතිද? ඔබ ගොස් ඔබගේ භාරය ඉටු කරන තුරු ඔවුනට කතා නොකරන්න. ඔබගේ හිස බූ ගෑමට කරණවෑමියාට පවසන්න. 

මූලාශ්‍රය: සහීහ් බුහාරි 2731, වර්ගය: සහීහ්

මෙහිදී අප නබිතුමාණන් සිය ආදරණීය බිරිදගේ උපදේශය ක්‍රියාත්මක කළ විට සමූහයද එතුමාණන්ව අනුගමනය කළා.

එමෙන්ම මුස්ලිම් නායකත්වය නිවැරදි කිරීමටද කාන්තාවට අයිතියක් ඇත. එමෙන්ම එහිදී කාන්තාවගේ උපදේශය නිහතමානීව පිලිගැනීම නායකත්වයේ වගකීමයි. එක්තරා ප්‍රසිද්ධ අවස්ථාවක් නම් උමර් බින් කත්තාබ් රළියල්ලාහු අන්හු තුමා විසින් කරන ලද දේශනයක් අතරතුර කාන්තාවක විසින් ඔහුගේ කතාවේ දෝෂයක් පෙන්වා දීමයි. එහිදී උමර් තුමා මෙසේ පැවසුවා:

امْرَأَةٌ أَصَابَتْ وَرَجُلٌ أَخْطَأَ

ස්ත්‍රිය නිවැරදියි. මිනිසා වැරදියි.

තවත් වාර්තාවක සදහන් පරිදි උමර් තුමා පවසන්නේ:

امْرَأَةٌ خَاصَمَتْ عُمَرَ فَخَصَمَتْهُ

කාන්තාව උමර් සමග තර්ක කර ඔහුව පරාජය කර තිබේ. 

මූලාශ්‍රය: ෆත් උල් බාරි 4853

වත්මන් නවීන සමාජය තුල මුස්ලිම් කාන්තාවන් විවිධ වගකීම් දරමින් සමාජයේ ප්‍රගමණයට දායක වෙමින් සිටිනවා. ආගමික, දේශපාලන, විද්‍යාව, වෛද්‍ය ක්ෂේස්ත්‍රය, අධ්‍යාපනය, පොලීසිය සහ හමුදා යන අංශයන් වල ඉතාමත් වැදගත් කාර්යයන් වල යෙදී සිටිනවා.

 

 

ලිපිය සැකසුවේ:

අන්වර් මනතුංග

(කරුණාකර මෙම ලිපිය උපුටා ගන්නා අවස්ථාවල ලිපියේ කතුවරයා සහ වෙබ්අඩවියේ ලිංක් එකද සටහන් කරන්න)

 

 

 

 

 

 

 

2 Comments to “කාන්තාවට නායකත්ව/අධිකාරී තනතුරකට පිවිසීමට ඉස්ලාමයෙන් අනුමැතිය තිබේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *